Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උතුරු කොරියානු තර්ජන මැද පැවැත්වෙන දකුණු කොරියානු ජනාධිපතිවරණය

දකුණු කොරියානු ජනාධිපතිවරණය මැයි මස 9 වනදා පැවැත්වෙනවා. මෙවර මැතිවරණය ඉක්මන් වූයේ හිටපු ජනාධිපතිණී පාර්ක් ගුන් – හේ ධූරයෙන් ඉවත් කිරීම හේතුවෙනුයි. මෙම ජනාධිපතිවරණයට අපේක්ෂකයන් පස් දෙනෙකු තරඟ වදිනවා.

පාර්ක් ගුන් – හේ ධූරයෙන් ඉවත් කිරීම

2016 අවසන් භාගයේ දකුණු කොරියාවේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වූයේ එවක ජනාධිපති පාර්ක් ගුන් – හේ දූෂණ චෝදනාවලට ලක් වීමත් සමඟයි. ඇයට ධූරයෙන් ඉවත් වන ලෙස බල කරමින් දස දහස් ගණනක් ජනතාව වීථි බැස්සා. ඇගේ පක්ෂය වූ සේනූරි පක්ෂය තුළත් ඇයට සහය නැති වීගෙන යන පසුබිමක් තුළ 2016 දෙසැම්බරයේදී ඇයව ධූරයෙන් ඉවත් කිරීමට රටේ පාර්ලිමේන්තුව වන ජාතික සභාව තීරණය කළා.

මිලියනයක පමණ ජනයා 2016 දෙසැම්බරයේදී පාර්ක් ගුන් – හේ ඉවත් කිරීම සඳහා උද්ඝෝෂණය කරන ලෙස බල කරමින් වීථි බැස්සා (Pic Reuters)

දකුණු කොරියානු නීතිය අනුව ජාතික සභාව විසින් ජනාධිපතිවරයකු ධූරයෙන් ඉවත් කිරීමට ඡන්දය ලබාදුන් විගස එම තීරණය ක්‍රියාවට නැගෙන්නේ නැහැ. එම කරුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය හමුවට ගෙනයනු ලබනවා. එහි තීන්දුව එන තුරු අගමැතිවරයා ජනාධිපති ධූරයේ වැඩ බලනවා.

මෙම වසරේ මාර්තු 10 වනදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ඒකමතිකව තීරණය කළේ පාර්ක් ගුන් – හේ ධූරයෙන් ඉවත් කිරීමටයි.

මෙසේ ජනාධිපතිවරයකු ඉවත් කළ පසු දින හැටක් ඇතුලත ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි. මැයි 9 වනදා ජනාධිපතිවරණය පවත්වනු ලබන්නේ ඒ අනුවයි.

අපේක්ෂකයන්

ජනාධිපතිවරණයට දේශපාලන පක්ෂ පහකින් අපේක්ෂකයන් ඉදිරිපත් වී තිබෙනවා. මෙම මැතිවරණය එක් වටයකින් පමණක් යුතු වන අතර අපේක්ෂකයන් අතුරින් වැඩිම ඡන්ද ලබා ගන්නා අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇති.

2012 ජනාධිපතිවරණයේදී දෙවැනි ස්ථානය දිනාගත් මූන් ජේ – ඉන් මෙවර ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් ව තිබෙනවා. වෘත්තියෙන් නීතීඥවරයකු වන ඔහු දේශපාලනයට එළඹීමට පෙර හිටපු ජනාධිපති රෝ මූ – හ්‍යුන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වුණා.

(roarmedia.net)

මේ අතර ජනතා පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් ව සිටින්නේ 54 හැවිරිදි ආන් චොල් – සූ. ඔහු මධ්‍යස්ථ මතධාරියකු ලෙස සැළකෙනවා. ජාතික සභාවේ සාමාජික මන්ත්‍රීවරයකු ද වන ආන් රටේ ප්‍රකට ව්‍යවසායකයකු ද වනවා. ඔහු දකුණු කොරියාවේ ප්‍රකට ප්‍රතිවෛරස මෘදුකාංග නිමැවුම්කරුවකු වන ආන්ලැබ් හි හිමිකරුවායි.

හිටපු ජනාධිපතිණී පාර්ක් ගුන් – හේගේ ඉවත් කිරීමත් සමඟ සේනූරි පක්ෂය ප්‍රතිසංවිධානය වූ අතර එහි නම ද වෙනස් කරනු ලැබුවා. මේ අනුව දැන් එම පක්ෂය හඳුන්වනු ලබන්නේ ලිබර්ටි කොරියා පක්ෂය නමින්. එම පක්ෂය සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස හොන්ග් යුන් – ප්‍යෝ නම් කර තිබෙනවා. ඔහු දකුණු කොරියාවේ පළාතක හිටපු ආණ්ඩුකාරවරයා ද වුණා.

