Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හෙන්රි ඒවරි නම් මුහුදු කොල්ලකරුවාගේ කතාව

17 වන සියවසේ මැද භාගය වන විට යුරෝපීයයන් දේශ ගවේෂණයේ නිරතවෙමින් සිටියා. එදා ඔවුන්  අත්ලාන්තික්, පැසිෆික් සහ ඉන්දියන් සාගර කලාපවල වැඩිපුර සැරිසැරුවේ නව රටවල් සොයාගැනීමේ අරමුණෙන්. ඒ අයුරින් දේශ ගවේෂණ කටයුතුවල නිරත වුණු නාවිකයන්ට ඇතැම් සාගර කලාපවල දී අමිහිරි අත්දැකීම්වලට මුහුණදීමට සිදුවුණා. ඒ කුණාටුවලට ගොදුරුවීම සහ මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවීම යි. ඒවා අතුරින් වඩාත් භයානක වුණේ අනුකම්පා විරහිත අයුරින් එල්ල වුණු මුහුදු කොල්ලකරුවන්ගේ  ප්‍රහාර යි.

එම අවධියේ දී නාවිකයන් භීතියට පත් කළ මුහුදු කොල්ලකරුවන් අතර හෙන්රි මෝගන්, බ්ලැක් බාට්, හෙන්රි ඒවරි, එඩ්වඩ් ටීක් වැනි උදවිය ඉදිරියෙන් ම සිටියා. ඒ අතුරින් හෙන්රි මෝගන් සහ බ්ලැක් බාට් පිළිබඳ මීට පෙර අපි කතා කළා. එනිසා මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ අත්ලාන්තික් සහ ඉන්දියන් සාගර කලාප භීතියට පත් කළ හෙන්රි ඒවරි නම් මුහුදු කොල්ලකරුවාගේ කතාව යි. 

උපත සහ ජීවිතයේ මුල් යුගය 

1659 අගෝස්තු 20 වැනිදා එංගලන්තයේ නිව්ටන් ෆෙරර්ස් හි දී හෙන්රි ඒවරි උපත ලැබුවා. ඔහුගේ පියා වුණු ජෝන් ඒවරි උසස් පවුලකින් පැවත ආ පුද්ගලයෙක්. එනිසා කුඩා හෙන්රිට ළමා කාලයේ සිට ඉහළ සමාජ තලයක ජීවත් වීමට අවස්ථාව ලැබුණා. හෙන්රිගේ සමීපත ම ඥාතීන් කිහිප දෙනෙක් එම අවධියේ දී දේශ ගවේෂණ කටයුතුවල නිරත වුණා.

ඔවුන් හෙන්රිගේ නිවසට ආ ගිය අවස්ථාවල දේශ ගවේෂණ චාරිකා පිළිබඳ තොරතුරු කතා කළා. කුඩා හෙන්රි මහත් ආසාවෙන් එම ත්‍රාසජනක කතා අසාගෙන සිටියා. එම කතා ඇසීමෙන් පසුව ඔහු නාවිකයකු වීමට සිහින දුටුවා. එනිසා ඔහු වඩාත් උනන්දුවෙන් දේශ ගවේෂණය පිළිබඳ ව වැඩිදුර අධ්‍යයනය කරන්නට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් යොවුන් වියට එළඹෙද්දී නාවිකයකු වීමට අවශ්‍ය වුණු මූලික සුදුසුකම් ඔහු සපුරා සිටියා. 

රාජකීය නාවික හමුදාවට එක් වීම 

හෙන්රි 1670 දශකයේ මැද භාගයේ දී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට එකතු වුණා. එම කාලයේ බ්‍රිතාන්‍ය නාවික හමුදා භට කණ්ඩායම් යටත් විජිත රටවල්වල සේවය සඳහා අනුයුක්ත කළා. තවත් සමහර භට කණ්ඩායම් දේශ ගවේෂණ කටයුතු සඳහා සම්බන්ධ වුණා. එහි දී ඔවුන්ට නිතර ම සතුරු රටවල් සමඟ සටන් කිරීමට සිදුවුණා.

එසේ සේවයේ යොදවා සිටි නාවික හමුදා භට කණ්ඩායම් මඟින් වැඩි රටවල් ප්‍රමාණයක් යටත් කර ගැනීම බ්‍රිතාන්‍ය රජයේ අරමුණ වුණා. යොවුන් වියේ දීම නාවික හමුදාවට එකතු වුණු හෙන්රි මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වුණා. හෙන්රිගේ නිර්භීත බව නිසා වැඩි කලක් යන්නට පෙර තනතුරෙන් ඉහළට යාමට හැකි වුණා. 

