Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වීරප්පන් කොටු කරගත්තේ ලංකාවට එන්නට දෙන පොරොන්දුව මත බව හෙළිවේ

දකුණු දිග ඉන්දියාවේ ප්‍රකටම මංකොල්ලකරුවා වූ වීරප්පන් මරා දමන ලද අවස්ථාවේ ඔහුව ඔහුගේ සැඟවුම් ස්ථානයෙන් පිටතට ගැනීමට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකාවට ගොස් LTTE සංවිධානය හමුවීමට අවස්ථාව සළසා දීමේ පොරොන්දුවක් මත බව හෙළිව තිබෙනවා.

2004 ඔක්තෝබර් 18 වනදා වීරප්පන් මරා දැමුනේ “ඔපරේශන් කොකූන්” නම් මෙහෙයුමකින්. එම මෙහෙයුමට අණ දුන් තමිල්නාඩු විශේෂ කාර්ය බලකායේ කේ. විජේ කුමාර් නම් නිලධාරියා විසින් ලියන ලද “Veerappan – Chasing the Brigand” නම් පොතෙහි මේ පිළිබඳ ඇතුලාන්ත කතාවෙහි මෙතෙක් හෙළි වූ සහ නොවූ කරුණු අඩංගු වනවා.

මෙම පොත එළි දක්වනු ලැබුණේ පෙබරවාරි 8 වනදා යි. එහි දැක්වෙන කරුණු අනුව වීරප්පන් සිය වනගත මූලස්ථානයෙන් පිටතට පැමිණ ඇත්තේ සිය අක්ෂි රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීම සහ LTTE සංවිධානයෙන් අවි ආයුධ මිලට ගැනීම යන කරුණු දෙක ඉටු කරගැනීම සඳහායි.

කවුද මේ වීරප්පන්?

කූස් මුනිස්වාමි වීරප්පන් උපන්නේ 1952 දී එවකට මයිසෝරයේ ගෝපිනාදන් නම් ප්‍රදේශයේදී. ඔහු වන්නියාර් ප්‍රජාවට අයත් කෙනෙක් වූ අතර සාල්වායි ගවුන්ඩර් නම් ප්‍රකට අලි ඇතුන් දඩයක්කරුවා ඔහුගේ ඥාතියකු ද වුණා. මේ නිසාම කුඩා වයසේ පටන්ම ඔහු ඇතුන් දඩයම සහ සඳුන් දැව ජාවාරම වෙත නැඹුරු වූ බව සඳහන්. ඔහුගේ පළමු ඇත් දඩයම සිදු කරන විට වීරප්පන් 14 වන වියේ වූ බවට ඇතැම් වාර්තා අනුව කියැවෙනවා.

වීරප්පන් (NDTV)

වීරප්පන් සිය සැඟවුම් ස්ථානය ලෙස භාවිතා කළේ සත්‍යමංගලම් වනාන්තර ප්‍රදේශයයි. මෙය තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්ත දෙකෙහි පැතිර පවතිනවා. මේ හේතුව නිසා එක් ප්‍රාන්තයක පොලිසිය ඔහු අල්ලාගැනීමට මෙහෙයුම් දියත් කරන විට ඔහු පහසුවෙන්ම අනෙක් ප්‍රාන්තයට පළා යන්නට පුරුදු ව සිටියා.

1987 දී වනජීවී නිලධාරියකු වූ චිදම්බරන්ගේ ඝාතනයෙන් පසු මධ්‍යම ආණ්ඩුව ද වීරප්පන් කෙරෙහි අවධානය යොමු කළා. මධ්‍යම රජය සිය දේශසීමා ආරක්ෂක බලකාය (Border Security Force) ද මෙම ප්‍රදේශයට එවූ නමුත් ඔවුනටත් වීරප්පන් අල්ලාගන්නට නොහැකි වුණා. ඒ අතරම මධ්‍යම ආණ්ඩුව මීට මැදිහත්වීම ගැන තමිල්නාඩුව ද එතරම් සතුටු වුණේ නැහැ.

වීරප්පන් 1990 දශකයේ අග වනතුරු මංකොල්ලකරුවකු ලෙස ප්‍රකටව සිටි අතර ඉන් පසු ඔහු දෙමළ ජාතිකවාදී දේශපාලන කණ්ඩායම් සමඟ සම්බන්ධතා ඇති කරගත්තා. මෙවන් කණ්ඩායම් දෙකක් වූයේ දෙමළ ජාතික විමුක්ති හමුදාව (Tamil National Liberation Army – TNLA) සහ දෙමළ ජාතික පුනරුද හමුදා (Tamil National Retrieval Troops) ය​. මින් TNLA නැක්සලයිට් ව්‍යාපාරය හා සබඳතා තිබූ කණ්ඩායමක්. TNRT සහ ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය අතර සම්බන්ධතා තිබී තියෙනවා.

