Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීනයේ නිෂ්පාදිත පළමු විශාල ප්‍රමාණයේ මගී ගුවන් යානය

චීනය පසුගිය මැයි 5 වනදා තම රටෙහි නිෂ්පාදිත පළමු විශාල ප්‍රමාණයේ මගී ජෙට් යානය එළි දැක්වූවා. එය සිය මංගල ගුවන් ගමන සඳහා ෂැංහයි පුඩොංග් ජාත්‍යන්තර ගුවත් තොටුපළෙන් ගුවන් ගත වූ අතර ඉන් විනාඩි අසූවකට පසු එය එහි ම යළිත් ගොඩ බස්වනු ලැබුණා.

මෙම අවස්ථාව චීන රාජ්‍ය රූපවාහිනිය විසින් සජීවී ව විකාශය කෙරුණා. මෙම ගුවන් යානය නිපදවීමත් සමඟ විශාල මගී ප්‍රවාහන ජෙට් යානා තම රටවල් තුළ නිපදවන රටවල් අතලොස්සට චීනය ද එක් වුණා. මේ වනවිට එම රටවල් අතර සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, බ්‍රසීලය, කැනඩාව සහ ජර්මනිය පමණයි.

චීන රජයේ ගුවන් යානා නිෂ්පාදන සමාගම වන චීන වාණිජ ගුවන් යානා සමාගම හෙවත් කොමැක් (Comac) ආයතනය විසින් නිපදවා ඇති මෙම ජෙට් යානය C919 ලෙස නම් තබා තිබෙනවා. පටු බඳක් සහිත ගුවන් යානයක් වන C919 යානයෙහි මගීන් 156 ක් සිට 168 ක් දක්වා පිරිසකට ඉඩ පහසුකම් තිබෙනු ඇති. කොමැක් ආයතනය පවසා සිටින්නේ C919 යානයට බෝයිං 737 සහ එයාර්බස් 320 ගුවන් යානා සමඟ තරඟ වැදීමට හැකිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

චීන මගී ගුවන් යානා ඉතිහාසය

චීනය විසින් ම නිෂ්පාදනය කරන ලද මගී ගුවන් යානයක් නිපදවීම චීනයේ හිටපු නායක මාඕ සේතුංගේ ද එක් සිහිනයක් වුණා. නමුත් මාඕගේ ජීවිත කාළය තුළ එය සාර්ථක කර ගැනීමට චීන ජාතිකයන් සමත් වූයේ නැහැ.

චීනයේ නිෂ්පාදිත පළමු මගී ගුවන් යානය වූයේ Y-10 නම් යානයක්. එය එළි දක්වන ලද්දේ 1980 දී. එනම් මාඕ සේතුංගේ අභාවයෙන් වසර හතරකට පසුවයි. ෂැංහයි ගුවන් යානා පර්යේෂණ ආයතනය විසින් නිපදවන ලද මෙය බෝයිං 707 යානය පදනම් කරගෙන නිපදවූවක් වුණා. මෙම ව්‍යාපෘතිය එතරම් සාර්ථක නොවූ අතර Y-10 යානා නිපදවන ලද්දේ තුනක් පමණයි.

ARJ21 ජෙට් යානය (Pic Shimin Gu)

චීනයේ නිපදවන ලද පළමු මගී ජෙට් යානය වූයේ ARJ21 යානයයි. මෙහි නිෂ්පාදන කටයුතු 2008 දී ආරම්භ වූ අතර චීන ගුවන් ගමන් කර්මාන්ත සමාගම විසින් නිපදවනු ලැබුණා. 2008 දී කොමැක් සමාගම බිහි වූ පසු මෙම ජෙට් යානය නිපදවූ සමාගම ද එය හා එක් වුණා. ඒ අනුව දැනට මෙම ජෙට් යානය ද අලෙවි කරන්නේ කොමැක් සමාගම හරහායි. 2016 දී චෙංග්ඩු ගුවන් සේවය විසින් මෙම ගුවන් යානය සේවයෙහි යොදවනු ලැබුණා. මෙම ගුවන් යානය දේශීය ගුවන් ගමන් සඳහා යෙදවෙන්නක්.

C919 යානය

C919 යානය චීනයේ නිෂ්පාදිත එකක් වුණත් එයට විදේශයන් හි නිෂ්පාදිත උපාංග භාවිතා කර තිබෙනවා. එහි ජර්මන් ගොඩ බැස්සවීම් පද්ධතියක් ද, ප්‍රංශ – ඇමරිකානු ඇන්ජිමක් ද ඇතුලත් වන අතර එහි ඇතුලත (interior) ඔස්ට්‍රේලියානු නිමැවුමක් වනවා. ඒ හේතුවෙන් මෙම යානය චීන නිෂ්පාදනයක් ය යන අදහස ඇතැම් විශේෂඥයන් විසින් අභියෝගයට ලක් කෙරෙනවා.

