ප්‍රවෘත්ති සහ වාර්ථාමය

විනාඩි 7 ක කියවීමක්

අලුත් අවුරුද්දේ කුණු කන්දක් යට වැළලුණු පිරිසකගේ කතාව

Published

විනාඩි 7 ක කියවීමක් to read

Facebook Twitter GPlus
Shaahidah Riza

Shaahidah Riza

Contributor

English Translation Button Sinhala Translation Button

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර වැඩිහරියක් යෙදී තිබුණු අප්‍රේල් 14 වැනි සිකුරාදා දවසේ කුණු කන්දක් කඩා වැටුණා. මීතොටමුල්ල ප්‍රදේශයේ විහාර මාවතේ තියෙන පන්සලක් ආසන්නයේ ජීවත් වුණු දයානි ඊට පහුවදා ඒ පන්සල තුළම සරණාගතයෙක් වෙලා. හිතාගන්නවත් බැරි විදිහට තමන්ව දාල ගිය ඇගේ ස්වාමි පුරුෂයා සහ දරුවන් තුන් දෙනා ගැන කියමින් ඇය විලාප දෙන සද්දය අවට පැතිරෙන දරුණු දුර්ගන්ධයත් මැඩගෙන ප්‍රදේශය පුරාම දෝංකාර දෙනවා. දයානි කියන්නේ අලුත් අවුරුදු දා කඩා වැටුණු මීතොටමුල්ල කුණු කන්දට තමන්ගේ පවුලේ පිරිස් බිලි වූ අයගෙන් එක්කෙනෙක් විතරයි. කුණු කන්ද අවට ජීවත් වුණු පවුල්වලින් වැඩි හරියක් හවස 3.30ට විතර මේ ව්‍යසනය සිදු වෙද්දීත් හිටියේ අලුත් අවුරුදු දවසේ ප්‍රීතිය සමරමින්.

ප්‍රදේශයේ ජීවත් වුණු පිරිසට එකපාරටම විශාල ශබ්දයක් එක්ක මීතොටමුල්ලේ රාහුල විද්‍යාලයට මායිම් වෙලා තිබුණු පැත්තෙන් කුණු කන්දේ කොටසක් කඩා වැටෙනවා දකින්න ලැබිලා. නාය ගිය අති විශාල කුණු කන්ද නතර වුණේ ගෙවල් සිය ගණනක් කඩා බිඳගෙන ගිහින්. දයානිගේ පවුලේ අයත් ඇතුළුව ප්‍රදේශයේ බොහෝ දෙනා ඒ වන විටත් නිවෙස් තුළට වෙලා අවුරුදු ප්‍රීතිය සමරමින්, පැමිණෙන නෑදෑ හිතවතුන්ට සංග්‍රහ කරමින්, බොහොම සතුටින් අවුරුදු සමරමින් ඉඳලා තියෙන්නේ. මහා ශබ්දයක් එක්ක කුණු කන්ද කඩා වැටෙනවා දැකපු සමහරුන්ට හැමදේම අත්හැරලා දුවලා ජීවිත බේරගන්න පුළුවන් වෙලා තියෙනවා.

ප්‍රදේශයේ සහන සැලසීමේ කටයුතුවලට පැමිණි ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ පිරිස් දයානිව බේරා ගන්න සමත් වුණත් ඇයගේ පවුලේ වෙනත් කිසිම කෙනෙක් ජීවිතයවත් බේරා ගන්න තරම් වාසනාවන්ත වුණේ නැහැ.

මේ ව්‍යසනය සිදු වෙලා වැඩි වෙලාවක් යන්න කලින් තත්ත්වයට මුහුණ දෙන්න පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව යොදවන්න කියලා ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තියෙනවා. සහන සේවා සලසන්න ආපු අයගේ අදහස අනුව කුණු කන්ද අවට අගල් පද්ධතියක් හාරා තිබුණු නිසා යම් තරමකට හරි කුණු කන්දෙන් වෙන්න තිබුණු විනාශය අවම වුණාලු.

