Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හම්බන්තොට යනු මීළඟ සිංගප්පූරුවද​?

හම්බන්තොට වරාය සම්බන්ධව චීන සමාගමක් සමඟ ඇති කරගැනීමට යන ගිවිසුමක් පිළිබඳ සාකච්ඡාව ඇරඹීමත් සමඟ විපක්ෂය දෙසින් ආණ්ඩු පක්ෂය වෙත එල්ල කෙරුණ මූලික චෝදනාවක් වූයේ හම්බන්තොට වරායෙහි මූලෝපායික වැදගත්කම පිළිබඳව නොසළකමින් එය චීනයට පවරා දීමට රජය කටයුතු කරන බවයි.

ඔවුන් තර්ක කරන පරිදි තායිලන්තය හරහා යෝජිත ඇළ මාර්ගය , එනම් ක්‍රා ඇළ , කැපූ කළ හම්බන්තොට වැදගත්කම තවත් ඉහළ යනවා. ක්‍රා ඇළ කැපූ විට, මැද පෙරදිග සිට ඈත පෙරදිගට යන නැව්, මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ගමන් නොකරනු ඇති බවත්, එහෙයින් සිංගප්පූරුවට ඇති වැදගත්කම අඩු වන බවත්, එම වැදගත්කම හම්බන්තොටට ලැබෙන බවත් ඔවුන් ඉදිරිපත් කරන තර්කයයි.

ක්‍රා ඇළ යනු කුමක්ද ? එය කවදා නිම කරනු ලැබෙයි ද ? එසේ වූ විට හම්බන්තොට මීළඟ සිංගප්පූරුව වේද ? මේ කරුණු විමසා බැලීම වැදගත් යැයි අප සිතනවා.

ක්‍රා ඇළ (Kra Canal)

ක්‍රා ඇළ යනු තායිලන්තයේ පිහිටි ක්‍රා දේශ සන්ධිය හරහා කැපීමට යෝජිත ඇළ මාර්ගයක්. එහි දිග කිලෝ මීටර 102 ක් පමණ වනු ඇති.

ක්‍රා ඇළෙහි යෝජිත සැලැස්ම (www.iims.org.uk)

අද වනතුරු වැඩ පටන් නොගත්තත්, ක්‍රා ඇළ පිළිබඳ ඉතිහාසය 1677 තරම් ඈතට දිව යන බව කිවහොත් ඔබ පුදුම වේවි. එවක සියමෙහි රජු වූ නරායි වෙත මෙවන් ඇළ ක් කැපීම පිළිබඳ යෝජනාව ගෙන එන්නේ ප්‍රංශය විසින්. නමුත් එහි වියදම සළකා එම ව්‍යාපෘතිය ක්‍රියාවට නගන්නේ නැහැ.

1793 දී එම අදහස යළිත් කරලියට ආවා. ඒ තායිලන්තය හෙවත් සියම පැත්තෙන්. චක්‍රි රජුගේ සහෝදරයා මෙම ඇළ මාර්ගය පිළිබඳ අදහස ඉදිරිපත් කළේ එමගින් තම නාවික හමුදාවට බටහිර වෙරළ ආරක්ෂා කිරීම පහසු වන බව පවසමින්.

19 වන සියවසේදී ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම ද මෙම ප්‍රදේශයෙන් ඇළක් කැපීම කෙරෙහි උනන්දු වූ නමුත් සිංගප්පූරුව දියුණු වීමත් සමඟ එම අවශ්‍යතාව පහළ වැටුණා.

1946 ඇන්ග්ලෝ – තායි මිත්‍ර ගිවිසුමට අනුව බ්‍රිතාන්‍යයේ එකඟතාව නොමැතිව ක්‍රා ඇළ නොකැපීමට තායිලන්තය එකඟ වුණා. එම ඇළ කැපුවහොත්, එවකට බ්‍රිතාන්‍යයට අයත් ව තිබූ සිංගප්පූරු වරායේ වැදගත්කම හීන වේ යයි ඔවුන් සැක කිරීම ඊට හේතුව වුණා.

ආර්ථික කරුණු

චීනය සිය ඉතිහාසයේදී මුහුණ දුන් එක්තරා ගැටලුවකට මෙය විසඳුමක් වුණා. එම ගැටලුව හඳුන්වන්නේ “මලක්කා උභතෝකෝටිකය ” නමින්. චීනයට, ආසියාව හරහා යුරෝපය කරා වැටුණ සමුද්‍ර මාවත වැටී ඇත්තේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහා යි. එහෙයින් එය අවට ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් එය චීනයට බලපානවා. 1511 දී පෘතුගීසීන් මලක්කා සමුද්‍ර සන්ධියේ පාලනය සියතට ගත් විට මෙය සිදු වුණා.

