මියාමි ගෝන් ප්‍රී තරගයෙන් පසු ෆෙරාරි කණ්ඩායම ඉදිරියට

2022 ෆෝමියුලා 1 ලෝක ශූරතා තරගාවලියේ තරග වට 5 ක් මේ වන විට අවසන් වී තිබෙනවා. මෙම තරග වට 5 අවසන් වෙද්දී ෆෙරාරි කණ්ඩායමේ චාල්ස් ලෙක්රක් (Charles Lecrec) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා. පසුගියවර ලෝක ශූරයා බවට පත් වූ මැක්ස් වර්ස්ටාපන් (Max Verstappen) ඔහුට කරට කර සටනක් ලබා දෙමින් දෙවන ස්ථානයට පත් වුණා. ලෝක ශූරතා 7ක් ජයග්‍රහණය කොට තිබෙන මර්සිඩීස් කණ්ඩායමේ ලුවිස් හැමිල්ටන් (Lewis Hamilton) මෙවර තරගවාරයේ විශාල පසුබෑමක් පෙන්නුම් කරනවා. ඔහු පසුවන්නේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයේ යි.

 
බහරේන අදියර ජයග්‍රහණය කළ චාල්ස් ලෙක්රෙක්
බහරේන අදියර ජයග්‍රහණය කළ චාල්ස් ලෙක්රෙක් – www.timeslive.com
 

1 බහරේන ගෝන් ප්‍රී අදියර

මෙවර ලෝක ෆෝමියුලා 1 ශූරතාව ආරම්භ වුණේ බහරේන අදියරත් සමඟ යි. එම අදියරේ කාල ගණන වටයන්ගෙන් පළමු ස්ථානය ෆෙරාරි ක්‍රීඩක චාල්ස් ලෙක්රක් සහ දෙවන ස්ථානය රෙඩ් බුල් ක්‍රීඩක මැක්ස් වර්ස්ටාපන් දිනා ගත්තා. තරගය ආරම්භ කිරීමෙන් අනතුරු ව මෝටර් රථයේ සිදු වූ දෝෂයක් නිසා වර්ස්ටාපන්ට තරඟය නිම කිරීමට හැකියාව ලැබුණේ නෑ. 

මේ නිසා එහි වාසිය හිමි කර ගත් චාල්ස් ලෙක්රක් තරගය ජයග්‍රහණය කළා. ඔහුට පසුපසින් පැමිණි ෆෙරාරි කණ්ඩායමේ ම කාලෝස් සයින්ස් (Carlos Sainz) දෙවන ස්ථානයට පත්වුණා. තුන්වන ස්ථානය ලුවිස් හැමිල්ටන් වාර්තා කළා. ඒ අනුව පළමු අදියර නිමාවට පත් වූයේ ෆෙරාරි කණ්ඩායම ඉදිරියෙන් ම පසු වෙමින්.

2. සෞදි අරාබි ගෝන් ප්‍රී අදියර

2022 ෆෝමියුලා 1 ලෝක ශූරතාවේ දෙවන අදියර සෞදි අරාබිය කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වුණා. මෙම අදියර සෞදි ප්‍රධාන මහා මාර්ගය තුළ නිර්මාණය කළ ධාවන පථයක පැවැත්වීම විශේෂත්වයක්. සෞදි අරාබි වටයේ කාල ගණනයේ මුල් ස්ථානය දිනා ගැනීමට රෙඩ් බුල් ක්‍රීඩක සර්ජියෝ පෙරෙස්ට (Sergio Perez) හැකියාව ලැබුණා. ඔහුගේ පසුපසින් ෆෙරාරි ක්‍රීඩකයන් දෙපළ ම කාල ගණනය අවසන් කළා.

