ව්‍යාජ මුදල් අවියක් වුණු නාසින්ගේ බර්න්හාඩ් මෙහෙයුම

ජර්මන් නාසි හමුදා පෝලන්තය 1939 සැප්තැම්බර් 1 වැනිදා ආක්‍රමණය කිරීමත් සමඟින් දෙවන ලෝක යුද්ධය ආරම්භ වුණා. ඒ සමඟ ම මුළු යුරෝපය පුරා ම යුද ගිනිදැල් ඇවිළ ගියා. එනිසා සෑම රටක් ම සිය ප්‍රතිවිරුද්ධ රටවල් පරයා නැඟී සිටින්නට උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සමහර රටවල් සිය සතුරු රාජ්‍ය අඩපණ කිරීම සඳහා රහසිගත මෙහෙයුම් සැලසුම් කළා.

ජර්මන් නාසි හමුදා පෝලන්තය ආක්‍රමණය කිරීම – gettyimages.com

ජර්මන් නාසි හමුදාවේ ප්‍රධානීන් කිහිප දෙනෙක් එක්තරා ස්ථානයකට1939 සැප්තැම්බර් 18 වැනිදා රැස් වී රහසිගත සාකච්ඡාවක් සිදු කළේ එවැනි මෙහෙයුමක් ආරම්භ කිරීම සඳහා යි. ‘ඇන්ඩ්‍රිස්’ නමින් හැඳින්වුණු එම මෙහෙයුමේ සැලසුම වුණේ මහා පරිමාණයෙන් ව්‍යාජ බ්‍රිතාන්‍ය මුදල් නෝට්ටු මුද්‍රණය කර ඒවා බ්‍රිතාන්‍යය තුළ රහසිගත ව බෙදා හැරීම යි. ඒ හරහා බ්‍රිතාන්‍යයේ ආර්ථිකය අඩපණ කිරීම නාසි හමුදා ප්‍රධානීන්ගේ අරමුණ වුණා.

වසරකට අධික කාලයක් පුරාවට මනා ලෙස සැලසුම් කිරීමෙන් පසු ව ක්‍රියාත්මක කළ ඇන්ඩ්‍රිස් මෙහෙයුමෙන් බලාපොරොත්තු වුණු තරම් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නාසීන්ට හැකි වුණේ නැහැ. එම මෙහෙයුම අසාර්ථක වුණේ එයට සම්බන්ධ වුණු නිලධාරින් අතර මතභේද ඇතිවීම සහ මුදල් නෝට්ටු මුද්‍රණයේ දී තාක්ෂණික ගැටලු පැන නැඟීම නිසා යි. එලෙස බිඳ වැටුණු ඇන්ඩ්‍රිස් නම් මෙහෙයුම ඊට වසරකට පමණ පසුව ‘බර්න්හාඩ්’ යන නමින් යළි ආරම්භ වුණා. මේ ඔබට කියන්න යන්නේ දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය ආර්ථිකයට මරු පහරක් එල්ල කළ නාසි හමුදාවේ ‘බර්න්හාඩ් මෙහෙයුම’ පිළිබඳව යි.

බර්න්හාඩ් මෙහෙයුමේ ආරම්භය

අසාර්ථක වුණු ඇන්ඩ්‍රිස් මෙහෙයුම ‘බර්න්හාඩ්’ යන නමින් යළි ආරම්භ කළේ 1942 අගෝස්තු මාසයේ දී යි. එම මෙහෙයුම සඳහා නාසි හමුදාවේ මේජර්වරයෙක් වුණු බර්න්හාඩ් කෲගර් මූලිකත්වය ගත්තා. එනිසා මෙහෙයුම ‘බර්න්හාඩ්’ යන නමින් හැඳින්වුණා. එවැනි මෙහෙයුමක් සාර්ථක කර ගැනීම සඳහා වඩාත් කාර්යශූර සහ විශ්වාසවන්ත පුද්ගලයන් පිරිසක් මෙහෙයුමට සම්බන්ධ කර ගත යුතු බව නාසි බලධාරීන්ට අවබෝධ වුණා. ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම සඳහා වඩාත් රහසිගත ස්ථානයක් තෝරා ගත යුතු බවත් ඔවුන් ඒකමතිකව තීරණය කළා. එහි දී ඔවුන් මුලින් ම සිදු කළේ මෙහෙයුම සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගැනීම යි.

