ප්‍රවෘත්ති සහ වාර්තාමය

විනාඩි 3 ක කියවීමක්

වෙනිසියුලාව බලාපොරොත්තු වන්නේ විකල්පයක් ද? විප්ලවයක් ද?

Published

විනාඩි 3 ක කියවීමක් to read

Facebook Twitter GPlus

Iroshan Fernando

Staff Writer

මේ දිනවල වෙනිසියුලාවට නම් එතරම් හොඳ කාලයක් ගෙවෙන්නේ නෑ. පවතින දේශපාලන අස්ථාවර බව හමුවේ තව දුරටත් වෙනිසියුලාවේ ජන ජීවිතය හා සියලුම දෛනික කටයුතු අඩාල වී තිබෙන මොහොතක වෙනිසියුලාවේ මොකද වෙන්නේ? වෙනිසියුලාවට මෙහෙම වුණේ ඇයි? අන්තර්ජාතික මැදිහත් වීම කොයි අයුරින් මෙම ප්‍රශ්නය සමඟ සිදු වෙයිද? වගේ දේවල් කිහිපයක් ගැන ඔබේ අවධානය යොමු කරන්න අපි හිතුවා.

රට ගැන කෙටියෙන්

වෙනිසියුලාව දකුණු ඇමරිකාවේ උතුරට වන්නට පිහිටා ඇති රටක් වෙනවා. එය නැගෙනහිරෙන් ගයනාවටත්, දකුණෙන් බ්‍රසිලයටත්, බටහිරෙන් කොලොම්බියාවටත් මායිම්ව පිහිටා තිබෙනවා. වෙනිසියුලාව වඩාත් ප්‍රසිද්ධ වන්නේ ඉන්ධන, රටේ පවතින පාරිසරික ජෛව විවිධත්වය හා එම රටේ ඇති ස්වාභාවික ලක්ෂණ නිසායි. මේ නිසා වනජිවින්ට විශාල ලෙස මෙම පරිසර පද්ධතිය නිවසක් වී තිබෙනවා. තවද ලොව ජෛව විවිධත්වය අධිකම රටවල් අතරටද මෙම රට එකතු වී තිබෙනවා. එමෙන්ම ලතින් ඇමරිකාවේ වඩාත් ම නාගරීකරණය වූ රටක් ලෙසද මෙය සැලකෙනවා.

ලොව ධනවත්ම රටක්ව පැවති වෙනිසියුලාව – www.iris.xyz

මිලියන 32 කට ආසන්න ජනතාවක් ජීවත් වන වෙනිසියුලාවේ ප්‍රධාන භාෂාව වන්නේ ස්පාඤ්ඤ භාෂාව වන අතර 92% තරම් රෝමානු කතෝලික ආගමිකයන් වාසය කරනවා. ෆෙඩරල් සමූහාණ්ඩු ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක වෙනවා.

ජනපතිට එරෙහි ජනතා නැගිටීම

වෙනිසියුලාවේ වර්තමාන ජනාධිපති වන නිකොලස් මධුරෝ (Nicolas Maduro) එරෙහිව මෙම විරෝධතාවයන් පැන නැගී තිබෙනවා. වෙනිසියුලාවේ ප්‍රධාන නගරය වන කරකස් (Caracas) නගරය කේන්ද්‍ර කර ගනිමින් පසුගිය සති කිහිපය පුරාම දැවැන්ත උත්ඝෝෂණ ක්‍රියාත්මක වූ අතර මින් සමහරක් ඒවා දැඩි ප්‍රචණ්ඩත්වයක් ගනු ලැබුවා.

ජනාධිපති වන නිකොලස් මධුරෝ – img.rt.com

උද්ඝෝෂකයන් චෝදනා කරන්නේ ජනාධිපති නිකොලස් මධුරෝ ආඥාදායකත්ව පාලනයක් ඔස්සේ ඉදිරියට ඇදෙන බවත් ඒ නිසා ඔහු ජනපතිධුරයෙන් ඔහු වහාම ඉවත් වියයුතු බවත් කියාය. නමුත් ජනාධිපතිවරයා පවසන්නේ විරුද්ධ පක්ෂය විදේශයන් හා එක්ව තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කරන බවයි. විශේෂයෙන් එක්සත් ජනපදය තම රට අස්ථාවර කිරීමට බලා සිටින බව ඔහු සඳහන් කරනවා. පසුගිය මාස හතර  තුළ රාජ්‍ය විරෝධී විරෝධතා නිසා 120 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මියගොස් තිබෙන බව වෙනිසියුලාවේ නීතිපති පවසනවා . කෙසේ නමුත් පසුගිය ඉරිදා (ජූලි 30) එරට ජනමත විචාරයක් පවත්වා තිබෙන අතර එයට අදාල ප්‍රචණ්ඩ ක්‍රියා වලින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

විරෝධතාව ඇරඹුණේ කොහොම ද?

