Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාව කැංගරු බිමේ දී ලබාගත් 20/20 ජයග්‍රහණ

තරග 5කින් සමන්විත ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 20/20 තරගාවලිය සිඩ්නි ක්‍රිකට් පිටියේ දී එළඹෙන පෙබරවාරි 11 වැනිදා ආරම්භ වීමට නියමිත යි. වර්තමානය වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම 20/20 ක්‍රිකට් ලෝක ශූරයන් ලෙසින් වැජඹෙනවා. එනිසා මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් වනු ඇති බවට සැකයක් නැහැ. 

2010 දී ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියානු බිමේ දී 20/20 තරගාවලියක් මුල්ම වරට ක්‍රීඩා කළා. එදා සිට අද දක්වා ඕස්ට්‍රේලියානු බිමේ පැවති සිංහ-කැංගරු 20/20 තරගාවලි ගණන හතරක්. එයින් තරගාවලි තුනක ජයග්‍රහණය ශ්‍රී ලංකාවට උරුම වීම විශේෂත්වයක්. එම තරගාවලි යටතේ පැවති තරග 9න් 5ක ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වෙද්දී ඕස්ට්‍රේලියාවට හිමිවුණේ තරග 4ක ජයග්‍රහණය පමණ යි. 

2010 තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම – gettyimages.com

 

ශ්‍රී ලංකාව ලෝක ශූර ඕස්ට්‍රේලියානුවන් සමඟින් උරෙනුර ගැටීමට සූදානමින් සිටින මොහොතක සිංහ-කැංගරු 20/20 සටන්වල ජයග්‍රාහී අතීතය යළි සිහිපත් කිරීමට අප තීරණය කළා. එනිසා මෙතැන් සිට ඔබ හමුවේ දිගහැරෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම කැංගරු බිමේ දී වාර්තා කළ 20/20 තරග ජයග්‍රහණ පහ පිළිබඳයි.   

1) රන්දිව්ගේ දඟ පන්දුව හමුවේ ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක පරාජයක් 

2010 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 20/20 තරගාවලිය යටතේ පැවති එකම තරගය පර්ත් නුවර වැකා ක්‍රීඩා පිටියේ දී ක්‍රියාත්මක වුණා. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායකයා පන්දුවට මුලින් ම පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අසීරු අඩියකට වැටුණා. එහි දී ඕස්ට්‍රේලියානු මුල් කඩුලු 5 ලකුණු 43ක් ඇතුළත බිඳ වැටීම සුවිශේෂී සිදුවීමක් වුණා. 

ඕස්ට්‍රේලියානුවන්ගේ පස්වන කඩුල්ල දැවීගිය අවස්ථාව – gettyimages.com

 

ඒ අයුරින් ඕස්ට්‍රේලියානු ඉනිම බිඳ වැටී තිබුණු මොහොතක පිටියේ එකතු වුණු ස්ටීව් ස්මිත් සහ බ්‍රැඩ් හැඩින් හයවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සබඳතාවක් ගොඩනැඟුවා. ඒ මොහොතේ දක්ෂ පන්දු යැවීමක නිරත වුණු සුරාජ් රන්දිව් පන්දු 3ක් ඇතුළත හැඩින් සහ ස්මිත් යන පිතිකරු යුගළ දවා ගත්තා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් ඕස්ට්‍රේලියානු ඉනිම 133/8 ලෙස නිමාව දුටුවා. එදා ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත වුණු රන්දිව් ලකුණු 25කට කඩුලු 3ක් බිඳ දැමුවා.

පන්දුවෙන් දස්කම් පෑ රන්දිව් – gettyimages.com

 

ඉන් අනතුරුව ලකුණු 134ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2ක ලකුණු 42ක් තුළ බිඳ වැටුණා. තරගය කණ්ඩායම් දෙකට ම විවෘත ව පැවති එම අවස්ථාවේ දී වගකීමෙන් පන්දුවට පහර දුන් තිලකරත්න දිල්ෂාන් සහ කුමාර් සංගක්කාර ලකුණු 71ක වටිනා සබඳතාවක් ගොඩ නැඟුවා.

පන්දු 34කින් ලකුණු 41ක් ලබා සිටි දිල්ෂාන් දැවී ගිය ද ඉන් නොසැලුණු සංගක්කාර නොදැවී ලකුණු 44ක් ලබා ගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. 

