Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දු භූමියේදී ටෙස්ට් ශතක ලැබූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ!

 ශ්‍රී ලංකාව ඉන්දියාවත් සමඟින් ටෙස්ට් තරගාවලියකට මේ දිනවල දී  මුහුණ දෙමින් සිටිනවා. එහි දෙවන තරගය හෙට පැවැත්වෙන අතර පළමු තරගය පසුගිය දා නිමාව දුටුවේ ඉන්දියාවට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දෙමින්. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ බළ ඇණිය සැලකිය යුතු මට්ටමේ දස්කම් දැක්වූයේ නෑ. කෙසේ වුවත් මීට ප්‍රථම ව ඉන්දියාවට එරෙහි ව ඉන්දියාව තුළ දී ම දස්කම් දක්වමින් ශතක රැස් කිරීමට ශ්‍රී ලාංකික පිතිකරුවන් සමත් වී තිබෙනවා. මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නේ ඉන්දු භූමියේදී එලෙස ශතක රැස්කළ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙනුයි.

එදා මෙදා තුර ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ ඉන්දියාව තුළ දී ශතක රැස් කිරීමට ශ්‍රී ලාංකික පිතිකරුවන් 10 දෙනෙක් සමත් වී තිබෙනවා. එම පිතිකරුවන් 10 දෙනා රැස්කර ගෙන තිබෙන ශතක සංඛ්‍යාව 12ක්. 1982 වසර තරම් ඈතට දිව යන මෙම ටෙස්ට් තරග මාලාවේ එම අලංකාර ඉනිම් සම්බන්ධයෙන් තොරතුරුයි මේ. 

ඉන්දියාව තුළදී ශතකයක් රැස්කගරත් පළමු ශ්‍රී ලාංකිකයා වන දුලිප් මෙන්ඩිස්
ඉන්දියාව තුළදී ශතකයක් රැස්කගරත් පළමු ශ්‍රී ලාංකිකයා වන දුලිප් මෙන්ඩිස් – www.espncricinfo.com

 

1. දුලිප් මෙන්ඩිස් 105

ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් තරඟ ඉතිහාසයේ පළමු තරගයේ දී ම දුලිප් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් (105) රැස් කළා. ඒ චෙන්නායි හි චිදම්බරම් ක්‍රීඩාංගණයේ 1982 සැප්තැම්බර් මස 17 වනදා පැවති ටෙස්ට් තරගයේදි යි. පළමු ඉනිමේ දී අංක 4 පිතිකරු ලෙසින් පිටියට පිවිසි දුලිප් පන්දු 123ක් තුළ හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් ද සමගින් මෙම ඉනිම ක්‍රීඩා කළා. ඔහුගේ මේ ඉනිම නිසා ශ්‍රී ලංකා පළමු ඉනිමට ලකුණු 346ක් දක්වා ගමන් කිරීමට ද හැකි වුණා.

2. දුලිප් මෙන්ඩිස් 105 – දෙවන ඉනිම

මෙම තරගයේ ම දෙවන ඉනිමේ දී නැවතත් ක්‍රියාත්මක වන දුලිප් මෙන්ඩිස් තවත් සුපිරි ලකුණු 105ක ඉනිමක් සටහන් කළේ ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ ඉනිම දෙකේදී ම ශතක රැස්කර ගත් මුල් ම පිතිකරු යන වාර්තාව තමන් සතු කර ගනිමින්. ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ ද ඉනිම දෙකේ ම ශතක රැස් කළ පළමු පිතිකරු බවට වන වාර්තාව ද දුලිප් මෙන්ඩිස් මෙහි දී තමන් සතු කර ගත්තා. මෙම තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය ආසන්නයට ම පැමිණියත් ජය පරාජයෙන් තොරව නිමාව දුටුවා. තරගයේ වීරයා ලෙසින් දුලිප් මෙන්ඩිස් සම්මානයට පාත්‍ර වුණා.

