Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සමු ගැනීම් – පදවි ලැබීම් අතර ක්‍රිකට් පිටියේ ගෙවුණු සතියක්

2022 ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය බැංගලෝරයේ දී ඊයේ (14) දිනයේ නිමාවට පත්වුණා. එම තරගාවලිය තරග 2-0ක් ලෙසින් ජයග්‍රහණය කළේ ඉන්දීය කණ්ඩායම යි. එම ටෙස්ට් තරගාවලියේ අවසානයත් සමඟින් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගත්තා.

ගෙවුණු වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා බවට පත් ව සිටි ලක්මාල් හදිසියේ ම ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බලවත් පාඩුවක් බව දෙස් විදෙස් ක්‍රිකට් විචාරකයන්ගේ මතය යි.

සුරංග ලක්මාල් ක්‍රිකට් පිටියෙන් සමුගත් මොහොතේ ඔහුට සුබ පතන ඉන්දීය ක්‍රීඩකයෝ – espncricinfo.com

 

 

2022 IPL මුම්බායි නුවර වන්කඩේ පිටියේ දී එළඹෙන මාර්තු 26 වැනිදා ආරම්භ වීමට නියමිත යි. තරගාවලිය ආරම්භ වීමට සති 2ක පමණ කාලයක් තිබිය දී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අති දක්ෂ වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංග පත් කර තිබෙනවා.

මෙවර රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවුණු තවත් සුපිරි ක්‍රිකට් තරුවක් වන කුමාර් සංගක්කාර යි. ඒ අනුව මෙවර IPL තරගාවලියේ දී සංගක්කාර-මාලිංග තරු යුගළය එකතු වී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සාර්ථකත්වය කරා රැගෙන යන තුරු බොහෝ දෙනෙක් බලා ගෙන සිටිනවා.

කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග – gettyimages.com

 

IPL තරග බිමෙන් ඇසුණු එම පුවතත් සමඟින් ගෙවුණු සතියේ දී කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා.

 මාලිංග රාජස්තාන් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු තනතුරට 

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු සුපිරි වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංග 2008-2019 කාල සමයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් IPL තරගාවලියට සහභාගි වුණා. එහි දී තරග 122කට ක්‍රීඩා කළ මාලිංග කඩුලු 170ක් බිඳ දමමින් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ අනුව අදටත් IPL තරගාවලි ඉතිහාසයේ වැඩි ම කඩුලු ලාභියා වශයෙන් වැජඹෙන්නේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග යි. 

IPL තරගාවලි ඉතිහාසයේ කඩුලු 60කට වඩා දවා ගෙන තිබෙන පන්දු යවන්නන් අතුරින් පන්දු යැවීමේ සාමාන්‍ය 20ට අඩු අගයක් රඳවාගෙන සිටින එකම පන්දු යවන්නා වන්නේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග යි. 

මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් – gettyimages.com

 

ලසිත් මාලිංග නිමා වුණු ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 20/20 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ විශේෂඥ පුහුණුකරුවා ලෙසින් කටයුතු කළා. එම තරගාවලිය පුරාවට  ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. ඒ වාගේ ම මාලිංග දශකයකට අධික කාලයක් IPL තරගාවලියට ක්‍රීඩා කරමින් අත්දැකීම් රැසක් ලබා තිබෙනවා.

ඉන්දියාවේ තණතීරු හැසිරෙන ආකාරය පිළිබඳ ව ද ඔහුට හොඳ අවබෝධයක් තිබෙනවා. එම කරුණු ගැන සලකා බලා රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ඔවුන්ගේ වේග පන්දු පුහුණුකරු තනතුර සඳහා ලසිත් මාලිංග තෝරා ගෙන තිබෙනවා. 

 මාලිංග 2022 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 20/20 තරගාවලිය අතරතුර- gettyimages.com

 

 සුරංග ලක්මාල් ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දෙයි 

ගෙවුණු වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා බවට පත්වුණු සුරංග ලක්මාල් බැංගලෝරයේ දී ඊයේ (14) දිනයේ නිමාවට පත්වුණු ඉන්දු-ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගත්තා. 2010 දී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට එකතු වුණු ලක්මාල් ආර්. ප්‍රේමදාස පිටියේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළා. එහි දී ලක්මාල්ගේ මංගල ටෙස්ට් කඩුල්ල බවට පත්වුණේ ක්‍රිස් ගේල් නම් සුපිරි පිතිකරුවා යි. 

