ආර්ථික අර්බුදය පිටුපස එන අපේ සුව සේවයේ හදිසි අභියෝග

තුන් හැවිරිදි මීරු, දීප්තිමත් රතු පැහැති සෙල්ලම් කාරයක් සමඟ සෙල්ලම් කරමින් කෙළිදෙලෙන් කාලය ගත කර යි. තම අනාගතය අවිනිශ්චිත කරමින් ඔහු වටා දිග හැරී ඇති අර්බුදය ගැන පුංචි මීරුට අවබෝධයක් නැහැ. විරෝධතා, බලශක්ති අර්බුදය, ආහාර හිඟය, යන මේ සියල්ල සමඟ පොර බඳමින් සිටින සිය මාපියන්ගේ පීඩනය ගැන ඔහුට දැනුමක් නැහැ. මීරු ගේ මාපියන්ට දැන් අලුත් අභියෝගයක් සමඟ සටන් කරන්නට සිදු වී තිබෙනවා. ඒ ඖෂධ හිඟය යි.

මීරු යනු මොළයේ අසාමාන්‍ය ලෙස පටක වර්ධනය (Brain tumor) වීමේ රෝගී තත්ත්වයක් සමඟ ජීවත් වන සිඟිත්තෙක්. එහි බලපෑම නිසා ඔහු නිතර අපස්මාර තත්ත්වයට මුහුණ දෙන අතර, මිනිත්තු ගණනකින් සිහිසුන් වන තරම් මීරුගේ තත්ත්වය බැරෑරුම් වෙනවා. ඔහුට උපකාර වන එකම දෙය වන්නේ අපස්මාරයෙන් හට ගන්නා ගැස්ම වලක්වන ඖෂධය (Anti-convulsant drug) යි.

ඖෂධ සහ අත්‍යාවශ්‍ය සැපයුම් වේගයෙන් හිඟ වන බව බොහෝ රෝහල්වලින් අසන්න ලැබෙනවා – www.bbc.com 

ශ්‍රී ලංකාවේ පවත්නා උග්‍ර ආර්ථික අර්බුදය අපගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයත් වනසමින් සිටින බව දැන් රහසක් නොවෙ යි. මීරුට ලබාදෙන ඉහත සඳහන් ඖෂධයත් දැන් හිඟ වෙමින් පවතින නිසා ඔහුගේ පියා ඖෂධ සෙවීමට මහත් වූ පරිශ්‍රමයක් දරනවා.

“මේ ඖෂධය දැන් ඉස්පිරිතාල වල නැහැ. අහල පහල ෆාමසි වලත් තොග ඉවරයි. දැන් සල්ලි තිබුණත් බෙහෙත් හොයාගන්න නැහැ.”
මීරුගේ පියා CNN වෙත අදහස් දක්වමින් පවසා තිබුණා.

මහ පොළොවේ යතාර්ථය සමඟ එදිනෙදා ගැටෙන අපට උනන්දුවක් තිබේ නම් තවත් මෙවැනි කතා සොයා ගැනීමට හැකි වේවි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අන් රටවලට සාපේක්ෂ ව සාධනීය ජයග්‍රහණ අත්කර ගත් අපගේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් දිනපතා මෙහි බැරෑරුම්කම අවධාරණය කරන්නේ භයානක පසුබිමක් මැද යි.

කොළඹ ජාතික රෝහල අසල අප්‍රියෙල් 6 වැනිදා පැවැත් වූ විරෝධතාවක් – www.aljazeera.com ‍රජයක් දැරිය යුතු මහා වගකීමක් දැන් උරමත තබා ගෙන ඇත්තේ අපේ ම සෞඛ්‍ය සේවා වෘත්තිකයනු යි – www.aljazeera.com 

හෘදය සාක්ෂියක් ඇත්තෝ

ශ්‍රී ලංකාව පුරා සිටින වෛද්‍යවරුන් පවසන්නේ රටේ ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමඟ රෝහල්වල ඖෂධ සහ අත්‍යවශ්‍ය සැපයුම් අවසන් වෙමින් පවතින බව යි. ජාත්‍යන්තර ආධාර ඉක්මනින් නොපැමිණියහොත්, මෙම තත්ත්වය සෞඛ්‍ය ව්‍යසන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවට ඔවුන් බිය පළ කරනවා.

