Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රටේ වනපෙත් වනසන අපේ දේශපාලන බලවත්තු

ගෝටාගෝගම සහ රට පුරා තරුණයන් දූෂීත දේශපාලනඥයන්ට පාලනයෙන් ඉවත් වන ලෙස බලකරමින් අරගල කරනවා. ඒ අතර දේශපාලන දූෂිතයන් අපේ පරිසරයත් හොරෙන් ම විනාශ කරන බවට තොරතුරු වාර්තා වෙනවා.

මොණරාගල කැබලිත්ත වනාන්තරය සහ කෝට්ටේ අභය භූමිය එසේ බලපෑම් නිසා මෑතක දී වැනසෙන තැන් දෙකක්. මේ විනාශය කුමක්දැයි සොයා බලන්න අපි හිතුවා.

 කැබලිත්ත වනාන්තරය- defence.lk

කැබලිත්ත වනයට බහිරව බැල්මක්

මොනරාගල දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 5,63,900ක් පමණ වෙනවා. එම භූමියෙන් වනාන්තර හා තෘණ භූමිවලින් යටවූ බිම් ප්‍රමාණය හෙක්ටයාර 2,96,125ක්.
මෙම දිස්තික්කයට අයත් වත්තේගම, කැබලිත්ත හා කොටියාගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉතා වටිනා රක්ෂිත වනාන්තරවල කාලයක සිට මහා වන සංහාරයක් සිදුවෙනවා. බිබිල හා මොණරාගල බලය පතුරුවාගෙන සිටින දේශපාලනඥයන් කිහිපදෙනෙක් මෙම වන විනාශයට වගකිව යුතු බවටයි චෝදනා එල්ල වන්නේ. මොණරාගල දිස්ත්‍රික්කයේ රජයට අයත් ඉඩම් අක්කර පනස්දහසක පමණ ප්‍රමාණයක් සංවිධානාත්මක පිරිසක් විසින් එසේ අත්පත් කරගෙන ඇති බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය පවසනවා.

ඒ යටතේ වත්තේගම කැබිලිත්ත රක්ෂිතයේ ඉඩම්ද දේශපාලනඥයන්ගේ අනුදැනුම මත ඔවුන්ගේ හිතවතුන් අල්ලාගෙන ඇති බවයි එම සංවිධානයෙන් කැඳවුම්කරු ජයන්ත විජේසිංහ ලියුම්කරු සමඟ පැවසුවේ. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර ද මීට පෙර පොලීසියට උපදෙස් ලබාදී ඇත්තේ කැබිලිත්ත රක්ෂිතයේ වන විනාශය සිදු කරන සැකකරුවන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කරන නිස යි. නමුත් එවැනි නීති ක්‍රියාත්මකවීමක් එහි දක්නට නොලැබෙන බව පරිසරවේදීන් පවසනවා.

 එළිකර ඇති වනාන්තරයේ කොටස් -thecolombopost.com

විල්පත්තුවටත් වඩා විනාශයක්

හෙක්ටයාර 28,926ක් නැතහොත් අක්කර 71,537ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු වත්තේගම – කැබලිත්ත වන රක්ෂිතය විල ඔය, කුඹුක්කන් ඔය, කොටියාගල වැව හා වට්ටාරම වැව යන ජල මූලාශ්‍රවල ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වෙනවා.