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් නෞකා- fournationshistory.wordpress.com

 

තීරණාත්මක වසර 10ක් 

1680-1690 කාලය හෙන්රිගේ ජීවිතයේ ස්වර්ණමය යුගය බවට පත්වුණා. එම කාලයේ දී ඔහු  පැවරුණු වගකීම් නිසි අයුරින් ඉටු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉහළ නිලධාරින් ඔහු කෙරෙහි විශ්වාසය තබන්නට පටන් ගත්තා. එනිසා ඔහුට මහා පරිමාණයේ මෙහෙයුම් සඳහා එක් වීමට අවස්ථාව හිමිවුණා. එමඟින් හෙන්රිට තවත් අත්දැකීම් ලබා ගත්තා. ඔහුට තත්ත්වයෙන් ඉහළට යාමටත් හැකි වුණා.

එම කාලය වන විට බොහෝ වෙළෙඳුන් නීති විරෝධී වහල් වෙළෙඳාමෙන් විශාල ධනයක් උපයා ගත්තා. එදා හෙන්රිට ද එවැනි වෙළෙඳුන් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණා. ඔවුන් වහල් වෙළෙඳාමෙන් ලබන ලාභය දැක හෙන්රි පුදුමයට පත් වුණා. එසේ කාලය ගෙවී යද්දී ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය අතර බීචි හෙඩ් නමින් මහා සටනක් ඇති වුණා. 1690 දී ඇති වුණු එම සටනට හෙන්රි ද සම්බන්ධ වුණා. එදා ප්‍රංශ හමුදා ප්‍රහාර හමුවේ ඉංග්‍රීසී සේනාව දැවැන්ත පරාජයක් ලැබුවා.

බීචි හෙඩ් සටන – prints.rmg.co.uk

 

නීති විරෝධී වහල් වෙළෙඳාමට සම්බන්ධ වීම 

බීචි හෙඩ් සටන පරාජයට පත්වීමෙන් පසු එම මෙහෙයුම සඳහා සම්බන්ධ වුණු නාවික හමුදා භට පිරිස්වලට විවිධ චෝදනා එල්ල වුණා. ඒ පිළිබඳ ඇති වුණු කලකිරීම නිසා හෙන්රි රාජකීය නාවික හමුදාවෙන් ඉවත් වීමට තීරණය කළා. ඉන් පසු ඔහුට ජීවත් වීම සඳහා යහමින් මුදල් අවශ්‍ය වුණා. ඒ වන විට පහසුවෙන් ම මුදල් සොයා ගැනීමට තිබුණු හොඳ ම මාර්ගය වුණේ නීති විරෝධී වහල් වෙළෙඳාම යි.

ඔහු නාවික හමුදාවේ රාජකාරි කළ කාලයේ වහල් වෙළෙඳාමේ නිරත ව සිටි බොහෝ වෙළෙන්ඳන් හඳුනාගෙන සිටියා. එනිසා එම වෙළෙඳුන් හමු වී කතා කිරීමට හෙන්රි තීරණය කළා. එම කතාබහෙන් පසු හෙන්රිට එක්තරා නැවක රැකියාවක් ලැබුණා. එම නැව අප්‍රිකාවේ සිට විවිධ රටවල්වලට නීතිවිරෝධී අයුරින් වහලුන් රැගෙන ගියා. නාවිකයකු ලෙස හෙන්රි පෙන්වා තිබුණු ඉහළ දස්කම් නිසා එම රැකියාව හිමි වුණා.

අතීතයේ දී වහල් වෙළෙඳාම සිදුවුණු ආකාරය – History.com

 

යළිත් යුද නැවක සේවයට 

1690-1692 කාලයේ හෙන්රි නීති විරෝධී වහල් වෙළෙඳාමට සම්බන්ධ වී සිටියා. එමඟින් ඔහුට සැලකිය යුතු තරම් ආදායමක් ලැබුණා. නමුත් එම රැකියාවේ තිබුණු ඒකාකාරී බව නිසා එයින් ඉවත් වීමට හෙන්රි තීරණය කළා. ඉන් අනතුරුව ඔහු යුද නැවකට සම්බන්ධ වීමට උත්සාහයක යෙදුණා. එම අවධිය වන විට ස්පාඤ්ඤය සහ බ්‍රිතාන්‍ය එකතු වී කැරිබියන් දූපත් ආශ්‍රිත ව සැරිසැරූ ප්‍රංශ නැව් විනාශ කරමින් සිටියා.

