Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඡන්දේ තිබුණු දවස්වල ලෝකය වටේ වුණු වැදගත් සිදුවීම්

පහුගිය දවස්වල අපේ රටේ හැමෝම වගේ තමන්ගේ සම්පූර්ණ අවධානය යොමු කරලා තිබුණේ දවස් කිහිපයකට කලින් පැවැත්වුණු පළාත් සභා මැතිවරණය ගැනයි. සාමාන්‍යයෙන් පළාත් සභා මැතිවරණයකට ලැබෙනවාට වඩා ඉහළ අවධානයක් මෙවර හිමි වුණේ ශ්‍රී ලංකාවේ පවතින රජයට මහජනතාවගේ මතය කියා පාන්නත් එය අවස්ථාවක් වූ නිසායි. මෙහි ප්‍රතිඵලය නිසා රජයේ ඇති වෙලා තියෙන අවිනිශ්චිත බවත් දැන්මම විසඳෙන බවක් පෙනෙන්නට නැහැ.

කොහොම නමුත් ඒ වෙනුවෙන් තවමත් යොමු වෙලා තියෙන ඉහළ අවධානය නිසා පහුගිය දින කිහිපයේ සිද්ධ වුණු, සාමාන්‍යයෙන් අපේ රටේ වැඩි අවධානයක් දිනා ගන්න ඉඩක් තියෙන දේවල් බොහොමයක් අපට තරමක් මග හැරී ගිය බවක් පෙනෙන්න තියෙනවා. ඉතින් ඡන්ද විමසීම ගැන, රටේ පාලන කටයුතු ගැන ඔබේ අවධානය යොමු කරන අතරේම අපිට මග හැරුණු මේ සිදුවීම් ගැනත් ඔබට දැනුවත් වෙන්නට මේ ලිපිය උපකාරයක් වේවි.

ශ්‍රී ලංකාව වාර්තා තබමින් ටෙස්ට් තරඟාවලියක් ජය ගැනීම.

willow.tv

අපේ රටේ ඡන්ද විමසීම පැවැත්වුණේ පෙබරවාරි 10 වැනිදා නිසා වැඩි දෙනෙක්ට ක්‍රිකට් ගැන උනන්දුවක් තිබුණේ නැහැ. නමුත් එදාම කාලයක් තිස්සේ එක දිගටම පරාජයන්ට මුහුණ දෙමින් හිටපු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් තරඟයක් ඉතා පහසුවෙන් ජය ගන්නත්, ඒත් එක්කම තරඟ දෙකකින් යුතු තරඟාවලිය 1-0 ක් විදිහට ජයග්‍රහණය කරන්නටත් හැකියාව ලැබුණා. ඒ මෙවර බංගලාදේශ සංචාරයෙදී යි.

මෑත කාලයේ බංග්ලාදේශ කණ්ඩායමේ හොඳ පිබිදීමක් වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ පැහැදිලි කඩා වැටීමකුත් දකින්න ලැබුණු නිසා මීට අවුරුදු කිහිපයකට කලින් වගේ ඉතා පහසුවෙන් බංග්ලාදේශයට එරෙහිව තරඟ ජය ගනීවි කියලා හිතන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ. පළමු තරඟය ප්‍රතිඵලයකින් තොරව මුළු දින 5 පුරාවටම ඇදී ගියාමත් අපිට හිතුණේ එවැන්නක්.

වසීම් අක්රම් ඉක්මවා රංගන ඉදිරියට (sports.ndtv.com)

කොහොම නමුත් බංගලාදේශ ඉනිම් දෙකම ඉතා අඩු ලකුණු ප්‍රමාණයකට දවාගනිමින් ලකුණු 215ක පහසු ජයක් ලබන්න මේ තරඟයේදී ශ්‍රී ලංකාව සමත් වුණා. අවසන් ඉනිමේ දී ලකුණු 49කට බංග්ලාදේශ කඩුලු 4ක් දවාගත් රංගන හේරත් වමත් පන්දු යවන්නන් අතර එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙන්න සමත් වුණේ කඩුලු 415කට හිමිකම් කියමින්. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ මුල්ම ටෙස්ට් තරඟයට සහභාගී වූ අකිල ධනංජය ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල් තරඟයේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 44ට කඩුලු 8ක් දවා ගත්තා.

SpaceX ආයතනය අඟහරු ගමනට යොදා ගත හැකි අභ්‍යාවකාශ යානයක් සාර්ථකව අත්හදා බැලීම.

