අමෙරිකානු ‘රේඩියම් යුවතියන්’ ගේ කඳුළු කතාව

ලොව සමහරක් ශිෂ්ටාචාරවල කාන්තාවන්ට හිමි වූයේ අද්විතීය තැනක්. සමහරක් විට දී ඔවුන්ට පුරුෂයන් අභිබවන පිළිගැනීම් හා වරප්‍රසාද හිමි වුණා. තවත් සමහර තැනෙක පුරුෂයන්ට හා ස්ත්‍රීන්ට සම තැන් හිමි වෙද්දී, අනෙකුත් ස්ථානවල කාන්තාවන්ට හිමිවූයේ අඩු සැලකිල්ලක්. මේ හේතුවෙන් ඔවුන්ගේ ජීවිතවලට සෑහෙන අභියෝග එල්ල වූ අතර, අකාලයේ ජීවිතයෙන් සමු ගැනීමට පවා සිදුවූ අවස්ථා විරළ නැහැ.

වර්තමානය වන විට පෙරදිගට සාපේක්ෂ ව අමෙරිකාව වැනි බටහිර රටවල කාන්තාවන්ට ඉහළ ස්ථානයක් හිමි වන බවට බොහෝ දෙනා තර්ක කරනවා. එහිද අද වන විටත් කාන්තාවන්ට, පුරුෂයන්ට සාපේක්ෂ ව කුඩම්මාගේ සැලකිලි දැක්වෙන අවස්ථා තිබෙනවා. විශේෂයෙන් ඒ ඒ වෘත්තීන්ට හිමි වන වැටුප, රාජකාරී ස්ථානයේ හිමි වන ආරක්ෂාව වැනි කාරණාවලදී වැඩිමනත් ම මේ ස්වභාවය දකින්නට හැකි යි. මීට සියවසකට පමණ එපිටදී මේ ප්‍රවණතාව දැඩි ව පෙනෙන්නට තිබුණා. අමෙරිකානු ‘රේඩියම් යුවතියන්’ ගේ කඳුළු කතාව ඊට හොඳ ම උදාහරණයක්.

 කාර්යයේ නියුතු රේඩියම් යුවතියන් (1922)- libraries.rutgers.edu 

 

සිත් ඇදගන්නාසුලු රැකියාවක්

1917 වසර වන විට පළමු ලෝක යුද්ධය ඇවිළ ගොස් තිබුණා. එකල රැකියා සොයමින් සිටි අමෙරිකානු යුවතියන්ට ඉල්ලුම් කළ හැකි  අපූරු රැකියා අවස්ථාවක් පිළිබඳ රට පුරා දැනුම්වත් කිරීමක් සිදුකෙරුණු අතර, දේශප්‍රේමීත්වය පෙරදැරි කර ගත් යුවතියන් බොහෝ යුහුසුළුව මේ සඳහා ඉල්ලුම් කළේ කාරණා දෙකක් නිසා යි. ඒ එම රැකියා අවස්ථාව අමෙරිකානු හමුදාවට සම්බන්ධ එකක් වීම සහ එහි වැටුප සාමාන්‍යයෙන් අමෙරිකානු තරුණියකට එවක ප්‍රදානය කළ ආරම්භක වැටුප මෙන් තුන් ගුණයක් පමණ වූ නිසා යි. රැකියාවට තෝරා ගත් තරුණියන්ට එම රැකියාවේ නිරතවීම සඳහා නිව් ජර්සි ප්‍රාන්තයේ, ඔරේන්ජ් හි පිහිටි විශාල කර්මාන්ත ශාලාවකට වාර්තා කරන්නට සිදුවුණා.

එම රැකියාවට වාර්තා කළ තරුණියන් තවත් තුටු වූයේ තමන්ට නියමිත වැඩ කොටස කිසි ලෙසකින් බරපතල එකක් නොවුණු නිසා යි. ඔවුන්ට පැවරුණු ප්‍රධාන කාර්යය වූයේ අමෙරිකානු හමුදා වෙත යවන බිත්ති ඔරලෝසු, අත් ඔරලෝසු සහ මාලිමා වැනි උපකරණවල මුහුණතේ තීන්ත තැවරීම යි. මෙම ‘තීන්තය’ සාමන්‍ය නොවූ, සිත් ඇදගන්නාසුලු එකක් වූ අතර, එය අඳුරේ ද විදුලි පහනක් මෙන් දිදුළමින් පැවතියා!. මෙම ද්‍රව්‍යය වෙන කිසිවක් නොව එවකට ‘මෑතකදී ‘ සොයාගත් රේඩියම් වූ අතර, මෙය පරිහරණය කිරීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතු බව එවකට ලෝකයා හරිහැටි වටහා ගෙන තිබුණේ නැහැ. මෙම කර්මාන්ත ශාලාව අමෙරිකානු රේඩියම් සමාගමට අයිති එකක් වුණා.