“දිනෙන් දින දේවල් අවසන් වෙනවා. අපි බිංදුව කියන තැනට ම ගියොත්, මං දන්නේ නැහැ මොනවා වේවි ද කියලා.”

ශ්‍රී ලංකා වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමයේ ලේකම්‍වරයකු වන වෛද්‍ය ඥානසේකරම් සඳහන් කර සිටිනවා. ඔහු පසුගිය දවස්වල කොළඹ ආශ්‍රිත රෝහල්වල අඩුවෙන් පවතින ඖෂධ ලැයිස්තුවක් සැකසීමෙහි ලා කාර්යබහුල වී සිටියා.

“අපට නිර්වින්දන ඖෂධ, බද්ධ කිරීම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, මැහුම් ද්‍රව්‍ය සහ අනෙකුත් ඖෂධ වල හිඟයක් තියෙනවා. අපේ තොග අවසන් වීමට ආසන්න යි. ක්ෂණික සහන නොලැබුණොත්, සෞඛ්‍ය සේවා බිඳ වැටේවි.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවත්නා සෞඛ්‍ය අර්බුදය ගැන පැහැදිලි කිරීමට සැදී පැහැදී සිටිනවා. ඒ හරහා ජාත්‍යන්තර මට්ටමෙන් පරිත්‍යාගශීලින් ඉදිරියට පැමිණෙනවා දැකීම ඔවුන් ගේ අපේක්ෂාව යි. රජයක් දැරිය යුතු මහා වගකීමක් දැන් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සිය උර මත තබා ගන්නා ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. හෘදය සාක්ෂියක් ඇති බහුතරයක් අප අතර සිටින නිසා මේ අර්බුදය සමඟ තවමත් සටන් කිරීමට අපට ශක්තිය ලැබී තිබෙනවා.

ආර්ථික අර්බුදයේ සෑම ගැටලුවකට ම පොදු හඬක් නංවන “ගෝටාගෝගම”-  twitter.com/hashtag/GotaGoGama 

පෙර නොවූ විරූ මානුෂික අර්බුදය

 ශ්‍රී ලංකාව දැන් සිටින්නේ ඉතිහාසයේ දරුණුත ම ආර්ථික අර්බුදයකට මැදි ව යි. වෛද්‍ය සැපයුම්වලින් 85% ක් පමණ ආනයනය කරන රටක් ලෙස විදේශ මුදල් සංචිත සිඳී යෑමෙන් සෞඛ්‍ය සේවය දරුණු අර්බුදයකට අප රට මුහුණ පාන බව අමුතුවෙන් කිව යුතු නැහැ. අපගේ තත්ත්වය සිංගප්පූරුවේ රතු කුරුස සංවිධානය විස්තර කර ඇත්තේ “පෙර නොවූ විරූ මානුෂීය අර්බුදයක්” ලෙසට යි.

සිංගප්පූරුවේ රතු කුරුස සංවිධානය මෙසේ සඳහන් කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික සහ මානුෂීය අර්බුදයට ප්‍රතිචාර වශයෙන් කැප කළ සිංගප්පූරු ඩොලර් 100,000 ට සමගාමී ව යි. එය ශ්‍රී ලංකාවේ අවදානමට ලක් විය හැකි ප්‍රජාවන්ට ආධාර කිරීම උදෙසා හදිසි වෛද්‍ය සැපයුම් සහ අනෙකුත් මූලික අවශ්‍යතා වෙනුවෙන් වෙන් කළ බව සඳහන්. මීට අමතර ව, එම ප්‍රජාවන්ට ඖෂධ සහ උපකරණවලින් ආධාර කිරීම සඳහා පරිත්‍යාග රැස් කිරීමේ ආයාචනයක් ද අරඹා තිබෙනවා.

 ඖෂධ හිඟයෙන් සිදු වූ කිසිදු මරණයක් බලධාරීන් මේ දක්වා  තහවුරු කර නොතිබුණත්, පවතින ඖෂධ සහ අනෙකුත් උපකරණ හිඟය දිගින් දිගට ම පැවතීම හමුවේ කොවිඩ් වසංගතයටත් වඩා දරුණු තත්ත්වයක් අපගේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇති විය හැකි බවට විශේෂඥයන් අනතුරු හඟවනවා.