දේශපාලන අර්බුදය අවස්ථාවේ සේනූරි පක්ෂයෙන් කැඩී වෙන් වූ බරෙයුන් පක්ෂය ද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනවා. එම පක්ෂයේ අපේක්ෂකයා වන්නේ ආර්ථික විශේෂඥයකු සහ ජාතික සභාවේ මන්ත්‍රීවරයකු වන යූ සෙවුන් ග් – මින්. ඔහු 59 වන වියේ පසු වනවා. ඔහු මධ්‍ය දක්ෂිනාංශිකයකු ලෙස සැළකෙනවා.

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින එකම අපේක්ෂිකාව වන්නේ 58 හැවිරිදි සිම් සෑන්ග් – ජුන්. ඇය මධ්‍ය වාමාංශික යුක්තිය පක්ෂයේ සාමාජිකාවක වනවා.

බැන් කි මූන්

2016 දෙසැම්බර් 31 වනදා සිය ධූර කාළය අවසන් කළ හිටපු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි මූන් මෙවර දකුණු කොරියානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි රාවයක් තිබුණා. දකුණු කොරියාවේ හිටපු විදේශ අමාත්‍යවරයකු ද වූ ඔහු වරක් ප්‍රකාශ කර තිබුණේ දකුණු කොරියානු දේශපාලනය අවුල් සහගත වී ඇති බැවින් රටේ එකමුතුව සඳහා යම් අයකු ඉදිරිපත් විය යුතු බවයි.

කෙසේ නමුත් මෙම වසරේ පෙබරවාරි 1 වනදා ඔහු සඳහන් කළේ තමන් මැතිවරණයට ඉදිරිපත් වීමේ අදහසක් නොමැති බවයි.

නව ජනාධිපතිට ඇති අභියෝග

දකුණු කොරියාවේ නායකත්වයට පත්වන මීළඟ ජනාධිපතිට ඇති එක් අභියෝගයක් වන්නේ උතුරු කොරියාව විසින් එල්ල කරන තර්ජන සම්බන්ධව කටයුතු කිරීමයි. ඇමරිකාවෙන් සපයන ලද තාඩ් (THAAD) මිසයිල ආරක්ෂණ පද්ධතිය මෙම මස මුල දී සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක තත්ත්වයට පත් වුණා. මේ නිසා උතුරෙන් එල්ල වන මිසයිල ප්‍රහාරයන්ට මුහුණ දීමට දකුණු කොරියාව දැන් වඩාත් සූදානම්.

කිම් ජොන්ග් – අන් දිගින් දිගටම ප්‍රකෝපකාරී ක්‍රියාවල නිරත වනවා (Pic Korea Central News Agency)

නමුත් දිගින් දිගටම උතුරු කොරියාව සම්බන්ධ උණුසුම් තත්ත්වයක් පැවතීම කලාපයේ ආර්ථිකයට එතරම් යහපත් වන්නේ නැහැ. එමෙන්ම පසුගිය ජනාධිපතිවරිය සහ ඇගේ මිතුරියක වූ චෝයි සුන්-සිල් සම්බන්ධ දූෂණ පළහිලව්වට රටේ ප්‍රමුඛ සමාගම් ද ගෑවී තිබෙන හෙයින් රටේ ව්‍යාපාරික ප්‍රජාව තුළ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් ද පැණ නැගී තිබෙනවා. මේ සියල්ල අලුතින් පත් වන ජනාධිපතිවරයාට අභියෝග ලෙස දකින්නට පිළිවන්.

මැයි 9 වනදා දකුණු කොරියානුවන් ගනු ලබන තීන්දුව සහ ඉන් අනතුරුව කලාපයේ දේශපාලනය පිළිබඳ වැඩිදුර කරුණු අප ඉදිරියේදී ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.

මූලාශ්‍ර

  1. wikipedia.org
  1. Park Geun-hye: South Korean court removes president over scandal, The Guardian, March 10, 2017
  1. Ban Ki-moon rules out presidential run in South Korea, Associated Press, February 1, 2017
  1. Presidential candidates meet for first TV debate, Arirang News (Youtube), April 13, 2017

Cover Image: අපේක්ෂකයන් පස් දෙනා (SBS)

Related Articles