බර්න්හාඩ් කෘගර් – thedailybeast.com

මෙහෙයුම සඳහා පුද්ගලයන් තෝරා ගැනීම

සිර කඳවුරුවල රඳවා සිටි රටවල් 13කට අයත් සිරකරුවන් 142ක් දෙනෙක් බර්න්හාඩ් මෙහෙයුම සඳහා සම්බන්ධ කර ගත්තා. එම සියලු පුද්ගලයන් යුදෙව් සම්භවයක් තිබුණු පුද්ගලයන් වීම විශේෂත්වයක් වුණා. එසේ තෝරා ගත් පුද්ගලයන් අතුරින් 6 දෙනකු ඊට පෙර මුද්‍රණ කටයුතුවල නිරත වී තිබුණා. ඊට අමතර ව රසායනඥයන්, බැංකුකරුවන්, පොත් පිටු සැකසුම් ශිල්පීන්, ඡායාරූප ශිල්පීන්, පොත් බැඳුම්කරුවන් එම පිරිස අතර සිටියා. එලෙස බර්නාහාඩ් මෙහෙයුමට සම්බන්ධ කර ගත් පිරිසට අනිකුත් සිරකරුවන්ට ලබා නොදුන් සැප පහසුකම් ලබා දීමට නාසි හමුදා ප්‍රධානීන් කටයුතු කළා.

බර්න්හාඩ් මෙහෙයුමේ ව්‍යාජ මුදල් මුද්‍රණාලය පිහිටා තිබුණේ සච්සෙන්හවුසෙන් සිර කඳවුරු භූමිය තුළ යි. එම මුද්‍රණාලය පිහිටි ප්‍රදේශය වොට් 1000 අධි බල විදුලි රැහැන් යොදා වෙන් කර තිබුණේ මෙහෙයුම රහසිගතව කරගෙන යාම සඳහා යි. මෙහෙයුමට සම්බන්ධ නොවුණු නාසි හමුදා නිලධාරින්ට පවා එම ප්‍රදේශය තහනම් කලාපයක් වුණා. අනවසරයෙන් එම භූමියට ඇතුළු වුණු ඕනෑම තරාතිරමක පුද්ගලයකුට මරණ දඬුවම ලබා දීමට නාසි හමුදා ප්‍රධානීන් දෙවරක් සිතුවේ නැහැ. එනිසා බර්න්හාඩ් මෙහෙයුම රහසිගත ව ඉදිරියට කර ගෙන යාමට හැකි වුණා.

සච්සෙන්හවුසෙන් කඳවුරු භූමිය – gettyimages.com

බර්න්හාඩ්ගේ සූක්ෂම මුද්‍රණ සැලැස්ම

බර්න්හාඩ් සිය මෙහෙයුම පියවර කිහිපයක් යටතේ සැලසුම් කළා. එහි පළමු පියවර වඩාත් සංකීර්ණ එකක් වුණා. මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා සුදුසු කඩදාසි වර්ගය, කඩදාසිවල දිය සලකුණ, මුද්‍රණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන තීන්ත වර්ගය, මුදල් නෝට්ටු සඳහා රහස් සංකේත, අත්සන් සහ අනුක්‍රමික අංක යොදන ආකාරය ආදී දේවල් පිළිබඳ තොරතුරු රැස් කිරීම මෙම පියවර යටතේ සිදු කළා. එහි දී නාසි ඔත්තුකරුවන් බ්‍රිතාන්‍යයට ගොස් රහසිගත ව එම තොරතුරු එක් රැස් කළා.

මෙහෙයුමේ දෙවන පියවර යටතේ කඩදාසි නිපදවීම, මුදල් මුද්‍රණය කිරීම, සුදුසු පරිදි මුද්‍රණය කළ මුදල් වෙන් කිරීම, එම මුදල්වලට පැරණි පෙනුමක් ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම යන දේවල් සිදු කළා. බර්න්හාඩ් මෙහෙයුමේ තෙවන පියවර බවට පත් වුණේ මුද්‍රණය කළ ව්‍යාජ මුදල් නෝට්ටු පිළිගත් බැංකුවලට ඉදිරිපත් කර ඒවායේ වලංගුභාවය පිළිබඳ ව විමසා බැලීම යි. තෙවන පියවරේ දී අදාළ බැංකුවලට එම ව්‍යාජ මුදල් හඳුනා ගැනීමට නොහැකි වුණොත් ඒවා හැකි තරම් වෙළෙඳපොළට නිකුත් කිරීම සැලසුමේ සිවු වන පියවර වුණා.

