Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිව් වසරකට නිහඩ වෙන බිග් බෙන්

ලෝකේ වඩාත් ජනප්‍රියම හා විශාලතම හෝරා ස්ථම්භයක් වන බිග් බෙන් හෝරා ස්ථම්භය ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා අගෝස්තු 21වෙනිදා සිට වසර හතරකට පමණ නිහඩ වුනා. මෙම ප්‍රතිසංස්කරණ වලින් පසුව එය නැවත හඩ නගන්නේ 2021 දී වන අතර මේ ඒ දැවැන්තයා ගැන කතාවයි.

එංගලන්තයේ සංකේතයක් බඳු වූ බිග් බෙන් –  im.tiscali.cz

ගින්නෙන් උපන් යෝධයා

1834 දී ලන්ඩනයේ පැරණි වෙස්මිනිස්ටර් මාලිගය ගින්නකින් විශාල ලෙස හානියට පත් වුණා. මෙය නැරඹීමට ලන්ඩන් ජාතිකයන් විශාල පිරිසක් එකතු වුණා. ඒ අතර බස් රථයකින් මෙය නරඹමින් ගමන් කරමින් සිටි චාර්ල්ස් බැරී නම් ගෘහ නිර්මාණ ශිල්පියා ද සිටියා. එම ගින්න නිසා එරට පාර්ලිමේන්තුවට සැසිවාර රාශියක් අතහැර දමන්නට සිදු වූ අතර ගින්නෙන් මාස 13කට පමණ පසුව නැවත එම ගොඩනැගිල්ල නිර්මාණය වෙනුවෙන් 1835 නොවැම්බර් මාසයේ දී ගෘහ නිර්මාණය ශිල්පීන්ගෙන් සැලසුම් කැඳවනු ලැබුවා. නිර්මාණකරුවන් 90දෙනෙක් සැලසුම් 400ක් පමණ ඉදිරිපත් කරනු ලැබූ අතර මෙහි දී තෝරාගනු ලබන්නේ චාර්ල්ස් බැරීගේ සැලසුමයි. නමුත් බැරීගේ පළමු සැලසුමේ මෙම ඔරලෝසු කනුව නොතිබූ අතර, මෙම ගොඩනැගිලි කමිටුව විසින් පසුව එය එකතු කර නැවත සැලසුම නිර්මාණය කරන ලෙස බැරීට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔගස්ටස් පියුගින් නම් තම සගයාට බැරී විසින් මෙය බාර දෙනු ලබනවා. ඔවුන් දෙදෙනා එක්ව පැති හතරකින් හා විශාල සිනුවකින් යුතුව බිග් බෙන් සැලසුම් කරනවා. පියුගින් ගෘහ නිර්මාණ ශිල්පියෙකු වුණත්, ඔරලෝසු නිර්මාණකරුවෙකු නොවුණු නිසා මෙහි ඔරලෝසුව නිර්මාණය කිරීමේ කටයුත්ත රැජිණ වෙනුවෙන් ඔරලෝසු නිපදවන්නා වූ බෙන්ජමින් කිවින්ට බාර දෙනු ලබනවා.

