ප්‍රවෘත්ති සහ වාර්තාමය

විනාඩි 4 ක කියවීමක්

මොරගහකන්ද – කළුගග ජලාශ ව්‍යාපෘතිය හා එහි අනාගත බලාපොරොත්තු

Published

විනාඩි 4 ක කියවීමක් to read

Facebook Twitter GPlus

රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත් පත් හා අන්තර්ජාලය හරහා පසුගිය දවස්වල ඉතා සුලභව අහන්නට ලැබුණු මාතෘකාවක් ලෙස මොරගහකන්ද ජල ව්‍යාපෘතිය හැඳින්විය හැකිය. මෙම ලිපිය මගින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම මොරගහකන්ද ජල ව්‍යාප්තිය හා සම්බන්ධ වර්තමාන තත්ත්වය හා මෙමගින් අනාගතයේ උදා වන බලාපොරොත්තු පිළිබඳ තොරතුරුයි.

ව්‍යාපෘතියට පදනම

ඉදිකිරීම් අතරතුර (dailynews.lk)

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය 1968 දී ප්‍රථම වරට ‘මහවැලි ජල සම්පත් සංවර්ධනය පිළිබඳ ශක්‍යතා අධ්‍යයන වාර්තාව’ ලංකා ආණ්ඩුවට ඉදිරිපත් කොට ඇත. එමගින් යෝජනා කරන ලද්දේ අඹන්ගඟ හරස් කොට ‘බෝවතැන්න’ හා මොරගහකන්ද’ යන ජලාශ ද්විත්වය ඉදිකිරීමටය. මහවැලි සංවර්ධන සැලසුමට අනුව එහි මුල් අදියරේදී ‘පොල්ගොල්ල සමවාය’ (වේල්ල) සහ බෝවතැන්න ජලාශයේ ඉදිකිරීම් ආරම්භ විය. ඒ අනුව 1976 වසරේ ජනවාරි 08 වන දින අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට එය විවෘත කිරීමේ භාග්‍ය උදා විය.

එමෙන්ම ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශක්‍යතා අධ්‍යයන වාර්තාව තුළද අඹන්ගඟ හරස් කරමින් ඉදිකරන මොරගහකන්ද ජලාශයට ප‍්‍රමුඛ ස්ථානයක් හිමිවිය. එවකට වාරිමාර්ග, විදුලිබල හා මහාමාර්ග ඇමැති මෛත‍්‍රීපාල සේනානායක මහතා මෙයට ඇප කැප වී මහත් උනන්දුවක් දක්වා ඇත. කෙසේ නමුත් 1977 මැතිවරණයත් සමග එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ බැවින් මෛත‍්‍රීපාල සේනානායක මහතාගේ මොරගහකන්ද සිහිනය සාර්ථක කර ගැනීමට නොහැකි විය.

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ඉවත් වුවත් මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් 1979 දී යළි සිදු කෙරිණි.එම ශක්‍යතා අධ්‍යනය සිදු කෙරුණේ ‘ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය’ හෙවත් ‘ජයිකා’ අනුග‍්‍රහයෙනි. එමගින් නැවතත් තහවුරු කළේ රජරට ජල හිඟයට ස්ථිර විසඳුමක් ලබා දීමට මෙම ජල ව්‍යාපෘතියට හැකි බවයි. 1989 දී මෙම සක්‍යතා අධ්‍යයන වාර්තාව යළි යාවත්කාලීන කළත් ඉදිකිරීම් කටයුතු ආරම්භ නොවුණි.

1998 වර්ෂයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන ඇමතිවරයා ලෙස පත් වීමත් සමග මේ කටයුත්තට නැවත මුල පිරීමක් ලැබුණි. ඒ අනුව 2000- 2004 වසරවලදී ජර්මනියේ ‘ලාමයාර් අන්තර් ජාතික උපදේශන සමාගම’ හා ශ‍්‍රී ලංකාවේ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය මගින් ඒකාබද්ධ ශක්‍යතා අධ්‍යයනක් සිදු කර ඉන් පසු මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගන්නා ලදි. වසර 40ක් පමණ ප්‍රමාද වෙමින් තිබු මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු 2007 ජනවාරි 25 සිට නැවත අැරඹුණේ එලෙසිනි.

ව්‍යාපෘතියේ අවශ්‍යතාව.