අභ්‍යාවකාශ යුගයට ආයෙත් උනන්දුවක් ඇති කළ SpaceX හි Falcon Heavy (spacex.com)

පෙබරවාරි 6 වැනිදා ලෝකය පුරාම අභ්‍යාවකාශ ගමන් ගැන නව බලාපොරොත්තුවක් ඇති කරමින් SpaceX සමාගම තමන්ගේ Falcon Heavy අභ්‍යාවකාශ යානය අත්හදා බලන්න සමත් වුණා. මේ යානය දියත් කරන්න යොදා ගත්තේ 1969 දී සඳ ගමන ඇතුළු Apollo යානා දියත් කිරීම සඳහා යොදා ගත් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයම යි. මෙට්‍රික් ටොන් 64ක් කක්ෂගත කරන්න සමත් Falcon Heavy යානයේ රොකට් එන්ජිම දැනට ලෝකයේ පවතින මීළඟ රොකට්ටුව වගේ දෙගුණයකටත් වඩා විශාලයි. ඔවුන්ගේම නිර්මාණයක් වන Merlin 1D රොකට්ටු 27 ක්, 9 බැගින් ඇති ඒකක තුනක් විදිහට සම්බන්ධ කිරීමෙන් මෙහි ප්‍රථම අදියරේ රොකට් එන්ජිම නිර්මාණය කරලා තියෙනවා.

මේ සියලුම රොකට්ටු නියම වෙලාවට ක්‍රියාත්මක වීමටත්, සියලු ගණනයන් සිතූ පරිදිම සිදු වීමටත් ඇත්තටම තිබුණේ ඉතාම අඩු සම්භාවිතාවයක්. රොකට්ටුවට ප්‍රවාහනය කළ හැකි බඩු තොගය ගැන ගණනය කිරීම් සහ අත්හදාබැලීම් සඳහා SpaceX ප්‍රධානී Elon Muskගේ Tesla Roadster වර්ගයේ රතු පැහැති කාරය හිරු වටා කක්ෂගත කිරීමත් ඒ සමඟම සිදුවුණා. තරමක් විහිළුවක් වගේ පෙනුණත් ලෝකය පුරාම හොඳ අවධානයක් ගන්න මෙය හේතු වුණා. ඔවුන්ගේ නිල live feed එක තුළින් දකින්න ලැබුණු “කලබල වෙන්න එපා” යන අදහස සඳහන් එම කාර් එකේ ප්‍රධාන තිරය, Star Man නැමැති ඩමිය, පිටතින් පෙනෙන පෘථිවිය කාටත් අපූරු අත්දැකීමක් වුණා.

අභ්‍යාවකාශයේ හිරු වටා සැරිසරන කාර් එකක්? කලබල වෙන්න එපා! (msnbc.com)

සැලසුම් කරන ලද හැම දෙයක්ම වගේ හරියටම සිදු වෙමින් ගැටලුවකින් තොරව Musk මහතාගේ Roadster කාර් එක හිරු වටා කක්ෂගත කරන්න Falcon Heavy යානය සමත් වුණා. එහි දෙපස රොකට් බූස්ටර දෙක නිරුපද්‍රිතව කෙනඩි මධ්‍යස්ථානයට එකවර ගොඩබාන්න සමත් වීමත් ලෝකය පුරා කතා බහට ලක් වුණා. මේ විදිහට යළි යළිත් භාවිතයට ගත හැකි බූස්ටර භාවිතය SpaceX ආයතනය තම දියත් කිරීම්වල වියදම අවම කරන්න යොදා ගන්නා ප්‍රධානම ක්‍රමයක්. මේ නිසා SpaceX ආයතනය අභ්‍යාවකාශ ගමන් වෙනුවෙන් ලොව ලාභදායීම තේරීම බවට නිසගයෙන්ම පත් වී තිබෙනවා.

මෙය ඇමරිකාව සහ සෝවියට් රුසියාව අතර සීතල යුද්ධය නිමා වීමෙන් පස්සේ අභ්‍යාවකාශ ගමන් ගැන අලුත් උනන්දුවකින් කතා බහ කරන්න සමත් වුණු ඓතිහාසික අවස්ථාවක් වුණා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ට්විටර් පණිවිඩයකින් SpaceX සහ Elon Musk වෙත සුභ පතන්න කටයුතු කළා.

කොරියානු අර්ධද්වීපයට සාමය පිළිබඳ බලාපොරොත්තු ඇති කළ ශීත ඍතු ඔලිම්පික් උළෙල.

මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙල දකුණු කොරියාවේ Pyeong Chang මූලික කරගෙන පැවැත්වෙනවා. (wblzmedia.com)

පෙබරවාරි 9 වැනිදා පැවති උත්කර්ෂවත් සමාරම්භක උත්සවයක් එක්ක ආරම්භ වුණු 2018 වර්ෂයේ ශීත ඍතු ඔලිම්පික් උළෙලට ඉතා ඉහළ අවධානයක් යොමු වුණේ උතුරු කොරියානු නායක Kim Jong Un කවුරුත් නොසිතූ විදිහට මේ උළෙලට තම රටේ කණ්ඩායමක් එවීමේ තීරණය ගැනීමත් එක්කයි. නිල වශයෙන් තවමත් යුද්ධයකට පැටලී සිටින උතුරු කොරියාව සහ දකුණු කොරියාව දෙසින් මෑත කාලයේ අසන්න ලැබුණේම ඉතාම බියකරු ප්‍රවෘත්ති පමණයි. උතුරු කොරියාව මුළු ඇමරිකාවටම පහර දිය හැකි බැලස්ටික් මිසයිල අත්හදා බැලීමත්, හයිඩ්‍රජන් විලයන න්‍යෂ්ටික බෝම්බයක් පවා නිර්මාණය කළ බව තහවුරු වීමත් එක්ක මේ රටවල් දෙකේම අනාගතය ගැන විශාල අවිනිශ්චිත බවක් පැවතුණා.

සමාරම්භක උළෙලට සහභාගී වූ Kim Yo-Jong (මැද) සහ ඇමරිකාවේ උප ජනාධිපති Mike Pence. (atimes.com)

කොහොම නමුත් තමන්ගේම නැගණිය වන Kim Yo-Jong දකුණු කොරියාවේ පැවැත්වෙන මෙම ඔලිම්පික් උළෙලට සහභාගී කරවමින් සාමයේ නව බලාපොරොත්තුවක් ඇති කරන්න උතුරු කොරියානු නායකයා පියවර ගත්තා. එපමණක් නෙවෙයි, එකම ධජයක් යටතේ උතුරු හා දකුණු කොරියානු ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් කාන්තා හොකී කණ්ඩායමක් කොරියාව ලෙස මෙම තරඟාවලියට එක් වුණා. උතුරු කොරියාවේ සැබෑ අවශ්‍යතාව කුමක්ද යන්න ගැන තවමත් 100% ක් විශ්වාස නැතත් මේ රටවල්වලටත්, මුළු ලෝකයටමත් සැනසුම් සුසුමක් හෙලන්න ඉඩක් ලැබුණු සිදු වීමක් විදිහට මෙවර ඔලිම්පික් උළෙල හඳුන්වන්න පුළුවන්.

ඇමරිකානු කොටස් වෙළඳපොළ කඩා වැටීම සහ ලෝක ආර්ථික අර්බුදයක පෙරනිමිති.

එක දිනක් තුළ වැඩිම ඒකක කඩාවැටීම. (money.cnn.com)

පසුගිය පෙබරවාරි 5 වැනිදා ඇමරිකාවේ ප්‍රධානතම ආර්ථික දර්ශකයක් වන Dow Jones දර්ශකය ඒකක 1175 කින් කඩා වැටුණේ මුළු ආර්ථික ලෝකයම බියෙන් සලිත කරමින්. මේ එක් දිනක් තුළ එම දර්ශකයේ සිදු වූ විශාලතම කඩා වැටීමයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති ලෙස තේරී පත් වීමෙන් පස්සේ එරට ආර්ථික කටයුතුවලට පැවති නීති රෙගුලාසි ඇතුළු බාධක විශාල ප්‍රමාණයක් ඉවත් කිරීම, බදු අය කිරීම් ප්‍රතිශතය 35% සිට 21% දක්වාත් අඩු කිරීම වැනි ආර්ථිකයට හිතකර සාධක රැසක් නිසා කාලයක් පුරාවටම Dow Jones දර්ශකය වේගයෙන් වැඩි වෙමින් පැවතුණේ. කෙසේ නමුත් ආර්ථිකයේ සාමාන්‍යයෙන් සිදු වෙන ආකාරයට මෙසේ දිගටම වැඩි වීමක් එකවර කඩා වැටීමක් බවට පත් වෙන අවස්ථා බොහොමයි. මේ සිදු වීමත් එක්කම ලෝකය පුරාම කොටස් වෙළඳපොළවල ක්ෂණික කඩා වැටීමක් ඇති වුණා.

මේ තත්ත්වයට ආසන්නම හේතුව විදිහට සැලකෙන්නේ එරට බැඳුම්කරවල වාසිසහගත බව ඉහළ යාම නිසා කොටස් වෙළඳපොළේ ආයෝජන ඒ වෙත ගලා යාමයි. ඇමරිකාවේ බදු ප්‍රතිශත පහළ යාමත් එක්ක මහජනතාවගේ වියදම් වැඩි වෙලා තියෙන නිසා එරට උද්ධමනය ඉහළ යාම හේතුවෙන් බැඳුම්කර සඳහා ගෙවන පොළිය සැළකිය යුතු ලෙස ඉහළ ගිහින් තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කරන්න එරට ෆෙඩරල් සංචිතය විසින් සමස්ත පොලී අනුපාත ඉහළ දමන්න ඉඩකඩක් තියෙන බවට ලොව පුරාම ආර්ථික විශේෂඥයින් ආයෝජකයන්ට අනතුරු හඟවලා තියෙනවා.