දිල්ෂාන්ගේ ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියාව- 133/8 (20), (හැඩින්- 35, ස්මිත්- 34, රන්දිව්- 25/3, තිසර- 22/2, මාලිංග- 26/1)

ශ්‍රී ලංකාව- 133/3 (16.3), (සංගක්කාර- 44*, දිල්ෂාන්- 41, මහේල- 24, නැනස්- 28/1)

ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

තරගයේ වීරයා- සුරාජ් රන්දිව්   

2). සිඩ්නි පිටියේ දී ලබා ගත් සටන්කාමී ජයග්‍රහණය

 ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත 20/20  තරගාවලියක් 2013 ජනවාරි මාසයේ දී පැවැත්වුණා. එම තරගාවලියේ පළමු තරගය සිඩ්නි පිටියේ දී ක්‍රියාත්මක වුණා. එම තරගයේ පන්දුවට මුලින් ම පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තා.

එහි දී කැංගරු ඉනිමේ නැංගුරම බවට පත්වුණු ඩේවිඩි වෝනර් පන්දුවාර 20 ම කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 90ක් වාර්තා කළා. ඔහුට වෙනත් කිසිදු පිතිකරුවකුගෙන් සහායක් නොලැබුණු නිසා ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 137ක් වැනි අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වුණා. 

ඩේවිඩ් වෝනර්ගේ සුපිරි ඉනිමේ අවස්ථාවක් – gettyimages.com

 

 ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු බළඇණිය ඉදිරියේ ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 46ක් ලබාගෙන ස්ථාවර තත්ත්වයකට පත් ව සිටියා.

ඒ මොහොතේ දඟ පන්දුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් අන්දමන්ද කළ සේවියර් ඩොරටි සහ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 27ක් තුළ කඩුලු 4ක් බිඳ දැමුවා. එහි ප්‍රතිඵලයක් ලෙස පන්දුවාර 10.5ක් අවසන් වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 69/4 ලෙසින් දිස්වුණා.

කඩුල්ලක් දවා ගැනීමේ සතුට සමරන ඩොරටි – gettyimages.com

 

එම තීරණාත්මක අවස්ථාවේ ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු තිරිමාන්න පන්දු 27කින් ලකුණු 35ක් එකතු කළා. ඒ මොහොතේ ලකුණු 20ක් ලබාගෙන සිටි තිරිමාන්න දැවී යාම හේතුවෙන් ශ්‍රී ලංකා පිල අවදානම් අඩියකට යළි ඇද වැටුණා.

ඉන් අනතුරුව පිටියේ එකතු වුණු ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා සිය කණ්ඩායම අවදානමෙන් මුදා ගත්තා. එදා ඔවුන් දෙපළ පන්දු 21කින් ලකුණු 35ක් එකතු කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළා. එහි දී තිසර පිට පිට ම හයේ පහරවල් දෙකක් එල්ල කරමින් අවසන් ලකුණු කිහිපය ලබාගැනීම සුවිශේෂී සිදුවීමක් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළ මොහොත- gettyimages.com

 

කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියාව- 137/3 (20), (වෝනර්- 90*, වෝගස්- 25*, කුලසේකර- 21/1, තිසර- 29/1,)

ශ්‍රී ලංකාව- 139/5 (18.5), (මැතිව්ස්- 35*, දිල්ෂාන්- 33, මැක්ස්වෙල්- 15/2, ඩොරටි- 21/2)

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

තරගයේ වීරයා- ඩේවිඩ් වෝනර් 

3). අවසන් පන්දුවේ දී ජය පරාජය තීරණය වුණු තරගය 

සිඩ්නි පිටියේ පැවති පළමු 20/20 තරගය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ දෙවන තරගය සඳහා ජයග්‍රාහී මානසිකත්වයකින් අවතීර්ණ වුණා. මෙල්බර්න් පිටියේ පැවති එම තරගයේ දී පන්දුවට මුලින් ම පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් දැවී ලකුණු 161ක් ලබා ගත්තා.

එහි දී මහේල ජයවර්ධන ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 45කින් ලකුණු 61ක් වාර්තා කරද්දී තිසර පෙරේරා පන්දු 15කින් වේගවත් ලකුණු 35ක් ලබා ගත්තා. එදා ඔවුන් දෙදෙනා අතර පන්දු 28කින් නොබිඳුණු ලකුණු 59ක සබඳතාවක් ගොඩ නඟමින් සිය කණ්ඩායමට සාර්ථක අවසානයක් ලබා දුන්නා.

මහේල සිය අර්ධ ශතකය ලබාගත් මොහොත- gettyimages.com

 

ජයග්‍රහණය සඳහා ලකුණු 162ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම 10 වන පන්දු වාරය නිමාව දකිද්දී කඩුලු 2ක් දැවී ලකුණු 60ක් ලබා සිටියා. ඒ මොහොතේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය ක්‍රියාත්මක වුණා.