සුරංග ලක්මාල් මංගල ටෙස්ට් කඩුල්ල දවාගත් අවස්ථාව – gettyimages.com

 

ඒ අයුරින් ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසි ලක්මාල් ගෙවුණු වසර 12ක කාලය තුළ ටෙස්ට් තරග 70කට ක්‍රීඩා කරමින් කඩුලු 171ක් දවාගැනීමට සමත් වුණා. එහි දී ඔහු කොදෙව්වන්ට එරෙහි ව කඩුලු 27ක්ද දකුණු අප්‍රිකානුවන්ට එරෙහි ව කඩුලු 24ක්ද දවා ගත්තා. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩි ම කඩුලු ප්‍රමාණයක් දවා ගත් දකුණත් වේග පන්දු යවන්නා ලෙසින් වැජඹෙන ලක්මාල් එදා මෙදාතුර සිව්වෙනියට වැඩි ම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට ද පත්ව සිටිනවා. පහතින් දක්වා තිබෙන්නේ වැඩි ම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් පස් දෙනා යි.

1) මුත්තයියා මුරලිදරන්- කඩුලු 800 (ඉනිම්- 230)

2) රංගන හේරත්- කඩුලු 433 (ඉනිම්- 170)

3) චමින්ද වාස්- කඩුලු 355 (ඉනිම්- 194)

4) සුරංග ලක්මාල්- කඩුලු 171 (ඉනිම්- 122)

5) දිල්රුවන් පෙරේරා- කඩුලු 161 (ඉනිම්- 78)

මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ දස්කම් දක්වමින් – gettyimages.com

 

සුරංග ලක්මාල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමක හොඳ ම පන්දු යැවීම සිදු කළේ 2021 වසරේ දී යි. බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි ව ඇන්ටිගුවා හි පැවති එම ටෙස්ට් තරගයේ දී ඔහු ලකුණු 47කට කඩුලු 5ක් දවා ගත්තා. මෙම දක්ෂ වේග පන්දු යවන්නා තවත් අවස්ථා 3කදී ටෙස්ට් ඉනිමක කඩුලු 5 බැගින් දවාගැනීමට සමත් වුණා. ඒ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව යන රටවල්වල පැවති ටෙස්ට් තරගවල දීයි. පහත දක්වා තිබෙන්නේ ලක්මාල්ගේ ටෙස්ට් ක්‍රිකට් දීවියේ වාර්තා වුණු හොඳම පන්දු යැවීම් කිහිපය පිළිබඳව යි.

1) 47/5- බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව- 2021 ඇන්ටිගුවා ටෙස්ට් තරගයේ දී 

2) 54/5- නවසීලන්තයට එරෙහිව- 2018 ක්‍රයිස්චර්ච් ටෙස්ට් තරගයේ දී 

3) 63/5- දකුණු අප්‍රිකාවට එරෙහිව- 2016 පෝට් එලිසබෙත් ටෙස්ට් තරගයේ දී 

4) 75/5- ඕස්ට්‍රේලියාවට එරෙහිව- 2019 බ්‍රිස්බේන් ටෙස්ට් තරගයේ දී 

ලක්මාල් ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 5ක් දවාගත් අවස්ථාව (gettyimages.com)

 

ඕස්ට්‍රේලියාව කාන්තා එක්දින ලෝක කුසලානයේ පෙරමුණට 

2022 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, නවසීලන්තයේ දී පසුගිය මාර්තු 4 වැනි දින ආරම්භ වුණා.  එම තරගාවලියේ තරග 7ක් පසුගිය සතියේ දී නිමාවට පත්වුණා. එහි දී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණ 2ක් ලබාගැනීමට සමත් වුණා. ඒ අනුව ඕස්ට්‍රේලියාව සහභාගි වුණු තරග 3 ම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටිනවා.

එහි දී නවසීලන්ත සහ එංගලන්තය යන ප්‍රබල කණ්ඩායම් ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීම කැපී පෙනෙන සිදුවීමක් වුණා. පහතින් දක්වා තිබෙන්නේ ගෙවුණු සතියේ කාන්තා එක්දින ලෝක කුසලාන තරගවල ප්‍රතිඵල යි. 

