Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2016 වසර: ශ්‍රී ලංකාවේ පසු විපරමක්

2016 අවුරුද්දත් අදින් අවසන් වනවා. මේ අවුරුද්දේ සිදුවූ වැදගත් සිදුවීම් දිහා ආපහු හැරී බලන්න මේ හොඳ අවස්ථාවක් කියලා අපිට හිතුනා. පහතින් දැක්වෙන්නේ 2016 දී ශ්‍රී ලංකාවේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක්.

ජනවාරි 19

අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වුණා. මිය යන විට 68 වන වියේ පසු වූ ඒ මහතා ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියා.

ජනවාරි 30

සී.එස්.එන්. නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සැක පිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ඇතුලු පස් දෙනකු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබුණා. ඔවුන් ඇප මත නිදහස් කෙරුණේ මාර්තු මාසයේදී.

පෙබරවාරි 4

ශ්‍රී ලංකාවේ 68 වන නිදහස් දින ජාතික සැමරුමේදී ජාතික ගීය සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම ගායනය කෙරුණා

පෙබරවාරි 4

ගෝල්ඩන් කී සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටි සිසිලියා කොතලාවල දිවයිනට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපලේදී අත් අඩංගුවට ගනු ලැබුණා

පෙබරවාරි 6

සෙයිද් රාද් අල්-හුසේන් අලුත් වැඩක (ඡායාරූපය ට්විටර් @UNSriLanka)

සෙයිද් රාද් අල්-හුසේන් අලුත් වැඩක (ඡායාරූපය ට්විටර් @UNSriLanka)

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් සෙයිද් රාද් අල්-හුසේන් ශ්‍රී ලංකාවට පැමිණියා.

පෙබරවාරි 10

මැතිව් අබේසිංහ . ඡායාරූපය ThePapare

මැතිව් අබේසිංහ . ඡායාරූපය ThePapare

දකුණු ආසියානු ක්‍රීඩා: ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ රන් පදක්කම් හතක් දිනාගනිමින් දකුණු ආසියානු ක්‍රීඩා තරඟාවලියේ එක් උළෙලක වැඩිම රන් පදක්කම් ලද ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩකයා බවට පත්වුණා.

පෙබරවාරි 11

නව නීතිපතිවරයා ලෙස ජයන්ත ජයසූරිය මහතා පත් කරනු ලැබුණා.

පෙබරවාරි 25

දිවයිනටම බලපෑ විදුලිය බිඳ වැටීමක් වාර්තා වුණා.

මාර්තු 9

නීතිවිරෝධී ලෙස අලි පැටවකු ළඟ තබාගත් චෝදනාව පිට උඩුවේ ධම්මාලෝක හිමි අත් අඩංගුවට ගනු ලැබුණා.

මාර්තු 13

රටටම බලපෑ තවත් විදුලිය ඇණ හිටීමක් වාර්තා වූයේ මාර්තු 13 වනදා සවස 2.30 ට පමණ . විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් වීමට දින කිහිපයක් ගත වුණා.

අප්‍රේල් 20

පූජිත් ජයසුන්දර මහතා නව පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබුණා

මැයි 16

මහාචාර්ය ඈශ්ලි හල්පේ අභාවප්‍රාප්ත වුණා. මිය යන විට මහාචාර්යවරයා 83 වන වියේ පසු වුණා. ඔහු ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ ප්‍රවීණයකු ලෙස සැළකෙනවා.

මැයි 17

අරණායක නායයාම (ඡායාරූපය: එරංග ජයවර්ධන / AP)

අරණායක නායයාම (ඡායාරූපය: එරංග ජයවර්ධන / AP)

අරණායක ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් ගම්මාන තුනක් විනාශ වූ අතර විශාල පිරිසක් මිය ගියා. මේ අතර දැඩි වර්ශාපතනය හේතුවෙන් කැළණි ගඟ පිටාර ගැලීමෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක බරපතල ගංවතුර තත්ත්වයක් ඇති වුණා.

මැයි 23

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කළ චෝදනාව යටතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අත් අඩංගුවට ගනු ලැබුණා.

ජූනි 5

සාලාව පිපිරුමෙන් අලාභ හානි වූ නිවාස (ඡායාරූපය: එරංග ජයවර්ධන / AP)

සාලාව පිපිරුමෙන් අලාභ හානි වූ නිවාස (ඡායාරූපය: එරංග ජයවර්ධන / AP)

කොස්ගම සාලාව හමුදා කඳවුරේ දරුණු පිපිරීමක් සිදු වුණා. හමුදා සෙබළෙකු මිය ගිය අතර කඳවුරට මෙන්ම අවට නිවාසවලටත් අලාභ හානි සිදු වුණා.