අනතුරකට අත වැනීම

අමෙරිකානු රේඩියම් සමාගමේ කර්මාන්තශාලාවේ සේවය කිරීමට පැමිණි කාන්තාවන් දැනුම්වත් කෙරුණේ ඔවුනට පරිහරණය කරන්නට ලැබෙන ‘ දිදුළන තීන්ත ‘ ඉතා සෞඛ්‍යාරක්ෂිත බව යි. මේ නිසා ඔවුන්ට කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ඉගැන්වීම සිදු නොවූ අතර, ආරක්ෂිත ඇඳුම් ආයිත්තම් කිසිවක් ද ලබා දුන්නේ නැහැ. මේ නිසා ඔවුන් සාමාන්‍ය තීන්තක් සමඟ ක්‍රියා කරන ආකාරයට ම මේ සමඟත් ක්‍රියා කළ අතර, රේඩියම් නිරන්තරයෙන් ඔවුන්ගේ අත් පා වල තැවරුණා. ඔවුනට වඩාත් සියුම් ලෙස තීන්ත ආලේප කිරීම උදෙසා, නිතර ම තම පින්සලේ තුඩ මුවෙහි රුවා, සකසා ගන්නා ලෙස උපදෙස් ලැබී තිබූ අතර මේ හේතුවෙන් රේඩියම් පහසුවෙන් ඔවුන්ගේ ආහාර මාර්ගයට ද ඇතුළු වුණා. 

 රේඩියම් අඩංගු පැරණි ඔරලෝසු – epa.gov

 

මාරි කියුරි හා පියරෙ කියුරි රේඩියම් සොයා ගත් දා පටන්, එයට නිරාවරණය වීමෙන් ඉතා අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බවට නිගමනය කර තිබුණා. මාරි කියුරි පසුකාලීනව මිය යන්නේත් රේඩියම් අධික මාත්‍රාවලින් ශරීරගත වීම නිසා යි. කෙසේ නමුත් මේ කාරණා නිසි ලෙස එකල සමාජයට සම්ප්‍රේෂණය නොවූ අතර, විසිවන සියවසේ මුල් භාගයේ දී මිනිසුන් රේඩියම් අඩංගු දත් බෙහෙත්, බීම වර්ග, ඇඳුම් වර්ග, රූපලාවන්‍ය ද්‍රව්‍ය යුහුසුළු ව භාවිත කළා. නිසියාකාර ව සැකසූ රේඩියම් මිශ්‍රිත තීන්ත, ආලෝකය ඇති විට එහි ශක්තිය උරා ගෙන අඳුරේදී දිදුළන්නට පටන්ගන්නා අතර, එකල එය යම් පමණක ප්‍රාතිහාර්යයක් ලෙස සමහරුන් සැලකුවා. මේ නිසා ම රේඩියම් අඩංගු විවිධ ද්‍රව්‍යවලට ලොව පුරා විශාල ඉල්ලුමක් ද ඇතිවුණා.

රේඩියම්වල භයානක පැත්ත

රේඩියම්වල එකම ස්ථායී සමස්ථානිකය වන්නේ එහි 226 සමස්ථානිකය යි. එහි අර්ධ ජීව කාලය වසර 1600ක් වන අතර නිතර ම නින් ඇල්ෆා කිරණ පිටවීම සිදුවෙනවා. සාමන්‍යයෙන් මෙම ඇල්ෆා කිරණ කුඩා මාත්‍රාවලින් පවතින විට එතරම් හානිදායක නොවන අතර ඒවාට මිනිස් සම සිදුරු කරගෙන යාමට අපහසු  වෙනවා. කෙසේ නමුත් මෙය ශරීරගත වූ විට ශරීර උෂ්ණත්වය නිසා හෝ, ආලෝකයට නිරාවරණය වූ විට, ඉන් නිපදවෙන ශක්තිය උරා ගැනීම නිසා එය යම් ප්‍රමාණයකට ‘සක්‍රීය වීම’ සිදුවෙනවා. මේ නිසා එහි වූ ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම්වලට ගොස්, නැවත පහළ මට්ටමට එන අතර, එලෙස පහළ මට්ටමට පැමිණීමේ දී එහි ප්‍රතිඵලයක් ලෙස ආලෝකයක් නිකුත් වෙනවා. මෙම රේඩියම් මිනිස් ශරීරයකට ඇතුළු වුවහොත් එය කෙමෙන් කෙමෙන් සෛල විකෘති වීම හා, පටක මරණයට පත් කිරීම සිදු කරනවා.

