Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවත් දකුණු ආසියාවේ ආජන්ටිනාව වේවි ද?

ශ්‍රී ලාංකිකයන් වන අප මේ මොහොත වනවිට ඉතා තීරණාත්මක අවස්ථාවකට එළැඹෙමින් සිටිනවා. රටේ සියලු ම ජනතාව පාහේ උද්ඝෝෂණය කරමින්, පවතින පාලනය දැඩි සේ ප්‍රතික්ෂේප කරන අතර, මෙතෙක් පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ දැවැන්ත උත්සාහයකින් සහ අපේක්ෂාවකින් ද පසු වෙනවා.

 නොසන්සුන්කාරී සහ ආර්ථික වශයෙන් ඉතා අපහසු වාතාවරණයක් මැද වුවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ දිශානතිය ගැන යම් අවබෝධයක් ලබා සිටීම ඉතා වැදගත්. මක් නිසා ද යත්, අපි මුහුණ දෙමින් සිටින්නේ එක රැයෙන් විසඳිය හැකි ගැටළුවකට නොවන නිසා යි. ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ රටවල් බොහෝමයක් දරුණු ආර්ථික කඩා වැටීම්වලට ලක් වී තිබෙනවා. ඉන් ඇතැම් රටවල් දීර්ඝ කාලීන සැලැස්මක් ඔස්සේ බොහොම ඉවසීමෙන් තම ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගෙන ඇති අතර, සැලසුමක් හෝ දැක්මක් ඇති පාලනයක් නොමැතිකම නිසා දිනෙන් දින වලපල්ලට ගිය රටවල් ද තිබෙනවා.

ආජන්ටිනාවේ ණය ආපසු ගෙවීමේ සැලැස්ම සහ තවත් රටවල් දෙකක් සමඟ සංසන්දනය – www.reuters.com 

IMF හි ප්‍රධාන ණයකරු

ආජන්ටිනාව යනු ආර්ථිකමය වශයෙන් දකුණු අමෙරිකානු කලාපයේ දැඩි අර්බුදයකට මුහුණපාන රටක්. ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවේ ගමන් මඟත් ආජන්ටිනාවට සමාන විය හැකි බවට අනතුරු අඟවනවා. ඇත්තට ම ආජන්ටිනාවට මොකද වුණේ? ලංකාවේ වත්මන් තත්ත්වයත් ආජන්ටිනාවට සමාන ද? අපි විමසා බලමු.

වසර සියයකට පමණ පෙර ආජන්ටිනාව ලෝකයේ ධනවත් ම රාජ්‍යයක් ලෙස වැජඹුණා. නමුත්, මේ සුන්දර රාජ්‍යය එක් තැනක දී 105% තරම් ඉහළ සාමාන්‍ය වාර්ෂික උද්ධමනයකට මුහුණ දුන්නා. මෙතෙක් පත් වූ රාජ්‍ය නායකයන් ආජන්ටිනාවේ බංකොලොත්භාවය යථා තත්ත්වයට පත් කිරීමට යම් යම් උත්සාහ දරා තිබුණත්, 1980 සිට විදේශ ණය ගෙවීම් පස් වතාවක් පැහැර හැර ඇති රාජ්‍යයක් ලෙස ආජන්ටිනාව හඳුනා ගෙන තිබෙනවා. ලෝකයේ වෙනත් කිසිදු රටක් එතරම් වාර ගණනක් ගෙවීම් පැහැර හැර නැති බවත් සඳහන් වෙනවා. අද ආජන්ටිනාව ඩොලර් බිලියන 44 ක හිඟයක් සහිත ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ණයකරු බවට පත් වී තිබෙනවා.

ආජන්ටිනාවේ ආර්ථික අර්බුදය 80 දශකයේ සිට වර්ධනය වෙමින් පැවති ගැටලුවක් වුවත්, ඔවුන්ගේ ආර්ථිකය විශාල පරිහානියට ලක් වූයේ 1998-2002 කාල පරාසය අතරතුර යි. 1990 ගණන්වල එරට ජනාධිපති ධූරය හෙබ වූ කාලෝස් මෙනෙම්, විදෙස් ආයෝජන ආකර්ෂණය හර ගැනීම, ආනයන තීරුබදු කප්පාදු කිරීම සහ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම වැනි ප්‍රතිසංකරණ කටයුතු සිදු කළා. එතෙක් වර්ධනය වෙමින් පැවති උද්ධමනය තනි ඉලක්කමක් කරා ගෙන ඒමට කාලෝස්ට හැකි වූ අතර, නිදහස් වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ හරහා නැවත හිස ඔසවන පරමාදර්ශී රාජ්‍යයක් ලෙස ආජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක් වුණා. කෙසේ නමුත්, කාලෝස් මෙනෙම් 1999 දී ධූරයෙන් ඉවත් වූ විට තත්ත්වය කණපිට හැරුණා.