මෙතරම් වැදගත් වනාන්තරයක් වන කැබලිත්ත අවට වනාන්තරවල කොටස් ව්‍යාපාරිකයන් අල්ලා ගෙන වනය විනාශ කිරීම කලක පටන්ම සිදුවුණා. එය වැළැක්වීමට පසුගිය කාලයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියා. ව්‍යාපාරිකයන් අක්කර 20 සිට 100 දක්වා ආදී වශයෙන් වනාන්තර ඉඩම් කට්ටි අල්ලා ගැනීම අත්හිටුවා එම ප්‍රදේශවල වන රක්ෂිත සංරක්ෂණයට කටයුතු කිරීමට වන සංරක්ෂණ නිලධාරීන් මැදිහත් වුණා. මෙම ඉඩම් කොල්ලය විල්පත්තුවේ සිදු වූ අක්කර 3000ක වන විනාසයට වඩා කිහිප ගුණයකින් ඉහළ යි.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ග හිටිඅඩියේ නැවැත්වීමට ඉහළ දේශපාලන බලවතුන් බලපෑම් කර ඇති බව පැවසෙනවා. ජනපතිවරයාගේ ආර්ථික කමිටුවේ එවක ප්‍රධානියා වූ බැසිල් රාජපක්ෂගේ අවශ්‍යතාව මත අලුතින් චක්‍රලේඛ නිකුත් කිරීම සිදුවුණා. හිටපු වන සංරක්ෂණ අමාත්‍යවරයා වන සී.බී. රත්නායක සහ එවක ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්.එම්. චන්ද්‍රසේන නිකුත්කළ 1/2020 සහ 18/2020 යන චක්‍රලේඛ හරහා ශ්‍රී ලකාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ආරක්ෂා වූ වනාන්තර ඉඩම් අක්කර ලක්ෂ 12කට ආසන්න ප්‍රමාණයක් යළිත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරුණා.

 කොටියාගල කැබලිත්ත වන වගා ව්‍යාපෘති -ada.lk

 අලුත් නීතියෙන් විනාශයට උල්පන්දම්

එසේ මොණරාගල දිස්ත්‍රික්කයේ පැවරූ ඉඩම්වලට වත්තේගම කැබලිත්ත කොටියාගල වන රක්ෂිතවල ඉඩම් කොටස්ද අයත්. ඉහත චක්‍රලේඛ මඟින් මෙම වනාන්තර අනාරක්ෂිත බවට පත්වුණා. චක්‍රලේඛය නිකුත් වූ විගස ම ඉඩම් අල්ලා ගැනීමට බලා ගෙන සිටි දේශපාලන බලපුළුවන්කාරයන් ක්‍රියාත්මක වුණා. ඔවුන්ගේ බලපෑම මත ප්‍රාදේශීය ලේකම්වරුන්ට දේශපාලන අවශ්‍යතා මත හිතුමතේ ඉඩම් බලපත්‍ර සහ ඔප්පු නිකුත් කිරීමට සිදු වුණා. බහුතරයක් ව්‍යාපාරිකයන් මෙම වනාන්තර ඉඩම් දිගින් දිගට ම ලබාගැනීමට කටයුතු කළා. සංවිධානය වී රක්ෂිත ඉඩම් ඉල්ලන ඉඩම් කොල්ලකරුවන්ට බෙදාදීම පිණිස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිවක් සොයා නොබලා අක්කර 25,000ක් රක්ෂිත ප්‍රදේශවලින් ඉවත්කර සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පවරා තිබෙනවා.

තේක්ක, බුරුත, පලු, කළුවර, නැදුන්, වීර, මිල්ල, කෝන් වැනි ශාකවලින් පිරුණු මේ මහ වනය දැන් ශීඝ්‍ර වන විනාශයකට ලක්ව අවසන්. පසුගිය කොවිඩ් අවදානම පැවති කාලයේදී ද මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව සහ කොටියාගල වනාන්තර බඩඉරිඟු වගාව සිදුකරන හා පරිමාණයේ ව්‍යාපාරිකයන් ඩෝසර් කරමින් ගිනි තබමින් අක්කර දහස් ගණනක් එළි කර තිබෙනවා.