C919 යානයේ ආකෘතිය මුලින් ම එළි දැක්වූ අවස්ථාව (Comac)

නමුත් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වූවන් C919 යානය පිළිබඳ ඉතා සතුටින් පසුවන බව පෙනෙන්නට තිබෙනවා. යානය නිර්මාණය කිරීමට සම්බන්ධ වූ සිංහුවා සරසවියේ ඉන්ජිනේරුවකු වන ෆූ සොංග් චීන CGNT රූපවාහිනිය සමඟ ප්‍රකාශ කළේ C919 යානය ඉතා හොඳින් ගුවන් ගත වූ බවයි. එම ව්‍යාපෘතිය හා සම්බන්ධ වීමට ලැබීම භාග්‍යයක් බව ඔහු ප්‍රකාශ කළා.

මේ අතරම චීන බලධාරීන් එම පළමු පියාසැරිය අවස්ථාවේ නියමු කුටියේ දර්ශන සජීවීව ප්‍රචාරය කළා. එයාර් බස් හෝ බෝයිං හෝ සමාගම් දෙකෙන් එකක්වත් මෙසේ යානයක පළමු පියාසැරියේදී එහි නියමු කුටියේ සජීවී දර්ශන විකාශය කර නැහැ.

C919 ට ඇති අභියෝග

C919 යානයට ඇති පළමු ප්‍රධාන අභියෝගය වන්නේ මගී ගුවන් ගමන් සඳහා අනුමැතිය ලබා ගැනීමයි. 21 යානයට අනුමැතිය ලබා ගැනීමට වසර හයක් පමණක් ගත වුණා. එමෙන්ම බටහිර රටවල නියාමන අධිකාරියකින් එම යානය සඳහා අනුමැතියක් තවමත් ලැබී නැහැ. එයාර් බස් සහ බෝයිං යානා සමඟ තරඟ කිරීමට එම අවශ්‍යතාව සැපිරීම අත්‍යාවශ්‍ය වනවා.

මේ අතර කොමැක් ආයතනය එයාර්බස් හෝ බෝයිං හෝ සමඟ තරඟ කරන්නට බලාපොරොත්තු වන්නේ නම් ඔවුනට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදු වනවා. මෙම තරඟකරුවන් දෙදෙනාම වසරකට ගුවන් යානා 500 ක් 600 ක් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබනවා. මේ හේතුව නිසා කොමැක් ආයතනයට ඔවුන් සමඟ තරඟ කිරීම කිසිසේත් පහසු වන්නේ නැහැ.

C919 පළමු පියාසැරිය (Pic EPA)

අනෙක් අතට එසේ තරඟ කිරීමට නම් C919 ගුවන් යානය ඉන්ධන කාර්යක්ෂමතාව අතින් ද වෙනත් පහසුකම් අතින් ද අනෙක් ගුවන් යානා සමඟ කරට කර සිටීම අත්‍යාවශ්‍ය වනවා.

මේ වනවිට තමන්ට ගුවන් යානා 600 ක් සඳහා ඇණවුම් ලැබී ඇති බව කොමැක් සමාගම පවසනවා. එනමුත් මෙම යානය පියාසර පරීක්ෂණ ගමන් වාර ආදී සියල්ල සම්පූර්ණ කර මගී ප්‍රවාහන සේවයට එළඹීමට 2020 වනතුරු වත් කාළයක් යනු ඇති. ඒ හේතුව නිසා මෙම ගුවන් යානා එයාර්බස් සහ බෝයිං ආයතනවලට තරඟයක් දීමට තවත් වසර කිහිපයක් යනු ඇති.

අනෙක් අතට ARJ21 යානය මෙන් මෙම යානය ද අසාර්ථක වීමේ ඉඩක් නැතිවාම නොවේ. එහෙයින්, C919 යානය ගුවන් ගමන් ක්ෂේත්‍රයට කිනම් ආකාරයේ බලපෑමක් කරනු ඇතිද යන්න පැහැදිලි වීමට තවත් ටික කළක් යනු ඇති.

මූලාශ්‍ර

  1. Tom Phillips, C-919: first Chinese-built passenger jet completes ‘beautiful’ maiden flight, The Guardian
  2. Richard Aboulaifa, A Reality Check On China’s C919 Jetliner, Forbes
  3. Jon Ostrower, China’s 1st big passenger jet completes maiden flight, CNN Money

Cover Image: C919 ගුවන් යානය (Pic: Comac)

Related Articles