Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඓතිහාසික පැල්මයිරාවේදී ISIS ත්‍රස්තයින්ට දරුණු පරාජයක්

සිරියානු හමුදා පසුගිය මාර්තු 1 වනදා වනවිට ඓතිහාසික පැල්මයිරා නගරය වෙත නැවත වතාවක් කඩා වැදීමට සමත් වුණා. මේ අනුව පැල්මයිරා නගරයේ පාලනය මාස දෙකකට මඳක් වැඩි කාළයකට පසු යළිත් රජයේ හමුදා වෙත පත් වීමට පටන් ගත්තා. දරුණු ප්‍රහාර හමුවේ ත්‍රස්තයින් ගෙන් නගරය මුදා ගන්නට සමත් වූ බව සිරියානු හමුදා මාර්තු 2 වනදා ප්‍රකාශ කළා.

පැල්මයිරා නගරය අවට ප්‍රදේශවල පසුගිය කාළය මුලුල්ලේම සටන් පැවතුණා. දෙසැම්බරයේදී ISIS ත්‍රස්තවාදීන් නගරය අල්ලාගත් අතර ඉන් පසු ඔවුන් එහි ප්‍රකට රෝමන් නාට්‍යාංගනයේ කොටසක් ද විනාශ කළ බැව් වාර්තා පළ වුණා.

ඓතිහාසික නගරය​

පැල්මයිරා නගරයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට පමණ දිව යනවා. ඒ හැරුණ විට එය මුල් කාළයේ රෝමන් අධිරාජ්‍යයේ කොටසක් වූ අතර ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේදී කෙටි කළක් එය පාලනය කළේ සෙනෝබියා නම් ප්‍රකට රැජිණක විසින්. පසු කළෙක විවිධ පිරිස් මෙම ප්‍රදේශ පාලනය කළ අතර ක්‍රිස්තු වර්ශ 7 වන සියවසේදී ඉස්ලාමීය අධිරාජ්‍යය යටතට මෙම ප්‍රදේශය පත් වුණා.

සිරියානු යුධ ටැංකියක් (RT)

පැල්මයිරාවේ මුල් කාලීන ගෘහනිර්මාණ ශිල්පය ග්‍රීක සහ රෝමන් ආභාෂය ලබා තිබෙනවා.

පැරණි නගරය අසළ ටඩ්මූර් නමින් ද හඳුන්වන නව පැල්මයිරා නගරය පිහිටා තිබෙන අතර එහි ජනගහනය 2015 දී 30,000 ක් පමණ වුණා.

පැල්මයිරාව ත්‍රස්තයින් අතට පත් වීම

සිරියාවේ සිවිල් යුද්ධය අතරතුර දී පැල්මයිරා නගරය මුලින්ම ISIS ත්‍රස්තවාදීන් අතට පත් වූයේ 2015 මැයි මාසයේදී. ඔවුන් එම කාළයේදීම එහි වූ ඇතැම් පැරණි ස්මාරක විනාශ කළා. මේ අතර නගරය අල්ලා ගැනීමෙන් ටික දිනකට පසු එහි ඉපැරණි රෝමන් නාට්‍යාංගනයේදී සිරියානු හමුදා සෙබලුන් පිරිසක් ඝාතනය කෙරෙන වීඩියෝවක් ඔවුන් විසින් නිකුත් කෙරුණා.

එම ක්‍රියාව ඔවුන් සිදු කළේ පැල්මයිරා නගර වැසියන් ඉදිරියේදී. එමගින් ඔවුන් සිය බලය පෙන්වීමත් ජනතාව බිය වැද්දීමත් බලාපොරොත්තු වුණා.