වෙනිසියුලාවේ පැවති අස්ථාවර බව හා දේශපාලන වියවුල්භාවය පසුගිය මාර්තු 29 වෙනිදා උච්චතම ස්ථානයට පත් වුණා. ඒ එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති මධුරෝ හා එක්ව එරට පාර්ලිමේන්තුව (National Assembly) විසුරුවා හැර සියලුම ව්‍යවස්ථාදායක බලතල තමන් යටතට ගැනීමත් සමගයි. මෙය හරහා සිදුවූයේ විපක්ෂය සතුව පැවති ව්‍යවස්ථාදායකයේ  කොටස ඔවුන්ට අහිමි වීම හා ජනපති  මධුරෝගේ එක්සත් සමාජවාදී පක්ෂය විසින් වෙනිසියුලාවේ ආණ්ඩුවේ අනෙකුත් ශාඛා දෙකක් පාලනය කරන බව එරට විපක්ෂයට ගම්‍ය වීමයි. මේ තුලින් කුපිත වූ එරට විපක්ෂය එය ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණයක් බව පැවසුවා. ඊට ප්‍රතිචාර ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණය දින තුනක් පමණ ඇතුලත නැවත නිෂ්ප්‍රභා කරනු ලබනවා. නමුත් එම තීරණය ගන්නා විට ඔවුන් ප්‍රමාද වී තිබුණා.

හෙන්රික් කැප්රිල්ස් – venezuelanalysis.com

විපක්ෂයේ ප්‍රතිචාරය කෙතරම් ප්‍රබලවී ද යත් අප්‍රේල් 7 වෙනිදා එරට රජය විසින් ප්‍රධාන විපක්ෂයේ නායක හෙන්රික් කැප්රිල්ස්ට වසර 15 යන තෙක් කිසිදු දේශපාලන ක්‍රියාකාරකමක් කිරීමට නොහැකි වන ලෙස තහනමක් ද නිකුත් කරනු ලැබුවා.

ප්‍රශ්න නිමක් නැති වෙනිසියුලාව

වෙනිසියුලාව එකිනෙකට බද්ධ වූ ප්‍රශ්න රැසකට මේ වනවිට මැදිව තිබෙනවා.

එයින් ප්‍රධානම කාරණාවක් වන්නේ ආර්ථිකයේ පවතින අස්ථාවර බවයි. 2017 ජනවාරි මසයෙදී ජාතික මුදල් හා ආර්ථික සංවර්ධන කොමිෂන් සභාව (Finance and Economic Development Commission of the National Assembly) කර තිබූ ගණනය කිරීම් අනුව මේ වර්ෂයේ එරට උද්ධමනයේ අගය 679.73% පමණ අගයක් ගනු ඇතැයි පැවසුණා. කෙසේ නමුත් අන්තර්ජාතික මුල්‍ය අරමුදලට  අනුව නම් මේ වසරේ එම අගය 720.5% අගයක් විය හැකි අතර ඒ මුළු මහත් ඇමරිකානු මහාද්වීපයේ වාර්තා වන ඉහළම උද්ධමන අගය වනු ඇත. 2018 වර්ෂය වන විට එම අගය 2068.5% අගයක් විය හැකි බවට අනුමාන කෙරෙයි.

කුසට ආහාර සොයන වෙනිසියුලානුවෝ – todayvenezuela.com

වසර තුනක් පුරා පැවතෙන මෙම ආර්ථික අස්ථාවර බව, දිනෙන් දින ඉහළ යන අපරාධ හා දුප්පත්කම හමුවේ එරට ජනපතිවරයාගේ ජනප්‍රියතාව ඉතා වේගයෙන් පහළ බසින්නට ආරම්භ වී තිබෙනවා.

වෙනසක් සොයන ජනතාව

එරට රජය විසින් ප්‍රධාන විපක්ෂයේ නායක හෙන්රික් කැප්රිල්ස්ට වසර 15 යන තෙක් කිසිදු දේශපාලන ක්‍රියාකාරකමක් කිරීමට නොහැකි වන ලෙස තහනමක් ද නිකුත් කරනු ලැබීමත් සමඟම මෙම බල අරගලය වැඩි වර්ධනය වී තිබෙනවා. කැප්රිල්ස් යනු පසුගිය දශක දෙක තුල එම රටේ සිටි ප්‍රමුඛතම විපක්ෂ නායකයා වන අතර ඔහු දෙවරක්ම ජනාධිපතිවරණ ජයග්‍රහණ ආසන්නයට ම පැමිණි පුද්ගලයෙක් ද වනවා. 2014 වසරේ සිට ජනපති මධුරෝට එරෙහි අරගලය පැවති නමුත් එය උත්සන්න වූයේ මේ වසර මාර්තු මාසයේදි ය. තරුණ කණ්ඩායම් හා එරට ආරක්ෂක අංශ අතර පැවතෙන ගැටුම් වලදී විශාල වශයෙන් ගල්මුල් ප්‍රහාර හා කඳුළු ගෑස් යොදා ගැනෙනවා.