ඒ සඳහා සම්බන්ධ වුණු යුද නැව්වලට සේවකයන් අවශ්‍ය වුණා. එදා හෙන්රි ද එවැනි යුද නැවක සේවයට බැඳීම සඳහා අයදුම් කළා. ඔහු දශකයකට අධික කාලයක් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ සේවය කළ නිසා කිසිදු අපහසුවකින් තොරව රැකියාවක් සොයා ගැනීමට හැකි වුණා. ඔහු සේවය කළ චාල්ස් 2 නම් යුද නෞකාව 1693 අගෝස්තුවේ දී බ්‍රිතාන්‍යයෙන් ගමන්  ආරම්භ කළා.

යුද නෞකාවේ ඇති වුණු කැරැල්ල 

ඒ අයුරින් ගමන් ආරම්භ කළ නෞකාව කුණාටු රැසකට හසු වුණා. එනිසා චාල්ස් 2 නෞකාවට 1694 මැයි මාසය වන විටත් අදාළ ගමනාන්තය වෙත ළඟා වීමට හැකිවුණේ නැහැ. එම ප්‍රමාදය හේතුවෙන් නෞකාවේ සේවකයන්‍ට මාස 6ක වැටුප් ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් නෞකාවේ ඉහළ නිලධාරින් සහ සේවකයන් අතර ගැටුමක් නිර්මාණය වුණා.

නෞකාවේ  සේවකයන් වැටුප් ඉල්ලා දිගින් දිගට ම කරදර කිරීම නිසා නෞකාව තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. අවසානයේ දී නෞකාවේ සේවකයන් එහි ප්‍රධානීන්ට එරෙහි ව කැරැල්ලක් ආරම්භ කිරීමට තීරණය කළා. 1694 මැයි 7 වැනිදා රාත්‍රියේ ආරම්භ කළ එම කැරැල්ල සඳහා හෙන්රි නායකත්වය ලබා දුන්නා.

කොල්ලකරුවන්ට අසු වුණු චාල්ස් 2 නෞකාව – reddit.com

 

මුහුදු කොල්ලකරුවෙක් බවට පත්වීම

එදා හෙන්රි ඇතුළු පිරිස ආරම්භ කළ කැරැල්ල හමුවේ පසු බැස ගිය නෞකාවේ ඉහළ නිලධාරින් හොර රහසේ ම පැන ගොස් ජීවිත බේරා ගත්තා. ඉන් පසුව හෙන්රි නෞකාවේ ප්‍රධානියා බවට පත් වුණා. ඒ වන විට 80ක පමණ පිරිසක් නෞකාවේ රැඳී සිටියා. එම පිරිසත් එකතු කරගෙන වෙළෙඳ නෞකා කොල්ලකමින් විශාල ධනයක් උපයාගත හැකි බව හෙන්රිට අවබෝධ වුණා.

ඔහු සිය අදහස සේවක පිරිසට පවසා සිටියා. ඒ වන විට අන්ත දිළින්දන් බවට පත්ව සිටි එම සේවක පිරිස හෙන්රිගේ යෝජනාවට එක පයින් කැමති වුණා. ඉන් අනතුරුව හෙන්රි එම නෞකාවේ නම ෆැන්සි ලෙස වෙනස් කළා. එදා හෙන්රි ඇතුළු පිරිස අත්ලාන්තික් මුහුදු කලාපයේ ස්ථානගත වෙමින් නැව් කොල්ලකෑම සඳහා මාන බලමින් සිටියා.

හෙන්රි ඒවරි- history.com

 

එක දිගට කොල්ලකෑම් පෙළක් 

1694 ජූනි මාසයේ දී කේප්වර්ඩේ දුපත අසල ස්ථානගත ව සිටි හෙන්රි ඇතුළු පිරිස බාබඩෝස් සිට පැමිණි කුඩා බ්‍රිතාන්‍ය නෞකාවක් කොල්ලකෑවා. එහි සිටි කිහිපදෙනෙක් ඔවුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගැනීමට ද හැකි වුණා. හෙන්රි ඇතුළු පිරිස ගිනියා වෙරළ බලා ඉන් පසුව යාත්‍රා කළා. එදා හෙන්රි ඇතුළු පිරිස ගිනියා වෙරළට ගොඩ බැසීමෙන් පසුව ධනවත් වෙළෙඳුන් සේ හැසිරුණා.

