Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවමත් නොවිසඳුණු අතුරුදහන් වීම් -1 : එමානුවෙලා ඔලන්ඩි

අමෙරිකා එක්සත් ජනපදයෙහි පමණක් ‘අතුරුදහන් වූවන්’ ලෙස වසරකට අනූ දහසක් (90,000) පමණ පිරිසකගේ නම් සඳහන් වන බවට වාර්තාවල සඳහන් ව තිබෙනවා. මින් බොහොමයක් ඉතා ඉක්මනින් විසඳෙනවා. තවත් අතුරුදහන්වීම් සදාකාලික අබිරහස් ලෙස රැඳී තිබෙන්නේ එලෙස අතුරුදහන් වූවන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයාගත නොහැකි පරිද්දෙනු යි.

මෙලෙස කාලයක් පුරාවට කිසිදු ආරංචියක් නොමැති ව පවතින විට, එලෙස අතුරුදන් වූවන් පිළිබඳ මතක බොහෝ අවස්ථාවල දී ඔවුන්ගේ සමීපතමයන්ගේ මතකයෙන් පවා ඈත් වෙද්දී, සුළුතරයක් එවැනි සිද්ධීන් ‘විසඳාගත නොහැකි උභතෝකෝටික’ ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වී තිබෙනවා. මේ ලිපි පෙළ වෙන් වන්නේ එවැනි සිද්ධි කිහිපයක් පිළිබඳ සවිස්තර තොරතුරු ඔබ වෙත ගෙන එන්නට යි.

වතිකානයේදී සිදු වූ අතුරුදන් වීමක්

1983 වසරේ ජූනි මස එක් දිනක දී, එවකට 15 වැනි වියෙහි පසු වූ එමානුවෙලා ඔලන්ඩි නම් නව යොවුන් දැරිය වතිකානයේ මධ්‍යම පෙදෙසේ දී හදිසියේ ම අතුරුදහන් වන්නේ, සංගීත පංතියකට සහභාගී වෙමින් සිටියදී යි. වතිකානයේ සේවයේ නියුතු වූවකුගේ දියණියක වූ ඇය නිතර ම මධ්‍යම වතිකානයට පැමිණීමට මෙන් ම, දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ බැහැදකින්නටත් ආසා කළා.

ඇගේ සොයුරා පවසන පරිදි වතිකානයේ සිටි ඔවුන්ගේ පවුල සහ තදාසන්න ව පදිංචි වී සිටි තවත් පවුල් පහ හයක් ඉතා සමීප ලෙස ආශ්‍රය කොට තිබෙනවා. මේ නිසා ඔලන්ඩි පිළිබඳ මෙම පවුල් කිහිපය ම ඇස ගසා ගෙන සිටියා. කිසිවකුගේ ඇස නොගැටී, කිසිවකුට එක් වර ම නොහැඟෙන පරිදි, ඇය අතුරුදහන් වන්නේ මෙවැනි අවධානයක් ඇය වෙත යොමු ව තිබූ පරිසරයක වීම සුවිශේෂී යි.

 

1983 වසරේ ජුනි මස 22වැනි දා සිදු වූ ඔලන්ඩිගේ අතුරුදහන් වීම පිළිබඳ එවකට විවිධාකාරයේ මත පැන නැඟුණා. ඇගේ අතුරුදහන් වීම පිටුපස ඉතාලි මාෆියාව ඇති බැව් අයෙක් පවසද්දී තවත් අයෙක් පැවසුවේ කිසිවෙක් ඇය ලිංගික ශ්‍රමික වෘත්තියේ යෙදවීම සඳහා පැහැර ගන්නට ඇති බව යි. මේ අතර තවත් සුළුතරයක් ජීවිත පරිත්‍යාගය, සාතන්ගේ බැල්ම වැටීම වැනි මතත් ගෙන එන්නට වුණා.