වෙස්මිනිස්ටර් මාලිගය ගින්න – flickr.com

ඔරලෝසු නිර්මාණකරුවා ගැන ගැටළුවක්

බෙන්ජමින් කිවින්ට කිසිදු  තෝරාගැනීමකින් තොරව කරන ලද මෙම බාරදීම බ්‍රිතාන්‍යයේ සිටි සියලුම ඔරලෝසු නිපදවන්නන්ගේ අප්‍රසාදයට හේතුවක් වුනා.ඉන්පසු බ්‍රිතාන්‍ය තුල සිටි තවත් කීර්තිමත් ඔරලෝසු නිපදවන්නෙකු වූ හා ඩේන්ට් සමාගමේ නිර්මාතෘවරයා වූ   එඩ්වර්ඩ් ඩෙන්ට් විසින් මෙය නිර්මාණයට අදාලව සැලසුමක් නිර්මාණය කරන ලෙස ජෝර්ජ් අයිරිට ඉල්ලීමක් ඉදිරිපත් කළා. අයිරී එවක එක්සත් රාජධානියේ රාජකීය ගෘහ නිර්මාණ භාරව කටයුතු කල ප්‍රධානියා වූ අතර ගණිතඥයකු ද වුනා. අයිරි විසින් බාරගනු ලදුව ඉදිරිපත් කල සැලසුම කමිටුව විසින් සලකා බලා ඔහුට එය පවරනු ලැබුවා. ඉන්පසුව ඊට අවශ්‍ය භාණ්ඩ ලැස්තුව ඔහුට ඉදිරිපත් කරන ලෙස ඔවුන් අයිරීට පවසා සිටියා. ඔහු විසින් ඉදිරිපත් කරන ලද ලැස්තුව කලින් නොදුටු උපකරණ වලින් යුක්ත වුනා. එය තරමක් දිගින් යුතු එකක් ද වූ අතර නමුත් ඔරලෝසුවක තිබිය යුතු  වඩාත්ම වැදගත් කාරණය වෙනුවෙන් එම උපකරණ පෙළ ගස්වා තිබු අතර අයිරී ගේ බලාපොරොත්තුව වී තිබුණේ  එහි වේලාව තත්පරයටම නිවැරිදිව සටහන් කිරීමටයි. නමුත් කිසිවෙකුත් විශාල මුහුණු හතරක් සහිත හා විශාල කටු සහිත ඔරලෝසුවකින් නම් බලාපොරොත්තු වී නොතිබූ අතර එය පළපුරුදු ඔරලෝසු නිර්මාණකරුවන්ගේ උපහාසයට පවා පත්ව තිබුණා පමණක් නොව ඔවුන් එය කළ නොහැකි දෙයක් ලෙස අර්ථ දක්වා තිබුණා.

බිග් බෙන් ඇතුලත – dailymail.co.uk

මෙම ඔරලෝසුවට සීනු අවශ්‍ය වුනා. විශාල සීනුවක් පැය නාද කිරීමටත්, තව කුඩා ඒවා හතරක් මගින් විනාඩි පහළොවෙන් පහළොවට නාද වීමටත් අවශ්‍යව තිබුණා. ඔවුන් විසින් මෙම ඔරලෝසුව මගින් ඉතාමත් මිහිරි නාදයක් ද බලාපොරොත්තු වී තිබුණා. එම මිහිරි නාද දෙන සීනු සෑදීමේ කොන්ත්‍රාත්තුව  වෝර්නර්ස් ඔෆ් ක්‍රිප්ල්ගේට් විසින් දිනගනු ලැබුවා. මෙහි විශාල සීනුව වාත්තු කර නිම කිරීම 1856 අගෝස්තු 6 වෙනිදා නිමකර තිබූ අතර, පසුව එය නිපදවුණු ඊසාන දිග එංගලන්තයේ ස්ටෝක්ටෝන්-ඔන්-ටීස් නගරයේ සිට වාෂ්ප නැවකින් වෙස්ට්මිනිස්ටර් වෙත ගෙන එනු ලැබූවා. ඒ, එය දුම්රියෙන් ගෙන ඒමට නොහැකි තරම් විශාල එකක් වූ නිසායි. තේම්ස් නදිය හරහා ගෙනෙනු ලැබූ එය සුදු අශ්වයන් 16 දෙනෙකුගෙන් සාදනු ලැබූ කරත්තයකින් වෙස්මිනිස්ටර් වෙත ප්‍රවාහනය කරනු ලැබ තිබුණා.

පලවෙනි සීනුව පළුදු වී තැනු දෙවැනි සීනුව විශාල වීම

“බෙන්” යනුවෙන් හදුන්වනු ලැබූ අය ගැන මත දෙකක් තිබෙනවා. ඉන් එකක් වන්නේ ඒ බෙන්ජමින් කාන්ට් වැන් බව වන අතර ඔහු බොක්සින් ක්‍රීඩකයෙකුව සිට තිබෙනවා. අනෙකා වන්නේ සර් බෙන්ජමින් හෝල් වැන් ය. ඔහු වෙස්ට්මිනිස්ටර් මාලිගය නිර්මාණය බාරව කටයුතු කර තිබුණා.