පැරණි, එංගලන්ත පවුම් 5 නෝට්ටුවක් – britishnotes.co.uk

මුදල් මුද්‍රණයට කඩදාසි නිපැයූ හැටි

18 වන සියවස මැද භාගයේ සිට ම බ්‍රිතාන්‍ය මහ බැංකුවේ මුදල් මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය වුණු කඩදාසි සැපයීම සිදු කළේ ලාවස්ටෝක් නම් ගමේ වාසය කළ පෝටල් පරම්පරාවේ උදවිය යි. ඔවුන් කඩදාසි නිපදවීමේ දී යොදා ගත් ජලයෙහි සංයුතිය මඟින් කඩදාසියේ පැහැය වෙනස් වුණා. ඒ පිළිබඳ ව කරුණු සොයා ගත් නාසි ඔත්තුකරුවන් ඔවුන් කඩදාසි නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කළ ජලයේ අඩංගු වුණු රසායනික සංයුතිය පිළිබඳ ව සිය ප්‍රධානීන්ට දැනුම් දුන්නා. එනිසා බ්‍රිතාන්‍ය මහ බැංකුවේ මුදල් මුද්‍රණය කිරීම සඳහා භාවිත කළ කඩදාසිවල තත්ත්වයට සමාන කඩදාසි නිෂ්පාදනය කිරීමට බර්න්හාඩ් ඇතුළු පිරිසට හැකි වුණා.

එම කඩදාසි නිෂ්පාදනය කිරීමේ දී හණ රෙදි මිශ්‍ර පල්පය මීටර් 2ක් පමණ පළලකින් යුක්ත වුණු ටැංකි තුළ තැන්පත් කර එහි රසායනික සංයුතිය පරීක්ෂා කිරීම සිදු කළා. එලෙස තැන්පත් කළ සංයෝගය අපේක්ෂිත තත්ත්වයට පත් වන තුරු සෑම පැයකට වරක් ම එහි උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව මැනීම සිදු කළා. එම පල්පය නියම පදමට පැමිණි පසුව ටැංකිවලින් ඉවතට ගෙන රෙදි මත ඇතිරීම සිදු කළා. ඉන් පසුව එම පල්පයේ තෙත ගතිය ඉවත් කිරීම සඳහා යන්ත්‍ර මඟින් තෙරපීමෙන් පසුව දින 5ක පමණ කාලයක් වියළන යන්ත්‍රවල වියළීම සිදු කළා. එවැනි ක්‍රියාවලියක් යටතේ සෑම මසකට වරක් කඩදාසි 12000ක් පමණ නිපදවීමට ඔවුන්ට හැකි වුණා.

ව්‍යාජ මුද්‍රණ ක්‍රියාවලිය

ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම සඳහා ෆ්රෑන්ක්ෆර්ට් කළු තීන්ත භාවිත කළා. එම කටයුතු සඳහා අවශ්‍ය වුණු මුද්‍රණ තහඩු බර්ලින් හි ඕගස්ට් පෙට්‍රික්ස් කර්මාන්තශාලාවෙන් ගෙන්වා ගත්තා. ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීම සඳහා වික්ටෝරියා ටීගල් වර්ගයේ මුද්‍රණ යන්ත්‍රයක් භාවිත කළා. එකල කඳවුරට විදුලිය සපයා ගැනීම තරමක් අපහසු වුණු නිසා ඩීසල් ජෙනරේටරයක් මඟින් මුද්‍රණ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට සිදු වුණා.