ව්‍යාපාරිකයන් මුදල් යොදවා ප්‍රදේශයේ ගම්වැසියන් අවුස්සා ඔවුන්ටත් අක්කර 5ත් 10ත් අතර ඉඩම් ලබාදීමට කටයුතු කරන බව පවසමින් කැබලිත්ත කොටියාගල රක්ෂිත ප්‍රදේශවල ඉඩම් ඇල්ලීමට ගම්වැසියන් පෙලඹවීම සිදුකරන බව පැවසෙනවා. මෙලෙස ඉඩම් ඇල්ලීමට උත්සාහ කළ අවස්ථා කිහිපයක ම එය ව්‍යර්ථ කිරීමට පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ කටයුතු කර තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේද සියඹලාණ්ඩුව අඩවි වන නිලධාරි කාර්යාලයට ලද තොරතුරක් මත කැබලිත්ත රක්ෂිතයේ සිදුකළ වැටලීමක දී වගා කටයුතු සඳහා රක්ෂිත ඉඩම් එළිපෙහෙළි කරමින් සිටි ගොවීන් පස් දෙනකු සමඟ ට්‍රැක්ටර් රථ තුනක් ද, ගව ගාලක් ඉදිකරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ගෙන තිබුණා.

 ගුවන් හමුදාව කැබලිත්තට බීජ බෝම්බ දමමින්- defence.lk

බීජ බෝම්බ

කැබලිත්ත වනාන්තරයේ පාරිසරික වැදගත්කම නිසා 2021 ඔක්තෝබර් මාසයේදී එම රජයේ වන රක්ෂිතය වෙත බීජ බෝම්බ තොගයක් ද හෙළනු ලැබුවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමයි එය සංවිධානය කළේ. එම මෙහෙයුමේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අක්කර 495 ක් පමණ පෙදෙසක වන රක්ෂිතයට ඉහළින් බීජ බෝම්බ 75,000ක් හෙළන ලද බව වාර්තා වුණා. ගුවන් හමුදාව බීජ බෝම්බ ව්‍යාපෘති මගින් වන වගා කිරීමට කටයුතු කළ ප්‍රදේශයේ වන වගාවන්ට හානි කිරීමට පවා සංවිධානාත්මක ඉඩම් කොල්ලකරුවන් කටයුතු කර තිබෙනවා.

දැඩි පරිශ්‍රමයකින් වන සංරක්ෂණ දෙපාර්මේන්තුව ආරක්ෂා කළ වනාන්තර ඉඩම් නැවත වතාවක් පසුගිය දිනවල සංවිධානාත්මක ව්‍යාපාරික ඉඩම් කොල්ලකරුවන් විසින් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට කටයුතු කරමින් සිටියා. එම අනීතික ක්‍රියාවට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ වන සංරක්ෂණ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකාය වටකොට බලහත්කාරය පෑමටත් මෙම කොල්ලකරුවන් බලවත් බවයි වාර්තා වන්නේ.

 කෝට්ටේ අභය භූමියේ දියවන්නා ඔය- dinamina.lk 

සංවර්ධනයෙන් වැනසෙන කෝට්ටේ අභය බිම

ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය සහ බෙල්ලන්විල අත්තිඩිය අභය භූමිය කොළඹ අවට පිහිටි පාරිසරිකව වැදගත් තෙත් බිම් දෙකක්. මේවා අභය භූමි ලෙස නම් කර තිබුණත් නිතර ම විනාශයට ලක්වන බව පේනවා. දේශපාලන ලොක්කන් ම නියෝග දී එම විනාශය සිදුකරන බවයි පැවසෙන්නේ.

පසුගියදා එක්තරා විහාරයක නායක හාමුදුරුනමකගේ ඉල්ලීම පිට ඉහළ දේශපාලන බලය මත ඇතුල්කෝට්ටේ තෙත්බිම් සංවර්ධනය කරන මුවාවෙන් එවැනි තෙත්බිම් හානියක් සිදුකරන බවට පරිසරවේදීන් චෝදනා කරනවා.