සත්‍යමංගලම් වනාන්තරයේ දසුනක් (mygola.com)

2000 දී කන්නඩ චිත්‍රපට තරුවක් වූ රාජ් කුමාර් පැහැරගත් පසු වීරප්පන් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් අතර කප්පමකට අමතරව දේශපාලන ඉල්ලීම් ද වුණා. එසේ ඉල්ලීම කළේ අර කළින් කියූ සංවිධාන දෙකේ බලපෑම මත බව පැහැදිලි වුණා.

2002 දී ඔහු තවත් දේශපාලනමය පැහැරගැනීමක් කළා. ඒ හිටපු කර්ණාටක ප්‍රාන්ත ඇමති එච්. නාගප්පා. ඔහු ගලවා ගැනීමට කළ මෙහෙයුමක් අතරතුර වෙඩි වැදී මිය ගියා.

වීරප්පන් විසින් මරා දමන ලද සම්පූර්ණ මිනිසුන් ගණන 124 කට වැඩි මිසක් අඩු නොවන බව ඉන්දියානු මාධ්‍ය වාර්තාවල කියැවුණා. වනජීවී නිලධාරීන් සහ පොලිසිය සමඟ සබඳතා පවත්වන බවට සැකයට ලක්වූ ගැමියන් ද ඒ අතර වනවා.

වීරප්පන් කොටු කිරීම

කේ. විජේ කුමාර්ගේ නවතම කෘතිය පවසන ආකාරයට වීරප්පන්ව කොටු කරගත්තේ, LTTE සංවිධානය සමඟ සබඳතා තිබූ ප්‍රකට ව්‍යාපාරිකයකු, වීරප්පන්ට ලංකාවට යාමට ආරක්ෂිත ක්‍රමවේදයක් සැකසූ බවට ඔහු වෙත ඒත්තු ගැන්වීමෙන්. එය තනිකරම පොලිස් මෙහෙයුමක් බව වීරප්පන් දැන සිටියේ නැහැ.

විජේ කුමාර් සිය පොතෙහි එම ව්‍යාපාරිකයා හඳුන්වා දෙන්නේ Mr. X නමින්.

මෙම මෙහෙයුමට මූලික වූ බුද්ධි තොරතුරු ලැබුනේ “වෙළෙන්දා” නම් සංකේත නාමයෙන් හැඳින්වුණ පොලිස් ඔත්තුකරුවකුගෙන්. ඔහු පොලිසියට දන්වා සිටියේ වීරප්පන් තමන්ට Mr. X මුණ ගැසී සිය රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සහ ලංකාවට යාම පිළිබඳව ඔහු හා සාකච්ඡා කරන ලෙස කියා සිටි බවයි.

පොලිසිය මෙම තොරතුර පිළිබඳ පුදුම වී ඇත්තේ වීරප්පන් වැන්නකු හා සබඳතා ඇතැයි ඉන් පෙර කිසිදු තොරතුරක් ලැබී නොතිබූ නිසාවෙන්. කෙසේ නමුත් “වෙළෙන්දා” මුණ ගැසුණ අතර, පොලිසියේ උපදෙස් මත එම සංවාදය පටිගත කරගත්තා. එමගින් පොලිසිය තමන් සමඟ එක්ව කටයුතු කරන්නට Mr. X එකඟ කර ගත්තා.

වීරප්පන් අල්ලාගැනීම පිළිබඳ කතාව සහිත අලුත්ම පොත​ (India Today)

පොලිස් විශේෂ බලකා නිලධාරීන් වීරප්පන් සමඟ සම්බන්ධ වන ලෙස Mr. X ට උපදෙස් දුන්නා. ඔහු වීරප්පන්ට දිය යුතු පණිවිඩය වූයේ ශ්‍රී ලංකාවේ LTTE ය සමඟ සබඳතා ඇති කරගෙන ඇති බවත්, වීරප්පන් අක්ෂි සැත්කමක් සඳහා මදුරෙයි හෝ තිරුචි වෙත කැටුව යාමට අයකු එවනු ඇති බවත්. එතැනින් පසු වීරප්පන් ශ්‍රී ලංකාවට කැටුව යාමට සියල්ල සූදානම් බවත් ඔහුට දැනුම් දිය යුතු වුණා.