කොහොම නමුත් තවමත් ඇමරිකාවේ රැකියා නියුක්තිය ඇතුළු ප්‍රධාන ආර්ථික නිර්ණායකවල ස්ථාවර බවක් පෙන්නුම් කරන නිසා දීර්ඝකාලීනව ලොකු අර්බුදයක් ඇති වෙන එකක් නැති බව තමයි දැන් පිළිගැනෙන්නේ.

ඊශ්‍රායලයේ, තූර්කියේ හා ඉරානයේ ක්‍රියා නිසා සිරියාවේ ගැටුම් මැද පෙරදිග අවිනිශ්චිත බවක් දක්වා වර්ධනය.

පහරදී බිම හෙළන ලද ඊශ්‍රායලයට අයත් F-16 යානය. (wcyb.com)

පෙබරවාරි 11 වැනිදා ඊශ්‍රායලයට රහසේ පැමිණි ඩ්‍රෝන් යානයක් හසු වීම නිසා ඊශ්‍රායලය විසින් අදාළ ඩ්‍රෝන් යානය එවූ සිරියානු ගුවන් කලාපවලට එරෙහිව ගුවන් ප්‍රහාරයක් දියත් කළා. එම මෙහෙයුමේ දී ඊශ්‍රායලයේ F-16 යානයක් වෙඩි තබා බිම හෙළීම නිසා ඔවුන් සිරියානු ඉලක්ක වෙත තවත් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. සිද්ධියට මුල් වූ ඩ්‍රෝන් එක ඉරානයේ එකක් බව තහවුරු වීමෙන් ඊශ්‍රායලය සහ ඉරානය අතර කලෙක පටන් පවතින එදිරිවාදී කම් යුද්ධයක් දක්වා යාමට ඇති ඉඩකඩ, තුර්කියේ හමුදා ඇමරිකානු සහය සහිතව සටන් වදින සිරියාවේ කුර්දි සටන්කාමීන්ට එරෙහිව ප්‍රහාර දියත් කිරීම වැනි කාරණා නිසා මැද පෙරදිගත් යම් අවිනිශ්චිත බවක් ඇති වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් සහ රුසියාවේ ජනාධිපති පුටින් අතර දුරකථන සාකච්ඡාවක් පවා සිදු වීම මේ තත්වයේ බරපතල කමට හොඳ සාක්ෂියක්.

මේ වන විට රුසියාවේ සහ ඇමරිකාවේ සහය ලබන පිරිස් අතර ඇති වන ගැටුම් තීව්‍ර වීමේ අවදානම මේ නිසා තවත් ඉහළ ගොස් තිබෙනවා. ඊශ්‍රායලය කියා සිටින්නේ තම ගුවන් කලාපය උල්ලංඝනය කිරීමට එරෙහිව ඉරානයට අනුකම්පා විරහිතව පහර දීමට සූදානම් බවයි. නමුත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ඉරානය පවසන්නේ එය තමන්ගේ ඩ්‍රෝනයක් නොවන බවයි. යම් හෙයකින් යුද්ධයක් දක්වා මෙම තත්වය වර්ධනය වුණොත් ඇමරිකාව සහ රුසියාව අතර යුද්ධයක් දක්වා යාමට එයට ඉඩක් ඇති බවත් විශ්ලේෂකයන් අනතුරු හඟවා තිබෙනවා.

ඉතින් අපේ රටේ පැවති පළාත් සභා මැතිවරණය ගැන, දැන් ශ්‍රී ලංකාවේ පවතින පරිපාලන ගැටළු ගැන වගේම ඒ දවස්වල අපේ අවධානයෙන් ගිලිහුණු මේ වගේ සිද්ධීන් ගැනත් දැනුවත් වීම ඔබේ කාලීන දැනුම වර්ධනයට බොහෝ වැදගත් වනු ඇතැයි අපි සිතනවා. තනිකරම වගේ මැතිවරණය ගැන කතා බහට වෙන් වී තිබුණු පසුගිය දිනවල සිදු වූ වෙනත් වැදගත් සිදු වීම් ගැනත් දන්නවා නම් පහළින් කමෙන්ට් එකක් දැමීමෙන් ඒ ගැන අනිත් අයත් දැනුවත් කරන්නත්, මේ ලිපිය share කිරීමෙන් අනිත් අය සමග දැනුම බෙදා ගන්නත් ඔබට පුළුවන්.

කවරයේ රූපය : (Team Roar)

Related Articles