2001 පැවති ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ආජන්ටිනාවේ මිනිසුන් විරෝධය දක්වන අයුරු – www.theglobeandmail.com 

මහා ආර්ථික අවපාතය

නැඟෙනහිර ආසියාව සහ රුසියාව මුහුණ දුන් මූල්‍ය අර්බුද ආජන්ටිනාවටත් බලපෑ අතර, ඉන්පසු මුහුණ දුන් දැවැන්ත දේශපාලන අස්ථාවරභාවය හමුවේ ආජන්ටිනාව ආර්ථික අර්බුදයේ පත්ලට ම ඇද වැටුණා. අධික දූෂණය නිසා ආයෝජකයන් ආජන්ටිනාව දෙස සැක සාංකාවෙන් බැලූ හෙයින්, කාලෝස් මෙනෙම් යුගයේ තිබූ අවදි වීම තවදුරටත් දකින්න ලැබුණේ නැහැ.

විදෙස් ආයෝජනවල කෙටි වර්ධනය 1995 දී අවසාන වූ හෙයින්, ආජන්ටිනාවට අඩු පොලී ප්‍රවේශයක් යටතේ  ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා මඟ පෙන්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු ආරම්භ කළා. 1999 දී මහා ආර්ථික අවපාතය ආරම්භ වූ විට බාහිර ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 50% සීමාව ඉක්මවා ගිය අතර, එහි දී ආයෝජකයන්ගේ විශ්වාසය පවත්වා ගැනීම වැදගත් හෙයින්, කප්පාදු හරහා අයවැය තුලනය කිරීමේ උපදෙස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙලෙන් ලබා ගැනීමට ආජන්ටිනාවට සිදු වුණා. ඒ අනුව කාලෝස් මෙනෙම්ට පසු ජනාධිපති ධූරයට පත් වූ ෆර්නැන්ඩෝ ඩෙලරුවාගේ පාලනය යටතේ ඩොලර් බිලියන 1.4 ක කප්පාදුවක් ක්‍රියාවට නැංවූවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් විරැකියාව 14% න් ඉහළ ගිය අතර, බදු අනුපාත වේගයෙන් ඉහළ දැමුවා.

මූලස්ථානය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල – www.bloomberg.com 

2001 දී ආජන්ටිනාවේ විරැකියාව 20% සීමාව ඉක්මවා ගියේ සමාජීය ප්‍රශ්න රැසක් ඔඩු දිවීමට ඉඩ දෙමින්. ප්‍රමුඛ තිරිඟු නිෂ්පාදකයකු ලෙස ලෝකයේ “පාන් කූඩ” වලින් එකක් ලෙස වැජඹුණු ආජන්ටිනාවේ සාගින්න සහ මන්දපෝෂණය පුළුල් ව පැතිරුණු අතර, ජීවන බරින් පරිපීඩිත වූ ජනතාව කැරලි ගසමින්, කොල්ලකෑම්වල නිරත වෙමින් රට එක ම අවුල් ජාලාවක් බවට පත් කළා. ගොඩනැඟුණු මහජන විරෝධය හමුවේ ෆර්නෑන්ඩෝ ඩෙලරුවා, 2001 දෙසැම්බර් මාසයේ දී ජනපති ධූරයෙන් ඉල්ලා අස්වුණා.

තීරණාත්මක සාධකයත් අස්ථාවර යි!

 රටක් විශාල ආර්ථික පරිහානියකට මුහුණ දෙමින් සිටින විට එහි දේශපාලන ස්ථාවරභාවය තීරණාත්මක සාධකයක් ලෙස ක්‍රියා කරනවා. එම තීරණාත්මක සාධකය තුළ පවා ආජන්ටිනාව අසමත් රාජ්‍යයක් ලෙස ලෝකයට විවෘත වුණා. ඩෙලරුවාගේ ඉල්ලා අස්වීමෙන් පසු සති දෙකක් ඇතුළත ජනාධිපතිවරුන් සිවු දෙනෙක් බලයට පත් වීම ඊට කදිම උදාහරණයක්. කඩා වැටෙන ආර්ථිකය සහ අස්ථාවර දේශපාලනය ඉදිරියේ අපේක්ෂා භංගත්වයට පත් වූ තරුණ උගතුන් දහස් ගණනක් ආජන්ටිනාව හැර යන තත්ත්වයක් උද්ගත වුණා. ඒ අතරතුර ආණ්ඩුවට අමෙරිකානු ඩොලර් බිලියන 100 ක ණයක් ගෙවීමට නියමිත ව තිබූ අතර, එම ණය පැහැර හැරීමට ඔවුන් කටයුතු කළා. එය ලොව මෙතෙක් පැවති විශාලත ම ස්වෛරී ණය පැහැර හැරීම ලෙසත් සැලකෙනවා.