 
සෞදි අදියරේ මැක්ස් වර්ස්ටාපන් තරඟ වදිමින්
සෞදි අදියරේ මැක්ස් වර්ස්ටාපන් තරග වදිමින් – www.hondaracing.com
 

රෙඩ් බුල් කණ්ඩායමේ මැක්ස් වර්ස්ටාපන් මෙවර තමන්ගේ මෝටර් රථයේ අඩුපාඩු නිවැරදි කරගනිමින් තරගයට පිවිසියා. කාල ගණන වටයෙන් සිව්වන ස්ථානයට පත්ව සිටියත් සාර්ථක ලෙස තරගයට අවතීර්ණ වූ ඔහු සෞදි අදියර පැය 1 මිනිත්තු 24 තප්පර 19 දශම 293 ක කාලයක් වාර්තා කරමින් ජයග්‍රහණය කළා. පිළිවෙළින් ෆෙරාරි ක්‍රීඩකයන් දෙපළ වන චාල්ස් ලෙක්රක් සහ කාලෝස් සයින්ස් දෙවන සහ තුන්වන ස්ථාන දිනා ගනිද්දී කාල ගණනයෙන් ප්‍රථමයා වූ සර්ජියෝ පෙරෙස් සිව්වන ස්ථානයට පත් වුණා. මෙම තරඟයේදී ලුවිස් හැමිල්ටන් 10 වන ස්ථානය දක්වා පසු බැසීමද සුවිශේෂී කාරණයක්.

3. ඕස්ට්‍රේලියා ගෝන් ප්‍රී අදියර

තුන්වන අදියර ක්‍රියාත්මක වූයේ ඕස්ට්‍රේලියාව කේන්ද්‍ර කොටගෙන යි. මේ වන විටත් මෙවර ගෝන් ප්‍රී තරග වාරය ෆෙරාරි සහ රෙඩ් බුල් කණ්ඩායම් අතරේ ද්වන්ධ සටනක් බවට පත් ව තිබෙන අයුරු දැකගැනීමට හැකියාව ලැබුණා. එය නැවතත් පසක් කරමින් කාල ගණන වටයන්ගේ මුල් ස්ථානය ෆෙරාරි ක්‍රීඩක චාල්ස් ලෙක්රක් දිනා ගත්තා. දෙවන සහ තෙවන ස්ථානයන් මැක්ස් වර්ස්ටාපන් සහ සර්ජියෝ පෙරෙස් රෙඩ් බුල් වෙනුවෙන් ජයග්‍රහණය කළා.

මෙවර දැඩි පසුබෑමකට ලක්ව සිටිනා 7 වරක් ලෝක ශූරතාවය ජයග්‍රහණය කළ ලුවිස් හැමිල්ටන්
මෙවර දැඩි පසුබෑමකට ලක්ව සිටිනා 7 වරක් ලෝක ශූරතාව ජයග්‍රහණය කළ ලුවිස් හැමිල්ටන් – www.motorsport.com
 

කාල ගණනයෙන් මුල් ස්ථානයේ සිට ම තරගය ආරම්භ කළ චාල්ස් ලෙක්රක් තරගයේ ඉදිරියෙන් ම ගමන් කරද්දී දෙවන වතාවටත් මෝටර් රථයේ සිදු වූ දෝෂයක් නිසා අතරමග නතර වීමට මැක්ස් වර්ස්ටාපන්ට සිදු වුණා. වේගවත් ම තරග වටය ද වාර්තා කළ ලෙක්රක් ඕස්ට්‍රේලියානු අදියර පහසුවෙන් ම ජයග්‍රහණය කළා. දෙවන ස්ථානය සර්ජියෝ පෙරෙස්ට ද තුන්වන ස්ථානය මර්සිඩීස් කණ්ඩායෙමේ ජෝර්ජ් රසල්ට ද (George Russell) හිමි වුණා. මෙම තරගයේ දී නැවත සටන්කාමී බවක් පෙන්නුම් කරමින් සිව්වන ස්ථානයට පත් වූයේ ලුවිස් හැමිල්ටන්. 