 එමානුවෙලා ඔලන්ඩි කුඩා කාලයේ – cnn.com 

ඇසින් දුටු එක ම සාක්ෂිය

ඔලන්ඩි අවසන් වරට දුටු දින, ඇය සහභාගී වූ සංගීත පන්තිය අවසන සිය සොයුරිය අමතා ප්‍රකාශ කර තිබුණේ ‘ඇවොන් කොස්මැටික්ස්’ නම් ආයතනයේ කිසිවෙක් තමන් හමු වී, තමන්ට රැකියාවක් ලබා දීමට කැමැත්ත පළ කළ බව යි. ඇය එදින නිවසට නොපැමිණි අතර, ඇගේ මාපියන් අදාළ සංගීත පන්තියේ ගුරුවරියට හා පොලිසියට මේ පිළිබඳ දැනුම් දුන්නා. මූලික පර්යේෂණ අවසන ඇය පිළිබඳ තොරතුරු කිසිවක් සොයා ගත නොහැකි වූයෙන් ඇය අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කෙරුණා.

ඔලන්ඩි පිළිබඳව ඇසින් දුටු සාක්ෂියක් ලෙස සනිටුහන් ව තිබුණේ එකම එක සාක්ෂියක් පමණ යි. ඇගේ රූප ස්වභාවයට සමාන අයෙක් සංගීත පන්තියේ සිට, එදින රාත්‍රියේදී කොළ පැහැති බී.එම්.ඩබ්ලිව් රථයකකට නඟිනු අසල සිටි අයකු දැක තිබූ අතර, ඒ ඔස්සේ පර්යේෂණ සිදු කළ ද කිසිදු තොරතුරක් සොයා ගන්නට පොලිසිය අපොහොසත් වෙනවා.

ඔලන්ඩිගේ අතුරුදහන් වීම ලොව පුර ප්‍රසිද්ධ වීමත් සමඟ ඇගේ මාපියන්ට විවිධාකාරයේ දුරකථන ඇමතුම් ගලා එන්නට පටන් ගත්තා. මේ අතර කිසිවෙක් පවසා තිබුණේ දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ ඝාතනය කරන්නට උත්සාහ දරා, එවකට සිරබත් කමින් සිටි මෙහෙමත් අලි අග්කා නම් තුර්කි ජතිකයා නිදහස් කරන්නට ක්‍රියා කරන්නේ නම් ඇය නැවත ඔවුන් වෙත එවීමට කටයුතු සලස්වන බව යි. මේ පිළිබඳ සොයා බැලීමේ දී, එහි කිසිදු සත්‍යතාවක් නොමැති බැව් ඔප්පු වුණා.

 මෙහෙමත් අලි අග්කා- sspx.ca 

 

කාලය ගත වීමේදී ඔලන්ඩිගේ අතුරුදහන් වීම පිළිබඳ ව තවත් මතයක් සමාජගත වුණා. එනම් රෝමය සිය නිජ භූමිය කරගත් බැන්ඩා ඩෙලා මැගලියානා නම් සංවිධානයක් ඇය පැහැරගෙන ගොස් ඇති බව යි. තමන් වෙත වතිකානයෙන් ලැබිය යුතු යම්කිසි මුදලක් ලබා ගැනීමට බල කිරීම සඳහා මෙලෙස ඇය පැහැරගෙන ගොස් ඇති බවට අනුමාන කෙරුණු අතර, එහි එවකට සිටි  නායකයා වන එන් රිකෝ ඩෙ පෙඩිස් ගේ පෙම්වතිය පසුකාලීන ව පවසා සිටියේ ඔවුන් විස් ඔලන්ඩි පැහැරගෙන ගොස් ඝාතනය කළ බව යි. කෙසේ නමුත් පර්යේෂණ රාශියකින් පසු, ඇගේ එම ප්‍රකාශය අසත්‍යයක් බැව් බොහෝ සෙයින් තහවුරු වුණා.