එයට රැවටුණු ගිනියාවේ ස්වදේශිය ගෝත්‍රික ප්‍රධානීන් වෙළෙඳාම් කිරීම සඳහා ෆැන්සි නැවට ගොඩ වුණා. ඒ මොහොතේ වහා ක්‍රියාත්මක වුණු හෙන්රි ඇතුළු පිරිස ඔවුන්ගේ සියලු ම ධනය පැහැරගෙන වහල් සේවය සඳහා යොදා ගත්තා. ඉන් නොනැවතුණු මෙම කොල්ලකරුවන් පිරිස 1694 ඔක්තෝබරයේ දී ඩෙන්මාක් නෞකාවක් අල්ලාගෙන එහි තිබුණු සියලු ම වස්තුව සොරා ගෙන 17 දෙනෙක් සිය නෞකාවේ සේවය සඳහා බඳවා ගත්තා. 

හෙන්රි ඒවරි භාවිත කළ ධජය – flagsonline.com

 

 ඒවරිගේ බලය තව තවත් වැඩි වෙයි 

මුහුදු කොල්ලකෑම් වඩාත් හොඳින් සිදු කිරීම සඳහා නෞකාවේ වේගය තවත් වැඩි කරගත යුතු බව හෙන්රිට අවබෝධ වුණා. එනිසා ඔහු ෆැන්සි නෞකාව බෙනින් හි වරායක නැංගුරම් ලා අලුත්වැඩියා කළා. එම අලුත්වැඩියාවේ දී නෞකාවේ තට්ටු කිහිපයක් ඉවත් කිරීම මඟින් එහි වේගය වැඩි කළා.. ඉන් අනතුරුව අත්ලාන්තික් සාගරයේ යාත්‍රා කළ වේගවත් ම නෞකාව බවට පත්වුණු ෆැන්සි 1695 පෙබරවාරි මාසයේ දී මැඩගස්කරය වෙත ළඟා වුණා.

එම ගමන අතරතුර තවත් ප්‍රංශ නෞකාවක් කොල්ල කෑ හෙන්රි ඇතුළු පිරිස සිය ධනය මෙන් ම බලය තවත් වැඩි කර ගත්තා. මැඩගස්කරය අසල පිහිටා තිබෙන කොමරෝස් දූපත එකල මුහුදු කොල්ලකරුවන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබුණා. එදා එහි ගිය හෙන්රි ඇතුළු පිරිස සිය කණ්ඩායම සඳහා තව තවත් පිරිස බඳවා ගත්තා. එම බඳවාගැනීම්වලින් පසුව හෙන්රිගේ කල්ලියේ සාමාජිකයන් ප්‍රමාණය 150 ඉක්මවා ගියා. ඒ වන විට පිරිස් බලයෙන් සහ ආයුධ බලයෙන් සන්නද්ධ වී සිටි හෙන්රි බලවත් මුහුදු කොල්ලකරුවෙක් ලෙසින් වැජඹුණා.

මුහුදු කොල්ලකරුවන් පිරිසක් – gettyimages.com

මෝගල් අධිරාජ්‍යයාගේ ධනය කොල්ල කෑම 

1695 වසරේ අග භාගය වන විට හෙන්රි ඇතුළු පිරිස ඉන්දියන් සාගරයේ ස්ථානගත ව සිටියා. ඒ සෑම වසරක් අවසානයේ ම මක්කම වන්දනාවේ ගිය ඖරංසෙබ් මෝගල් අධිරාජ්‍යයාට අයත් නැව් පෙළට පහරදීම සඳහා යි. එම නෞකාවල යහමින් ධනය තිබුණු නිසා ඒවා කොල්ලකෑම හෙන්රි ඇතුළු පිරිසේ අරමුණ වුණා. එදා මනාව කොල්ලය සැලසුම් කළ හෙන්රි ඇතුළු පිරිස මෝගල් නෞකා පෙළ එන තුරු සැඟවී බලා සිටියා.

ඉන් පසුව එහි පැමිණි නෞකා පෙළට පහර දුන් හෙන්රි ඇතුළු පිරිස මහා ධනස්කන්යධක් අත්පත් කර ගත්තා. එහි දී ඔවුන් අල්ලාගත් ගන්හ්-ඉ-සවායි නම් ප්‍රධාන නෞකාවේ පමණක් පවුම් 600,000, රන් සහ රිදී කැබලි 500,000, මුතු මැණික් ඇතුළු වස්තු සම්භාරයක් තිබුණු බව පැරණි වාර්තාවල ලියැවී තිබෙනවා. එලෙස කොල්ලකෑ වස්තුව බෙදා ගැනීමෙන් පසුව ෆැන්සි නෞකාවේ පහළ මට්ටමේ  සේවකයන්ට පවා පවුම් 1000ක මුදලක් හිමිවුණා. 

