Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැවතත් උණුසුම් වන ඉරාන මිසයිල වැඩපිළිවෙල

උතුරු කොරියාව පිළිබඳ ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රය තුළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වීම හේතුවෙන් බොහෝ දෙනාගේ අවධානයෙන් ගිලිහුණ තවත් එක් සිද්ධියක් නම් ඉරානය විසින් චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශගත කිරීම සහ ඒ සමඟම ඉරාන මිසයිල ව්‍යාපෘතිය පිළිබඳ මතුවූ මතභේදයයි.

පසුගිය ජූලි 27 වනදා ඉරානය විසින් සිමෝර්ග් වර්ගයේ රොකට්ටුවක් ආධාරයෙන් චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශගත කරන ලද බව එරට රාජ්‍ය මාධ්‍ය විසින් නිවේදනය කෙරුණා. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමරිකා එක්සත් ජනපදය කියා සිටියේ එම ක්‍රියාව 2015 දී ඉරාන න්‍යෂ්ඨික වැඩපිළිවෙල පිළිබඳ ප්‍රකාශයට පත් කෙරුණ එක්සත් ජාතීන්ගේ අංක 2231 දරන යෝජනාව උල්ලංඝණය කරන බවයි.

මේ අතර අගෝස්තු දෙවනදා ඇමරිකාව​, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත යවන ලද ඒකාබද්ධ ලිපියකින් ද මෙම සිද්ධිය අදාළ යෝජනාව උල්ලංඝණය කිරීමක් බව ප්‍රකාශ කරනු ලැබුණා.

න්‍යෂ්ඨික වැඩපිළිවෙල පිළිබඳ යෝජනාව​

ඇමරිකාව​, බ්‍රිතාන්‍යය​, ප්‍රංශය, ජර්මනිය​, චීනය, රුසියාව යන බලවතුන් සය දෙනා සහ ඉරානය අතර ඇති වූ දීර්ඝ සාකච්ඡා ක්‍රියාවලියකින් පසු 2015 ජූලි මාසයේදී ඉරානයේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල පිළිබඳ එකඟතාවයකට පැමිණුනා. මේ අනුව ඉරානය මත පැනවී තිබූ සම්බාධක ඉවත් කරන ලද අතර එරට සමඟ බටහිර රටවල් වෙළෙඳ සබඳතා සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද වර්ධනය කරගත්තා.

ඉරාන න්‍යෂ්ඨික වැඩපිළිවෙල පිළිබඳ එකඟතාව (යුරෝපා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය​, ජර්මනිය​)

මෙම එකඟතාවය ඉරානයේ මධ්‍යස්ථ මතධාරී ජනාධිපති හසන් රවුහානිගේ රජයේ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙස සැළකුණා. සම් බාධක ඉවත් වීමේ පසුබිම තුළ් ඉරානයේ ආර්ථිකයට ද එය යහපත් ලෙස බලපානු ඇතැයි බලාපොරොත්තු පළ වුණා. ප්‍රතිසංස්කරණවලට පක්ෂ රටේ බහුතරයක් දෙනා තවමත් රවුහානි කෙරේ විශ්වාසය තබන බව පසුගිය මැයි මාසයේදී ඔහු ඉරාන ජනාධිපතිවරණයෙන් ලද විශිෂ්ඨ ජයග්‍රහණයෙන් යළි තහවුරු වුණා.

ට්‍රම්ප් සහ ඉරානය අතර එදිරිවාදිකම්

2017 ජනවාරි 20 වනදා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමටත් පෙර සිටම නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ 2015 දී ඇති කරගත් එකඟතාව විවේචනය කළා. එමෙන් ම ජනාධිපති වශයෙන් ඔහු එම එකඟතාව පිළිබඳ නැවත සිතා බලන බවත් ප්‍රකාශ කළා.

ජනාධිපති ධූරයට පත් වූ පසු ට්‍රම්ප් විසින් රටවල් කිහිපයක වැසියන්ට ඇමරිකාවට ඇතුලු වීම විධායක ආඥාවක් මගින් තහනම් කළා. එම රටවල් අතරට ඉරානය ද ඇතුලු වුණා. මේ අතර ඉරානය තවත් බැලිස්ටික් මිසයිල අත්හදා බැලීමක් කළ බවට චෝදනා කරමින් පසුගිය පෙබරවාරියේදී ට්‍රම්ප් එම රටට තර්ජනය කළේ ගින්දර සමඟ ක්‍රීඩා නොකරන ලෙසයි. හිටපු ජනාධිපති බරක් ඔබාමා මෙන් ඉරානය කෙරෙහි මිත්‍රත්වයෙන් කටයුතු නොකරන බව ඔහු ප්‍රකාශ කර සිටියා.

කෙසේ නමුත් පෙබරවාරියේදී මතුවූ උණුසුම්කාරී තත්ත්වය යම් පමණකට සමහන් වුණ අතර උතුරු කොරියානුවන් විවිධ අවස්ථාවල කළ මිසයිල අත්හදා බැලීම් හේතුවෙන් වැඩි අවධානය එදෙසට යොමු වුණා.