4. ඉතාලි ගෝන් ප්‍රී අදියර

ඉතාලියට පැමිණෙන විට දී වත්මන් ලෝක ශූර මැක්ස් වර්ස්ටාපන් විශාල ගැටලුවකට මුහුණ දී සිටියා. ඒ තරග තුනකින් තරග දෙකක දී ම ඔහුට කිසිදු ප්‍රසාද ලකුණක් වාර්තා කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්. මේ නිසා මෙම තරගයේ ජයග්‍රහණය ඔහුට අත්‍යාවශ්‍ය වුණා. කාල ගණනයෙන් මුල් ස්ථානය වාර්තා කළ වර්ස්ටාපන් තරගය ඉදිරියෙන් ම සිටිමින් ආරම්භ කිරීමේ අවස්ථාව ලබා ගත්තා.

මෙම අදියරේදී ෆෙරාරි ක්‍රීඩකයන් ඉතා විශිෂ්ට ධාවනයක නිරත වන ආකාරය දක්නට ලැබුණා. තරගයේ වේගවත් ම වටයත් වාර්තා කර ගනිමින් ඉතාලි අදියරේ ජයග්‍රහණය මැක්ස් වර්ස්ටාපන්ට පහසුවෙන් ම හිමි වුණා. දෙවන ස්ථානය ද ෆෙරාරි ක්‍රීඩක සර්ජියෝ පෙරෙස් දිනා ගනිද්දී තමන්ගේ ෆෝමියුලා 1 දිවියේ මුල් වතාවට පළමු තිදෙනා වෙතට පැමිණි මැක්ලරන් කණ්ඩායමේ ලැන්ඩෝ නොරිස් තෙවන ස්ථානයට පත් වුණා.

ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටි චාල්ස් ලෙක්රක් 6 වන තැනට පත් වෙද්දී ඔහුගේ ෆෙරාරි සගයා වන කාලෝස් සයින්ස් අනතුරක් නිසා තරගය නිමා කළේ නෑ. මේ නිසා ඉතාලි අදියරේ සම්පූර්ණ වාසිය රෙඩ් බුල්ට හිමිවුණා.

 
මියාමි අදියරේ මැක්ස් වර්ස්ටාපන් සහ චාල්ස් ලෙක්රෙක් කරට කර සටනක
මියාමි අදියරේ මැක්ස් වර්ස්ටාපන් සහ චාල්ස් ලෙක්රෙක් කරට කර සටනක – www.marca.com
 

5. මියාමි ගෝන් ප්‍රී අදියර

නව මියාමි ධාවන පථයේ දී ආරම්භ වූ තරඟයේ කාල ගණනයේ දී නැවත වතාවක් පෙරමුණට පැමිණීමට ෆෙරාරි ක්‍රීඩකයන් සමත් වුණා. පළමු ස්ථානය චාල්ස් ලෙක්රක්ට හා දෙවන ස්ථානය කාලොස් සයින්ස්ට හිමි වද්දී රෙඩ් බුල් ක්‍රීඩකයන් දෙපළ තෙවන සහ සිව්වන ස්ථාන තහවුරු කළා. මේ නිසා තරගය ෆෙරාරි රෙඩ්බුල් ගැටුමක් බව විචාරකයන් තරගය ආරම්භ වීමට පෙර සිට ම මත පළ කරමින් ප්‍රකාශ කළා.

තෙවන ස්ථානයේ සිට තරගය ආරම්භ කළ මැක්ස් වර්ස්ටාපන් ආරම්භයේ ම කාලෝස් සයින්ස් අභිබවා යමින් දෙවන ස්ථානයට පත් වුණා. ඉන් අනතුරුව චාල්ස් ලෙක්රක් ද අභිබවා ගියත් ඔවුන් දෙදෙනාම තියුණු සටනක් පෙන්නුම් කළා. කෙසේ වුවත් අවසානයේ දී මැක්ස් වර්ස්ටාපන් ජයග්‍රහණය කරමින් තරගය නිමාව දුටුවා. දෙවන සහ තෙවන ස්ථානයන් පිළිවෙළින් ෆෙරාරි ක්‍රීඩකයන් දෙපළ වන ලෙක්රක් සහ සයින්ස් ලබා ගත්තා. ලුවිස් හැමිල්ටන් 6 වන ස්ථානයට පත් ව තිබුණා.