ආස්වාදයේ සැඟවී එන මරුවා

එම කර්මාන්තශාලාවේ සේවයේ නියුතු පුරුෂයන්ට එහි හිමිකරුවන් ඊයම් ඒප්‍රන ලබා දී තිබූ අතර, කාන්තාවන්ට එවැනි කිසිවක් දී තිබුණේ නැහැ. ඔවුනට අනුව කාන්තාවන් සිදු කළේ ඉතා සරල හා පහසු වැඩ කොටසක් එම නිසා ඔවුන්ට ඒප්‍රන සැපයීමක් සිදුකෙරුණේ නැහැ. ඔවුන් තර්ක කළේ පුරුෂයන් රේඩියම් විශාල ප්‍රමාණවලින් හසුරුවන විට කාන්තාවන්ට ඇත්තේ එහි ‘ඉතා කුඩා ප්‍රමාණ සමඟ ඔට්ටු වන්නට’ බව යි. එනයින් ඔවුන්ට ඊයම් ඒප්‍රන ලබා දීම අනවශ්‍ය දෙයක් බවට ඔවුන් තීරණය කර තිබුණා. මීට අමතරව නිතර සිය ශරීරාංග හා ඇඳුම්වල රේඩියම් තැවරීම හේතුවෙන් ඒවා දිළිසීම එම යුවතියන් කුල්මත් කළ අත්දැකීමක් වුණා. 

බලධාරීන් එය හුවා දක්වමින් ඔවුන් ‘දිරිගැන්වීමට’ කටයුතු කළා. ඔවුන් ඒවා සිය මව්පියන්ට හා මිතුරන්ට පැවසුවේ ඉහවහා ගිය සතුටකිනු යි. සමහර කාන්තාවන් සිය හොඳ ම ඇඳුම්වලින් සැරසී කර්මාන්තශාලාවේ සේවයට වාර්තා කළේ සිය ඇඳුම් ආයිත්තම්වලට දිදුළන ස්වභාවයක් ලබා ගැනීම සඳහා යි. සමහර කතුන් සිය හිසකෙස් හා දත් ද මේ අරුම පුදුම ‘තීන්තයෙන්’ පින්තාරු කර ගත්තේ තමන්ට කැපී පෙනෙන පෙනුමක් ලබා ගැනීමට යි. එකල අමෙරිකාව පුරා රේඩියම් අඩංගු රූපලාවන්‍ය නිෂ්පාදනවල පිබිදීමක් තිබීමත් ඊට හේතු වුණා.

1919 වසරේ පළ වූ රේඩියම් අඩංගු රූපලාවන්‍ය නිෂ්පාදනයක් පිළිබඳ දැන්වීමක්- Pegasus Books

 

වසර ගණනකට පසු දැල්වුණු රතු එළි

පළමුවන ලෝක යුද්ධයෙන් පසුවත් එම රේඩියම් කර්මාන්තශාලාවේ කටයුතු අඛණ්ඩව ම සිදු වුණා. වසර ගණනාවක් පුරාවට කිසිදු කරදරයකින් තොර ව එහි වැඩ කටයුතු ඉදිරියට ඇදී ගිය අතර, කාන්තාවන් එහි ඉතා සතුටින් සේවය කළා. පසුකාලීන ව මෙහි මුල් සේවිකාවන් සිය හිතවතියන් හා නෑදෑයන් ද මේ කටයුත්ත සඳහා ගෙන ආ අතර 1920 වසර පසුවන විට එහි යුවතියන් 300ක් පමණ සේවයේ නිරත වුණා.

1922 වසරේ ජනවාරි මස මෙහි සේවයේ නියුතු මොලී මැගියා නම් යුවතියට දන්තාබාධයක් වැලඳුණා. ඇය වෛද්‍යවරයකු වෙත ගිය අතර ඔහු ඇයගේ දතක් ඉවත් කළ යුතු යැයි තීරණය කළා. ඊට සති කිහිපයකට පසු නැවතත් ඇය ඔහු හමුවට පැමිණියේ ඊට යාබද දත ද වේදනා ගෙන දෙන බව පවසමිනු යි. එය ද ඉවත් කරන්නට සිදු වූ අතර විශේෂ ම කාරණාව වූයේ දත් දෙක ඉවත් කිරීම නිසා ඇගේ මුඛයේ ඇති වූ තුවාල දෙක ම සුව නොවීම යි. එම තුවාල ක්‍රමයෙන් වර්ධනය වී පැසවන්නට වූ අතර, මේ හේතුවෙන් තවත් දත් කිහිපයක් ඉවත් කරන්නට සිදු වුණා. එම වසරේ මැයි මාසයේ දී මොලීගේ වෛද්‍යවරයා ඇගේ යටි හනුවේ විශාල සැරව ගෙඩියක් වර්ධනය වන බැව් හඳුනා ගත්තා. 