එහි දී ඕස්ට්‍රේලියානුවන්ට ජයග්‍රහණය සඳහා පන්දුවාර 15කින් ලකුණු 122ක ඉලක්කයක් ලැබුණා. වේගයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පන්දුවාර 4කදී ලකුණු 44ක් රැස් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 18ක් අවශ්‍ය වුණා. 

 කුලසේකර පන්දුවෙන් දස්කම් දක්වමින් – gettyimages.com

 

එදා තීරණාත්මක අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කළ තිසර පෙරේරා පළමු පන්දු 3ට ලකුණු 6ක් පමණක් ලබා දෙමින් ජෝර්ජ් බේලිගේ කඩුල්ල දවා ගත්තා. ජයග්‍රහණය සඳහා පන්දු 3කින් ලකුණු 12ක් අවශ්‍ය වුණු ඒ මොහොතේ ග්ලේන් මැක්ස්වෙල් පිට පිට ම හතරේ පහර 2ක් එල්ල කිරීමත් සමඟින් තරගය තියුණු මුහුණුවරක් ගත්තා.

අවසන් පන්දුව යැවීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනකු අතර කෙටි සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාවේ අරමුණ වුණේ මැක්ස්වෙල් ගේ රිද්මය බිඳ දැමීම යි. ඒ මොහොතේ දැඩි ලෙස උරණ වුණු මැක්ස්වෙල් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟින් ගැටුමක් ඇති කර ගත්තා. එවැනි වටපිටාවක සාර්ථක ව අවසන් පන්දුව යැවූ තිසර සිය කණ්ඩායමට ලකුණු 2ක තියුණු ජයක් හිමි කර දුන්නා. 

මැක්ස්වෙල් සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගැටුණු අවස්ථාව – gettyimages.com

කෙටි ලකුණු පුවරුව 

ශ්‍රී ලංකාව- 161/4 (20), (මහේල- 61*, තිසර- 35*, මැක්ස්වෙල්- 23/1, ෆෝක්නර්- 24/1)

ඕස්ට්‍රේලියාව- 119/3 (15), (ෂෝන් මාෂ්- 47*, බේලි- 45, කුලසේකර- 18/1, තිසර- 25/1)

ශ්‍රී ලංකාවට ලකුණු 2ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව)

තරගයේ වීරයා- තිසර පෙරේරා 

4). මෙල්බර්න් පිටියේ දී වාර්තා වුණු සුපිරි ජයග්‍රහණය

2017 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 20/20 තරගාවලියේ පළමු තරගය මෙල්බර්න් පිටියේ දී පැවැත්වුණා. එදා කාසියේ වාසිය පරාජය වී පන්දුවට මුලින් ම පහර දුන් ඕස්ට්‍රේලියානුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තා. එහි දී නායක ඇරොන් ෆින්ච් ලකුණු 43ක් ලබා ගෙන පිත්තෙන් දස්කම් දක්වද්දී ලසිත් මාලිංග ලකුණු 29කට කඩුලු 2ක් දවා ගෙන පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වුණා.

මාලිංග කඩුල්ලක් දවාගැනීමේ සතුට සමරමින් – gettyimages.com

 

ලකුණු 169ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් ඉක්මනින් ලකුණු ලබා ගත්තා. එහි දී අසේල ගුණරත්න පන්දු 36කින් ලකුණු 52ක්, දිල්ෂාන් මුණවීර පන්දු 29කින් ලකුණු 44ක්, නිරෝෂන් දික්වැල්ල පන්දු 25කින් ලකුණු 30ක් ලබා ගෙන ශ්‍රී ලංකා ලකුණු පුවරුව සවිමත් කළා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්  17 වන පන්දුවාරය අවසන් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 151ක් ලබා ගෙන ජයග්‍රහණය පෙනෙන තෙක් මානයේ සිටියා.

අසේල පන්දුවට පහරදෙමින් – gettyimages.com

 

එම අවස්ථාවේ ලෙහෙසියෙන් පරාජය භාර ගැනීමට අකමැති වුණු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් පන්දු 17ක් තුළ ලකුණු 17ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබාදෙමින් කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව අවසන් පන්දුවේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 1ක් අවශ්‍ය වුණා. එදා ඕස්ට්‍රේලියානු නායක ෆින්ච් එම ලකුණ ලබා ගැනීමට අපහසු වන අයුරින් පිටිය සකසා තිබුණු මොහොතක අලංකාර හතරේ පහරක් එල්ල කළ චාමර කපුගෙදර සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත කැඳවාගෙන ගියා.