කෙසේ නමුත්, ගෙන එන ලද සීනුව එයට වැදුණු මිටි පහර් නිසා 1857 ඔක්තෝම්බර් 17 වනදා පුපුරා යාමට ලක්ව තිබුණා.

නැවත වරක් ටොන් 13.5 ක බරින් යුතුව දෙවැනි සීනුවත් නිර්මාණය වුවත් එය කලින් සීනුවට වඩා ප්‍රමාණයෙන් කුඩා වුණා. 1858 අප්‍රේල් 10 දින ආරම්භ වු මෙහි වාත්තු කටයුතු නිමවී, නැවත වරක් ලන්ඩන් ජනතාවගේ ඔල්වරසන් හඩ මැද මෙය වෙස්මිනිස්ටර් වෙත ගෙන එනු ලැබුවා.

එය නැවත වරක් ගෙන් එන විටත් මෙහි කුළුනේ වැඩ කටයුතු නිම කර තිබුනේ නෑ. එය සාදා නිම කරන විට කවුරුත් විසින් නොසිතු වරදක් සිදුව තිබුණා. ඒ සීනුව, කනුව තුල ස්ථාන ගත කළ නොහැකි තරමට පළලකින් හා උසකින් යුතු වීමයි. නමුත් මිනිස් පැය තිහක මෙහෙයුමකින් පසු එය නිවැරදිව ස්ථානගත කරන්නට ඔවුනට හැකිව තිබුණා. සියල්ල අවසානයේ බිග් බෙන් 1859 මැයි මාසයේ ක්‍රියාත්මක වීම ආරම්භ වුණා.1859 ජූලි 11 වෙනිදා බිග් බෙන් එංගලන්තයට තම පළමු පැය දන්වනු ලැබුවේ මිහිරි ශබ්දයක් ද සමගිනුයි.

බිග් බෙන් තේම්ස් නදියේ සිට බැලූ විට රාත්‍රියට පෙනෙන අයුරු -7-themes.com

නමුත් සියල්ල එසේ නියමිත පරිදි සිදුවෙමින් පවතින විට 1859 ඔක්තෝම්බර් 01 වෙනිදා බිග් බෙන් මත නැවතත් පළුදු වීමක් වාර්ථා වුණත් මෙවර ගැටලුව වුයේ එය නැවත වරක් පොළොවට ගැනීමට නොහැකි වීමයි. මෙහිදී ජෝර්ජ් අයිරි විසින් දෙනු ලැබූ විසදුම ක්‍රියාත්මක වූ අතර ඒ අනුව ඔරලෝසුවේ මිටිය වදින ස්ථානය සීනුව කරකවා වෙනස් කළ අතර, අද පවා එම පැල්ම ඔරලෝසුව තුල දැක ගත හැකි වෙනවා.

නිර්මාණය දැකීමට පෙර මිය ගිය නිර්මාණකරුවා

ඔගස්ටස් පියුගින් නමැති විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියා සිය ජීවිතයේ අවසන් වරට සැලසුම් කළ නිර්මාණය වන්නේ මෙම ඔරලෝසු කණුව යි. එයින් කෙටි කලකට පසු පියුගින් මානසික රෝගී තත්ත්වයකට පත්ව, කලක් රෝගාතුරුව සිට මරු වැළඳගෙන ඇත. චාර්ල්ස් බැරීට ඔහු විසින් නිපදවන ලද  ඔරලෝසුවෙහිත් කුලුනේත් සැලසුම් සටහන් රැගෙන යන්නට සකස් කර තබා පියුගින් විසින් යම් සටහනක් ද ඒ සමග තබා තිබෙන අතර ඒ සටහනින් කියැවෙන්නේ “… මම මගේ ජීවිතයේ කිසිදාක බැරීට මහන්සි වී වැඩ කළේ නැහැ. හෙට බැරීට දෙන්න ඝණ්ටාර කුලුනේ සැලසුම් සියල්ල මා ඇඳ අවසන් කළා. එය හරිම ලස්සනයි. …” යනුවෙනි.