කොළඹ ජාතික රෝහල අසල අප්‍රියෙල් 6 වැනිදා පැවැත් වූ විරෝධතාවක් – www.aljazeera.com 

තවත් පීඩිතයකුගේ කතාවක්

සෑම දිනක ම තම හත් හැවිරිදි දියණියට ජීවත් වීමට අවශ්‍ය “Topotecan” නමැති රසායනික චිකිත්සක ඖෂධය සොයා වසන්ත, කොළඹ ප්‍රදේශයේ ඖෂධ සලක් ගානේ ගමන් කරනවා. එය සොයා ගැනීමට නොහැකි ව ඔහු සිටින්නේ මංමුළා සහගතව යි. අප්‍රියෙල් 07 වැනිදා ඔහු තම දියණිය රෝහල් ගත කළ අතර, ඒ අතරවාරයේ දී අදාළ ඖෂධය සොයා ගැනීම ඔහු මුහුණ දී ඇති අභියෝගය යි. 

“රජයේ කිසිම රෝහලක, ඖෂධ සලක හෝ ආනයනකරුවකු සතුව එම ඖෂධය තිබුණේ නැහැ.”

මාධ්‍ය වෙත ඔහු තම ගැටලුව මෙසේ පැහැදිලි කළා. වසන්තගේ දියණිය “නියුරොබ්ලාස්ටෝමා” නමැති පිළිකා තත්ත්වය සමඟ සටන් වදින අතර, ඖෂධය නිසි වේලාවට ලබා නොදුනහොත්, අත්වන ඉරණම අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. සති කිහිපයකට පෙර “Topotecan” ඖෂධය රෝහල්වලින් නොමිලේ ලබා දුන් නමුත්, රෝගීන්ගේ පවුල්වලට දැන් එය පෞද්ගලික ඔසු සල්වලින් ලබා ගැනීමේ තත්ත්වයක් උද්ගත වෙමින් පවතිනවා. දැන් එයත් නො කළහැකි මට්ටමට ළඟා වී ඇත්තේ ඖෂධ හිඟය නිසා යි.

සෞඛ්‍ය සේවය තුළ ඉතා යහපත්, දක්ෂ මානව සම්පතක් අපට තිබෙනවා. දැන් අපට ඉතිරි වී ඇති එකම බලාපොරොත්තුව වන්නේත් එය යි.
– www.iamexpat.nl 

ඖෂධ පමණක් නොවෙයි

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) නිකුත් කළ ලිපියකට අනුව රට පුරා සියලු ම රෝහල්වල හදිසි ඖෂධ සහ වෛද්‍ය උපකරණ සඳහා ප්‍රමාණවත් සැපයුම් නැහැ. නිර්වින්දක සහ ප්‍රතිකාරක (reagents) සීමිත සැපයුම හේතුවෙන් සාමාන්‍ය සැත්කම් අත් හිටුවීමට සහ රසායනාගාර පරීක්ෂණ අඩු කිරීමට රජයේ රෝහල් කිහිපයකට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දන්වා තිබෙනවා.

 ඖෂධ පමණක් නොව අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පවා හිඟ වෙමින් පවතිනවා. උදාහරණයක් ලෙස අලුත උපන් බිළිඳුන්ගේ පෙනහළුවලට ඔක්සිජන් ලබා දීම සඳහා භාවිත කරන “endotracheal tubes”වල හිඟයක් පවතින හෙයින්, රෝහල්වල ඒවා භාවිත කළ යුතු අන්දම ගැන දැනුම්වත් කිරීම් සිදු කර ඇති බව පැවසෙනවා. අලුත උපන් බිළිඳුන් සඳහා භාවිත කරන මෙම උපකරණයේ හිඟය “අතිශයින් ම තීරණාත්මක” අවස්ථාවක් බව විෂය ප්‍රාමාණික විද්වතුන් ඉස්මතු කරනවා. අප දැන් වැටී සිටින්නේ මිනිසකුට නිදහසේ උපත ලබන්නටවත් ඉඩ නොදෙන ආකාරයේ අසරණ අඩියකට යි!

