Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ISIS ත්‍රස්තයින්ට සිය “අගනුවර​” අහිමි වේ

ISIS හෙවත් “ඉස්ලාමික රාජ්‍යය​” ත්‍රස්ත සංවිධානය සිය “අගනුවර​” ලෙස හඳුන්වාගත් රකා නගරය සම්පූර්ණයෙන්ම මුදාගත් බව ඔක්තෝබර් 17 වනදා සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකා (Syrian Democratic Forces – SDF) විසින් නිවේදනය කෙරුණා.

මෙය ඉස්ලාමික රාජ්‍යය යයි හඳුන්වාගන්නා ත්‍රස්ත සංවිධානයට දරුණු පරාජයක් ලෙස සැළකෙන අතර​ සිරියානු කුර්දි ජාතිකයන්ගේ සහ SDF සංවිධානයට ආධාර කරන ඇමරිකා එක්සත් ජනපදයේ ජයග්‍රහණයක් ලෙස ද හඳුන්වා දීමට පිළිවන්. මෙය කුර්දි ජාතිකයන්ගේ ජයග්‍රහණයක් වන්නේ SDF සංවිධානයේ බහුතරය කුර්දීන් වන නිසයි.

SDF සංවිධානය කුර්දි සහ අරාබි කණ්ඩායම්වලින් සමන්විතයි. මෙම ව්‍යාපාරයේ ප්‍රමුඛතම සංවිධානයක් වන්නේ මහජන ආරක්ෂක ඒකක සංවිධානයයි (People’s Defense Units – YPG). එය කුර්දීන්ගෙන් සැදුම් ලත් සංවිධානයක්.

වසර තුනකට වැඩි පාලනය​

සිරියානු රජයට එරෙහි කැරලිකාර සංවිධාන විසින් රකා නගරය අල්ලාගන්නා ලද්දේ 2013 වසරේදීයි. 2014 ජනවාරියේදී ISIS සංවිධානය නගරය සම්පූර්ණයෙන්ම​ තම පාලනය යටතට ගත්තේ අනෙකුත් කැරලිකාර කණ්ඩායම් ප්‍රදේශයෙන් පළවා හරිමින්. 2014 මැද භාගයේදී ISIS සංවිධානය උතුරු ඉරාකයේ විශාල ප්‍රදේශයක් අල්ලාගත් අතර පසුව සිය පාලන ප්‍රදේශ “ඉස්ලාමික රාජ්‍යය​” ලෙස නම් කරමින් රකා නගරය සිය “අගනුවර​” ලෙස ප්‍රකාශ කළා.

රකා නගරයේ සංවිධානය ගෙන ගියේ ඉතාම අන්තගාමී පාලනයක්. ඔවුන් රාජ්‍ය පාලන තන්ත්‍රයකට සමාන ව්‍යුහයක් සිය පාලන ප්‍රදේශ තුළ පිහිටුවා ඉස්ලාමීය නීති හඳුන්වා දුන්නා. සුන්නි මුස්ලිම් නොවන ඉස්ලාමිකයන්ට පවා ඔවුනගෙන් විශාල වශයෙන් හිරිහැර සිදු වුණා. එමෙන්ම විරුද්ධවාදීන් ඝාතනය කිරීමට ඉතාම අමානුෂික ක්‍රම ඔවුන් යොදාගත්තා.

රකා නගරයේ පිහිටීම (ypgrojava.org)

2014-2015 සමයේ ඔවුනගේ බලය උච්චතම අවස්ථාවේ තිබියදී රකා යනු නව ඉස්ලාමීය යුටෝපියාවක​, නැතහොත් සිහින රාජ්‍යයක, අගනුවර ලෙස මෙම ත්‍රස්තයින් විසින් හඳුන්වා දෙනු ලැබුණා. එමෙන්ම සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සහ අන්තර්ජාලය ඔස්සේ කරන ලද ප්‍රචාරවලින් යුරෝපීයයන් පවා මෙම සිහින රාජ්‍යයේ ජීවත් වීමට ගෙන්වා ගැනීමට මෙම සංවිධානය සමත් වුණා.