පැල්මයිරා නගරය අහිමි වූ පසු එය නැවත අල්ලාගැනීම කෙරෙහි සිරියානු හමුදාවල අවධානය යොමු වූ අතර ඊට රුසියානු ගුවන් හමුදාවේ ද විශේෂ බලකාවල ද සහය ලැබුණා. පැල්මයිරා නගරය යුධමය වශයෙන් වැදගත් වූයේ එහි බලය අල්ලාගත් පසු එක පසෙකින් රකා නගරය වෙතත්, අනෙක් පසින් ඩෙයර් එස්-සෝර් නගරය වෙතත් හමුදා මෙහෙයවීමට මධ්‍යස්ථානයක් ලෙස එය භාවිතා කළ හැකි බැවින්. එමන්ම එහි වන සංස්කෘතික වැදගත්කම හේතුවෙන් එහි පාලනය ISIS සංවිධානයෙන් ගලවා ගැනීම සම්බන්ධ විශේෂ වැදගත්කමක් ලැබුණා.

පළමුවර ජයග්‍රහණය

2016 මාර්තු මස ආරම්භ වන විට රුසියානු ගුවන් හමුදා ආධාර ද ලැබූ සිරියානු රජයේ හමුදා පැල්මයිරා නගරය අල්ලා ගැනීමේ මෙහෙයුමන් ඇරඹුවා. මෙම මෙහෙයුම මාර්තු 27 වනදා වන විට සම්පූර්ණයෙන් සාර්ථක වූ අතර නගරය සිරියානු රජයේ හමුදා විසින් මුදා ගනු ලැබුණා.

මේ සමඟම ත්‍රස්තයන්ට එරෙහි යුද්ධය පිළිබඳ ඇති වූයේ නව බලාපොරොත්තුවක්. සිරියානු රජයේ හමුදා ද එම ජයග්‍රහණයෙන් ඔද වැඩී ත්‍රස්තයින් සිය අගනුවර යයි කියාගන්නා රකා නගරය දෙසට සිය සේනාංක මෙහෙයවූවා. මුල් දින කිහිපයේ රජයේ හමුදා විදුලි වේගයෙන් ඉදිරියට ඇදුණේ ත්‍රස්ත විරෝධී කඳවුරේ බලාපොරොත්තු ඉහළ නංවමින්.

2016 මාර්තුවේ නගරය අල්ලාගත් පසු රුසියානු සෙබලුන් විසින් ටෙට්‍රාපයිලොන් ස්මාරකය අසළ බිම් බෝම්බ ඉවත් කිරීම​. මෙම ස්මාරකය දෙවැනි වර නගරය අල්ලාගත් අවස්ථාවේ ත්‍රස්තයින් විසින් විනාශ කෙරුණි. (Ministry of Defence, Russia)

එහෙත් සති කිහිපයකට පසු ISIS ත්‍රස්තවාදීන් සිය සේනාංක සටනට කැඳවමින් සිරියානු හමුදාවලට දරුණු ලෙස පහර දුන්නා. සිරියානු හමුදා තමන් අල්ලාගත් ඇතැම් ප්‍රදේශවලින් පසු බසින්නට කටයුතු කළේ එම ප්‍රහාර ද සමඟයි. මේ අනුව ත්‍රස්ත “අගනුවර​” අල්ලාගන්නට හැකිවේ යයි ඇතිවූ සුලු බලාපොරොත්තුව බිඳ වැටුණා.

2016 දෙසැම්බර් ඛේදවාචකය​

2016 වසර අවසාන භාගය වන විට ලෝක අවධානය බොහෝ කොටම යොමුව තිබුණේ සිරියාවේ ඇලෙප්පෝ නගරයේ සටන් පිළිබඳවයි. සිරියානු රජයේ හමුදා ද ඇලෙප්පෝ නගරය අල්ලාගැනීමේ මෙහෙයුම්වල නිරත වූ අතර පැල්මයිරා පෙරමුණ කෙරෙහි යොමු වූයේ සාපේක්ෂව අඩු අවධානයක්. මේ අතර ඉරාකයේ මෝසුල් නගරය වෙත එරට රජයේ හමුදා පහර දෙමින් සිටියා.