කොහොම නමුත් එකපාරටම සිදු වුණු විපත නිසා කෝපයට පත් වුණු පිරිස බැකෝ යන්ත්‍ර දෙකකට ගිනි තබා තිබෙනවා. පසුව කන්දේ කුණුවලින් කොටසකුත් ගිනි ගන්න පටන් ගත්තු නිසා තත්ත්වය තවත් බරපතල වෙන්න පටන් අරන්.

හමුදාවෙන් ලබා දුන්නු තොරතුරු අනුව සිකුරාදා දිනය අවසන් වෙන විටත් 15කට වැඩි පිරිසක් රෝහල් ගත කොට තිබුණා. 600කට අධික භට පිරිසක් ඒ වන විටත් සහන හා මුදාගැනීමේ සේවාවලට දායක වෙලා හිටියේ. අමතර විනාශයකට මග පාදමින් ප්‍රදේශයේ පැතිරී ගිය ගින්න නිවා දමන්න ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ ජල බාල්දියක් සහිත හෙලිකොප්ටර් යානයකුත් යොදා ගන්න සිදු වුණා.

කලක් තිස්සේ වෙන්න තිබුණු ව්‍යසනයක්

අවුරුදු ගණනාවක් තිස්සෙම මීතොටමුල්ලේ කුණු කන්ද නිසා වෙන්න පුළුවන් විනාශය ගැන රටපුරාම  සංවාදයක් ඇති වෙලා තිබුණා. රූපය : Roar/Nazly Ahmed

කුණු කන්ද කඩා වැටුණු ආරංචියත් එක්කම බලධාරීන්ට එල්ල වුණු ප්‍රධාන චෝදනාව වුණේ අවුරුදු ගණනාවක් තිස්සේ මේ ගැන අවවාද දීලා තිබුණත් ඒවා ගැන සැලකිල්ලක් දැක්වුවේ නැහැ කියන එකයි. ප්‍රදේශයේ ජීවත් වන ජනතාව අවුරුදු ගණනක් තිස්සේ මේ ගැන බොහෝ සැරයක් විරෝධතාව ප්‍රකාශ කළා කියන එක කාටවත් රහසක් නෙවෙයි. මේ කුණු කන්ද විවිධාකාර දේශපාලන ප්‍රශ්නවලටත් කේන්ද්‍රස්ථානයක් වෙලා තිබුණේ. කුණු කන්දට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් පසුගිය මාසයේදී පවා පවත්වා තිබුණා.

කොලොන්නාව ප්‍රාදේශීය සභාවේ සාමාජිකයෙක් වන සාලිය වික්‍රමසිංහ මහතා Roar වෙත පෙරේදා (අප්‍රේල් 15) කිව්ව විදිහට මීට අවුරුදු ගණනාවකට කලිනුත් මේ කුණු කන්දේ පොඩි කොටසක් නාය ගිහින් තියෙනවා. නමුත් ඒ ගැන වැඩි දෙනෙක්ගේ අවධානය යොමු වුණේ නැතිලු.

“ඒ නාය යාමෙනුත් නිවාස 20කට විතර හානි සිදු වුණා.” ඔහු අපිත් එක්ක කියා සිටියා. නිවාස හානි වුණු පිරිසට තාවකාලික රැකවරණය සහ ගෘහ භාණ්ඩ මිලදී ගන්න මුදලුත් ලබා දීලාත් තියෙනවා. වික්‍රමසිංහ මහතාට අනුව මේ පාර ප්‍රාදේශීය සභා ඡන්දය නොපැවැත්වීම නිසා කිසිවෙකුට වගකීමක් පැවරී නොතිබුණු එකත් කුණු කන්දට අදාළව පියවර ගන්න බැරි වෙන්න ප්‍රධාන හේතුවක්. මේ කුණු ගොඩට අදාළ සියලුම කටයුතු පසුගිය අවුරුදු දෙක පුරාවටම සිදු කරලා තිබෙන්නේ කොළඹ මහ නගර සභාවයි. කුණු ගොඩ වටා තිබුණු ඇළ සුද්ධ පවිත්‍ර නොකිරීමත් කුණු කන්ද කඩා වැටෙන්න රුකුලක් වූ බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා.