සැත්කමක් වෙනුවෙන් එම ප්‍රදේශයේ කැපුමක් සිදු කළ ඔහුට පෙනී ගියේ එහි වූ අස්ථිය ගිනි උදුනක ඉතිරි වූ අළු මෙන් කුඩු වී යන බව යි. මොලීගේ සම්පූර්ණ යටි හනුව ම මේ ආකාර වුණා. රේඩියම්වල බලපෑමෙන් ඇගේ සම්පූර්ණ යටි හනුව කැල්සියම් විමුක්ත ව පිදුරු ගොඩක් මෙන් වී තිබුණා. ඉන් මාස කිහිපයකට පසු, එනම් 1922 සැප්තැම්බර් මාසයේ දී මොලී මිය ගියේ මෙම ‘දිරුම’ ඇගේ ග්‍රීවයේ ශිරා වෙත ම පැතිරී, එය පිපිරී ගොස්, විශාල ලේ වහනයක් වී හුස්ම හිරවීම නිසා යි.

 රේඩියම් විෂවීම නිසා යටිහනුවේ ඇතිවන අසාමාන්‍ය තත්ත්වය. මේ අවධියේදී රෝගියා බේරාගැනීම උගහටය- Real Clear Life 

 

මොලීගේ මරණය සිදුවූ කාලය සමගාමී ව රේඩියම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු තවත් යුවතියන් කිහිප දෙනෙක් ම මොලීගේ රෝග ලක්ෂණ ප්‍රකට කළා. තවත් අයකුගේ කොඳු ඇට පෙළ සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වූ අතර, සමේ පිළිකා, ඇසෙහි සුද මතුවීම, උගුරේ පිළිකා වැනි දේ ඔවුන් අතර සුලබ ව පැතිර ගියා. බොහෝ දෙනාට සිය හිසකෙස් හා දත් අහිමි වුණා. මේවා රේඩියම්වලට දීර්ඝකාලීන ව නිරාවරණය වීම නිසා සිදු වූ අතර, බලධාරීන් ද එය අවබෝධ කර නොගත්තා නොවේ. කෙසේ නමුත් ඔවුන් ඒ පිළිබඳ ව මුනිවත රැකි අතර, මොලීගේ මරණය උපදංශය හේතුවෙන් සිදු වූ බව ප්‍රකාශ කළා. 

රේඩියම් යුවතියෝ හඬ නගති

රේඩියම් කර්මාන්ත්ශාලාවේ සේවයේ නිරත වූ සේවිකාවන් බොහෝ දෙනා රෝගීවත් ම ඔවුන්ට යමක් වැරදී ඇති බැව් වැටහී ගියා. විශේෂයෙන් ඒ වන විටත් රේඩියම්වල සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ සැක සංකා මතු වී තිබූ අතර, එය භයානක බැව විද්‍යාඥයන් පවා තේරුම් ගෙන තිබුණා. කෙසේ නමුත් එය ප්‍රායෝගික ව අත්දකින්න්නට ඔවුන් අපොහොසත් වී තිබූ නිසා, රෝග ලක්ෂණ පිළිබඳ විධිමත් දැනුමක් ඔවුනට තිබුණේ නැහැ. 

කර්මාන්තශාලාවේ ප්‍රධානියා මීට වසර කිහිපයකට පෙර රේඩියම් පිළිබඳ ශක්‍යතා වාර්තාවක් සකස් කර තිබූ අතර, එහි දැක්වුණේ සුළු මාත්‍රාවලට නිරාවරණය වීම සෞඛ්‍ය ගැටලු ඇති නොකරන බව යි. කෙසේ නමුත් ඉක්මනින් ම එකතු වූ රේඩියම් යුවතියන් නීතියේ පිහිට පැතුවා. මේ අනුව 1924 වසරේදී එම කර්මාන්තශාලාව හා සබැඳි ස්වාධීන පර්යේෂණයක් සිදු කෙරුණු අතර එහිදී හෙළි වූයේ මෙම යුවතියන් මාරාන්තික මට්ටමේ රේඩියම් මාත්‍රාවලට නිරාවරණය වන බව යි. ඒ සමගාමීව ම, මුදල් විසි කර කර්මාන්තශාලා අයිතිකරුවන් තවත් පරීක්ෂණයක් සිදු කර, තමන්ට වාසි වන ලෙස වාර්තාවක් ලබා ගත්තා. ඒ නිසා ඉහත පර්යේෂණයේ ප්‍රතිඵල යට ගසන්නට ඔවුනට හැකි වුණා.