මිසයිල තාක්ෂණය

පසුගියදා සිදුකළ චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීම පිළිබඳ අදහස් දක්වන ඉරානය කියා සිටියේ එය සාමකාමී කටයුත්තක් සඳහා කෙරුණක් බවත් ඉන් 2015 එකඟතාව උල්ලංඝණය වූයේ යයි තමන් පිළිගන්නේ නැති බවත් ය​. නමුත් ඇමරිකාව ප්‍රමුඛ බලවතුන් සිව් දෙනා එක්සත් ජාතීන් වෙත සඳහන් කර සිටියේ මෙහිදී යොදාගත් තාක්ෂණය, යම් යම් සුලු වෙනස්කම් කිරීම මගින්, බැලිස්ටික් මිසයිලයක් නිකුත් කිරීම සඳහා ද යොදාගත හැකි බවයි. එහෙයින් එම සම්මුතිය මෙමගින් උල්ලංඝණය වූ බව ඔවුන් පවසනවා.

නමුත් මේ පිළිබඳව අදහස් දක්වන ඉරානය කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය සැමවිටම 2015 එකඟතාව කඩාකප්පල් කිරීමට බලාගෙන සිටින බවත් මෙම චෝදනාව ද එම අරමුණින් කරනු ලබන්නක් බවත්.

ඉරාන ජනපති රවුහානි (Halil Sagirkaya/Prime Minister’s Press Office/Handout via Reuters/File Photo)

රුසියාව සහ චීනය අනෙක් බලවතුන් සිව් දෙනාගේ මතයට එකඟ වී නැති අතර මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීම මගින් ඉරානය විසින් අදාළ එකඟතාව බිඳ දැමූ බව ඔවුන් ද ප්‍රතික්ෂේප කරනවා.

මේ අතර ජනාධිපති හසන් රවුහානිට සමීප මාධ්‍යවේදියකු වන නඩර් කරිමි ජොනි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සමඟ සඳහන් කර තිබුණේ ඉරානය විසින් සිදුකරන ලද මෙම චන්ද්‍රිකා කක්ෂගත​ කිරීම ට්‍රම්ප් රජය විසින් මෑතකදී එරටට එරෙහිව පැනවූ නව සම්බාධකවලට එකටෙක කිරීමක් බවයි. එම සම්බාධක පනවණ ලද්දේ ඉරානයේ මිසයිල වැඩපිළිවෙලට​, අවි ආයුධ මිලට ගැනීමට සහ පරිගණක මෘදුකාංග සොරකමට සම්බන්ධ යයි පැවසූ පුද්ගලයන් සහ ආයතන 18 කට එරෙහිවයි.

නාඩර් කරිමි ජොනි සඳහන් කළේ ඉරානය දිගටම සිය අත්හදා බැලීම් කටයුතු කරනු ලබන බවයි. එමගින් ඉරාන මිසයිලවල විදුම් පරාසය සහ නිරවද්‍යතාව දියුණු කිරීමට ඔවුන් බලාපොරොත්තු වනවා.

මේ අතර ඉරානයේ ටෙහෙරාන් සරසවියේ ඇමරිකානු අධ්‍යයනයන් සහ පසු-යටත්විජිතවාදී සාහිත්‍යය පිළිබඳ කථිකාචාර්යවරයකු වන මොහොමඩ් මරන්දි රුසියාවේ ස්පුට්නික් මාධ්‍ය ආයතනය සමඟ පවසා සිටියේ ඇමරිකාවේ අකුල් හෙළීම්වලට පිළිතුරු ලෙස ඉරානය සිය ආරක්ෂක වියදම් ඉහළ නංවනු ඇති බවයි. ඇමරිකානු තර්ජනවලට තමන් බිය නොවන බව මින් පෙර විවිධ අවස්ථාවල ඉරාන රජය පවසා තිබෙනවා.

අගෝස්තු 5 වනදා සිය දෙවන ධූර කාළය සඳහා දිවුරුම් දුන් හසන් රවුහානි නැවතත් ප්‍රකාශ කළේ තම රජය න්‍යෂ්ඨික ගිවිසුමට අනුව කටයුතු කරන බවත් එම එකඟතාව බිඳ දමා ඇත්තේ තමන් නොව ඇමරිකාව බවත්. එමෙන් ම කලාපයේ පවතින විවිධ ගැටුම් නිරාකරණය කරගැනීමට හොඳම මග සාකච්ඡාව බව ඔහු යළිත් අවධාරණය කළා.

රවුහානි මෙම ප්‍රකාශය කරන ලද්දේ සවුදි අරාබිය සහ ඉරානය අතරත් එදිරිවාදිකම් එක් පසෙකින් ද ඇමරිකාව සහ ඉරානය අතර එදිරිවාදිකම් අනෙක් පසින් ද වර්ධනය වෙමින් පවත්නා පසුබිමක වීම වැදගත් වනවා. මේ අනුව ඉදිරි මාස කිහිපය තුළ කලාපයේ රටවල් සමඟ ඇමරිකාවේ සහ ඉරානයේ ක්‍රියාකලාපය දෙස බලා සිටීම වැදගත් විය හැකියි.

Cover Image: ඉරාන චන්ද්‍රිකා කක්ෂගත කිරීම (ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය​)

Related Articles