Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආහාර අර්බුදය සමඟ සටනට ‘Community Kitchens’

පවතින ආර්ථික අර්බුදය සහ පොහොර හිඟය හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තය බිඳ වැටීම වැනි හේතු නිසා නුදුරේදී ම ආහාර හිඟයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු වෙතැයි විද්වත් පාර්ශව කිහිපයක් පෙන්වා දී ඇත. ඒ නිසාම ගෙවතු වගාවට වැඩි වශයෙන් ජනතාව යොමු කර, වගා නොකළ සියලු ඉඩම් නැවත වගා කිරීම පිළිබඳ ව ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත.

විදෙස් රටක ක්‍රියාත්මක වන ප්‍රජා මුළුතැන්ගෙයක් –  www.infomigrants.com

මේ තත්ත්වය තුළ ලෝකයේ බොහෝ රටවල කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන, අපේ රටට තරමක් නවමු සංකල්පයක් වන ‘Community Kitchen’ (ප්‍රජා මුළුතැන්ගෙය) සංකල්පය පිළිබඳව ද සමාජය තුළ කතාබහක් ඇති වී තිබේ. ඒ හරහා ඉදිරියේ දී ඇති විය හැකි ආහාර හිඟයකට මුහුණ දීම සඳහා සූදානම් වීම මෙන් ම, සමූහයක් වශයෙන් පෝෂ්‍යදායි ආහාර වේලක් සකසා ගැනීම හා ආහාර සපයා ගැනීමේ අසීරුතාවෙන් පෙළන අයට ඒ සඳහා පිටිවහලක් වීම ප්‍රජා මුළුතැන්ගෙය සංකල්පයේ අරමුණ වේ.

මේ ලිපිය එම සංකල්පය සහ මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය පදනම් කරගෙන ක්‍රියාත්මක වන එවැනි වැඩසටහන් පිළිබඳව යි.

ප්‍රජා මුළුතැන්ගෙයක් තුළ පිළියෙළ කළ ආහාර – Moses Akash de Silva/ Facebook.com

 

ප්‍රජා මුළුතැන්ගෙය සංකල්පය

ප්‍රජා මුළුතැන්ගෙය, සාමූහික මුළුතැන්ගෙය යනුවෙන් ද හැඳින්වේ. ඉන් අදහස් වන්නේ ප්‍රදේශයක ජීවත් වන ජනතාව කණ්ඩායමක් වශයෙන් යම්කිසි ස්ථානයකට, බොහෝ විට පොදු ස්ථානයකට, එකතු වී ආහාර පිසීම යි. ඔවුන් ස්වේච්ඡාවෙන් එම කටයුතුවලට සම්බන්ධ වේ. ඒ සඳහා වුවමනා අමුද්‍රව්‍ය සපයා ගැනීම ද එම පිරිසගේ මුල්‍ය හා ද්‍රව්‍යමය දායකත්වයෙන් සිදු කෙරේ.

සමහර අවස්ථාවලදී ප්‍රජා මුළුතැන්ගෙය එක වරක් පමණක් ක්‍රියාත්මක වන අතර තවත් සමහර අවස්ථාවල එය යම්කිසි කාලසීමාවක් තුළ අඛණ්ඩ ව ක්‍රියාත්මක වේ.

පංචිකාවත්තේ පසුගියදා පැවැති ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන අතරතුර – Singularity Sri Lanka

ප්‍රජා මුළුතැන්ගෙයක පිළියෙළ කරන ආහාර අදාළ ප්‍රදේශයේ ජනතාව අතර බෙදා හැරීම, උපකාර අවශ්‍ය ප්‍රජාවක් සඳහා පරිත්‍යාග කිරීම හෝ යම්කිසි පොදු අරමුණක් වෙනුවෙන් මුදල් උපයා ගැනීමේ අරමුණින් අලෙවි කිරීම සාමාන්‍යයෙන් සිදු වේ. මෙය විධිමත් සහ අවිධිමත් යන දෙයාකාරයෙන් ම ක්‍රියාත්මක විය හැකි නමුත් එහි මූලික අරමුණ සාමූහික වශයෙන්, යම්කිසි නිශ්චිත ස්ථානයක ආහාර පිළියෙළ කරගැනීම යි.

