Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ISIS සංවිධානය සතුව තිබූ විශාලම නගරය මුදාගනී

ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (ISIS) හෙවත් “ඉස්ලාමීය රාජ්‍යය​” (IS) ලෙස තමන්ව හඳුන්වාගන්නා ත්‍රස්තවාදීන් අත පැවති විශාලම නගරය වූ මෝසුල් නගරය මුදා ගන්නා ලද බව ඉරාක අගමැති හයිදර් අල්-අබාදි ජූලි 9 වනදා නිල වශයෙන් ප්‍රකාශ කළා.

ඔහුගේ කාර්යාලය නිකුත් කළ ප්‍රකාශයකින් කියැවුණේ අබාදි මෝසුල් වෙත ගොස් ඉරාක හමුදාවලට සිය ශුභාෂිංශන පළ කළ බවයි.

මෝසුල්හිදී ඉරාක හමුදා මුණ ගැසෙන අබාදිගේ ඡායාරූපයක් ද ඔහුගේ කාර්යාලය විසින් නිකුත් කරනු ලැබුවා.

හයිදර් අල්-අබාදි මෝසුල් නගරයේ සංචාරය කරයි (Haider Al-Abadi/Twitter)

ඉරිදා වනවිට ත්‍රස්තයින් මෝසුල්වලදී සම්පූර්ණයෙන් ම පාහේ පරාජය වී සිටියා. කිසිසේත් යටත් වීමට අකැමැති සුලු පිරිසක් පමණයි මෝසුල් හි පැරණි නගරයේ කොටුවී සිටියේ.

මෝසුල් නිදහස් කරගැනීමත් සමඟ ISIS සංවිධානය මගින් පාලනය කෙරුණ ඉරාක භූමියේ ප්‍රදේශ සම්පූර්ණයෙන් ම පාහේ මුදාගෙන අවසන් වුණා.

පසුබිම​

ISIS සංවිධානයේ මූලාරම්භය සිදු වන්නේ ඉරාකයේදී යි. නමුත් පසුව ඔවුන් සිරියානු සිවිල් යුද්ධයට සම්බන්ධ වන අතර එහිදී අවි බලය වර්ධනය කරගන්නට සමත් වුණා. මෙහිදී බටහිර රටවලින් සිරියාවේ බෂාර් අල්-අසාද් පාලනයට එරෙහි පිරිස්වලට ලැබුණ අවි ද ප්‍රයෝජනවත් වූ බවට ප්‍රසිද්ධ චෝදනාවක් තිබෙනවා.

2014 දී ISIS සංවිධානය නැවත ඉරාකයට කඩා වැදුණේ මේ අවිවලින් හොඳින් සන්නද්ධ වූ සංවිධානයක් ලෙසයි. ඒ වනවිටත් සිරියාවේ බටහිර කොටසේ විශාල බිම් ප්‍රදේශයක් පැවැතියේ ත්‍රස්ත පාලනය යටතේයි. 2014 ජූනි මස මුල දී මෝසුල් නගරය අල්ලාගත් ත්‍රස්තයින් තවත් ප්‍රදේශ ගණනාවක් අල්ලාගනිමින් ඉරාක අගනුවර බැග්ඩෑඩයට කිලෝමීටර 100 ක් පමණ ආසන්නයට ද පැමිණියා.

මෙය බටහිරින් ආධාර ලබන ඉරාක හමුදාවලට අතිශයින් ම ලජ්ජා සහගත පරාජයක් වුණා. කෙසේ නමුත් ඉරාකයේදී ISIS ත්‍රස්තයින්ගේ උපරිම ව්‍යාප්තිය සිදු වූයේ 2014 දී. ඉන් පසු කෙමෙන් කෙමෙන් ඔවුන් අතට පත් වූ ප්‍රදේශ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. රමාදි සහ ෆලූජා වැනි නගර අල්ලා ගැනීමට දිගු කලක් ගතවූ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ඉරාක හමුදාවලට සිදු වුණා.