“පසුගිය ආණ්ඩුව තිබුණු කාලයේ මේ ඇළ නිතරම සුද්ධ පවිත්‍ර කෙරුණත් කොළඹ මහ නගර සභාව කුණු කන්ද භාර ගත්තාට පස්සේ දැන් අවුරුදු දෙකක් පුරාවටම මේ ඇළ සුද්ධ කෙරිලා නැහැ. ඔවුන් අවධානය යොමු කළේ කසළ කළමනාකරණය ගැන විතරයි. අලුත් අවුරුද්ද උදා වෙන්න ටික දවසකට කලිනුත් කොලොන්නාව ප්‍රදේශයට තරමක වැස්සක් ඇද හැලුණා. වැස්සත් එක්ක ආපු වතුර ටික සේරම කුණු කන්ද මත එක්රැස් වෙන්න ඇති. කුණුවලට වතුර එකතු වුණාම බර වැඩි වෙලා මහපොළොවට යෙදෙන පීඩනය වැඩි වෙනවා. මේ කුණු කන්දට යාබදව තියෙන දහම්පුර ප්‍රදේශයේ තමයි මේ ව්‍යසනය සිද්ධ වුණේ. ඒ පැත්තේ තියෙන පස කොහොමත් තරමක් බුරුල්. කුණු කන්දේ බරට ඒ පැත්තේ පස් තට්ටු එකමත එක ලිස්සා යන්න පටන් ගන්න ඇති. පොඩ්ඩක් ලිස්සපු ගමන් ඒක නාය යාමක් බවට පත් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ.” වික්‍රමසිංහ මහතා කියා සිටියා. ලිස්සා ගිය පස් තට්ටුත් එක්ක ගස් කිහිපයක් වගේම ගෙවල් විශාල ගණනකුත් පෙරළිලා ගිහින්.

පෙරේදා අපි මෙම ස්ථානයට ගියාම විහාර මාවතේ කාලයක සිට ජීවත් වුණු කාන්තාවක් සිද්ධිය ගැන අපිට විස්තර කළා. එදා දහවල් 2.15 ට විතර ඇය තමන්ගේ නිවසේ ආහාර ගනිමින් ඉද්දී නිවසේ පොළොවේ තැනින් තැන කළු පාට වතුර මතු වෙන්න පටන් අරන්. ටික වෙලාවකට පස්සේ ඇයට නිවෙස ‘ඉස්සෙනවා’ වගේ දැනිලා තියෙනවා, හරියට පා වෙවී තියෙනවා වගේ. අනතුරක් අත ළඟමයි කියලා හිතපු ඇය අත්‍යාවශ්‍යම දේවල් පුරවා ගත්තු බෑග් එකක් සකස් කරගෙන, තමන්ගේ දරුවන්වත් අඬගහගෙන නිවසෙන් පිටතට ගිහින්. අවට පිරිස්වලටත් විස්තර දැනුම් දීපු ඇය සහ දරුවන් පිරිස වහාම ආරක්ෂිත තැනකට ගිහින් තියෙනවා. තවත් පැයක් ගත වෙන්නත් කලින් ඇයගේ නිවෙසත් ඇතුළුව අවට නිවාස දහයකටත් වැඩි ප්‍රමාණයක් කුණු කන්දත් එක්කම වැළලිලා යනවා දැක ගන්න ලැබුණු බව ඇය අපිට කියා සිටියා.

මිය ගිය, අතුරුදහන් වුණු සහ අවතැන් වුණු අය

තමන්ගේ ආදරණීයයන් නොහිතපු වෙලාවක සමුගත්තු දුකින් වැළපෙන පිරිස්. රූපය : රචකයාගෙනි

අප්‍රේල් 17 වැනිදා සවස 3ට පමණ මේ ලිපියේ පරිවර්තනය අවසන් කෙරෙන අවස්ථාව වන විට තිබුණු නවතම ප්‍රවෘත්ති වාර්තා අනුව 28 දෙනෙකු මේ ව්‍යසනය නිසා මිය ගිහින්. මීට වඩා වැඩි පිරිසක් මිය ගිහින් ඉන්නත් ඉඩක් තියෙනවා. විශේෂයෙන්ම 14 වැනිදාම මිය නොගියත් මේ වන විටත් කුණු කන්ද යට සිර වී සිටින ඇතැම් පිරිස් සොයා ගැනීමට අපහසු නිසා මිය ගිහින් ඉන්නත් පුළුවන්.