මාවන් අතපත්තු – gettyimages.com

 

3. මාවන් අතපත්තු 108

දුලිප් මෙන්ඩිස්ගේ ශතක ද්විත්වයෙන් පසුව ශ්‍රී ලංකා පිතිකරුවකු ඉන්දියාවේ දී නැවතත් ශතකයක් රැස් කළේ 1997 වර්ෂයේදී යි. එවර 1997 නොවැම්බර් මස 19 වනදා මොහාලි හීදි ආරම්භ වුණ තරගාවලියේ පළමු තරගයේ දී යි. පළමු ඉනිමේ ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි මාවන් අතපත්තු පන්දු 244ක් තුළ හතරේ පහර 14ක් ද සමඟින් මෙම අලංකාර ඉනිම ක්‍රීඩා කළා. ලකුණු 108ක් ලබා සිටියදී ජවගල් ශ්‍රීනාත්ගේ පන්දුවක් හමුවේ අතපත්තු දැවී ගියා.

මොහාලි හීදි ශ්‍රී ලංකාව පරාජයෙන් බේරා ගැනීම සඳහා සටන්කාමී ශතකයක් වාර්තාකරගත් අරවින්ද
මොහාලි හීදි ශ්‍රී ලංකාව පරාජයෙන් බේරා ගැනීම සඳහා සටන්කාමී ශතකයක් වාර්තාකරගත් අරවින්ද – www.crictracker.com

4. අරවින්ද ද සිල්වා 110*

ඉහත මොහාලි තරගයේ ම ඉන්දීය මුල් ඉනිමට වඩා ලකුණු 146ක් පසුපසින් සිටිමින් ආරම්භ කළ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ නොම්මර 4 පිතිකරු ලෙසින් පිටියට පිවිසි අරවින්ද ද සිල්වා විසින් තරගය ශ්‍රී ලංකාව වෙනුවෙන් බේරා දෙමින් මෙම ඉනිම ක්‍රීඩා කළා.

පන්දු 263ක දී හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක්ද සමගින් අරවින්ද නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 110ක්. මේ නිසා තරගය ජය පරාජයෙන් තොරව නිමාව දුටු අතර ම අරවින්ද තරගයේ වීරයා ලෙසින්ද නම් වුණා.

තිලකරත්න ඩිල්ශාන් – gettyimages.com

 

5. තිලකරත්න ඩිල්ශාන් 112

2009 වර්ෂයේදී අහමදාබාද් හීදි ආරම්භ වුණ ශ්‍රී ලංකා ඉන්දියා ටෙස්ට් තරඟාවලියේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ ආරම්භක පිතිකරු ලෙසින් ඩිල්ශාන් මෙම ඉනිම දියත් කළා. එහිදී පන්දු 133 කට මුහුණ දුන් ඔහු සහීර් කාන් ගේ පන්දුවක් හමුවේ දැවී යද්දී හතරේ පහර 12ක් සමගින් ලකුණු 112ක් රැස් කළා. ඩිල්ශාන්ගේ ඉනිම ඉන්දීය පළමු ඉනිම වූ ලකුණු 426ක දැවැන්ත ලකුණු පුවරුව සඳහා ඉතාමත් හොඳ පිළිතුරු ආරම්භයක් බවට පත් වුණා.

6. මහේල ජයවර්ධන 275

ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ ඉන්දියාවට එරෙහි ව ඉන්දියාව තුළ දී ශ්‍රී ලංකා පිතිකරුවකු සිදු කළ හොඳ ම ඉනිම ලෙසින් මහේල ජයවර්ධන ලබා ගත් ලකුණු 275ක ඉනිම සටහන් වනවා. ඉඅහමදාබාද් තරගයේ ම අංක 4 පිතිකරු ලෙසින් පිටියට පිවිසි මහේල පන්දු 435කින් හතරේ පහර 27කින් සහ හයේ පහරකින් අහමදාබාද් වර්ණවත් කරමින් මෙම ලකුණු 275 රැස් කළා.