The Perinatal Society of Sri Lanka හි සභාපති වෛද්‍ය සමන් කුමාර පසුගිය දවසක අලුත උපන් බිළිඳුන්ට භාවිතා කරන ET ටියුබ් හිඟය සහ එහි අවශ්‍යතාව පැහැදිලි කරමින් ජාත්‍යන්තරයෙන් උපකාර පැතූ සංවේදී හඬ පටයක් මෙහි දැක්වෙනවා.

එයට වේගවත් සහ සාර්ථක ප්‍රතිචාර ලැබුණු අතර, ලොව පුරා වෛද්‍යවරුන් ඔහුට උදව් කිරීමට ක්‍රියා කළා. පැය 24ක් ඇතුළත ප්‍රමාණවත් ET ටියුබ් පරිත්‍යාග වශයෙන් ලැබුණු බවත් වාර්තා වුණා. කලින් සඳහන් කළ ආකාරයට ම රජයක් දැරිය යුතු මහා වගකීමක බර දැන් හෘද සාක්ෂියක් ඇති මිනිසුන් පිරිසක් සිය උරමතට ගෙන තිබෙනවා. එහෙත්, අර්බුදය ඔඩු දිවීම වැලැක්වීමට අප තවම සමත් වී නැහැ.

යුද සමයටත් වඩා තත්ත්වය දරුණු යි!

අනන්‍යතාව හෙළි නොකළ නැඟෙනහිර පළාතේ සේවය කරන එක්තරා වෛද්‍යවරයෙක් බීබීසි පුවත් සේවයට පවතින අර්බුදය පහදා දෙමින් පැවසුවේ තවත් සති දෙකකින් (පුවත පළවී ඇත්තේ අප්‍රියෙල් 17) බොහෝ ශල්‍යකර්ම නතර කර හදිසි අවස්ථා සඳහා පමණක් ක්‍රියාත්මක වීමට සිදුවනු ඇති බව යි. ඔහු සහ ඔහුගේ සහෝදර සේවක කණ්ඩායම දැනටමත් රෝහලේ හිඟ වෙමින් පවතින IV fluids, පැරසිටමෝල් සහ ප්‍රතිජීවක වැනි අත්‍යාවශ්‍ය ඖෂධ ලැයිස්තුවක් ලබා ගැනීමට අරගල කරමින් සිටින බවත් පැවසෙනවා.

රුධිර පාරවිලයනය සම්බන්ධ ව පවතින ගැටලු ගැන වෛද්‍යවරයෙක් තැබූ ට්විටර් සටහනක් – twitter.com/DocaAyya

ඔහු සේවය කරමින් සිටින ප්‍රදේශය තිස් අවුරුද්දක් පුරා පැවති සිවිල් යුද්ධයෙන් අනේක විධ දුෂ්කරතාවලට මුහුණ දී තිබුණා. යුදමය වාතාවරණයකට මැදි ව සේවය කරන වෛද්‍යවරයකු කරා පැමිණෙන අභියෝග සුළුපටු නැහැ. අප දැන් මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් එන අභියෝග, යුද සමයේ දී මුහුණ දුන් කටුක අත්දැකීම් වලටත් වඩා බැරෑරුම් බව ඔහුට වැටහෙමින් තිබෙනවා.

“යුද්ධ කාලයේ දී අපිට යම් යම් සීමා තිබුණත්, කොළඹ තියෙන අමාත්‍යාංශයෙන් අවශ්‍ය දේවල් ගන්න පුළුවන්කම තිබුණා. නමුත්, දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවා සැපයුම් අවම යි. යුද සමයේ දී වත් අපි මේ වගේ කලකිරීමකට හෝ බලාපොරොත්තු රහිත තත්ත්වයකට පත් වෙලා නැහැ.”

මහ පොළොවෙන් නැඟෙන යථාර්ථයේ තවත් එක පැතිකඩක් වෛද්‍යවරයා ඌණ පූරණය කළේ ඒ අයුරින්.

නිදහස් සෞඛ්‍යය වෙනුවෙන් අරගලයේ කොටස්කරුවන් වූ සෞඛ්‍ය සේවා වෘත්තිකයෝ – www.bbc.com 

ඊළඟට මොකද වෙන්නේ..?