ප්‍රදේශයේ තියෙන රාහුල විද්‍යාලය තාවකාලිකව අවතැන් වූ පිරිස් සඳහා නවාතැනක් විදිහට සකසා දෙන්න කටයුතු කෙරිලා තිබෙනවා. අතුරුදහන් වූවන් ගැන දැනුම් දෙන්නත්, අදාළ වාර්තා ලබා දෙන්නත් මෙහි මාධ්‍ය ආයතනයකුත් ස්ථාපිත කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදනයකට අනුව පවුල් 228කට අයිති 1000ක පමණ පිරිසක් අවතැන් වූවන් විදිහට වාර්තා වී තිබෙනවා. බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සමග 16 වැනිදා සිදු කළ සාකච්ඡාවට අනුව ඒ වන විට මිය ගිහින් හිටපු 21 දෙනා අතර කුඩා දරුවන් 5 දෙනෙක් ඉඳලා. ඉන් පසුව තවත් දරුවෙක්ගේ මළ සිරුරක් හමු වුණා. අතුරුදහන් වූ පිරිස් සොයා මේ වන විටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා.

අවදානමට පෙර සූදානම

අවසර ඇති පුද්ගලයන් හැර අනිකුත් බාහිර සිවිල් වැසියන් මෙම ප්‍රදේශයට පැමිණීම තහනම් කොට තිබෙනවා. පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ පිරිස් සමග ප්‍රදේශයේ ජනතාව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. රූපය : Roar/Nazly Ahmed

කුණු කන්දේ නාය යන්න ඉඩක් තිබෙන අනිත් ප්‍රදේශවල ජනතාවටත් ආරක්ෂිත තැන්වලට යන්න කියලා පෙරේදා සිටම දැනුම් දී තිබුණත් කුණු කන්ද ආසන්නයේම තියෙන නිවෙස්වල සෑහෙන පිරිසක් තවමත් සිටින බව බ්‍රිගේඩියර් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා. යුධ හමුදාවේ සහ විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබෙන බවත් ඔහු කියා සිටියා. තවත් ව්‍යසනයක් වෙන්න ඉඩක් තියෙනවාද කියලා අපි ඇහුවාම ඔහු දුන්නේ මේ වගේ පිළිතුරක්. “එවැන්නක් සිදු වීමේ සුළු හෝ සම්භාවිතාවක් තියෙනවා. ඒ නිසා තමයි අවට ජීවත් වෙන සියලු දෙනාට ආරක්ෂිත තැන් කරා යන්න උපදෙස් ලබා දීලා තියෙන්නේ. නමුත් අපි මේ ගැන විශේෂඥ මතයක් ලැබෙන තුරු බලා සිටිනවා”.

Roar වෙත අදහස් දක්වපු ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටියේ මුදා ගත හැකි සියලු දෙනා මුදා ගන්නා තුරු සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා කියලයි. මීට අමතරව තුවාල සිදු වූවන් සඳහා ප්‍රථමාධාර ලබා දීමත්, වෛද්‍යාධාර අවශ්‍ය අය කඩිනමින් රෝහල් ගත කිරීමත් දිගටම සිදු වෙනවා. ඔහු කියා සිටියේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානම වගකීම විපතට පත් පිරිස සහ දිවි ගලවා ගත් පිරිස් හඳුනා ගැනීම කියලයි. මීට අමතරව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) නිලධාරීන් පිරිසකුත් පවතින තත්ත්වය ගැන ඇස්තමේන්තුවක යෙදී සිටිනවා.