ස්වාධීන පර්යේෂණයක්

1925 වසරේදී අමෙරිකානු විද්‍යාඥ හැරිසන් මාට්ලන්ඩ් ස්වාධීන පර්යේෂණයක් රේඩියම් සඳහා සිදු කළ අතර එහිදී රේඩියම්වල භයානක බව හඳුනා ගැනීමත් සමඟ ඔහු ඔරේන්ජ් හි රේඩියම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු කාන්තාවන් වෙනුවෙන් හඬ නගන්නට පටන් ගත්තා. ඔහු විශේෂයෙන් මොලී මැගියා මිය ගියේ රේඩියම් විස වීමෙන් විනා උපදංශයෙන් නොවන බැව් ඔහු වෛද්‍යවරුන්ගේ සහායෙන් ශපථ කර ගත්තා. ඔහු ඒත් සමඟ මොලී මැගියාගේ සිද්ධිය නැවත කරළියට ගෙන ආ අතර තවත් එවැනි සිද්ධි කීපයකට එරෙහි ව නඩු පැවරීමට කටයුතු කළා. මේ නඩු අභිමුඛව රේඩියම් සමාගම අඩපණ ව ගියා.

 පසුකාලීනව රේඩියම් යුවතියන් තමන්ට වූ අසාධාරණයට එරෙහිව එක් වුණා- Imgur 

 

සතුටුදායක හා අසතුටුදායක ප්‍රවෘත්ති

මාට්ලන්ඩ්ගේ ප්‍රබල ක්‍රියාකාරීත්වය හමුවේ රේඩියම් කර්මාන්තශාලාව වැසී ගිය ද, ඒවන විටත් එහි සේවය කළ කාන්තාවන්ට විශාල හානි සිදුව තිබුණා. සමහරක් දෙනා විවිධ හේතු නිසා තරුණ කාලයේදී ම මියගිය අතර, අනෙක් බොහෝ දෙනාට දරුණු අස්ථි ආබාධ ඇති වී තිබුණා. තවත් සමහරෙක් දන්තාබාධ හා පිළිකාවලින් පෙළුණා. නඩු විභාග සමහරකින් යුවතියන් ජය ලැබූ අතර, ඔවුන් සමහරකට වන්දි ප්‍රදානය කෙරුණා. තවත් සමහරකට කිසිදු සහනයක් ලැබුණේ නැහැ. මෙම රේඩියම් යුවතියන්ගෙන් ඉතා අතළොස්සක් දීර්ඝ ජීවිතයක් ලැබීමට වාසනාවන්ත වූ අතර, ඔවුන්ගෙන් අවසානයට ජීවත් වූ ඔලිම්පියා හි මේබල් විලියම්ස් 2015 වසරේ දී මියගියා. ඒ වන විට ඇය 104 වියැති වුණා. ඇය රේඩියම් කර්මාන්තශාලාවේ සේවය කර තිබුණේ 16 වියේ සිටයි.

මාට්ලන්ඩ්ගේ පර්යේෂණ නිසා රේඩියම් ඇතුළු විකිරණශීලී මූලද්‍රව්‍යවල භයානක බව හා, කෙතරම් ආරක්ෂාකාරීව හැසිරවිය යුතු දැයි ලෝකයාට අවබෝධ වුණා. ඔවුන් වඩාත් ආරක්ෂාකාරී ව ඒවා හැසිරැවීමට ඉගෙන ගත් අතර, බොහෝ හොඳ දේ මෙන් ම නරක දේ ද මේ නිසා සිදු වුණා. විකිරණශීලී මූලද්‍රව්‍ය යොදා ගෙන එක් පසෙකින් මානව ප්‍රතිකාර විධික්‍රම නිපදවෙද්දී, තවත් පසෙකින් පරමාණු බෝම්බ පවා නිපදවුණා. 

කවරයේ ඡායාරූපය- ඔරලෝසුවක් රේඩියම් වලින් පින්තාරු කරන යුවතියක්- Wikimedia Commons 

මූලාශ්‍ර:

Allthatsinteresting.com

Britannica.com

Nzherald.co.nz

Related Articles