මුල් අවධියේ දී එක් කඩදාසියක මුදල් නෝට්ටු 4ක් පමණක් මුද්‍රණය කළ ද පසුව එම මුදල් නෝට්ටු ප්‍රමාණය 8 දක්වා වැඩි කළේ කඩදාසි ඉතිරි කර ගැනීම සඳහා යි. එහි දී පවුම් 5, 10, 20 සහ 50 මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමෙන් පසු ඒවා 1000 බැගින් මිටි බැඳීම සිදු කළා. ඒ, නෝට්ටු වර්ග කිරීමේ අංශය වෙත යැවීම සඳහා යි.

ව්‍යාජ ලෙස මුද්‍රණය කළ පවුම් 10 නෝට්ටුවක් (americanhistory.si.edu)

මුද්‍රණය කළ මුදල් නෝට්ටු වර්ග කිරීම

නෝට්ටු වර්ග කිරීම ප්‍රවේශමෙන් සිදු කළ යුතු ව තිබුණු නිසා ඒ සඳහා වෙන ම අංශයක් පිහිටුවා තිබුණා. එම අංශයේ සේවය කිරීම සඳහා තෝරා ගෙන තිබුණේ බැංකුකරුවන් ලෙස රැකියාව කළ සිරකරුවන් පිරිසක්. එනිසා ඔවුන්ට එම මුදල් නෝට්ටුවල තිබුණු සියලු ම රහස් සංකේත සහ සලකුණු පිළිබඳ ව මනා අවබෝධයක් තිබුණා.

එම අංශයේ ප්‍රධානියා ලෙසින් කටයුතු කළේ ඔස්කා ස්කාලා නම් නාසි හමුදා ප්‍රධානියා යි. ඔවුන් අතින් සිදුවන යම් අත්වැරැදීමකින් මෙහෙයුම සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමට ඉඩකඩ තිබුණු නිසා ඔහු ඉතා ප්‍රවේශමෙන් සිය අංශයේ වැඩ කටයුතු කරගෙන ගියා. එහි සේවය කළ සෑම සිරකරුවකුට ම දිනකට මුදල් නෝට්ටු 300ක් වර්ග කිරීමට සිදු වුණා. එසේ මුද්‍රණය කළ නෝට්ටු පහත දැක්වෙන ආකාරයට ප්‍රධාන කොටස් 4කට වර්ග කළා.
1). කිසිදු දෝෂයක් රහිත නෝට්ටු
මෙම කාණ්ඩයට අයත් වුණු නෝට්ටු විදෙස් රටවල්වල සිටි ජර්මන් ඔත්තුකරුවන් හරහා වෙළෙඳපොළට නිකුත් කළා. එවැනි තත්ත්වයේ මුදල් නෝට්ටු කිසිදු ගැටලුවකින් තොර ව බ්‍රිතාන්‍ය තුළ පවා පරිහරණය කිරීමට හැකි වුණා.

2). මුදල් නෝට්ටු පිළිබඳ විශේෂඥ දැනුමක් තිබුණු අයට හසු වන ආකාරයේ දෝෂ තිබුණු මුදල් නෝට්ටු
මෙවැනි මුදල් නෝට්ටු යුද්ධයට සම්බන්ධ නොවුණු මැදිහත් රටවල්වලින් සිදු කළ මිල දී ගැනීම්වලට ගෙවීම සඳහා භාවිතා කළා. එම ව්‍යාජ මුදල් වක්‍රාකාරයෙන් වෙළෙඳපොළට ඇතුළු කරවීම නාසි හමුදාවේ අරමුණ වුණා.

3). තරමක් දෝෂ සහිත නෝට්ටු
මෙම කාණ්ඩයට අයත් වුණු මුදල් නෝට්ටු ගුවන් මඟින් බ්‍රිතාන්‍යයට හෙළීම සිදු කළා. ඒ හරහා ව්‍යාජ මුදල් එරට වැසියන් අතර සංසරණය කරවීමට නාසි හමුදාවන්ට හැකි වුණා.

4). විශාල වශයෙන් දෝෂ තිබුණු නෝට්ටු
මෙවැනි නෝට්ටු මෙහෙයුම සඳහා කිසිදු අයුරකින් යොදා ගත්තේ නැහැ. ඒවා කඩදාසි නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ දී පල්ප සකස් කිරීම සඳහා නැවත යොදා ගත්තා.