විරෝධතාකරුවන් – cdn.saleminteractivemedia.com

වෙනිසියුලාවේ සාමාන්‍ය ජනතාව විඳින දුක ගැන ලියනාඩෝ බ්රුසුවාල් නම් ජනමාධ්‍යවේදියා අල්-ජසීරා පුවත් සේවයට පවසා තිබුණේ මෙලෙසයි:

“අප විරෝධතා පළ කරනවා. ඒ අපි නිකොලස් මධුරෝගේ රජයට විරුද්ධ නිසා. හුස්ම සිරකරන තරම් ඉතා අවදානම් අර්බුදයක් අපි අත්වින්දා…රැකියාවක් කරන සාමාන්‍ය වැටුපක් උපයන අපට යන්තම් හෝ කෑමට හැකියි. නමුත් අප අතර සිටින සමහරක් තරුණ ළමුන්, කුඩා දරුවන් හා වැඩිහිටියන් කෑමට ගන්නේ අපද්‍රව්‍යයි. අපට මේ රජයේ වෙනසක් අවශ්‍යයි.”

ජනමත විචාරණයක් තියලා වෙනිසියුලියාව මිනිස්සු ඇන්දුවා ද?

පසුගිය ඉරිදා (ජූලි 30) වෙනිසියුලාව ජනමත විචාරණයක්  පවත්වා ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ කිරීමට නව ව්‍යවස්ථාදායක සභාවක් (Constituent Assembly) පත් කරනු ලැබුවා. නමුත් මෙම සභාව විසින් එරට පාර්ලිමේන්තුව අභිබවා යමින් මධුරෝට පක්ෂ තීරණ ගනු ලැබුවා. ජනමත විචාරණයට මිලියන 8ක් (ජනගහනයෙන් 41%ක්) ජනතාවක් සහභාගී වූ බව මධුරෝ රජය පැවසුවත් සමීක්ෂණ වාර්තා පවසන්නේ මෙය මිලියන 3.6ක් (ජනගහනයෙන් 18.5%ක්) පමණ විය යුතු බවයි.

වෙනිසියුලානු ජනමත විචාරණය – www.dw.com

ඇමරිකානු එක්සත් ජනපද දෙපාර්තමේන්තුව මෙම ජනමත විචාරණය දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබෙනවා. ඔවුන් පවසා තිබුනේ ඒ සම්බන්ධව ඇමරිකා එක්සත් ජනපදය දැඩි තීරණයක් ඉක්මනින් ගනු ඇති බවයි. තමන් වෙනිසියුලාවේ ජනතාව වෙනුවෙන් හා වෙනිසියුලාව නැවත යථා තත්ත්වයට පත්කර ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදය වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන් පවසා තිබුණා. එමෙන්ම එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද නියෝජිතවරිය වන නිකි හැලි ට්විටර් පණිවිඩයක් මගින් කියා තිබුණේ වොෂින්ටනය  එම ජනමත විචාරයේ ප්‍රතිඵලය පිළිනොගන්නා බවත් මධුරෝගේ මෙම ජනමත විචාරණය ගෙන ලැජ්ජාට පත් වෙන බවත් ඇය පවසා තිබුණා.

කෙසේ නමුත් විරෝධතාකරුවන් මෙම ප්‍රතිඵල සමඟ තමන්ගේ විරෝධතා වඩා බලවත් කරනු ලැබුවා.

මේ වනවිට වෙනිසියුලාව කෙතරම් අරාජිකත්වයට පත්ව ඇත්දැයි පැවසුවොත් එම රටේ රෝහල් වල මේ වන විට ඖෂධ හිඟයක් මෙන්න අඛණ්ඩ විදුලි සැපයුමක් පවා ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත්ව තිබෙනවා.

කෙසේ නමුත් හෙට දිනයේ දී වෙනිසියුලාවේ කුමක් වනු ඇත්දැයි කාටවත් කිව හැකි වන්නේ නෑ. ඊට හේතු ලෙස ජනාධිපති නිකොලස් මධුරෝගේ ක්‍රියාකලාපය, ඇමරිකාවේ මැදිහත් වීම හා ජනතාවගේ නැගී සිටීම පෙන්වා දිය හැකියි. තවද තෙල්  සම්පත් වලින් අධික මෙවැනි රටක් කෙරේ ඇමරිකාව කෙසේ මැදිහත් වේද යැයි බොහෝ දෙනෙකු දෑස් දල්වා බලා සිටිනවා.

Cover image – www.slate.com

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්