තෝරාගන්නා ස්ථාන

සාමාන්‍යයෙන් ප්‍රජා මුළුතැන්ගෙයක් ස්ථාපිත කිරීම සඳහා තෝරාගන්නේ ආගමික ස්ථානයක්, පාසලක් හෝ වෙනත් ඉඩකඩ සහිත පොදු ස්ථානයකි. මෙම සංකල්පය විධිමත්ව සහ බහුලව ක්‍රියාත්මක වන සමහර රටවල ප්‍රජා මුළුතැන්ගෙවල් පවත්වාගෙන යාම සඳහා ම වෙන් වූ ස්ථාන තිබේ.

ඒවා කුලී හෝ බදු පදනම මත නිශ්චිත කාලසීමාවක් සඳහා ලබා ගැනීමේ හැකියාව ඇත. එම ස්ථාන පිරිසුදු කිරීම සහ අවශ්‍ය අලුත්වැඩියා කටයුතු මුළුතැන්ගෙය පවත්වාගෙන යන කණ්ඩායමේ සාමාජිකයන් ම සිදු කරයි.

ප්‍රජා මුළුතැන්ගෙයක ආහාර පිසින තරුණයෙක් – Singularity Sri Lanka

ප්‍රජා මුළුතැන්ගෙයක් පවත්වාගෙන යාමේ වාසි

ප්‍රජා මුළුතැන්ගෙයක් පවත්වාගෙන යාමෙන් ලැබෙන වාසි අතර ඒ ඒ ප්‍රදේශවලින් ම සොයා ගත හැකි අමුද්‍රව්‍ය භාවිතය ප්‍රවර්ධනය වීම ප්‍රධාන තැනක් ගනී. මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව පිළිබඳ ව වැඩි අවධානයක් ද යොමු කරයි. ඔවුහු සෑම විට ම පහසුවෙන් සොයා ගත හැකි අමුද්‍රව්‍ය භාවිත කරති. උදාහරණයක් ලෙස සමහර ප්‍රජා මුළුතැන්ගෙවල් පවත්වාගෙන යන අය ඒ වෙනුවෙන් ම වෙන් කරගත් ඉඩක එළවලු වැනි දෑ වගා කරති.

පිළියෙළ කළ ආහාර එම ස්ථානයේ සිට භුක්ති විඳීම – Moses Akash de Silva/ Facebook.com

ප්‍රජා මුළුතැන්ගෙයක් පවත්වාගෙන යාමේ දී බොහෝ විට සිදුවන්නේ ගමක හෝ ප්‍රදේශයක ජීවත් වන පවුල් ගණනාවක් එක ස්ථානයකට එකතු වී පිළියෙළ කරගත් ආහාර එම ස්ථානයේ සිට භුක්ති විඳීම ය. එබැවින් ඔවුන්ට සිය නිවෙස්වල දී ඒ සඳහා වැය වන මුදල් ඉතිරි කරගත හැක.

එම ස්ථානයේ සිටින අරපිරිමැස්මෙන් ආහාර පිසීමේ ක්‍රම පිළිබඳව දැනුමක් ඇති අයගෙන් එවැනි දෑ ඉගෙන ගැනීමට ද සහභාගී වන්නන්ට හැකියාව ලැබේ. එය වත්මන් බලශක්ති අර්බුදයට මුහුණ පා සිටින්නවුනට මහත් අස්වැසිල්ලක් සපයන්නක් ද වෙයි.

