Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටය​

අප්‍රේල් 23 වන දා පැවති ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේදී මධ්‍යස්ථ මතධාරී එමානුවෙල් මැක්‍රොන් ප්‍රථම ස්ථානයට පැමිණීමට සමත් වුණා. මේ අතර ජාතික පෙරමුණේ නායිකා මාරීන් ලෙ පෙන් දෙවන ස්ථානය දිනා ගැනීමත් විශේෂ සිදුවීමක් වුණා.

එමෙන්ම නූතන ප්‍රංශ ඉතිහාසයේ පළමු වතාවට ප්‍රංශ ජනාධිපතිවරණයක දෙවනි වටය සඳහා ප්‍රධාන පක්ෂ දෙකෙන්ම කිසිවකු සුදුසුකම් නොලැබීම ද ඓතිහාසික කරුණක් වනවා.

ජනාධිපතිවරණයේ පළමු වටයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය පහත පරිදි වුණා. (ඡන්ද සංඛ්‍යාව සහ ප්‍රතිශතය​)

(roarmedia.net)

එමානුවෙල් මැක්‍රොන් හිටපු ආර්ථික කටයුතු අමාත්‍යවරයකු වූ අතර 2016 වසරේදී ඔහු එම ධූරයෙන් ඉල්ලා අස් වුණා. ඔන් මාර්ෂේ! (En Marche!) නම් සංවිධානයක් පිහිටුවාගත් ඔහු ජනාධිපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශ කළේ 2016 අග භාගයේදී. ඔහු තමන්ව හඳුන්වා ගන්නේ දක්ෂිනාංශිකයකු හෝ වාමාංශිකයකු හෝ නොවන අයකු ලෙසයි.

මෙම වසර ආරම්භ වන විට එමානුවෙල් මැක්‍රොන් ජනාධිපතිවරණ සටනේ සිටියේ රිපබ්ලිකන් පක්ෂයේ ෆ්‍රංශුවා ෆියොන්ට වඩා පිටිපසින්. හැමෝන් බලාපොරොත්තු වූයේ මෙම ජනාධිපතිවරණයේ දෙවන වටයට ෆියොන් සහ මාරීන් ලෙ පෙන් සුදුසුකම් ලබනු ඇති බවයි. කෙසේ නමුත්, ජනවාරි මාසයේ පමණ සිට ෆියොන්ට එරෙහිව නැග ආ දූෂණ චෝදනා හේතුවෙන් ඔහුගේ ජනප්‍රියත්වය පහළ වැටුණ අතර මැක්‍රොන්ට එහි වාසිය ලැබුණා.

මාරීන් ලෙ පෙන් (AP)

ලෙ පෙන් සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ සංක්‍රමණිකයන් සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කරමින්. එමෙන්ම පාලක පැලැන්තිය ජනතාව කෙරෙහි අවධානය යොමු නොකරන බවත් ඇය ප්‍රකාශ කළා. ඇගේ ඡන්ද පදනම වූයේ ග්‍රාමීය හා අර්ධ නාගරික ජනතාව යි. ඇගේ ජාතික පෙරමුණ කළක පටන් ප්‍රංශයේ දකුණුදිග ප්‍රදේශවල සැළකිය යුතු දේශපාලන සාධකයක් වන අතර පසුගිය වසරවල ඇය සිය ජන පදනම ප්‍රංශයේ උතුරුදිග ප්‍රදේශවලට ද ව්‍යාප්ත කර තිබෙනවා.

වාමාංශික සාධකය​

ප්‍රංශය යනු සාමාන්‍යයෙන් වාමාංශික පක්ෂවලට සැළකිය යුතු ජන පදනමක් ඇති රටක්. පසුගිය වසර පහ තුළ එරට පාලනය කළේ ප්‍රංශ සමාජවාදී පක්ෂයයි. කෙසේ වෙතත් සමාජවාදී පක්ෂය වගේම ප්‍රංශ ජනාධිපති ෆ්‍රංශුවා ඔලන් ද් දැඩි සේ ජන අප්‍රසාදයට පත්ව තිබෙනවා. මේ නිසා ම ඔලන්ද් මෙවර ජනාධිපතිවරණයට තරඟ කළේ නැහැ. ඒ වෙනුවට සමාජවාදී පක්ෂය විසින් ඉදිරිපත් කෙරුණ අපේක්ෂකයා වූයේ බෙනෝයි හැමෝන්.

සාමාන්‍යයෙන් තම අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන හරිත පක්ෂය මෙවර ජනාධිපතිවරණයට තරඟ කළේ නැහැ. ඔවුන් සැමට සහය දක්වන්නට තීරණය කළා. එසේ තිබියදීත් හැමෝන් ලබාගත්තේ සියයට 7 කට අඩු ඡන්ද ප්‍රමාණයක් වීම සමාජවාදී පක්ෂය ජනතාවට කෙතරම් අප්‍රසන්න වී ඇත්දැයි පෙන්වා දෙනවා.