නමුත් 2015 දී ඉරාකයේ සහ සිරියාවේ ත්‍රස්තයින් සතු ප්‍රදේශ සමහරකට එල්ල වූ හමුදා ප්‍රහාර හමුවේ ඔවුනගේ සිහින රාජ්‍යය බිඳ වැටෙන්නට පටන් ගැණුනා. මුලින් මෙය ඉතා සෙමින් සිදු වූ නමුත් 2016 වසර වනවිට කෙමෙන් කෙමෙන් එම බිඳ වැටීම වේගවත් වුණා. විශේෂයෙන්ම ත්‍රස්තයින් තෙල් විකිණීමත භාවිතා කළ තුර්කිය ඔස්සේ වූ මාර්ගය ඇහිරීමත්, තෙල් සම්පත සහිත ප්‍රදේශ එකින් එක ඔවුනට අහිමි වීමත් මීට එක් හේතුවක් වුණා.

රකා දෙසට වූ සිරියානු මෙහෙයුම​

2015 දී ISIS ත්‍රස්‍තයින් විසින් සිරියාවේ ඓතිහාසික පැල්මයිරා නගරය අල්ලාගත්තා. 2016 මාර්තුවේදී රුසියානු ගුවන් හමුදාවේ සහ විශේෂ බලකාවල ආධාර ද සමඟින් සිරියානු රජයේ හමුදා පැල්මයිරාව යළි අල්ලාගත්තා. ඉන්පසු ඔවුන් රකා දක්වා ගමන් කිරීමට උත්සාහ කළ නමුත් තබ්කා ගුවන් කඳවුර වෙත ගමන් කිරීමට කළ උත්සාහයේදී ඔවුන් නවතාලනු ලැබුණා. පසු කලෙක අල්ලාගත් ප්‍රදේශවලින් සිරියානු හමුදා පසු බස්වනු ලැබුණ අතර 2016 අවසනදී පැල්මයිරාවෙන් ද ඔවුන් නැවත පළවා හරිනු ලැබුණා.

කෙසේ නමුත්, 2016 නොවැම්බරයේදී රකා නගරය දෙසට උතුරු දෙසින් තර්ජනයක් පැමිණියා. මෙම තර්ජනයට හේතු වූයේ සිරියාවේ උතුරුදිග ප්‍රදේශවල ක්‍රියාත්මක වූ සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකාය යි. “යුප්‍රටීස්හි ද්වේෂය ” (Operation Wrath of Euphrates) යන නමින් හැඳින්වූ මෙම මෙහෙයුම ආරම්භ වූයේ 2016 නොවැම්බර් මාසයේ මුල් සතියේයි. ඔවුන් මූලික අදියර තුනක් යටතේ හමුදා ප්‍රහාර එල්ල කරමින් රකා නගරය වටලෑම ක්‍රම ක්‍රමයෙන් කරගෙන ගියා.

2017 මැයි මස දෙවන සතියේදී SDF සංවිධානයේ හමුදා විසින් තබ්කා නගරය, ගුවන් හමුදා කඳවුර සහ වේල්ල ඇතුලු ප්‍රදේශය ISIS ත්‍රස්තයින්ගෙන් මුදා ගත්තා. මේ අනුව බටහිර දෙස සිට නගරයට ඇති මාර්ගය විවර කරගැනීමට SDF සංවිධානයේ හමුදා සමත් වුණා. ඒ සමඟම රකා දෙසට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට ඔවුන් සමත් වුණා.

රකා නගරය නිදහස් කරගත් පසු SDF භටයින් (AP)

2017 ජූනි 6 වනදා ඔවුන් රකා නගරය සඳහා මහා සංග්‍රාමය දියත් කළ බව නිවේදනයක් මගින් ප්‍රකාශ කළා. එතැන් පටන් සටන් මූලික වශයෙන්ම පැවතුණේ රකා නාගරික ප්‍රදේශය ආශ්‍රිතවයි. සාමාන්‍යයෙන් නාගරික ප්‍රදේශයක සටන් කිරීම දික් ගැස්සෙන හෙයින් ඊට මාස කිහිපයක් ගත වුණා. කෙසේ වෙතත්, නගරය අල්ලා ගැනීමට පෙර එය දෙසට ඇති පිවිසුම් මාර්ග බොහොමයක් SDF සංවිධානය විසින් අහුරන ලද හෙයින් රකා නගරයේ සිටි ඉස්ලාමික සටන්කාමීන්ට පිටතින් විශාල වශයෙන් ආධාර ලබා ගැනීමේ හැකියාවක් වුණේ නැහැ.