කොල්ලයේ පසු විපාක 

මෝගල් අධිරාජ්‍යයාගේ වස්තුව කොල්ලකෑමෙන් පසුව සමහර උදවිය කොල්ල කල්ලියෙන් ඉවත් වුණා. හෙන්රි ඉන් පසු ඉතිරි වුණු පිරිස ද රැගෙන බහාමාස් බලා යාත්‍රා කළා. එම ගමන අතරතුර වහලුන් මිලට ගෙන සිය පිරිස් බලය වැඩි කරගැනීමට ද හෙන්රි අමතක කළේ නැහැ. බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම මෝගල් අධිරාජ්‍යයාගෙ නැව් ආරක්ෂා කරදීමට පොරොන්දු වී සිටියා.

එම පොරොන්දුව නිසි පරිදි ඉටු නොවුණු නිසා එම සමාගමෙන් අධිරාජ්‍යයා වෙත පවුම් 600,000ක වන්දියක් ලබා දුන්නා. එම මහා කොල්ලය නිසා මෝගල් අධිරාජ්‍යයා සහ බ්‍රිතාන්‍ය අතර තිබුණු හොඳ හිත පළුදු වුණා. එය පෙරදිග වෙළෙඳ කටයුතු සිදු කර ගෙන යාම සඳහා බාධාවක් බව බ්‍රිතාන්‍යයන්ට අවබෝධ වුණා. එනිසා හෙන්රි ඇතුළු පිරිස අල්ලා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය මෙහෙයුම් ආරම්භ කළා.  

ඖරංසෙබ් මෝගල් අධිරාජ්‍යයා – wonders-of-the-world.net

 

කොල්ල කල්ලිය බිඳ වැටීම 

 බ්‍රිතාන්‍ය නාවික හමුදා කණ්ඩායම් කැරිබියන් දූපත් ආශ්‍රිත ප්‍රදේශය පුරා සැරිසරමින් හෙන්රි ඇතුළු පිරිස සොයන්නට වුණා. ඔවුන් පිළිබඳ ඔත්තුවක් ලබා දෙන කෙනකුට පවුම් 1000ක තෑගි මුදලක් ලබා දෙන බව නිවේදනය කළා. එය ඇසීමෙන් කලබලයට පත්වුණු හෙන්රි ඇතුළු පිරිස හොර රහසේ ම එම ප්‍රදේශයෙන් පලා ගියා. එහි දී ඇතැම් කොල්ලකරුවන් අප්‍රිකාවට පලා යද්දී තවත් සමහර කොල්ලකරුවන් යුරෝපයට පලා ගියා. එනිසා හෙන්රි ඒවරිගේ කොල්ල කල්ලිය බිඳ වැටුණා.

අවිනිශ්චිත අවසානය 

 හෙන්රි ඒවරි නම් කොල්ලකරුවා පලා ගියේ කුමන ප්‍රදේශයට දැයි යන්න අදටත් අභිරහසක්. ඇතැම් වාර්තාවල ලියැවී තිබෙන්නේ ඔහු මැඩගස්කර් ප්‍රදේශයට පලා ගිය බව යි. ඉන් අනතුරුව ඔහු සුඛෝපභෝගි ජීවිතයක් ගත කළ බව කියැවෙනවා. සමහර මූලාශ්‍රවල ලියැවී තිබෙන්නේ ඔහු හොර රහසේ ම යුරෝපයට ඇතුළු වන්නට ගොස් ආරක්ෂක අංශවලට හසුවුණු බව යි. ඉන් අනතුරුව හෙන්රිගේ ධනය රාජසන්තක කිරීමෙන් පසු ඔහු අන්ත දිළින්දකු සේ මිය ගිය බව පැවසෙනවා. ඒ අනුව හෙන්රි ඒවරිගේ අවසන් ඉරණම විසඳුණු ආකාරය අදටත් නොවිසඳුණු අභිරහසක්. 

කවරයේ ඡායාරූපය- හෙන්රි ඒවරි - worldhistory.org 

 මූලාශ්‍ර:

thoughtco.com

goldenageofpiracy.org

historyofpiracy.weebly.com

history.com

allthatsinteresting.com

Related Articles