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම – gettyimages.com

 

1). පස්වන තරගය- නවසීලන්තය සහ බංග්ලාදේශය අතර- නවසීලන්තයට කඩුලු 9ක ජයක් 

බංග්ලාදේශය- 140/8 (27)

නවසීලන්තය- 144/1 (20)

තරගයේ වීරයා- සුසී බේට්ස්- නවසීලන්තය (ලකුණු-79*, පන්දු- 68)

2). හයවන තරගය- පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර- ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක් 

පාකිස්තානය- 190/6 (50)

ඕස්ට්‍රේලියාව- 193/3 (34.4)

තරගයේ වීරයා- ඇලීසා හීලි- ඕස්ට්‍රේලියාව (ලකුණු-72, පන්දු- 79)

3). හත්වන තරගය- කොදෙව් සහ එංගලන්තය- කොදෙව්වන්ට ලකුණු 7ක ජයක් 

කොදෙව්- 225/6 (50)

එංගලන්තය- 218/10 (47.4)

තරගයේ වීරයා- ෂෙමේන් කැම්බල්- කොදෙව් (ලකුණු-66, පන්දු- 80)

එංගලන්ත-කොදෙව් තරගයේ අවස්ථාවක් (gettyimages.com)

 

4). අටවන තරගය- නවසීලන්තය සහ ඉන්දියාව- නවසීලන්තයට ලකුණු 62ක ජයක් 

නවසීලන්තය- 260/9 (50)

ඉන්දියාව- 198/10 (46.4)

තරගයේ වීරයා- ඇමී සැතර්වේට්- නවසීලන්තය (ලකුණු-75, පන්දු- 84)

5). නවවන තරගය- දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය- දකුණු අප්‍රිකාවට ලකුණු 6ක ජයක් 

දකුණු අප්‍රිකාව- 223/9 (50)

පාකිස්තානය- 217/10 (49.5)

තරගයේ වීරයා- ෂබ්නිම් ඉස්මයි- දකුණු අප්‍රිකාව (ලකුණු- 41, කඩුලු- 3)

6). දහවන තරගය- ඉන්දියාව සහ කොදෙව්- ඉන්දියාවට ලකුණු 155ක ජයක් 

ඉන්දියාව- 317/8 (50)

කොදෙව්- 162/10 (40.3)

තරගයේ වීරයා- ස්ම්‍රිති මන්දනා- ඉන්දියාව (ලකුණු-123, පන්දු- 119)

මන්දනා ශතකය සම්පූර්ණ කළ අවස්ථාව – gettyimages.com

 

7). එකොළොස්වන තරගය- ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය- ඕස්ට්‍රේලියාවට ලකුණු 141ක ජයක් 

ඕස්ට්‍රේලියාව- 269/8 (50)

නවසීලන්තය- 128/10 (30.2)

තරගයේ වීරයා- එලිස් පෙරී- ඕස්ට්‍රේලියාව (ලකුණු-68, පන්දු- 86)

විසඳුමක් නුදුටු එංගලන්ත-කොදෙව් පළමු ටෙස්ට් ගැටුම 

2022 එංගලන්ත-කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඇන්ටිගුවාහි දී පසුගිය සෙනසුරාදා නිමාවට පත්වුණා. කණ්ඩායම් දෙකේ ම පිතිකරුවන්ගේ දස්කම් ඉස්මතු වුණු තරගය අවසානයේ දී ජය පරාජයෙන් තොර ව නිමාවට පත්වුණා. එහි දී පළමු ඉනිමේ දී ලකුණු 123ක් සහ දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 38ක් ලබා ගත් කොදෙව් පිතිකරු එන්කෘමා බොනර්ට තරගයේ වීරයා සම්මානය හිමි වුණා. මේ තරගයේ කෙටි ලකුණු පුවරුව යි. 

කෙටි ලකුණු පුවරුව 

එංගලන්ත පළමු ඉනිම- 311/10 (බෙයාස්ට්‍රෝ- 140, ෆෝක්ස්- 42, සීල්ස්- 79/4, හෝල්ඩර්- 24/2)

කොදෙව් පළමු ඉනිම- 375/10, (බොනර්- 123, බ්‍රැත්වේට්- 55, හෝල්ඩර්- 45, ස්ටෝක්ස්- 42/2)

එංගලන්ත දෙවන ඉනිම- 349/6, (ක්‍රෝලි- 121. රූට්- 109, ජෝශප්- 78/3, රෝච්- 53/2)

කොදෙව් දෙවන ඉනිම- 147/4, (බොනර්- 38*, හෝල්ඩර්- 37*, ලීච්- 57/3)

තරගය ජය පැරදුමෙන් තොරව අවසන් 

තරගයේ වීරයා- එන්කෘමා බොනර්  

බොනර් ශතකය ලබා ගත් මොහොත – gettyimages.com

කවරයේ ඡායාරූපය- සුරංග ලක්මාල් සහ ලසිත් මාලිංග වෙනුවෙන් සැකසූ ඡායාරූපයක්- zeenews.india.com - cricketaddictor.com

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

iplt20.com

Related Articles