එකල නාසි හමුදාවේ ප්‍රධානීන් හිට්ලර් සමඟ – gettyimages.com

නෝට්ටු පැරණි බව පෙන්වීමට යෙදූ අපූරු උපක්‍රම

විශාල වශයෙන් මුද්‍රණය කළ ව්‍යාජ මුදල් නෝට්ටු පැරණි බව පෙන්වීමට නාසීන් විවිධ උපක්‍රම භාවිත කළා. ඒ අතුරින් ප්‍රධාන උපක්‍රමයක් වුණේ මුදල් නෝට්ටු පොඩි කර නැවත යථා තත්ත්වයට පත් වන තුරු මුදල් නෝට්ටුව පිරිමැදීම යි. තවත් උපක්‍රමයක් වුණේ මුදල් නෝට්ටුව රෝල් කිරීම යි. මුදල් නෝට්ටුව මත කුඩාවට විවිධ දේ ලිවීම මඟින් ද ඒවා මීට භාවිත කළ මුදල් නෝට්ටු බව පෙන්වීමට නාසීන් උත්සාහ කළා.

එකල බ්‍රිතාන්‍ය පවුම් මුදල් නෝට්ටු ප්‍රමාණයෙන් තරමක් විශාල වුණා. එනිසා ඒවා මුදල් පසුබියට දැමීමට අපහසු වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුදල් නෝට්ටු ආරක්ෂිතව තබා ගැනීම සඳහා ඒවා එකතු කර කටුවක් ගැසීම එකල සුලබ ව සිදු වුණු දෙයක්. එනිසා එම අවධියේ දී පවුම් නෝට්ටුවල සිදුරු දැකගන්නට ලැබුණා. එය දැන ගත් නාසීන් හිතාමතා ම නෝට්ටු සිදුරු කළේ ඒවායේ ව්‍යාජ බව සැඟවීම සඳහා යි.

මුදල් නෝට්ටු සංසරණයට එකතු කිරීම

සූක්ෂම අයුරින් මුද්‍රණය කළ ව්‍යාජ මුදල් සංසරණය කිරීම සඳහා එකතු කිරීමේ කාර්යයේ ප්‍රධානියා ලෙස පත් කළේ පෝල් ස්වෙන්ද් නම් පුද්ගලයා යි. ඔහු මහා පරිමාණ වංචනික ගනුදෙනු සිදු කිරීම හේතුවෙන් නාසි අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙක්. එකල උතුරු ඉතාලියේ මෙරානෝ දිස්ත්‍රික්කයේ පිහිටා තිබුණු එක්තරා හෝටලයක් නාසීන් සිය මුදල් විශුද්ධිකරණ කටයුතු සඳහා භාවිත කළා. යුරෝපයේ බොහෝ රටවල් සමඟ සමීප සබඳතා පැවැත්වූ ස්වෙන්ද් මෙම මෙහෙයුමට සම්බන්ධ වීමෙන් පසු භාවිත කළේ වෙන්ඩිග් යන ව්‍යාජ නාමය යි.

ඔහු නව තනතුරට පත්වීමෙන් පසුව නාසින්ගේ ව්‍යාජ මුදල් නෝට්ටු ලොව පුරා බෙදා හැරීම සඳහා පුද්ගල ජාලයක් පිහිටුවා ගත්තා. ඒ සඳහා එකතු කර ගත් බොහෝ උදවිය ඊට පෙර ස්වෙන්ද් සමඟින් වංචනික ගනුදෙනු සිදු කර තිබුණා. එහි දී නාසි ප්‍රධානීන්ගේ සැලසුම වුණේ ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කර වටිනා මිල දී ගැනීම මඟින් ඒවා සංසරණයට එක් කිරීම යි. එම ක්‍රියාවලිය සාර්ථක වුණු නිසා වැඩි කලක් ගත වන්නට පෙර නාසීන්ගේ ව්‍යාජ මුදල් නෝට්ටු මුළු යුරෝපය පුරා ම සංසරණය වුණා.