සමාජවාදී පක්ෂයේ කඩා වැටීමට ප්‍රධාන සාධකයක් වූ හිටපු අගමැති මැනුවෙල් වාල් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට තරඟ වැදුණ නමුත් පාක්ෂිකයන් ඔහු වෙනුවට හැමෝන් තෝරාගත් පසු ඔහු එමානුවෙල් මැක්‍රොන්ට සහය පළ කර සිටියා. කෙසේ නමුත් එයින් මැක්‍රොන්ට අමතර වාසියක් ලැබුණ බවක් සිතන්නට අපහසුයි.

මෙලොන්ශොන්

සමාජවාදී පක්ෂයෙන් කැඩුන ඡන්ද කොටසක් මැක්‍රොන් වෙත යන්නට ඇති බව නිසැකයෙන්ම කියන්නට පිළිවන්. ඔහු ද කළක් සමාජවාදී රජයේ ඇමතිවරයකු ව සිටි හෙයින් බොහෝ දෙනා ඔහුව දුටුවේ සමාජවාදියකු ලෙස යි. නමුත් සමාජවාදී කඳවුරේ ඡන්ද සැළකිය යුතු ප්‍රමාණයක් ලබා ගන්නට ශෝන් – ලුක් මෙලොන්ශොන් සමත් වුණා.

මෙලොන්ශොන් හිටපු සමාජවාදී පාක්ෂිකයෙක්. 2008 දී ඔහු එයින් ඉවත්ව වාමාංශික පක්ෂය පිහිටුවා ගත්තා. ඔහුට ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයේද සහය ලැබුණ අතර බලාපොරොත්තු නොවූ ආකාරයෙන් ජනාධිපතිවරණ තරඟයේ අවසන් සති දෙක තුන තුළ ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ ගියා. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර ඔහු බෙහෙවින් ජනප්‍රිය වූ බව සමීක්ෂණ වාර්තා පෙන්වා දුන්නා.

ෆ්‍රංශුවා ෆියොන්, පරාජයේ වේදනාව (La Tribune)

මැතිවරණයේදී මාරීන් ලෙ පෙන් පළමු ස්ථානය ලබාගත් ප්‍රදේශ බොහොමයක දෙවැනි ස්ථානයට එන්නට මැක්‍රොන් සමත් වූ අතර මැක්‍රොන් පළමු ස්ථානය ලබාගත් ප්‍රදේශ ගණනාවක දෙවැනි ස්ථානයට මෙලොන්ශොන් ළඟාවී තිබුණා.

වමේ කඳවුරේ ඇතැම් කොටස් හැමෝන් විවේචනය කරමින් කියා සිටියේ ජයග්‍රහණය කිරීම සඳහා කිසිදු අවස්ථාවක් නොමැති බව පෙනි පෙනී තරඟ කිරීමෙන් ඔහු මෙලොන්ශොන්ට ලැබිය හැකි වූ ඡන්ද කැඩීමට සමත් වූ බවත් එහෙයින් මෙලොන්ශොන්ට පළමු ස්ථාන දෙක අතරට පැමිණීම සඳහා යම් අවස්ථාවක් තිබුණි නම් එයද නැති වූ බවක්.

මේ හෙයින් හැමෝන් සමාජවාදී කඳවුර පාවා දුන් බව ඔවුන් කියා සිටිනවා.

දෙවැනි වටය​

ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේදී කිසිවකුත් සියයට 50 ක ඡන්ද ප්‍රමාණය ඉක්මවා නොගිය අවස්ථාවලදී, පළමු ස්ථානයට පැමිණෙන අපේක්ෂකයන් දෙදෙනා අතරේ දෙවන වටයක් පවත්වනු ලබනවා. ඒ පළමු වටයේ ඡන්ද විමසීමෙන් සති දෙකකට පසුවයි. මේ අනුව මැයි මස 7 වනදා එමානුවෙල් මැක්‍රොන් සහ මාරීන් ලෙ පෙන් ප්‍රංශ ජනාධිපති ධූරය සඳහා අවසන් සටනට මුහුණ දෙනු ඇති. ඒ පිළිබඳවත් ඔබ වෙත කරුණු ගෙන එන්නට අප සූදානමින් සිටිනවා.

(විදෙස් මාධ්‍ය වාර්තා ඇසුරින්)

Cover Image – එමානුවෙල් මැක්‍රොන් සිය ජයග්‍රහණයට පසු (Getty)

Related Articles