කපුගෙදර ජයග්‍රාහී පහර එල්ල කිරීමෙන් පසුව – gettyimages.com

 

කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියාව- 168/6 (20), (ෆින්ච්- 43, ක්ලින්ගර්- 38, මාලිංග- 29/2, අසේල- 11/1,)

ශ්‍රී ලංකාව- 172/5 (20), (අසේල- 52, මුණවීර- 44, ටර්නර්- 12/2, සැම්පා- 26/2)

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

තරගයේ වීරයා- අසේල ගුණරත්න 

5). අසේල ගුණරත්නගේ විශිෂ්ට ඉනිම නිසා උරුම වුණු ජයග්‍රහණය

2017 ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා 20/20 තරගාවලියේ දෙවන තරගය ජීලොන්ග් හි දී පැවැත්වුණා. එහි දී යළිත් වරක් පන්දුවට මුලින් ම පහර දුන් කැංගරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා ම දැවී ලකුණු 173ක් ලබා ගත්තා.

එහි දී මොයිසස් හෙන්රිකස් ඕස්ට්‍රේලියානු ඉනිමේ නැංගුරම බවට පත්වෙමින් නොදැවී ලකුණු 56ක් ලබා ගනිද්දී දක්ෂ පන්දු යැවීමක නිරත වුණු කුලසේකර ලකුණු 31කට කඩුලු 4ක් බිඳ දැමුවා.

කුලසේකරගේ පන්දුවක් හමුවේ කමින්ස් දැවීගිය අවස්ථාව – gettyimages.com

 

 ලකුණු 174ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු බළ ඇණිය ඉදිරියේ අසීරු තත්ත්වයකට පත්වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස් ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 40ක් තුළ බිඳ වැටුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරා යමින් සිටි මොහොතක පිටියේ එකතු වුණු අසේල ගුණරත්න සහ චාමර කපුගෙදර පන්දු 48කින් ලකුණු 52ක් රැස් කළා. එම අවස්ථාවේ ලකුණු 32ක් ලබා ගෙන සිටි කපුගෙදරගේ දැවී යාම නිසා ශ්‍රී ලංකා ඉනිම යළි අඩපණ වුණා.

කපුගෙදර දැවීගිය අවස්ථාව (gettyimages.com)

 

ඒ මොහොත වන විට ජයග්‍රහණය සඳහා පන්දු 45කින් ලකුණු 82ක් අවශ්‍ය වුණු නිසා කැංගරුවන් තරගය ජයග්‍රහණය කරනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා. ඉන් පසු ක්‍රියාත්මක වුණු පන්දු 33 තුළ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 46ක් පමණ යි.

අවසන් පන්දුවාර දෙකේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 36ක් අවශ්‍ය වුණා. කැංගරුවන් ජයපැන් බීමට සූදානමින් සිටි ඒ මොහොතේ සුපිරි පිතිහරඹයක නිරත වුණු අසේල ගුණරත්න, මොයිසස් හෙන්රිකස් යැවූ 19 වන පන්දුවාරයේ දී ලකුණු 22ක් ලබා ගත්තා. එහි දී ඔහු පිට පිට ම දැවැන්ත හයේ පහරවල් 3ක් එල්ල කළා.  

අසේල දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් – gettyimages.com

 

එදා ඇන්ඩෘ ටයි ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයේ මුල් පන්දු 5දී ලකුණු 12ක් වාර්තා වුණා. ඉන්  ලකුණු 11ක් අසේල ලබා ගත්තා. ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවට ලකුණු 2ක් අවශ්‍ය වුණු එම අවස්ථාවේ හතරේ පහරක් එල්ල කළ අසේල සිය කණ්ඩායමට නොතිබුණු ජයක් උරුම කර දුන්නා.

එහි දී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට එරෙහි ව අනුකම්පා විරහිත ප්‍රහාරයක් සිදු කළ අසේල හයේ පහර 5ක් සමඟින් පන්දු 46කින් නොදැවී ලකුණු 84ක් ලබා ගත්තා. ඔහුගේ එම සුපිරි ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකාවට 20/20 තරගාවලියේ ජයග්‍රහණය හිමි වුණා.

ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කළ මොහොත – gettyimages.com

කෙටි ලකුණු පුවරුව 

ඕස්ට්‍රේලියාව- 173/10 (20), (හෙන්රිකස්- 56*, ක්ලින්ගර්- 43, කුලසේකර- 31/4, මාලිංග- 31/2)

ශ්‍රී ලංකාව- 176/8 (20), (අසේල- 84*, කපුගෙදර- 32, ටයි- 37/3, ෆෝක්නර්- 32/2)

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

තරගයේ වීරයා- අසේල ගුණරත්න 

කවරයේ ඡායාරූපය - ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ මැක්ස්වෙල් ගැටුණු මොහොත - foxsports.com.au

මූලාශ්‍ර:

espncricinfo.com

howstat.com

abc.net.au

Related Articles