ආණ්ඩුව කියා සිටින්නේ තමන් ආර්ථික සහ සෞඛ්‍ය අර්බුදය යන දෙකට ම අවධානය යොමු කර ඇති බව යි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් අවශ්‍ය අරමුදල් හෝ ඖෂධ ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන් පරිත්‍යාග ලබා ගැනීමට කටයුතු කරන බවත් සඳහන්. කෙසේ නමුත්, සෞඛ්‍ය අර්බුදයක් සෘජුව ම ගනුදෙනු කරන්නේ කාලය සමඟ යි. බැරෑරුම් ම කාරණය වන්නේත් එය යි. කාලයත් සමඟ මිනිස් ජීවිත දැඩි ව බැඳී පවතින හෙයින්, ඉක්මන් සහ ඍජු තීරණ ගැනීම ඉතා වැදගත්. සෞඛ්‍ය සේවා වෘත්තිකයන් එය දිගින් දිගට ම අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සංවිධානවලින් හෝ වෙනත් රටවලින් උදව් ලැබුණ ද, නැව්ගත කිරීම් පැමිණීමට සති හෝ මාස කිහිපයක් ගත විය හැකි යි. සමහර සැපයුම්කරුවන් ඖෂධ සෑදීම ආරම්භ කරන්නේ ඇණවුමක් සිදු කිරීමෙන් අනතුරුව යි. එවිට තවත් කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි පසුබිමක් ස්වභාවයෙන් ම දන්නා නිසා අලුත් සැපයුම් ලැබෙන තුරු රටට අවශ්‍ය ඖෂධ සහ උපකරණ තොග හිඟයක් නොමැති ව ගබඩා කරගත හැකි ක්‍රමවේදයක් පවත්වා ගෙන යාමේ වැදගත්කම කාටත් වැටහෙන කාරණයක්.

රෝගීන් ප්‍රතිකාර ලැබෙන තෙක් රෝහලක රැඳී සිටින අයුරු – www.bbc.com 

සෞඛ්‍ය සේවා වෘත්තික අර්බුදයේ ගැඹුර

ස්වයං රැකියාවක යෙදෙන්නෙක් පවා එම පිළිවෙත අනුගමනය කරනවා. එහෙත්, රට තුළ තිබෙන වෛද්‍ය සැපයුම් මේ තාක් දුරකට සිඳී යනතුරු පියවරක් නොගැනී ම කොතරම් අභාග්‍ය සම්පන්න තත්ත්වයක් ද! සෞඛ්‍ය සේවා වෘත්තිකයන් අර්බුදයේ ගැඹුර මෙතරම් අවධාරණය කරද්දීත් තවමත් ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයක් ගැන අපට ඇසෙන්නේ ඇයි? සැපයුම් ලබා ගැනීමේ දුෂ්කරතා පිටුපස ඇත්තේ මුදල් සංචිත සිඳී යෑම නම් එය අපේ වරදක් ද?

 මෙම ලිපිය කියවන පාඨක ඔබ, පසුගිය කාලයේ කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් නිකුත් කළ මාර්ගෝපදේශන අනුගමනය කළා සේ මේ නව අභියෝගය හමුවේත් වෛද්‍යවරු නිකුත් කරන උපදෙස් පිළිපැදීම අතිශයින් වැදගත් වේවි. අපට අතීතයේ සිට ම හොඳ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයක් තිබුණා. භෞතික සම්පත් අතින් අඩුලුහුඬුකම් තිබුණත්, සෞඛ්‍ය සේවය තුළ ඉතා යහපත්, දක්ෂ මානව සම්පතක් අපට තිබෙනවා. මේ දුෂ්කර කාල පරිච්ඡේදය තුළ පවා ඒ වටිනා මානව සම්පත අපට අහිමි වී නැති බව පැවසිය යුතු යි. දැන් අපට ඉතිරි වී ඇති එකම බලාපොරොත්තුව වන්නේත් එය යි.

කවරයේ ඡායාරූපය: නිල වශයෙන් නිවේදනය නොකළත්, අප සැබැවින් ම සිටින්නේ සෞඛ්‍යමට හදිසි අවස්ථාවක නොවේ ද? - www.dreamstime.com

 මූලාශ්‍ර:

www.amsweb.lk

www.aljazeera.com

edition.cnn.com

www.bbc.com/news 

Related Articles