ප්‍රජා මුළුතැන්ගෙයක ආහාර පිළියෙළ කරන අයුරු – Singularity Sri Lanka

ඊට අමතරව මෙමඟින් සැලසෙන වැදගත් ම වාසිය වන්නේ එකිනෙකා අතර ඇති වන සුහදත්වය යි. තමන් මීට පෙර කිසිදිනෙක නොදන්නා අය සමඟ පවා කටයුතු කිරීමට සහභාගී වන්නන්ට හැකියාව ලැබේ. ඔවුන් අතර ඇති වන සුහදශීලි බව සහ මිත්‍රත්වය තව තවත් මෙවැනි පලදායි ව්‍යාපෘති බිහි වීමට ද මග පාදයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ‘ප්‍රජා මුළුතැන්ගෙය’  

‘සර්වෝදය ව්‍යාපාරය’ සහ ‘Singularity Sri Lanka’ එක්ව සංවිධානය කරන ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයෙන් පසුගියදා ආරම්භ විය. ඒ සඳහා විහාරස්ථානයක් තෝරාගෙන තිබිණි. එහිදී සිදු වූයේ ස්වේච්ඡාවෙන් ඊට සම්බන්ධ වූ පිරිස පිළියෙළ කළ රාත්‍රී ආහාර එම ප්‍රදේශයේ පදිංචි ජනතාවට ලබා දීම යි. එම වැඩසටහනේ මීළඟ අදියරකොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී එළඹෙන 14 වැනිදා පැවැත්වීමට නියමිත යි.

මෙම වැඩසටහන පිළිබඳව ඊට සහභාගී වන ස්වේච්ඡා ක්‍රියාකාරිණියකගෙන් අපි අදහස් විමසීමු.

ස්ථානය තෝරාගැනීම

ඇය සඳහන් කළේ බොහෝ අඩු ආදායම්ලාභී පවුල් විශාල වශයෙන් ජීවත් වන කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි නාගරික ප්‍රදේශවල මෙම වැඩසටහන මුලින්ම ක්‍රියාත්මක කරන බව යි. එවැනි ප්‍රදේශයක පිහිටි විහාරස්ථානයක්, දේවස්ථානයක්, වෙනත් ආගමික ස්ථානයක්, පාසලක් හෝ වෙනත් පොදු ස්ථානයක් තෝරාගන්නා ඔවුන් එම ස්ථානයට රැස් වී ආහාර පිළියෙළ කරයි.

 ජනතාවට එම ස්ථානයේ දී ම පිළියෙළ කරන ආහාර භුක්ති විඳීමට අවස්ථාව ලැබේ. ආගමික නායකයන් හෝ ග්‍රාම නිලධාරීන් වැනි අය ගෙන්  ලබාගන්නා තොරතුරු මත ආහාර ලබා දීම සඳහා සුදුසු පවුල් තෝරාගන්නා බව ඇය සඳහන් කළා ය.

සාමූහික වශයෙන් ආහාර පිළියෙළ කරගැනීම – Singularity Sri Lanka

“පවතින ආර්ථික අර්බුදය තුළ, තනි තනි වශයෙන් ආහාර පිළියෙළ කර ගැනීම වෙනුවට සාමූහික වශයෙන් ආහාර පිළියෙළ කරගන්නට වෙන දවසක් නුදුරේ දී ම එයි කියල අපි හිතනවා. ඒ නිසා තමයි අපි මේ වැඩසටහන ආරම්භ කළේ. සතියට එක දිනක් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අපි පළමු දිනයේ පිසූ ආහාර ලබා දෙනවා, දෙවැනි සතියේ පටන් අපි ඒ තෝරාගත් පවුල්වලට ආහාර පිළියෙළ කරගැනීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීම පමණයි සිදු කරන්නේ. දෙවැනි දිනයේ පටන් ඔවුන් එක ස්ථානයකට එක්රැස් වෙලා ආහාර පිළියෙළ කරගන්නවා” යි ඇය සඳහන් කළා ය.