ප්‍රමාණයන් ගෙන විස්තර ටිකක්

මෙම ස්ථම්භය නිර්මාණය කර තිබෙන්නේ නව ගොතික් නිර්මාණ ශිල්පයට අනුව වන අතර එය මීටර 96ක් හෙවත් අඩි 315 ක උසකින් යුක්ත වෙනවා. මෙහි ඉහළට යාමට පඩි 315ක් තරණය කළ යුතුයි. කුළුණ ඇතුලත කියුබික් අඩි 164, 200ක ධාරිතාවයකින් යුක්ත වෙනවා.  මෙම ඔරලෝසු කනුව ආශ්‍රිතව වැඩ කරන ලද කුඩා ළමයෙකු වටා ගොඩ නැගුණු “හියුගෝ” ත්‍රිමාණ චිත්‍රපටය අතිශය ජනප්‍රිය වූ එකක් වුණා.

බිග් බෙන් හී ඉහලට යාමට පඩි 315 ඔබ තරණය කල යුතු වෙනවා – staticflickr.com

සිව් වසරක් ගිමන් හරින්නට පෙර

2017 අගෝස්තු 21 වනදා දහවල් 12ට බිග් බෙන් නිහඩ කරවනු ලැබුවා. මෙම අවස්ථාව හා සම්බන්ධ වන ලෙස එරට ජනතාවට ද  ආරාධනය කෙරුනා. එමෙන්ම එරට පාර්ලිමේන්තු නිලධාරින් පවා මෙම බිග් බෙන් වසර හතරකට නිහඩ වීමට පෙර ඇසෙන අවසාන ඔරලෝසු හඩ ඇසිමට පාර්ලිමේන්තු චතුරශ්‍රය වෙත පැමිණියා. ඒ අනුව අගෝස්තු 21 වෙනිදා දහවල් 12 කණිසම නාද වීමෙන් පසු බිග් බෙන් වසර 4 කට නිශ්ශබ්ද වුණා. මෙම ඔරලෝසුව ස්ථාපිතව ඇති එලිසබෙත් කුළුණ, එනම් බ්‍රිතාන්‍ය තුල වැඩිම වශයෙන් ඡායාරූපයට ලක් වූ කුළුණ ද මෙහිදී ප්‍රතිසංස්කරණයට භාජනය කෙරෙනවා.

මෙම ඔරලෝසුව භාරකරු වන ස්ටීව් ජග්ස්  “ද ගාර්ඩියන්” වෙබ් අඩවියට පවසා තිබුණේ තමන් මෙම බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයේ අග්‍රගන්‍ය සළකුණෙහි භාරකරු වීම ගැන ආඩම්බර වන බවත්, එසේම බිග් බෙන් ඔරලෝසුවට හා එලිසබෙත් කුළුණට මෙය දිගු කාලයක් පුරා පැවති අවශ්‍යතාවයක්ව තිබූ බවත්ය.

බිග් බෙන් මේ ගෙවමින් සිටින්නේ තම 157 වන වසරයි. 2007 වසරේදී  මෙය අවසාන වරට නිහඩ වූ අතර ඊට අමතරව 1983 දී හා 1985 දී මෙය නැවත සකස් කිරීම් වෙනුවෙන් නිහඬ කොට තිබෙනවා.

නමුත් මෙම ඔරලෝසුව විශේෂ අවස්ථා වෙනුවෙන් තවදුරටත්, එනම් අලුත් අවුරුදු උදාව වැනි අවස්ථා වෙනුවෙන් භාවිතා කළ හැකි වනු ඇතැයි ඔවුන් පවසනවා. යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම ලැයිස්තුවට පවා ඇතුලත් කර තිබෙන මෙය තවදුරටත් රැක ගැනීම වෙනුවෙන් එංගලන්තය නම් නොකරන දෙයක් නොමැති වේවි.

Cover – static.iltalehti.fi

Related Articles