 අභය භුමියේ සංවර්ධන ව්‍යාපෘති – colombotelegraph.com

තෙත්බිම ගොඩ කර ඇළවල් කපයි

පසුගිය මාර්තු මාසයේදී නාගරික සංවර්ධන අධිකාරිය හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්ව කෝට්ටේ අභය භූමියට අයත් ඇතුල්කෝට්ටේ තෙත් බිම ගොඩ කරමින් ඇළ මාර්ග හෑරීම ආරම්භ කළා. මේ සඳහා වනජීවි දෙපාර්තමේන්තුවෙන් අවසර ගැනීමක් සිදුවුණේ නැහැ. නීති විරෝධී ව සිදුවන මෙම කටයුත්තකට එරෙහිව කැණීම ආරම්භ කළ අවස්ථාවේදී ම ක්‍රියාත්මක වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අභය භූමිය තුළ සිදුකළ සියලු ම නීති විරෝධී ක්‍රියා නතර කිරීමට පියවර ගත්තා. පසුව දේශපාලන බලපෑම නිසා යළිත් එම කටයුතු ඇරඹී තිබෙන බව පසුගියදා වාර්තා වුණා. එම සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ද දැන් ලැබෙන බව වාර්තා වෙනවා.

කෝට්ටේ පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔය කේන්ද්‍ර කර ගත් තෙත්බිම් හෙක්ටයාර් 449.2ක් අභය භූමියක් ලෙස ප්‍රකාශ කෙරුණේ 1985 ජනවාරි 9 දින යි. පසුකාලීන සංවර්ධන කටයුතුවලට භාවිත කිරීම නිසා මේ වනවිට එහි ඉතිරි ව ඇත්තේ සුළු බිම් ප්‍රමාණයක් පමණ යි. දියවන්නා ඔය හා පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය දැනට අභය භූමියට ඉතිරි ව පවතින අතර පාර්ලිමේන්තුවට වම්පසින් තිබූ තෙත් බිමෙන් විශාල කොටසක් දියත උයන නාගරික උද්‍යානය හා වෙළෙඳසල් තැනීමට ගොඩකර තිබෙනවා.

 අභය බිමේ පක්ෂීන් -efi.lk

කොළඹ තෙත්බිම් අවදානමක

නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක් ව පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්‍රිත වගුරු බිම් මේ ආකාරයෙන් අවස්ථා ගණනාවක දී ම දැවැන්ත විනාශයකට ලක් කර තිබෙනවා. ඒ අතුරෙන් ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ හා බෙල්ලන්විල – අත්තිඩිය ආශ්‍රිත තෙත් බිම් වැඩි ම හානියට ලක් ස්ථාන යි.

නේවාසික හා සංක්‍රමණික පක්ෂි විශේෂ 147 ක් පමණ කෝට්ටේ තෙත් බිම් පද්ධතියෙන් වාර්තා වී තිබෙනවා. ඒ අතර නේවාසික තෙත් බිම් ආශ්‍රිත පක්ෂීන් වන මල් කැස්වටුවා, ගෙඹි සේරා (Little Grebe), හංසකාවා (Indian Darter), අළු පැස්තුඩුවා (Grey Pelican), කහ මැටිකොකා (Yellow Bittern), තඹල මැටිකොකා (Chestnut Bittern), කලපු කොකා (Grey Heron), කරවැල් කොකා (Purple Heron) වැනි විශේෂ හා සංක්‍රමණික පක්ෂීන් වන වගුරු බිම්උකුස්සා (Marsh Harrier), දාර කොරවක්කා (Banded Crake), රන් ඔලෙයියා (Asiatic Golden Plover) වැනි විශේෂ ද දැකගත හැකි යි.

කවරයේ ඡායාරූපය - වනසන කැබලිත්ත වනය - thecolombopost.com

මූලාශ්‍ර:
වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ මාධ්‍ය නිවේදන
ඉඩම් ප්‍රතිසංස්කරණය ව්‍යාපාරයේ මාධ්‍ය නිවේදන
thecolombopost.com

Related Articles