ඒ ගැන අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ මෙවැනි දෙයක්. “මේ තත්වය ගැන නිසි ලෙස සොයා බලා පිළියම් නොයෙදුවොත් මේක තවත් වරක් නාය යන්න පුළුවන්. ඉතින් අපි NBRO ආයතනයෙන් මේ පිළිබඳ වාර්තාවක් කැඳවලා තිබෙනවා. තවත් වරක් මෙය නාය යන්න පුළුවන්ද, එහෙම නම් එයින් විපතට පත් වෙන්න හැකියාවක් තියෙන ප්‍රදේශ මොනවාද කියන එක ගැනත් නිශ්චිතව හඳුනා ගන්න අපි බලාපොරොත්තු වෙනවා යි” ඔහු කියා සිටියා.

“අවතැන් වූ අය ගැන අවධානය යොමු කළොත් මේ වන විට ප්‍රධානම කටයුත්ත වෙන්නේ ඔවුන්ට අවශ්‍ය රැකවරණය සහ ආහාර පාන ඇතුළු මූලික අවශ්‍යතා කඩිනමින් සපයා දෙන එකයි. ඉදිරි කාලයේදී ඔවුන්ට නිවාස පහසුකම් සපයා දෙන්න වගේම මේ ප්‍රදේශයට යළිත් කසල බැහැර කරන එක නවත්වන්නත් තීරණය වී තිබෙනවා. දැනට පවතින කුණු කන්ද මෙතනින් ඉවත් කිරීමත් අප සිදු කළ යුතු ඉතා වැදගත් රාජකාරියක්. ඒ වගේම කොළඹ නගරය සහ ඒ ආසන්න ප්‍රදේශවල පවතින කසළ ගැටළුවට කල් පවතින විසඳුමක් සොයා ගන්නත් අපට සිදු වෙනවා”. ඇමතිවරයා කියා සිටියා. ඊට අමතරව මේ ව්‍යසනයෙන් මිය ගිය සියලුම දෙනාගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කෙරෙන බවත් ඔහු දැනුම් දුන්නා.

අවසන් කටයුතු ගැන ප්‍රශ්නයක්

කොහොම වුණත් මේ විනාශයට මුහුණ දුන්නු පිරිස්වලට මේ උපකාර ලැබිලා තියෙන්නේ තරමක් ප්‍රමාද වෙලා. සාලිය වික්‍රමසිංහ මහතාට අනුව රජයෙන් මේ පිරිස් වෙත දැනුම් දීලා තිබෙන්නේ අවසන් කටයුතු ළඟම තියෙන විහාරස්ථානයේ සිදු කරන්න කියලයි. නමුත් සමහර පිරිස් රජයට එරෙහි විරෝධතාවක් විදිහට පාරේ දෙපස අවසන් කටයුතු සිදු කරන්න අවශ්‍ය බව කියා තිබෙනවා. තමන් ඇතුළුව ප්‍රදේශයේ අනෙකුත් නායකයන් මේ තත්වය පාලනය කරන්න උත්සාහ ගන්නවා කියලත් ඔහු කියා සිටියා.

පසුව මීතොටමුල්ල විහාරස්ථානයේදී ඊයේ උදේ මිය ගිය පිරිසෙන් හතර දෙනෙකුගේ අවසන් කටයුතු සිදු කෙරුණා. ඉන්පසු සවස් කාලයේදී තවත් පිරිසකගේ අවසන් කටයුතු සිදු කර තිබෙනවා. සිද්ධියෙන් මිය ගිය අයගේ මරණ පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරලා දේහයන් ඥාතීන් වෙත භාර දෙන්න කියලා අධිකරණ නියෝගයකුත් ලැබිලා තියෙනවා. ඔවුන්ගේ කැමැත්ත මත සුදුසු ස්ථානයක අවසන් කටයුතු සිදු කරන්න පුළුවන්.