සටනේ අවසානය කරා

ඔක්තෝබර් මාසයේ දෙවන සතිය වනවිට රකා නගරයේ සටනේ අවසානය කරා එළඹෙමින් තිබුණා. සංවිධානය විසින් නගරයේ කුප්‍රකට “අපායේ චතුරශ්‍රය​” අල්ලා ගැනුණේ එම සතියේයි. මෙය සංවිධානය විසින් පුද්ගලයින්ට ප්‍රසිද්ධියේ මරණ දඬුවම ලබා දීමට යොදාගත් ස්ථානය වුණා.

මේ අතර නගරයේ අවසන් සටන් සිදු වූයේ ජාතික​ රෝහල සහ මහජන ක්‍රීඩාංගණය ආශ්‍රිතවයි. රෝහල ද ත්‍රස්තයින් විසින් සිය කඳවුරක් කරගෙන තිබුණ අතර ක්‍රීඩාංගණය සිර කඳවුරක් සහ ආයුධ ගබඩාවක් ලෙස භාවිතා වුණා.

රකා ජාතික රෝහල (Hawar News Agency)

ප්‍රදේශයේ ගෝත්‍රික ජන නායකයන් කළ මැදිහත්වීමකින් පසු ඔක්තෝබර් 15 වනදා සිරියානු ISIS සාමාජිකයන් පිරිසකට සටන් පවතින ප්‍රදේශවලින් පිටව යාමට අවසර ලැබුණා. මේ අනුව අවසන් සටනට නගරය තුළ ඉතිරිව සිටියේ සටන්කාමීන් 300 ක පමණ පිරිසක් පමණයි.

ඇමරිකානු – රුසියානු බල අරගලය​

ඇමරිකා එක්සත් ජනපදයේ ආධාර ලබන සංවිධානය රකා නගරය මුදා ගැනීම සිරියාවේ ඇමරිකානු බලපෑම ඉහළ නැංවීමට හේතු වනවා. මේ පිළිබඳ රුසියාව එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. විශේෂයෙන්ම මෙම කලාපයේ තෙල් මෙන්ම ජල සම්පත සම්බන්ධයෙන් රකා ප්‍රදේශය වැදගත් වනවා. ඉරාකයට පවා ජලය ලැබෙන යුප්‍රටීස් නදිය පිහිටියේ මෙම නගරය ආශ්‍රිතව වන අතර සිරියාවේ විශාලම ජලාශය වන අසාද් විල නිර්මාණය කිරීමට හේතු වූ තබ්කා වේල්ල පිහිටියේද රකා නගරය නුදුරුවයි. විශේෂයෙන්ම​, ඉරාකයේ කුර්දි ජාතිකයන් නිදහස දිනා ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම, තුර්කි හමුදා ක්‍රියාකාරකම් යනාදී සිදුවීම් මධ්‍යයේ කුර්දීන් ප්‍රමුඛ සංවිධානයක් රකා නගරය අල්ලා ගැනීම වැදගත් සිදුවීමක් වනවා.

කෙසේ නමුත් දැනට පවතින ප්‍රධානම අභියෝගය වන්නේ යුද්ධයෙන් පීඩාවට පත් රකා වැසියන්ට සහන සැළසීමයි. නගරයෙන් උතුරට වන්නට පිහිටි සරණාගත කඳවුරුවල 270,000 ක ජනතාවක් වසන බව සඳහන් වනවා. ඔවුන් අතැර ගිය නගරය සුන්බුන් ගොඩක් බවට පත්ව තිබෙනවා. එහෙයින් සරණාගත වූ ජනයා සිය නිත්‍ය වාසස්ථානවල යලි පදිංචි කිරීම විශාල අභියෝගයක් ලෙස පවතිනවා.

Cover Image: නගරයේ සුන්බුන් අතරින් ප්‍රීති ඝෝෂා මතුවේ (Pic: Reuters)

Related Articles