මෙහෙයුම අතරමඟ නතර වීම

ඉතාමත් සාර්ථක අයුරින් වසර දෙකකට ආසන්න කාලයක් සිදු කර ගෙන ගිය ව්‍යාජ මුදල් මෙහෙයුම අතරමඟ නතර වුණේ 1944 අගෝස්තුවේ දී තුර්කි රජය වෙනස් වුණු නිසා යි. අලුතින් පත් වුණු තුර්කි රජයේ සහාය නාසීන්ට නොලැබීම හේතුවෙන් කඩදාසි නිෂ්පාදනය සඳහා අවශ්‍ය වුණු හණ තුර්කියෙන් ගෙන ඒමට හැකි වුණේ නැහැ. එනිසා නිෂ්පාදනය කඩදාසිවල ප්‍රමිතිය බාල වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් නාසීන් මුද්‍රණය කළ මුදල් නෝට්ටු පාරජම්බුල කිරණ පරීක්ෂාවෙන් ව්‍යාජ ඒවා බව තහවුරු වුණා.

ව්‍යාජ පවුම් නෝට්ටු මුද්‍රණය කිරීමේ ව්‍යාපෘතිය අසාර්ථක වෙද්දී ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීම කෙරෙහි නාසීන් අවධානය යොමු කළා. ඒ සඳහා ඔවුන් සැලසුම් සකස් කිරීමෙන් පසු ව ව්‍යාපෘතිය ආරම්භ කළා. එම ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ කර ගත් ඇතැම් පුද්ගලයන් හිතාමතාම එය අසාර්ථක වන තැනට වැඩ කළා. එනිසා ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීමේ ව්‍යාපෘතියෙන් ද අපේක්ෂිත ප්‍රතිඵල ලැබුණේ නැහැ.

පැරණි ඩොලර් නෝට්ටුවක් – pinterest.com

බර්න්හාඩ් මෙහෙයුමේ අවසානය

1945 අගෝස්තු මාසය වන විට සිය යුද පරාජය පෙනි පෙනී තිබුණු නිසා සච්සෙන්හවුසෙන් කඳවුර ඉවත් කිරීමට නාසි හමුදා ප්‍රධානීන් තීරණය කළා. ඒ ව්‍යාජ මුදල් මුද්‍රණය කළ ආකාරය පිළිබඳ රහස් සතුරන් අතට පත් වීම වැලැක්වීම සඳහා යි. එම කඳවුර ඉවත් කරන විටත් එහි පවුම් මිලියන 134ක් වටිනා ව්‍යාජ මුදල් නෝට්ටු තැන්පත් කර තිබුණා.

ඒවා සතුරන් අතට පත්වීම වැලැක්වීම සඳහා ඇල්ප්ස් කඳුකරයේ පිහිටා තිබුණු ටොප්ලිට්ස් විලේ ගිල්වීමට නාසීන් කටයුතු කළා. පසු කලෙක ඔස්ට්‍රියානු කිමිදුම්කරුවන් මෙම විල ආශ්‍රිතව සිදු කළ ගවේෂණවල දී මිලියන 72ක් වටිනා ව්‍යාජ පවුම් නෝට්ටු හමු වුණා. එපමණක් නොව ඒවා මුද්‍රණය කිරීමට භාවිත කළ මුද්‍රණ තහඩු ද ඔවුන් සොයා ගත්තා.

ටොප්ලිට්ස් විලෙන් ගොඩට ගත් නාසී හමුදාව සැඟවූ මුදල් – history.com

නාසීන්ගේ බර්න්හාඩ් මෙහෙයුමෙන් මුද්‍රණය කළ ව්‍යාජ පවුම් නෝට්ටු යුද්ධය අවසන් වීමෙන් පසුව ද වසර කිහිපයක් බ්‍රිතාන්‍යයේ සංසරණය වුණා. එනිසා එරට මහ බැංකුව එතෙක් භාවිත කළ පවුම් නෝට්ටු සංසරණයෙන් ඉවත් කර නව පවුම් නෝට්ටු හඳුන්වා දුන්නා. එමඟින් ව්‍යාජ මුදල් නෝට්ටු බ්‍රිතාන්‍යය තුළ සංසරණය වීම නැවැත්වීමට එරට රජයට හැකි වුණා.

කවරයේ ඡායාරූපය- නාසී හමුදාව මුද්‍රණය කළ ව්‍යාජ මුදල් නෝට්ටුවක ඡායාරූපයක් - gettyimages.com
මූලාශ්‍ර:
jewishvirtuallibrary.org
spymuseum.org
pmgnotes.com
britishnotes.co.uk
smithsonianmag.com

Related Articles