ජූනි 18

නවීකරණය කළ යාපනයේ ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ක්‍රීඩාංගනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා විසින් විවෘත කෙරුණා. මෙහිදී මෝඩි එම උත්සවයට සහභාගී වූයේ වීඩියෝ මගින් වීම විශේෂත්වයක්.

ජූනි 20

මහ සෑයේ ගර්භය තුළට ගිය විට වැඳුම් පිදුම් කරනු පිණිස කුඩා චෛත්‍යයක් සාදවා ඇත (ඡායාරූපය happysrilankans.com)

මහ සෑයේ ගර්භය තුළට ගිය විට වැඳුම් පිදුම් කරනු පිණිස කුඩා චෛත්‍යයක් සාදවා ඇත (ඡායාරූපය happysrilankans.com)

කොත්මලේ මහවැලි මහා සෑය වන්දනාකරුවන් සඳහා විවෘත කරනු ලැබුණා. ඒ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින්.

ජූලි 2

නව මහ බැංකු අධිපති ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළා. කුමාරස්වාමි මහතාට පත්වීමේ ලිපිය බාර දෙනු ලැබුණේ ජූලි 4 වනදා.

ජූලි 7

ඒකාබද්ධ විපක්ෂය විසින් ‘ඡායා කැබිනෙට්ටුවක්’ ප්‍රකාශයට පත් කෙරුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එහි ‘ඡායා අගමැති වූ අතර ‘ඡායා විදේශ කටයුතු ඇමති’ වූයේ නාමල් රාජපක්ෂ .

ජූලි 25

හිටපු සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් තමා ඔස්ට්‍රේලියානු පිළේ උපදේශකත්වයක් භාරගැනීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා කරන ලද ප්‍රකාශයකට එරෙහිව දරුණු විවේචනයක් එල්ල කළා. ශ්‍රී ලාංකිකයන්ට, ශ්‍රී ලංකා කණ්ඩායම් පුහුණු කරන්නට අවස්ථාව නොදෙන බවත්, ඒ දුන්නත් විදේශිකයන්ට තරම් ගෙවීමක් නොකරන බවත් මුරලි කියා සිටියා.

අගෝස්තු 8

ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 72 ක්.

අගෝස්තු 11

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සම්බන්ධ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුණා

අගෝස්තු 13

වයස අවුරුදු 20 න් පහළ ආසියානු සත් සාමාජික රග්බි ශූරතාව ශ්‍රී ලංකාව විසින් දිනා ගනු ලැබුණා

අගෝස්තු 17

ඔස්ට්‍රේලියාව සමඟ පැවති ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය තරඟ 3-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් වුණා

අගෝස්තු 25

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවිය හැකර් ප්‍රහාරයකට ලක් වුණා. අගෝස්තු 26 වනදා එය දෙවැනි වරටත් හැකර් ප්‍රහාරයකට ලක් වුණා. දින කිහිපයකදී මේ පිළිබඳ සැකපිට පාසල් සිසුවකු ඇතුලු දෙදෙනකු අත් අඩංගුවට ගැනුණ අතර පාසැල් සිසුවා පසුව පරිවාස භාරයට පත් කෙරුණා. ජනාධිපතිවරයා පසු දිනෙක ඔහු හමුවී තිළිණයක්ද ප්‍රදානය කළා.

අගෝස්තු 31

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියා. ඒ ඔහුගේ ආසියානු සංචාරයේ එක් අංගයක් ලෙසින්.

සැප්තැම්බර් 4

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ්‍රහිම් අන්සාර් මහතාට ක්වාලා ලම්පූර් අන්තර්ජාතික ගුවන් තොටුපලේදී මැර ප්‍රහාරයක් එල්ල වුණා.

සැප්තැම්බර් 6

ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල වශයෙන් සහතික කෙරුණා

සැප්තැම්බර් 8

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුලු පස් දෙනකුට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම දෙනු ලැබුණා.

ඔක්තෝබර් 17

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළා

ඔක්තෝබර් 21

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි’ චිත්‍රපටයට එරෙහිව ඔක්තෝබර 5 වනදා පැවරූ වාරණ නියෝගය කොළඹ දිසා අධිකරණය විසින් ඉවත් කරනු ලැබුණා.

ඔක්තෝබර් 28

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉරිදිපත් කෙරුණා.