චීනය ඊට ප්‍රතිචාර දැක්වූයේ බාහිර ලෝකය සමඟ වූ සබඳතා අඩු කිරීමෙන්. එයින් සිදු වුණේ චීනය පසුගාමී වෙද්දී එරටින් ඇතැම් තාක්ෂණයන් ඉගෙනගත් යුරෝපා ජාතීන් දියුණු වීම තවත් වේගවත් වීමයි.

මෑත කාලීන ඉතිහාසය ගතහොත්, 1993 දී චීනය ඛනිජ තෙල් ආනයන කරන්නකු බවට පත් වුණා. අද වනවිට ලෝක ඛනිජ තෙල් වෙළඳපොලේ විශාල තොග ප්‍රමාණයක් චීනයට ළඟා වෙනවා. මින් සියයට 80 ක් පමණ එන්නේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහායි. එහෙයින් චීන ආර්ථිකය අදටත් මලක්කා සමුද්‍ර සන්ධියේ පවතින තත්ත්වයන් මත රඳා පවතිනවා. කළකට පෙර මුහුදු කොල්ලකරුවන් එම ප්‍රදේශයේ ක්‍රියාකාරී වීම පිළිබඳ චීනය දැඩි ලෙස කලබලයට පත් වූයේද ඒ හේතුව නිසායි.

ක්‍රා ඇළ මගින් බටහිර ආසියාවේ සිට නැගෙනහිර ආසියාව දෙසට ගමන් කරන නැව්වල ගමන් මග කිලෝ මීටර 1200 කින් වගේම පැය 72 කින් පමණ කෙටි වෙනවා. එමෙන්ම මලක්කා සමුද්‍ර සන්ධිය මගහරින්නට එම නැව්වලට හැකි වෙනවා.

2015 මැයි මස සිංගප්පූරුවේ ස්ට්‍රේට්ස් ටයිම්ස් පුවත්පතෙහි (The Straits Times) පළ වූ ලිපියකට අනුව , ඒ සමයෙහි ගණන් බලා තිබූ සමස්ථ වියදම ඇමරිකානු ඩොලර් බිලියන 28 කි. ඇළ මාර්ගය කැපීමට වසර අටේ සිට දහය දක්වා කාළයක් අවශ්‍ය වේ යයි ගණන් බලා තිබෙනවා.

සිංගප්පූරු වරාය (worldmaritimenews.com)

ක්‍රා ඇළ වැනි විශාල ව්‍යාපෘතියක් තායිලන්තයට තනිව කරන්නට බැහැ. තමන්ට තියෙන අවශ්‍යතාවය නිසා, මෙම ව්‍යාපෘතිය කෙරෙනවා නම් එයට ආයෝජනය කරනු ඇත්තේ චීනයයි. මෙම ඇළට හිමිකාරීත්වය ලැබෙන කවර හෝ පාර්ශවයකට එයින් ලැබෙන ගාස්තු සහ නැව්වලට සේවා සැපයීමෙන් ලැබෙන ආදායම් ලැබෙනු ඇති. එය තායිලන්තය තුළද රැකියා අවස්ථා උත්පාදනය කරනු ඇති.

සිංගප්පූරුව වැටෙයිද?

ක්‍රා ඇළ කැපුවහොත් සිංගප්පූරුවට එන ආර්ථික බලපෑම ගැන එරට නිලධාරීන් තරමක බියකින් පසුවනවා. සිංගප්පූරුව නාවික මධ්‍යස්ථානයක් ලෙස වැදගත් වුණේ එහි පිහිටීම නිසා බව අප දන්නවා. 2014 දී සිංගප්පූරු දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 ක් නාවික කටයුතුවලින් ලැබුණ බව සඳහන් වුණා.

නමුත් කෝර්නෙල් සරසවියේ සහය මහාචාර්ය ටොම් පෙපින්ස්කි සඳහන් කරන්නේ සිතන තරම් දැවැන්ත බලපෑමක් ක්‍රා ඇළ මගින් සිංගප්පූරුවට නොලැබෙනු ඇති බවයි. ඔහු කරුණු දෙකක් පදනම් කරගෙන එම ප්‍රකාශය කරනු ලබනවා. පෙපින්ස්කි සඳහන් කරන්නේ ක්‍රා ඇළේ ආර්ථික ප්‍රතිලාභය සාපේක්ෂව කුඩා බවත්, සිංගප්පූරුවේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව භූගෝලීය පිහිටීම නොවන බවත්.

ක්‍රා ඇළ මගින් නැව් ගමනාගමනය කිලෝමීටර 1200 ක් අඩු කළද එය සාපේක්ෂව කුඩා දුරක්. සූවස් සහ පැනමා ඇළ මාර්ග හේතුවෙන් නැව්වලට ගමන් කළ යුතු වූ දුර පිළිවෙලින් කිලෝ මීටර 10,000 කින් සහ 12,000 කින් පමණ අඩු වුණා. එහෙයින්, ගාස්තු නොගෙවා මලක්කා සමුද්‍ර සන්ධියෙන් ගමන් කිරීම ඇතැම් විට ලාභදායී වනු ඇති බව පෙපින්ස්කි අනුමාන කරනවා. අනෙක ඇළ මාර්ගයේ තදබදය හේතුවෙන් කාළය ඉතිරිවීම පිළිබඳවද විශාල වාසියක් නොලැබෙනු ඇති.