තරගාවලියේ වට 5ක් අවසන සාරාංශය 

තරග වට 22 කින් සමන්විත 2022 ලෝක ශූරතා ෆෝමියුලා 1 තරගාවලියේ වට 5ක් අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු 104 ක් ද සමඟින් තවදුරටත් ෆෙරාරි ක්‍රීඩක චාල්ස් ලෙක්රක් ඉදිරියෙන් පසුවෙනවා. දෙවන ස්ථානයේ පසු වන්නේ ලකුණු 85ක් සමඟින් රෙඩ් බුල් කණ්ඩායමේ මැක්ස් වර්ස්ටාපන්. තෙවන ස්ථානය රෙඩ් බුල් ක්‍රීඩක සර්ජියෝ පෙරෙස් ප්‍රසාද ලකුණු 66 ක් සමගින් ලබා සිටිද්දී සිව්වන ස්ථානයේ පසුවන මර්සිඩීස් ක්‍රීඩක ජෝර්ජ් රසල් ප්‍රසාද ලකුණු 59ක් ලබා ගෙන සිටිනවා.

ඉන් පසුව පිළිවෙළින් ෆෙරාරි හී කාලෝස් සයින්ස් ලකුණු 53ක්, මර්සිඩීස් හි ලුවිස් හැමිල්ටන් ලකුණු 36ක්, මැක්ලරන් හි ලැන්ඩෝ නොරිස් ලකුණු 35ක්, ඇල්ෆා රෝමියෝ හී වල්ට්‍රි බොටාස් ලකුණු 30ක්, ඇල්පයින් හි ඒස්ටෙබාන් ඔකෝන් ලකුණු 24ක් සහ හාස් හි කෙවින් මැග්නසන් ලකුණු 15ක් ආදී වශයෙන් ලබා මුල් ස්ථාන 10 රැඳී සිටිනවා. 

මේ වන විට දස්කම් අතර සිටිනා නවක මැක්ලරන් ක්‍රීඩක ලැන්ඩෝ නොරිස්
මේ වන විට දස්කම් අතර සිටිනා නවක මැක්ලරන් ක්‍රීඩක ලැන්ඩෝ නොරිස් – www.skysports.com

 

කණ්ඩායම් ශූරතාව සඳහා ද්වන්ධ සටනක් රෙඩ් බුල් සහ ෆෙරාරි අතරේ නිර්මාණය වී තිබෙනවා. ෆෙරාරි කණ්ඩායම මෙහි ප්‍රථම ස්ථානයේ පසු වන්නේ ප්‍රසාද ලකුණු 157ක් ලබා ගෙන යි. දෙවන ස්ථානයේ පසුවන රෙඩ් බුල් කණ්ඩායමට හිමි ලකුණු සංඛ්‍යාව 151ක්. තුන්වන ස්ථානයේ පසුවන මර්සිඩීස් කණ්ඩායම ලකුණු 95ක්, සිව්වන ස්ථානයේ පසුවන මැක්ලරන් කණ්ඩායම ලකුණු 46ක් සහ පස්වන ස්ථානයේ පසුවන ඇල්ෆා රෝමියෝ කණ්ඩායම ලකුණු 31ක් වාර්තා කරගෙන සිටිනවා. මීළඟ ෆෝමියුලා 1 අදියර එළඹෙන මැයි 22 වනදා ස්පාඤ්ඤයේ දී පැවැත්වීමට නියමිත යි. 

කවරයේ ඡායාරූපය - www.motorsportmagazine.com
 මූලාශ්‍ර:

www.f1.com

Related Articles

Exit mobile version