මේ අතර අවි ජාවාරම්කරුවන් ගේ නියෝජිතයකු ලෙස රඟපෑම සඳහා වීරප්පන් නොහඳුනන වල්ලදොරෙයි නම් පොලිස් නිලධාරියකු ද මෙහෙයුමට සම්බන්ධ වුණා. ඔහු කිහිප විටක් ම වීරප්පන් හමුවීමට ගිය නමුත් වීරප්පන් ඔහු හමුවීමට පැමිණියේ නැහැ.

මේ අනුව වීරප්පන්ට කිසියම් හෝ වරදක් සිදුව ඇති බවට ඉව වැටී ඇත් දැයි යන සැකය මතු වුණා.

නමුත් 2004 ඔක්තෝබරයේදී වීරප්පන්ගේ නියෝජිතයකු ධර්මපුරි හි පිහිටි තේ කඩයක දී Mr. X හමුවීමට සූදානම් බව වීරප්පන් විසින් දන්වනු ලැබුණා.

අදාළ දිනයේදී “රෙඩ්” නමින් තමන් හඳුන්වාගත් එම නියෝජිතයා Mr X මුණ ගැසුණ අතර ඔක්තෝබර් 18 වනදා වීරප්පන් සිය සැඟවුම් ස්ථානයෙන් පිටතට එනු ඇති බව දන්වා සිටියා.

“ඔබේ නියෝජිතයාට පපරපත්ති පොලිස් ස්ථානය අසළ මං සන්ධියේ උදේ දහයට ඉන්න කියන්න​. එදින නාවොත් ඔහු යළි 20 වෙනිදා එතැනට ආ යුතුයි. ඒත් නැත්නම් 22 වනදා” එම නියෝජිතයා Mr X ට කියා සිටියා.

ඔහු වෙත 007710 නම් අංකය දරන ලොතරැයි පතක අඩක් දුන් වීරප්පන්ගේ නියෝජිතයා, අදාළ ස්ථානයට එද්දී X ගේ නියෝජිතයා ළඟ එය තිබිය යුතු බව කියා සිටියා.

අවසන් මෙහෙයුම​

ඔක්තෝබර් 18 වනදා වීරප්පන් අදාළ ස්ථානයට පැමිණියා. ඒ වෙද්දී ගිලන් රථයක් සමඟ කිහිප දෙනකු ඔහු හමු වීමට එතැනට පැමිණ තිබුණා. මේ පිරිස Mr X විසින් එවූ LTTE සංවිධානයට සම්බන්ධ අය බවයි වීරප්පන් විශ්වාස කළේ. එහෙයින් ඔහු තම පිරිසෙහි තිදෙනකු සමඟ එයට ගොඩ වුණා.

නමුත් එම ගිලන් රථය සමඟ පැමිණ තිබුණේ පොලිස් නිලධාරීන් බව වීරප්පන් දැන සිටියේ නැහැ.

මේ අතර ප්‍රධාන පොලිස් කණ්ඩායම ධර්මපුරිවලින් කිලෝමීටර 12 ක් එපිටින් පිහිටි පාඩි නම් ස්ථානයක පාසැලක් අසළ මග රැකගෙන සිටියා. ගිලන් රථය එම ස්ථානයේ නවත්වන ලද අතර​, පොලිස් භටයන් වීරප්පන්ට යටත් වීමට අණ කළා. වීරප්පන් ඊට පිළිතුරු දුන්නේ වෙඩි ප්‍රහාරයකින්.

විනාඩි 20 ක් පැවති වෙඩි හුවමාරුවකින් පසු වීරප්පන් සහ ඔහුගේ සහචරයින් මියගොස් සිටිනු දකින්නට ලැබුණා.

වීරප්පන් පිළිබඳ අදත් ඉන්දියාවේ කතාබහ වෙනවා. එමෙන්ම ඔහුගේ ජීවිතය පදනම් කරගෙන පසුගිය වසරේදී චිත්‍රපට දෙකක් පවා එළි දැක්වුණා. විජේ කුමාර් විසින් ලියන ලද මෙම පොත ද වීරප්පන් පිළිබඳ කතාබහක් යළි ඇතිවීමට හේතු වනු ඇති.

මූලාශ්‍ර​: T.A. Johnson, Promises of eye treatment, LTTE arms led Veerappan to STF trap. The Indian Express, Feb. 08, 2017, T.S. Subramanian & Praveen Swami, A desperate alliance, Frontline, Volume 17 – Issue 23, Nov. 11 – 24, 2000, Suresh Nambath, Veerappan as `Robin Hood’, The Hindu, Oct 19, 2004.

Cover Image: වීරප්පන් (Getty)

Related Articles