මෝසුල් නගරය​

ඉරාක අගනුවර වන බැග්ඩෑඩයෙන් කිලෝමීටර 400 ක් පමණ උතුරින් පිහිටි මෝසුල් නගරය මුලින් ම පිහිටවන ලද්දේ ටයිග්‍රිස් නදියේ වම් ඉවුරේ (හෙවත් නගරයට බටහිරින්). මේ වනවිට නගරය ටයිග්‍රිස් නදියේ දෙපසම පැතිරී තිබෙනවා. නමුත් එහි පැරණි කොටස හෙවත් පැරණි නගරය පිහිටියේ ටයිග්‍රිස් නදියේ වම් ඉවුරේ යි. ඉපැරණි නිනවේ නගරය මෝසුල්වලට මදක් නැගෙනහිරින් පිහිටා තිබෙනවා.

මෝසුල් ඉරාකයේ දෙවන විශාලම නගරය වන අතර 2004 දී ජනගහනය මිලියන 2 කට ආසන්න වුණා. ISIS සංවිධානය සමඟ පැවති යුධ වාතාවරණය නිසා මේ වනවිට නගරයේ ජනගහනයෙන් සැළකිය යුතු කොටසක් එය අතැර ගොස් තිබෙනවා.

මෝසුල් නගරය ආශ්‍රිත කලාපය ඓතිහාසික ඇසිරියානු ශිෂ්ඨාචාරයේ හදබිමක්. ප්‍රදේශයේ බහුතරය මුස්ලිම්වරුන් වුවත්, මෑතක් වනතුරු විවිධ ජනවර්ගවලට සහ ආගම්වලට අයත් ජනයා එම ප්‍රදේශයේ ජීවත් වුණා. නමුත් මුස්ලිම් නොවන බොහෝ දෙනා ISIS ආක්‍රමණයත් සමඟ ප්‍රදේශයෙන් පළා ගියා.

මෝසුල් නිදහස් කරගැනීම​

මෝසුල් නගරය අල්ලාගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුධ මෙහෙයුම් සඳහා ඉරාක හමුදා, කුර්දි පැශ්මර්ගා හමුදා සහ ශියා මිලිෂියා කණ්ඩායම් ආදී විවිධ පිරිස් සූදානම් වූයේ 2016 මුල් සමයේ සිටයි. ඔවුන් 2016 ඔක්තෝබර් 17 වනදා මෝසුල් සඳහා සටන දියත් කළා. ආරම්භයේදී නගරය අවට ප්‍රදේශයන් ද එයින් උතුරේ ඉරාක – සිරියා දේශසීමාව තෙක් ප්‍රදේශයන් ද එයින් එපිට සිරියානු ප්‍රදේශයන් ද පැවතුණේ ISIS ත්‍රස්තයින් යටතේයි. මෝසුල් අවට ත්‍රස්තයින් 4000 – 8000 ක් අතර ප්‍රමාණයක් වෙසෙන බවට අනුමාන කෙරුණා.

නගරයෙන් නැගෙනහිර ප්‍රදේශයේදී කුර්දි පැශ්මර්ගා හමුදා මෝසුල් දෙසට ඇදෙද්දී දකුණින් සහ බටහිරින් ඉරාක හමුදා සහ මිලීෂියා කණ්ඩායම් නගරය දෙසට ගමන් කළා. මේ අතර නගරයෙන් උතුරු දිග ප්‍රදේශවල ද යුධ මෙහෙයුම් සිදු වුණේ සිරියාව සහ මෝසුල් අතර මාර්ගය කපා හැරීමටයි.

මුල් කාලයේදී ත්‍රස්තයින් නිතර ම මෝටර් රථ යොදාගෙන කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරමින් හමුදා මෙහෙයුම්වලට ප්‍රතිචාර දැක්වූවා. එමෙන් ම නාගරික ප්‍රදේශවල සටන් කිරීම අපහසු වීම සහ සිවිල් වැසියන්ට වන හානිය අවම කිරීමට අවශ්‍ය වීම යන කරුණු මත නගරය දෙසට වන මෙහෙයුම් එතරම් වේගයෙන් සිදු වූයේ නැහැ.

ඉරාක හමුදා ස්නයිපර් භටයෙක් (AP)

මෙම වසරේ මුල වනවිට මෝසුල් හි නැගෙනහිර ප්‍රදේශය සම්පූර්ණයෙන් ම ISIS පාලනයෙන් ගිලිහුණ අතර බටහිරින් ද නගර සීමාව කරා ඔවුන් පසුබස්වා තිබුණා. පෙබරවාරියේදී මෝසුල් හි බටහිර ප්‍රදේශය මුදාගැනීම ඉලක්ක කරගනිමින් මෙම මෙහෙයුමේ ඊළඟ අදියර ක්‍රියාත්මක වුණා.