ඉන්දියාව තුළ දී ශ්‍රී ලංකා පිතිකරුවකු ද්විත්ව ශතකයක් රැස් කළ පළමු මෙන් ම එකම අවස්ථාව ලෙසින් ද මෙය සටහන් වනවා.

මහේල විසින් අහමදාබාද් හීදි තම ද්විත්ව ශතකය සමරමින්
මහේල අහමදාබාද් හීදි තම ද්විත්ව ශතකය සමරමින් – www.espncricinfo.com

7. ප්‍රසන්න ජයවර්ධන 154*

2009 අහමදාබාද් ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ තෙවන ශතකලාභියා ලෙස ප්‍රසන්න තම නම සටහන් කළා. ඉන්දියාව තුළ දී ටෙස්ට් ශතකයක් රැස්කළ පළමු කඩුලු රකින ශ්‍රී ලාංකික පිතිකරු බවට ද ඔහු මෙහිදී පත් වුණා.

ප්‍රසන්න අංක 7 පිතිකරු ලෙසින් පැමිණ පන්දු 314ක් තුළ හතරේ පහර 11ක් ද සමඟින් නොදැවී මෙම ලකුණු 154 රැස් කළා. මෙම ඉනිම් නිසා ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 6කට ලකුණු 760ක් ලෙසින් සටහන් වූ අතර ම තරගය ජය පරාජයෙන් තොරව නිමාව දුටුවා.

ප්‍රසන්න ජයවර්ධන – gettyimages.com

 

8. තිලකරත්න ඩිල්ශාන් 109

2009 වසරේ දෙසැම්බර් මස 2 වනදා මුම්බායි හිදී ආරම්භ වූ ඉන්දු ලංකා තෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි ඩිල්ශාන් මෙම ලකුණු 109ක ඉනිම ක්‍රීඩා කළා. පන්දු 160කට මුහුණ දුන් ඩිල්ශාන් හතරේ පහර 10ක් සහ හයේ පහර දෙකකින් තම ඉනිම සවිමත් කිරීමට සමත් වුණා.

දුලිප් මෙන්ඩිස් ගෙන් අනතුරුව ඉන්දියාවේදී ටෙස්ට් ශතක දෙකක් වාර්තා කළ එකම පිතිකරු වන තිලකරත්න ඩිල්ශාන්
දුලිප් මෙන්ඩිස් ගෙන් අනතුරුව ඉන්දියාවේදී ටෙස්ට් ශතක දෙකක් වාර්තා කළ එකම පිතිකරු වන තිලකරත්න ඩිල්ශාන්
  – www.skysports.com

මෙම ඉනිමේදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 99කට දුවද්දී දැවී යාම ද අවාසනාවන්ත සිද්ධියක් ලෙසින් නම් කළ හැකි යි.

9. කුමාර් සංගක්කාර 137

2009 වසරේ දෙසැම්බර් මස 2 වනදා මුම්බායි හීදි ආරම්භ වූ ටෙස්ට් තරගයේ දී ම ඉන්දීය මුල් ඉනිමට වඩා ලකුණු 333ක් පසුපසින් සිටිමින් ආරම්භ කළ ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී ඉනිමක පරාජයෙන් බේරා ගැනීම සඳහා සංගක්කාර මෙම ඉනිම ක්‍රීඩා කළා. පන්දු 261 කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ එක් හයේ පහරක්ද ඔහුගේ මෙම ලකුණු 137ට ඇතුළත්.

කුමාර් සංගක්කාර – – gettyimages.com

 

කෙසේ වුවත් ඉනිමක පරාජයෙන් බේරා ගැනීමට සංගක්කාරගේ මෙම ඉනිම ප්‍රමාණවත් නොවූ අතර ඉන්දියාව ඉනිමකින් සහ ලකුණු 24කින් මෙම ටෙස්ට් තරගය ජයග්‍රහණය කළා.