නොවැම්බර් 2

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කළ බව ප්‍රකාශයට පත් වුණා. පෙර පැවති අපේ ශ්‍රී ලංකා ජාතික පෙරමුණ යන පක්ෂයේ නම සහ ලකුණ වෙනස් කර නව නිලධාරී මඩුල්ලක් පත් කිරීම මගින් මෙම පක්ෂය පිහිටවුණා. මෙහි නායකයා මහාචාර් ය ජී. එල්. පීරිස් බව ප්‍රකාශ කෙරුණා.

නොවැම්බර් 3

අමරදේව (ඡායාරූපය Sandra Mack)

අමරදේව (ඡායාරූපය Sandra Mack)

හෙළයේ මහා ගාන්ධර්වයා යන විරුදාවලිය ලත් පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් අභාවප්‍රාප්ත වුණා. ඔහු මිය යද්දී ඔහුගේ 89 වන ජන්ම දිනයට තිබුණේ මාසයක් පමණයි.

නොවැම්බර් 25

අරණායක නූරිවත්තේ කළමණාකරු ඝාතනය පිළිබඳ වරදකරු වූ 18 දෙනෙකුට අවිස්සාවේල්ල මහාධිකරණයේදී මරණ දඬුවම නියම කෙරුණා.

දෙසැම්බර් 2

ආගමන විගමන නීති උල්ලංඝණය කළ චෝදනාවට වසරක සිර දඬුවමක් නියම වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නිදහස ලැබුවා

දෙසැම්බර් 8

ඉංග්‍රීසීන් විසින් 1818 දී දේශද්‍රෝහීන් යයි නම් කළ කැප්පෙටිපොල දිසාවේ ඇතුලු 19 දෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රණශූරයින් යයි ප්‍රකාශ කෙරුණේ 1818 දී නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරමින්.

දෙසැම්බර් 9

ලංකාවේදී අල්ලාගත් විශාලම කොකේන් තොගය විදියට සැලකෙන් කිලෝ ග්‍රෑම් 800 ක් වන කොකේන් තොගයක් ඉක්වදෝරයේ සිට ඉන්දියාව බලා යන නැවක , තේක්ක කඳන් අතර සඟවා තිබියදී සොයා ගැනුනා.

දෙසැම්බර් 10

හම්බන්තොට වරායේ සේවක වර්ජනයක් අතරතුරදී නාවික හමුදාපතිවරයා ජනමාධ්‍යවේදියකුට පහර දුන් බවට චෝදනාවක් එල්ල වුණා.

දෙසැම්බර් 23 – 24

දෙසැම්බර් 23 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක ඉදිරියේ සත් පුද්ගල විශේෂ ජූරියක් මගින් අසන ලද නඩරාජා රවිරාජ් ඝාතන නඩුවේ අවසන් දිනය වුණා. එම දිනයේ මධ්‍යම රාත්‍රියද පසුව සුලු වේලාවකින් නඩු තීන්දුව ප්‍රකාශ කරමින් ජූරිය කියා සිටියේ විත්තිකරුවන් නිදොස් බවයි. මින් පෙර , මෑත කාළයේදී මහාධිකරණ නඩුවක් මධ්‍යම රාත්‍රිය ඉක්මවා විමසීමට ලක් කර නැති බවයි කියැවෙන්නේ. මින් පෙර බදුල්ල මහාධිකරණයේදී ජූරි සභා නඩුවක් රාත්‍රී 11.30 වනතුරු අසා තිබෙනවා.

දෙසැම්බර් 25

ලොව උසම නත්තල් ගස (ඡායාරූපය: එරංග ජයවර්ධන / AP)

ලොව උසම නත්තල් ගස (ඡායාරූපය: එරංග ජයවර්ධන / AP)

නත්තල් උදාවත් සමඟ ගාලු මුවදොර ලොව උසම කෘත්‍රිම නත්තල් ගස විවෘත කළ බව ශ්‍රී ලංකාව ලෝකයටම කියා සිටියා. මෙම ගස උසින් මීටර 73 ක් (අඩි 238 ක්) වෙනවා.

දෙසැම්බර් 27

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වුණා. මිය යන විට ඔහු 83 වන වියේ පසු වුණා. ඔහු 2000 – 2001 සමයේ සහ 2005 – 2010 සමයේ ශ්‍රී ලංකාවේ අගමැති ධූරය දැරුවා.

2016 වසරේ ලෝකයේ අනෙකුත් රටවලත් විවිධ ආකාරයේ වැදගත්, ඇතැම්විට ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් සිදු වුණා. ඒ පිළිබඳව අප වෙනම ලිපියකින් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම 2017 වසරේ ද ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ කරුණු ඔබට ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා.

Related Articles