නිශ්චිත සාධනීයත්වයන් නොමැතිව ඉදිරියට ඇදී යන පර්යේෂණ

වර්තමානය වන විටත් ඔලන්ඩිගේ අතුරුදහන් වීම පිළිබඳ විවිධාකාරයේ මත සමාජගත වෙනවා. කෙසේ නමුත් ඒ බහුතරය හුදු ප්‍රලාප බවට පොලිසිය තීරණය කොට ඒවා බැහැර කරනවා. ඔවුනට අනුව බොහෝකොට ම සිදුවිය හැක්කේ, ඉතාලියේ ඉතා ඉහළ දේශපාලනඥයන් සමඟ සම්බන්ධතා ඇති කණ්ඩායමක් ඇය පැහැරගෙන ගොස් ලිංගික ශ්‍රමික වෘත්තියේ යොදවන්නට ඇති බව යි. ඇය සෙවීම සඳහා පාප් වහන්සේ අනුයුක්ත කළ ගාබ්‍රියල් අමෝත් පියතුමන් අවසන තීරණය කර තිබුණේ ද ඇය ලිංගික ශ්‍රමික වෘත්තියේ බලහත්කාරයෙන් යොදවන්නට ඇති බව යි.

 එමානුවෙලා ඔලන්ඩි අතුරුදන් වීමට කෙටි කලකට පෙර – AP 

 

අමෝත් පියතුමන්ට අනුව ඉතාලිය හා වතිකානය කේන්ද්‍රකොටගෙන ඉතා සංවිධානාත්මක පාතාල කල්ලි ක්‍රියාත්මක වන අතර, ඔවුන් මෙහෙයවන්නේ විදේශයන් හි ජීවත් වන , ඉතා ධනවත් හා බලවත් හස්තයක් හෝ හස්ත යි. මෙය අදාළ පෙදෙස් වටා ඉතා ශක්තිමත් ලෙස ක්‍රියාත්මක වන අතර, අවස්ථාව ලද විගස ඔලන්ඩි වැනි සුරූපී, නව යොවුන් තරුණියන් සිය ආධිපත්‍යයට නම්මා ගන්නට ඔවුන් සමත්කම් දක්වනවා.

පියතුමන්ට අනුව මේ වන විටත් ඇය ජීවතුන් අතර සිටීමේ සම්භාවිතාවක් ඇති බැව් ප්‍රකාශ කෙරුණත් දූෂමාන ලෙස හෝ ඇය පිළිබඳ නව තොරතුරක් අදට ද සමාජගත නොවූයේ එම මතයෙහි ශක්තිය ද යම් පමණකට හීන කරමිනු යි.

 සිය සොයුරිය වෙනුවෙන් යුක්තිය සොයා අදටත් වීදි බසින එමානුවෙලා ඔලන්ඩිගේ සොයුරු  පියෙත්‍රෝ- Matteo Nardone/Zuma Press/PA Images 

 

නවත ම තත්ත්වය

2019 වසරේදී වතිකානයට ලැබුණු විශ්වාසනීය තොරතුරක් අනුව එමානුවෙලා ඔලන්ඩි මිය යාමෙන් අනතුරු ව වතිකානයේ සුසාන භූමියක වළ දමා තිබෙනවා. කෙසේ නමුත් එය තහවුරු කෙරෙන සාක්ෂියක් ද මේ වන විටත් හමු වී නැහැ. ඇගේ පවුලේ උදවිය, ඇය සෙවීමේ පර්යේෂණ කටයුතු නවමු ලෙස අරඹන ලෙසට බල කරමින් අදාළ බලධාරීන්ට පෙනෙන පරිදි විරෝධතා පවා සැලසුම් කළ ද අද වන විටත් ඒවා සාර්ථක වී නැහැ.

එමානුවෙලා ඔලන්ඩිට සිදුවූයේ කුමක්ද? සැබෑ ලෙස ම පිළිතුර දන්නේ ඇය ම පමණ යි.

කවරයේ පින්තූරය - එමානුවෙලා ඔලැන්ඩි සොයා දෙන ලෙස පා ගමන් යන ඥාතීන්- Reuters

මූලාශ්‍ර:

Allthatsinteresting.com

Wantedinrome.com

Abcnews.go.com

Related Articles