මුදල් සහ ශ්‍රමය සපයා ගැනීම

පංචිකාවත්තේ පැවැති පළමු වැඩසටහන සඳහා අවශ්‍ය මුදල් සර්වෝදය ව්‍යාපාරය සහ Singularity Sri Lanka සාමාජික සාමාජිකාවන් ම එක් ව සපයාගත් බව පැවැසූ, ඇය සඳහන් කළේ කෙසේ නමුත් මේ වන විට බොහෝ පාර්ශව මෙම වැඩසටහනට දායකත්වය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බව ය. ඒ අතර මෙරට ප්‍රමුඛ පෙලේ පෞද්ගලික සමාගම් සහ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන ආයතන ද වන බව ඇය පැවසුවාය. ඇය සඳහන් කළේ මේ සඳහා යම්කිසි දායකත්වයක් දැක්වීමට අවශ්‍ය අයකුට සර්වෝදය ව්‍යාපාරය හරහා එය සිදු කළ හැකි බව යි.

 ආහාර පිසීම සහ බෙදාහැරීම-  Singularity Sri Lanka

 ආහාර පිසීම සහ බෙදාහැරීම වැනි කටයුතු සඳහා සමාජ මාධ්‍ය සහ විවිධ මාධ්‍යයන් ඔස්සේ මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් වූ ස්වේච්ඡා සාමාජික සාමාජිකාවන් 50කට ආසන්න පිරිසක් සහභාගී වේ. යම්කිසි ස්ථානයක පැවැත්වෙන ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් විශාල දායකත්වයක් ද ලැබෙයි.

ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව 

ප්‍රජා මුළුතැන්ගෙයක පිළියෙළ කරන ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම සම්බන්ධයෙන් ද ප්‍රමුඛ අවධානයක් යොමු කර යි. ඒ අනුව අත්වැසුම් පැළඳීම, පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මුඛ ආවරණ පැළඳීම වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු වේ. ආහාර පිසීම සහ බෙදාහැරීම වැනි කටයුතුවල නිරත වන අයට අත්වැසුම් සහ මුඛ ආවරණ වැනි දෑ සැපයෙයි.

Singularity Sri Lanka

 මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඉදිරියේ දී අනිකුත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව ද Singularity Sri Lanka සඳහන් කරයි. මේ වන විට ඒ සඳහා දායකත්වය දැක්වීමට කැමැත්ත පළකර ඇති ආයතනවල සහයෝගයෙන් වඩාත් පුළුල් ආකාරයෙන් මෙම සංකල්පය ජනගත කිරීමට හැකි වෙතැයි ඔවුන් බලාපොරොත්තු වෙයි.

 රාජගිරිය ප්‍රදේශයේ ද ප්‍රජා මුළුතැන්ගෙයක් ක්‍රියාත්මක වන අතර එය පසුගිය සඳුදා ක්‍රියාත්මක වුනේ සිව්වැනි දිනට යි. එහිදී 110 දෙනකුට ආහාර ලබා දී තිබිණි. රාත්‍රී 2ට එය වසා දැමූ පසුත් ජනතාව පැමිණ තිබූ අතර ඒ වන විට පිළියෙළ කළ ආහාර අවසන් වී තිබූ බැවින් පාන් ද මිල දී ගෙන ඔවුන්ට ලබා දීමට සංවිධායකයන් කටයුතු කර තිබිණි. 

කවරයේ ඡායාරූපය- ප්‍රජා මුළුතැන්ගෙය සංකල්පයේ මූලික අරමණු සාමූහිකව ආහාර පිළියෙළ කර පරිත්‍යාග කිරීම, බෙදා හැරීම හෝ පොදු අරමුණක් වෙනුවෙන් අලෙවි කිරීම වේ - www.cometocalais.com

මූලාශ්‍ර:

Singularity Sri Lanka

www.morningchores.com

www.scroll.in

www.trimarkusa.com

Related Articles