මෙම අදියර ආරම්භ වූයේ පෙබරවාරි 19 වනදායි. ඉතා ඉක්මණින් ම රජයේ හමුදා මෝසුල් ගුවන් තොටුපළ යටත් කරගන්න සමත් වුණා . නමුත් දිගටම නගරය තුළට ඇදෙද්දී ඉරාක හමුදාවලට මුහුණ දීමට සිදු වූයේ විශාල අභියෝගයකටයි. නගරයක සටන් කිරීම පහසු නොවීම ඊට හේතුවයි. ත්‍රස්තවාදීන්ට සැඟව සිට පහර දීම සඳහා ඇති තරම් ස්ථාන මෝසුල් හි දකින්නට තිබුණා. මෙය ඕනෑම නගරයක් අල්ලාගැනීම සඳහා සටන් කිරීමේදී පවතින අභියෝගයක් බව කිව යුතුයි.

කෙසේ නමුත් මීට සති කිහිපයකට පෙර මෝසුල් හි පාලනය එහි පැරණි නගරයට පමණක් සීමා කිරීමට ඉරාක හමුදා සමත් වුණා. පසු බසින ත්‍රස්තයින් ජූනි මාසයේ අවසන් භාගයේදී ඓතිහාසික අල් නූරි මුස්ලිම් පල්ලිය ද විනාශ කළා. 2014 දී නායක අබු බකර් අල්-බැග්ඩාඩි තමා ඉස්ලාමීය කලීෆා බව ප්‍රකාශ කළේ මෙම පල්ලියේදීයි.

හානි වූ ගොඩනැගිලි අසළ ඉරාක හමුදා වාහන (Reuters)

ඉරාක අගමැතිවරයා මෝසුල් හි ජයග්‍රහණය ප්‍රකාශයට පත් කරන විටද පැරණි නගරයේ කුඩා ප්‍රදේශවල ත්‍රස්තයන් ඉතිරිව සිටියා. ටයිග්‍රිස් ගඟ හරහා පළා යාමට උත්සාහ කළ ත්‍රස්තයින් පිරිසක් හමුදා ප්‍රහාරවලින් මිය ගියේ ද මින් දින කිහිපයකට පෙරයි. අවසානය තෙක් සටන් කරන ත්‍රස්තයින් යටත් වීමේ කිසිම සූදානමක් පෙන්වූයේ නැහැ.

මීළඟ අභියෝග​

මෝසුල් හි සටන් අවසන් වූ පසු ISIS විරෝධී සටනේ මූලික අවධානය සිරියාව දෙසට යොමුවනු ඇති. මේ වන විටත් සිරියාවේ පිහිටි ISIS “අගනුවර​” වන රකා නගරය අල්ලාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. කෙසේ නමුත් ත්‍රස්තවාදීන් ඉරාකයේදී වුවද ප්‍රහාර එල්ල කිරීමේ ඉඩකඩ ඕනෑ තරම් තිබෙනවා. මේ නිසා රටේ ආරක්ෂාව තහවුරු කිරීම විශාල අභියෝගයක් ව පවතිනවා.

මේ අතර ඉරාකය මුහුණ දෙන විශාලම අභියෝගය වන්නේ රටේ දිගු කාලීන දේශපාලන ස්ථාවරත්වයක් ස්ථාපිත කිරීමයි. රටේ සුන්නි මුස්ලිම්, ශියා මුස්ලිම් සහ කුර්දි යනාදී ජනතාවන් අතර අැති එදිරිවාදිකම් හේතුවෙන් ඉරාකයේ දේශපාලන තත්ත්වය 2003 සිටම අස්ථාවර ව පවතිනවා. මේ අතර ඉරාක කුර්දිස්ථානය ස්වාධීනතාව ප්‍රකාශ කිරීම පිළිබඳ ජනමත විචාරණයක් පවත්වනු ඇතැයි ද විශ්වාස කෙරෙනවා. මෙම පසුබිම යටතේ ස්ථාවර ඉරාකයක් බිහිවීමට තවත් බොහෝ කල් යනු ඇතැයි සිතිය හැකියි.

Cover Image: ඉරාක ෆෙඩරල් පොලිස් භටයින් පිරිසක් ජයග්‍රහණය සමරති (Reuters)

Related Articles