10. ඇන්ජලෝ මැතිව්ස් 111

2009 වසරේදී එක් ලකුණකින් මඟ හැරී ගිය තම ශතකය 2017 දෙසැම්බර් මස 2 වනදා දිල්ලි හී දි ආරම්භ වූ ඉන්දු ලංකා ටෙස්ට් තරගාවලියේ තෙවන තරගයේ දී වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා. ශ්‍රී ලංකා මුල් ඉනිමේ අංක 4 පිතිකරු වූ මැතිව්ස් පන්දු 268ක් තුළ දී හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් ද සමඟින් මෙම ලකුණු 111 වාර්තා කළා.

චන්දිමාල් සහ මැතිව්ස් දෙදෙනා – www.icc-cricket.com

 

11. දිනේෂ් චන්දිමාල් 164

එම දිල්ලි ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිමේ අංක 5 පිතිකරු වූ චන්දිමාල් පන්දු 361ක් ක්‍රීඩා කරමින් හතරේ පහර 21ක් සහ හයේ පහරක් ද සමඟ මෙම විශිෂ්ට ලකුණු 164ක ඉනිම ක්‍රීඩා කළා. චන්දිමාල් සහ මැතිව්ස් දෙදෙනා ශ්‍රී ලංකා සිව්වන කඩුල්ල සඳහා වටිනා ලකුණු 181ක සබඳතාවක් පැවැත්වීමට ද මෙම තරගයේදී සමත් වුණා.

අවසන් වතාවට ඉන්දීය භූමිය තුළදී ශතකයක් වාර්තා කළ ශ්‍රී ලාංකික පිතිකරු ධනංජය ද සිල්වා
අවසන් වතාවට ඉන්දීය භූමිය තුළදී ශතකයක් වාර්තා කළ ශ්‍රී ලාංකික පිතිකරු ධනංජය ද සිල්වා – www.mykhel.com

12. ධනංජය ද සිල්වා 119

ඉන්දියාව තුළදී අවසන් වරට ටෙස්ට් ශතකයක් රැස් කළ ශ්‍රී ලාංකික පිතිකරු වන්නේ ධනංජය ද සිල්වා යි. ඔහු දිල්ලි හී දි පැවති ඉහත තරගයේ දී ම ශ්‍රී ලංකාව ලකුණු 410ක අසීරු ඉලක්කයක් හඹා යමින් සිටිය දී ශ්‍රී ලංකා අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ධනංජය ද සිල්වා ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වන තුරු ම නොදැවී මෙම වටිනා ඉනිම ක්‍රීඩා කළා. එහිදී ධනංජය පන්දු 219ක් තුළ හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් තම ඉනිමට එක් කිරීමට සමත් වුණා. ඔහුගේ ඉනිම නිසා ශ්‍රී ලංකාවට මෙම ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට හැකි වුණා.

මේ ආකාරයෙන් ඉන්දු ලංකා ටෙස්ට් තරග ඉතිහාසයේ ඉන්දියාව තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් රැස්කළ ශතක සියල්ල ම ලැයිස්තු ගතකළ හැකි වනවා. ඉන්දියාව තුළදී එක් ශතකයකට වඩා රැස් කිරීමට සමත් වී ඇත්තේ දුලිප් මෙන්ඩිස් සහ තිලකරත්න ඩිල්ශාන් යන දෙපළ පමණක් වීම ද විශේෂත්වයක්. ශ්‍රී ලංකා පිතිකරුවකු ඉන්දියාව තුළ දී ටෙස්ට් ශතකයක් රැස්කර ගත් අවස්ථා වලදී ශ්‍රී ලංකාව තරගයක් පරාජය වී ඇත්තේ එක් වතාවක් පමණක් වීම ද ප්‍රේක්ෂකයන්ට සුවිශේෂී කාරණයක්.

 කවරයේ ඡායාරූපය - සංගක්කාර හා මහේල - www.scroll.in

 මූලාශ්‍ර:

www.espncricinfo.com

 

Related Articles