සහන සේවා

කොලොන්නාව මස්ජිද් ෆෙඩරේෂණයේ සභාපති I.Y.M. හනීෆ් මහතාට Roar වෙත කියා සිටියේ අවදානම් සහිත ප්‍රදේශවල පිරිස් එම ස්ථානවලින් ඉවත් කරලා ඒ ආසන්නයේ තියෙන ටෙරන්ස් විද්‍යාලයේ තාවකාලික නවාතැන් සලසලා තියෙනවා කියලයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව කොලොන්නාව මුස්ලිම් පල්ලියත් සහන සේවා කටයුතුවලට එක් වෙන්නත්, ස්වේච්ඡා සේවක පිරිස් යොදවන්නත් කටයුතු කරලා තිබෙනවා. ජලය බෙදා දීම ඇතුළු සහන කටයුතු සඳහා 65 දෙනෙකුගේ පමණ පිරිසක් එකතු කර ගැනීමට හැකි වූ බව ඔහු ප්‍රකාශ කළා.

තවත් සහන සේවා කටයුතු මේ වන විටත් දියත් කොට තිබෙනවා.

There is an urgent need for mosquito nets and bed sheets for the victims of #Meethotamulla.Drop off at the below locations.#LKA #SriLanka pic.twitter.com/I9aSvyDMxu

— Munza Mushtaq (@munza14) April 15, 2017

(මීතොටමුල්ල සිද්ධියෙන් විපතට පත් වූ පිරිස වෙනුවෙන් බෙඩ් ශීට් සහ මදුරු දැල් වැඩිපුර අවශ්‍ය වී තිබෙනවා. පහත ස්ථානවලට ඒවා ගෙනවිත් භාර දෙන්න පුළුවන්.)

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පෙරේදා කොලොන්නාව ප්‍රාදේශීය සභාවේ පිරිස සමග හදිසි සාකච්ඡාවක් පවත්වලා තත්ත්වය පාලනය කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන අදහස් එකතු කරගෙන තියෙනවා. මේ වන විටත් මිය ගිය අයගේ සිරුරු ගොඩ ගැනීම සිදු වෙන නිසාත්, හානි පිළිබඳ තක්සේරු කිරීම ආරම්භ කර ඇති නිසාත් නිකරුණේ ඒ ප්‍රදේශයට යාමෙන් වළකින්න කියලා මහජනතාවගෙන් ඉල්ලීමක් සිදු කෙරෙනවා.

මීට අමතරව අවතැන් වූ පිරිස් වෙනුවෙන් නිවාස ලබා දීමට රුපියල් මිලියන 300ක මුදලක් ලබා දෙන්නත් කොළඹ මහා නගර සභාව තීන්දු කර තිබෙනවා.

හැමදාම කියන කතා සහ ඉදිරි පියවර

මේ සිද්ධිය ගැන බලනකොටත් සියල්ල සිදු වුණාට පස්සේ එකිනෙකාට වැරැද්ද පටවන තත්ත්වය ආපහු කරලියට ඇවිත්. කොහොම වුණත් අවසාන ප්‍රතිඵලය වුණේ කාගේ හරි වරදක් නිසා කිසිම වරදක් නොකළ 30 දෙනෙකුට ආසන්න පිරිසක් අකාලයේ මිය ගිය එකයි. තවත් 30කවත් පිරිසක් අතුරුදහන් වෙලා ඉන්න බව කියවුණත් සමහර විට එය ඊටත් වඩා ඉහළ වෙන්න පුළුවන්.

දැනට කියවෙන විදිහට මේ කුණු කන්ද සම්පූර්ණයෙන්ම මෙතනින් ඉවත් කරන්නත්, කුණු කන්ද ඇති ප්‍රදේශය උද්‍යානයක් බවට පත් කරන්නත් සැලසුම් කර තිබෙනවා කියා වාර්තා වෙනවා. ඒ දේවල් සිදු වෙන ආකාරය ගැන අවධානයෙන් ඉන්නවා වගේම මේ ගැටලුවට සාර්ථක, කල් පවතින විසඳුමක් ලැබේවි කියලත් ප්‍රදේශයේ ජනතාව බලා සිටිනවා.

හැමදාමත් වගේ ගැටලුවක් වුණාට පස්සේ විසඳුම් සොයනවා වෙනුවට ගැටළු වළක්වා ගන්න පියවර ගන්න එක වැදගත් කියන දේ බලධාරීන්ගේ හිතට වදින්න මේ සිදු වීමවත් හේතු වේවි කියලා ඔබ වගේම Roar අපිත් ප්‍රාර්ථනා කරනවා.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්