කළු ගඟ (Picture.lk)

මෙහිදී උද්ගත වූ ප්‍රධාන ගැටලුවක් වන්නේ මෙවන් විශාල ප්‍රමාණයේ ව්‍යාපෘතියක් සඳහා බල පවත්නා ප්‍රමාණවත් අවශ්‍යතාවක් තිබේද යන්නයි. මෙම ව්‍යාපෘතිය සිදු වන්නේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේය. අපි කවුරුත් හොඳින් දන්නා දෙයක් නම් මාතලේ දිස්ත්‍රික්කයට ජලය සපයා ගැනීම සම්බන්ධයෙන් විශේෂ ගැටළුවක් නැති බවයි. කෙසේ වුවත් වැඩිදුරටත් කරුණු සළකා බැලීමේදී එයින් ලැබෙන ප්‍රයෝජන වටහා ගත හැකිය.

මාතලේ ඇළහැර ප‍්‍රදේශයෙන් අඹන් ගඟත්, පල්ලේගම ලග්ගල ප‍්‍රදේශයෙන් මාතලේ කළු ගඟත් ගලා බසී. (මෙය කළුතරින් මුහුදට වැටෙන කළු ගඟ නොවේ, සාපේක්ෂව කුඩා අතු ගඟකි) මෙම ප්‍රදේශයේ ජල සම්පාදනය ප්‍රධාන වශයෙන්ම අඹන් ගඟ කේන්ද්‍ර කොට ගෙන සිදු වන බව දැක්වේ. වර්ග සැතපුම් 573ක පෝෂක ප්‍රදේශයක් ආවරණය කරන මෙයට අතු ගංගා රාශියක් ද එකතු වන අතර නකල්ස් කඳුවැටියෙන් ආරම්භ වන මාතලේ කළු ගඟ ඉන් ප්‍රධාන තැනක් ගනී.

ජලය ඉතා පිරිසිදු බැවින් දිලිසෙන කළු පැහැයකින් යුක්ත වන අතර එ් නිසාම කළු ගඟ යන නාමය පටබැඳී අැති බව කියවේ. එමෙන්ම වාර්තාවලට අනුව මෙම ගංගාවලිනුත්, අංගමැඩිල්ලෙන් ඇළහැර අමුණෙනුත් වාර්ෂිකව ගලා යන ජල ප්‍රමාණය අක්කර අඩි 1437000 ක් තරම් විශාල ප්‍රමාණයකි. මෙසේ නිකරුණේ ගලා හැලෙන ජල කඳෙන් විශාල ප්‍රයෝජනයක් ලබා ගත හැකි බව විද්වතුන් සිය වාර්තාවලින් පෙන්වා දී ඇත.

ව්‍යාපෘතිය පිළිබඳ වැදගත් කරුණු.

youtube.com

මොරගහ කන්ද ජලාශය ඉදි වූයේ අඹන් ගඟ හරහා මහා වේල්ලක් හා කුඩා සදැලි වේලි 2 ක් බැඳීමෙනි. ප්‍රධාන වේල්ල මීටර් 8ක ඝණකමකින් යුක්ත වන අතර දිග මීටර් 463ක් සහ උස මීටර් 65ක් වන එකකි. සදැලි වේලි 2න් පළමුවැන්න ගල්පුරවා සාදන වර්ගයට අයත් දිග මීටර් 361ක් හා උස මීටර් 42ක බැම්මක් වේ. දෙවැනි සදැල්ල පස් පුරවා සාදන ලද මීටර් 21ක් උසැති, දිගින් මීටර් 374ක් වන වේල්ලකි.

පල්ලේගම ජලාශය ඉදි කෙරනුයේ පල්ලේගම ප්‍රදේශයෙන් ගලා යන මාතලේ කළු ගග හරස් කරමිනි.මෙයද ප්‍රධාන වේල්ලකින් හා සදැලි වේලි 2කින් යුක්ත වේ. ප්‍රධාන වේල්ල මීටර් 57ක් උස වන අතර දිග මීටර් 546 ක් බව දැක්වේ. සදැලි වේලි පස් පුරවා සාදනු ලැබේ. මෙම ජලාශය වර්ග කිලෝමීටර් 8.4ක් පුරා පැතිරෙන අතර ඝන මීටර් මිලියන 265.6 ක මුළු ජල ධාරිතාවක් එහි අඩංගු වේ.

අතිරේක ජල ධාරිතාව රජරටට බෙදා හැරෙන්නේ හුරුළුවැව පෝෂක ඇළ මාර්ගයෙන් බැවින් එයද මෙම සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ එකක් යැයි සැළකේ.

මුල්‍ය ප්‍රතිපාදන.