2016 දෙසැම්බර් 11 වනදා ත්‍රස්තයින් යළි පැල්මයිරාව අල්ලාගත්තා. මේ අවස්ථාවේ සිරියානු හමුදා පසු බැස ගියේ අවශ්‍ය පමණ පිරිස් ශක්තිය ඔවුන් සතුව එම අවස්ථාවේ නොවූ හෙයින්. සිරියානු හමුදා වැඩි අවධානය යොමු කළේ ඇලෙප්පෝ පෙරමුණ වෙතයි. පැල්මයිරා පෙරමුණේ සිරියානු හමුදා අවශ්‍ය පමණට සුපරික්ෂාකාරී නොවූ බවත් ආරක්ෂිත ස්ථාන නියමාකාරයෙන් ශක්තිමත් නොකළ බවත් චෝදනා එල්ල වුණා.

රෝමන් නාට්‍යාංගනය විනාශයට පෙර සහ පසු (Ministry of Defence, Russia)

පැල්මයිරාවෙන් බටහිර පිහිටි ටියාස් හෙවත් T-4 ගුවන් හමුදා කඳවුර දක්වා සිරියානු හමුදා පසු බැස ගියා. මීළඟ සති කිහිපය තුළ T-4 කඳවුරට ISIS ත්‍රස්තයින් විසින් පහර පිට පහර දෙනු ලැබූ නමුත් සිරියානු හමුදාව එම ප්‍රහාරයන් පරාජය කිරීමට සමත් වුණා.

සිරියානු හමුදා මෙහෙයුම​

2017 ජනවාරි 13 වනදා සිරියානු රජයේ හමුදා පැල්මයිරා නගරය අල්ලා ගැනීම සඳහා නව මෙහෙයුමක් දියත් කළා. රුසියානු ගුවන් හමුදා ආධාර ද සහිතව මෙම ප්‍රහාරයන් දියත් වූ අතර ඔවුන් කෙමෙන් නගරය ආසන්නයට පැමිණෙන්නට වුණා. පෙබරවාරි අවසන් සතිය වන විට නගරය අසළ ප්‍රදේශ දක්වා සටන පැතිර ගියා.

මාර්තු 1 වනදා නගරයේ බටහිරින් පිහිටි පැරණි බලකොටුව ද තවත් ප්‍රදේශ කිහිපයක් ද සිරියානු හමුදා අතට පත් වූ අතර නගරය අසළ උස්බිම් කිහිපයක ද බලය ඔවුන් තහවුරු කරගත්තා. එයින් පසු නගරය තව දුරටත් අල්ලාගෙන සිටීම ත්‍රස්තවාදීන්ට පහසු වූයේ නැහැ. මේ අනුව ඔවුන් අතින් නගරයේ පාලනය ගිලිහී ගිය අතර මාර්තු 2 වනදා තමන් පැල්මයිරාවේ බලය අල්ලාගත් බව සිරියානු හමුදා ප්‍රකාශ කළා.

සිරියානු විශේෂ බලකා සෙබලු (RT)

කළින් වතාවේ නගරය අල්ලාගත් පසු සිදු වූ පරිදි වේගයෙන් හමුදා රකා නගරය දෙසට මෙහෙයවීමෙන් සිරියානු රජයේ හමුදා මෙවර වැළකෙනු ඇතැයි අපේක්ෂා කරන්නට පුලුවනි. ඔවුන් කුමන ආකාරයේ උපක්‍රමයක් භාවිතා කරයිද යන්න පිළිබඳ අප ඔබ වෙත ඉදිරියේදී තොරතුරු ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

මූලාශ්‍ර​

  1. Syrian government retakes ancient city of Palmyra from IS, DW, March 2, 2017
  1. Syrian Army recaptures Palmyra, aided by Russian Air Force – Kremlin, RT, March 2, 2017

කවරයේ ඡායාරූපය​: පැල්මයිරා බලකොටුව​ (AFP)

Related Articles