 මහා ආර්ථික අවපාතනය සිදු වී දැන් දශක දෙකක් ගත වී තිබුණත්, දැවැන්ත ණයගැතිභාවය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම සහ ණය ගෙවීම් පැහැර හැරීමේ හැකියාව යන මාතෘකාවල කේන්ද්‍රාස්ථානය බවට ආජන්ටිනාව පත් වී තිබෙනවා. 2021 වනවිටත් ආජන්ටිනාවේ උද්ධමනය වාර්ෂික ව 52.1% දක්වා ඉහළ ගොස් තිබූ අතර, භාණ්ඩ මිල වේගයෙන් ඉහළ යන රටවල් අතර ආජන්ටිනාව නොවෙනස් වන ස්ථානයක පසු වෙනවා.

ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ලංකාව පුරා පවතින පාලනයට එරෙහිව විරෝධතා රැල්ලක් මතු වුණා – www.hindustantimes.com 

දකුණු ආසියාවේ ආජන්ටිනාව..?

 රටක් දැවැන්ත ආර්ථික අර්බුදයකට ලක් වූ විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉතා වැදගත් පියවරක් ලෙස සලකනවා. ණය ගෙවීම් පැහැර හැරීම හෝ ප්‍රමාද කිරීම වඩාත් අයහපත් ප්‍රතිඵලවලට තුඩු දිය හැකි හෙයින්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරා යෑම ඉතා වැදගත්. මෙම ක්‍රියාවලිය දේශපාලනඥයන්ට අවදානම් සහගත වාතාවරණයක් උදා කරනවා. ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ඇති වන සහන කාලයේ දී ගෙවිය යුතු ණය මුදල උපයා ගත යුතු හෙයින්, ජනතාවට එම වගකීමෙන් සැලකිය යුතු කොටසක් පැවරීම වැළැක්විය නොහැකි යි.

 දැන් ශ්‍රී ලංකාවත් ආජන්ටිනාව මුහුණ දුන්නාක් මෙන් මහා ආර්ථික අවපාතයකට ලක් වී ඇති බව පිළි ගැනීමට සිදු වෙනවා. එය දේශපාලනිකමය, ආර්ථිකමය සහ සමාජීය වශයෙන් ආජන්ටිනාව මුහුණ දුන් තත්ත්වයට එක හෙළා සමාන කිරීමට නොහැකි වෙන්නට පුළුවන්. නමුත්, නිදහසින් පසු ගත වූ දශක හත තුළ අප මුහුණ දෙන දැවැන්ත ම ආර්ථික අර්බුදය මෙය යි. එසේ නම්, ණය ප්‍රතිව්‍යුගත කිරීමක් කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු නොකළහොත්, දකුණු ආසියාව තුළත් ඉතා ඉක්මනින් ආජන්ටිනාවක් බිහි නොවේවියැ යි සහතික විය හැක්කේ කාට ද?

ආජන්ටිනා පෙසෝ නෝට්ටු – www.euronews.com 

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පුළුල් පරාසයක වූ ණය හිමියන් සමඟ සාකච්ඡා කළ යුතු අතර, ඔවුන්ට සිදු වී ඇති පාඩු සමතුලිත කිරීම සඳහා අයවැය කප්පාදුවකින් යම් කැප කිරීමක් සිදු කිරීමට අවශ්‍ය වෙනවා. දේශපාලකයන් සාමාන්‍යයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අකමැති වන්නේ බදු වැඩි කිරීම් සහ වියදම් ප්‍රතිසංස්කරණය හරහා ඔවුන් ගේ පැවැත්මට විය හැකි බලපෑම් ගැන සැලකිලිමත් වන නිසා යි. ජනතාවත් මෙහි දී ඉවසිලිවන්ත ව කටයුතු කළ යුතු යි. බදු ප්‍රතිපත්තිවල වෙනස්කම් හරහා ජනතාව පීඩාවට පත් වන විට දේශපාලන බල පෙරළියක් හරහා ක්ෂණික විසඳුම් සෙවීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. එයින් සිදු වන්නේ දේශපාලන අස්ථාවරත්වයක් රට තුළ ඇති වීම යි. ආර්ථික කඩා වැටීමකට ලක් වූ රටක සිදු විය හැකි නරක ම දෙයක් වන්නේත් දේශපාලන අස්ථාවරභාවය යි. ආජන්ටිනාවේ කැළඹිලි සහගත දේශපාලනය ඊට සුදුසු ම උදාහරණයක්.

ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලි සාපේක්ෂ ව කෙටි කලකින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පැවතුණත්, නිසි ආර්ථික කළමනාකාරීත්වයක් නොමැතිකම හේතුවෙන් වසර ගණනක් ඇදී යෑමේ හැකියාව පවතිනවා. 2001 මහා ආර්ථික අවපාතයෙන් පසු පත් වූ පාලකයන්ගේ අවිධිමත් ක්‍රියා නිසා ආජන්ටිනාවත් එවැනි දුෂ්කරතාවලට මුහුණ දුන්නා.

IMF හි ප්‍රධාන ණය ගැතියෝ – www.reuters.com 

රුපියලත් පෙසෝවක් වේවි ද?

ණය පැහැර හැරීමේ දී පමණක් නොව, මුදල් ඒකකයේ කඩා වැටීම අතින් ආජන්ටිනාව ලෝකයේ දර්ශීය උදාහරණයක් ලෙස පවතිනවා. දිගින් දිගට ම සිදු වන අධික බාල්දු වීම නිසා සිය මුදල් ඒකකය වරින් වර වෙනස් කිරීමට ආජන්ටිනාවට සිදු වුණා. 1983 දී ඔවුන් සෑම පැරණි ඒකක 10,000 ට එක බැගින් නව ආජන්ටිනා පෙසෝවක් හඳුන්වා දුන් අතර, ගෙවිය යුතු ණය චක්‍රයේ ඊළඟ අදියරට අදාළ අනුපාත ඉහළ දැමූ හෙයින්, ආජන්ටිනා පෙසෝ 1000 ක් සඳහා “ඔස්ට්‍රල්” යන නව මුදල් ඒකකයක් නිර්මාණය කිරීමට ආජන්ටිනාව පියවර ගත්තා. ශ්‍රී ලංකා රුපියල ද අධික ලෙස අවප්‍රමාණය වීම හමුවේ ලෝකයේ ඉතා දුර්වල ව ක්‍රියාත්මක වන මුදල් ඒකකයක් ලෙස දැනටමත් හඳුන්වා අවසන්. මේ කඩා වැටීම සහ ඉදිරි කාලය ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත ණය ගෙවීමේ සැලැසුමකට ශ්‍රී ලංකාව ඇතුළත් වුවහොත්, ආජන්ටිනා පෙසෝව පරිදි ම රුපියලත් විශාල අභියෝගවලට මුහුණ දේවි.

ඔස්ට්‍රල් නෝට්ටුවක් – www.foreigncurrencyandcoin.com 

1948 පටන් සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය සහ තවත් බොහෝ ප්‍රමුඛ සමාජ දර්ශකවල දකුණු ආසියාවේ ප්‍රමුඛස්ථානයක වැජඹීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. මහජන සේවා සහ ජීවන තත්ත්වය සැලකීමේ දී දකුණු ආසියාවේ පරමාදර්ශී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට මනා පිළිගැනීමක් තිබුණා. එහෙත්, මේ දැවැන්ත ආර්ථික අර්බුදයත් සමඟ තව දුරටත් එම කීර්ති නාමය රැක ගැනීම සැබෑ අභියෝගයක්. මෙතෙක් පැවති පාලන තන්ත්‍රවල පරිපාලනයේ දුර්වලතා ඊට සෘජුව බලපෑවත්, පත්වන ආණ්ඩු යනු ජනතා පිළිබිඹුව බැවින් මහ ජනතාව වන අපටත් “වගකිව යුත්තන්ගේ” ගොඩට ඇතුළත් වීමට සිදු වෙනවා. දේශපාලනය තුළ මතයක් දැරීමේ දී සමාජ සංවේදී කාරණා පෙරමුණු කර ගැනීම වෙනුවට සමාජ සාධාරණත්වය සහ ප්‍රතිපත්ති පෙරමුණු කර ගැනීම වැදගත් වන්නේ ඒ නිසා යි.

කවරයේ ඡායාරූපය: ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය ආජන්ටිනාව මුහුණ දුන් තත්ත්වයට සමාන විය හැකි බව ඇතැම් විද්වතුන් අනතුරු හඟවනවා - www.economist.com

මූලාශ්‍ර:

www.reuters.com

english.elpais.com

www.google.com

economynext.com

www.reuters.com 

 www.forbes.com 

 www.ft.com 

Related Articles