අනෙක් අතට සිංගප්පූරුවේ වැනි සේවාවන් සැළසීමට වෙනත් අලුතින්ම බිහිවන ස්ථානයකට හැකි වේද යන්න ප්‍රශ්නයක් බව පෙපින්ස්කි සඳහන් කරනවා. සිංගප්පූරුව ලෝකයේ හොඳම වරායක් වී ඇත්තේ අවශේෂ සේවාවන් සැපයීමෙන් බව ඔහු පෙන්වා දෙනවා.

තව ද , වර්තමාන සිංගප්පූරුවේ සාර්ථකත්වයට මූලිකම හේතු අතර දේශපාලන ස්ථාවරභාවය , පුහුණු ශ්‍රමිකයන් සිටීම වැනි කරුණුද වැදගත් වනවා.

පෙපින්ස්කි මෙහිදී අප සිතන්නට යොමු කරන උදාහරණයක් ගෙන දක්වනවා. අග්නිදිග ආසියාවේ සෑම රටක්ම පාහේ නිදහස් වෙළෙඳ කලාප පිහිටුවීමේ උපක්‍රමය ක්‍රියාවට නැගූවද දේශපාලන ස්ථාවරභාවය අඩුකම , ස්ථිර ආර්ථික ප්‍රතිපත්ති නොමැතිකම ආදී කරුණු විසින් එම උත්සාහයන් නිශ්ඵල කෙරුණ බව ඔහු කියනවා.

හම්බන්තොටට වාසියක් වෙයිද?

වරායක් භූගෝලීයව වැදගත් ස්ථානයක පිහිටා තිබීම මත පමණක් එහි සාර්ථකත්වය රඳා පවතින්නේ නැහැ. නැව්වලට අවශ්‍ය සේවා සැපයීමත් ඉතා වැදගත් වෙනවා. එමෙන්ම එම වරාය ආශ්‍රිතව විශාල වෙළෙඳපොලක් සඳහා භාණ්ඩ සැපයීමට හැකියාව තිබීමද වැදගත් වනවා.

හොංකොං වරාය දියුණුවීමට මේ දෙවන කරුණ බලපෑවා. කොළඹ වරායත් දියුණු වීමට එය බලපෑවා. ඊට හේතුව වූයේ ප්‍රතිනැව්ගතකරණයයි. ඉන්දියාවට ප්‍රතිනැව්ගත කෙරෙන භාණ්ඩ සැළකිය යුතු ප්‍රමාණයක් කොළඹ හරහා ගමන් කරනවා.

ප්‍රධාන නැව් මාර්ග දැනටත් හම්බන්තොට අසළින් යනවා (southchinasea.org)

හම්බන්තොට දැනටත් වැදගත් නෞකා මාර්ගයක පිහිටි වරායක්. නමුත් සේවා සැපයීම අතින් අනෙක් වරායන් දරන ප්‍රසිද්ධිය සමඟ එයට තරඟ කරන්න තවමත් පුලුවන් වී නැහැ. අනෙක් අතට විශාල වෙළෙඳපොළකට භාණ්ඩ සැපයීම ඒ හරහා සිදු වන්නේ නැහැ.

ක්‍රා ඇළ ඉදි වුවහොත් නෞකා සඳහා පහසුකම් සැලසීමට ඒ ආශ්‍රිතවම වරායක් ඉදි වනු ඇති. එහෙයින් හම්බන්තොටට ක්‍රා ඇළෙන් වාසියක් වෙන්නේ නැහැ.

අනෙක් අතට හම්බන්තොට දියුණු කිරීමට ක්‍රා ඇළ සෑදෙන තෙක් බලා සිටියහොත් ඇතැම් විට කවදාවත් අපට ඉදිරියට යන්නට බැරි වේවි. ක්‍රා ඇළෙන් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ සහ පාරිසරික බලපෑම , වියදම යනාදී කරුණු සලකා බැලීමේදී එම ඇළ නොකැපෙනු ඇති බව බොහෝ මත පළ වෙනවා.

ඉතින් ඒ ඇළ කැපෙනකල් බලාගෙන හිටියොත් හම්බන්තොටත් සිහිනයක් ම වේවි.

මූලාශ්‍ර : Renewed hype over China-Thai canal project: 5 things about the Kra Canal – Chew Hui Min, The Straits Times, May 21, 2015, The real threat to S’pore – construction of Thai’s Kra Canal financed by China – The Independent (Singapore), Does the Kra Canal Threaten Singapore? – Tom Pepinsky (tompepinsky.com), October 3, 2016

කවරයේ පින්තුරය: හම්බන්තොට වරාය (AFP / ලක්රුවන් වන්නිආරච්චි)

Related Articles