මොරගහකන්ද ජලාශයේ ජලය පිරවීම ආරම්භ කල අවස්ථාවේ (asiantribune.com)

මේ සදහා දායක වී ඇති සේවක පිරිස් බොහොමයක් මාතලේ දිස්ත්රික්කයේ පදිංචිව සිටිති. එමෙන්ම මෙරට ඉංජිනේරු මහතුන් මෙම කර්තව්‍යය සඳහා ප්‍රධාන ලෙස දායක වී ඇත. මහවැලි අධිකාරියේ මගින් මෙහි අධීක්ෂණ කටයුතු සිදු කරගෙන යයි. මෙම ව්‍යාපෘතියේ සමස්ත සංවර්ධනය වියදම දළ වශයෙන් රුපියල් බිලියන 48.145ක් බව සඳහන් වන අතර SMEC Holdings හා Sinohydro එයට ණය අාධාර සපයයි. කුවේට් හා සවුදි අරාබි රජයන්ද මීට ආධාර ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර ජපන් රජයේ ආධාරද ලබා ගැනීමේ බලාපොරොත්තුවක් ඇත. මහවැලි අධිකාරිය ප්‍රකාශ කරනුයේ මේ සියලු රටවල අාධාර හිමි වන්නේ නම් අවශ්‍ය වන රුපියල් කෝටි 4814.5න් 4000 ක්ම අාධාර ලෙස සපයා ගත හැකි බවයි.

ප්‍රතිලාභ

ආවරණය කිරීමට යෝජිත ප්‍රදේශ (news.lk)

මෙම ව්‍යාපෘතිය මගින් විශාල ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකිය. මෙහි යෝජිත අරමුණු පහත පරිදි වේ.

  • මොරගහකන්ද ජලාශයට අනුබද්ධව ඉදිවන ජල විදුලි බලාගාරය මගින් මෙගාවොට් 21.6 ජල විදුලියක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම.
  • මොරගහකන්ද ගංගා ඇළදොළ රක්ෂිතය තුළ හෙක්ටයාර 1365 ක පමණ නැවත වන වගා ස්ථාපිත කිරීම.
  • මීටර් 100 රක්ෂිත ප්‍රදේශයක් වෙන් කිරීම. (ජලාශය වටා)
  • එම භුමි ප්‍රදේශයේ හෙක්ටයාර 650ක නැවත වන වගා කිරීම.
  • ගම්මාන ආශිත වගා බිම් වලට අලි වැටක් ඉදි කිරීම.
  • අලින්ට හුවමාරු විය හැකි මංකඩක් වෙන් කිරීම. (මින්නේරිය,ගිරිතලේ,වස්ගමුව ජාතික වනෝද්‍යාන අතර)
  • වාර්ෂිකව ටොන් 4700 දක්වා ජලාශය යොදා ගනිමින් මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය. (ගම්මුන්ගේ අවශ්‍යතාවය සදහා)
  • අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කවල වගා කටයුතු සඳහා හෙක්ටයාර 82000 කට වැඩි ජල ධාරිතාවක් සැපයීම. (යල මහ කන්න සඳහා , පළමු අදියරට අනුව)
  • උතුරු මැද පළාතේ ඇළ මාර්ගවලින් උතුරු මැද හා උතුරු යන පළාත්වල ගංගා ද්‍රෝණි 8ක පිහිටි හෙක්ටයාර 135189 වගාබිම්වලට ජලය සැපයීම. (යල මහ කන්න සඳහා)
  • මාතලේ දිස්ත්‍රික්කය පුරාම සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීම.
  • හෙට්ටිපොළ මාර්ගයේ මහල් කොටුව සිට වැල්ලේවෙල හන්දිය දක්වා නව ප‍්‍රධාන මාර්ගයක් සහ හෙට්ටිපොළ – මාතලේ මාර්ගයේ මහල් කොටුව සිට ගුරුවෙල දක්වා නව මාර්ගයක් ඉදි කිරීම.
  • පල්ලේගම මාතලේ කළුගඟ ප‍්‍රදේශයේ වැව් 12 ක් ඉදි කිරීම.
  • ගම්මාන 12 ක් උප නගර ලෙස සංවර්ධනය කිරීම.
  • ජලාශ වටා දේශීය පැළ 40000 ක් පමණ රෝපණය කිරීම.

වර්තමාන තත්වය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ජලාශය වූ මොරගහකන්ද ජලාශයේ ජලය පිරවීම පසුගිය දිනයක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදු විය. දැනටමත් මෙය ජලයෙන් පිරී අවසන්ව අැත.

මෙම ජල ව්‍යාපෘතියේ දක්නට ලැබෙන සුවිශේෂී කාරණයක් වන්නේ සිදුවන හානි සඳහා පිළියම් යෙදීමට යෝජනා කර තිබීමයි. භුමි ප්‍රදේශයේ ජීවත් වන ජනතාව වෙනුවෙන් පමණක් නොව සතුන් සිව්පාවුන් හා ගස් කොළන් කෙරෙහිද අවධානය යොමු කර තිබේ. මේ වන විටත් වැඩ කටයුතු නිම වෙමින් ඇති මෙම ව්‍යාපෘතිය සාර්ථක වී යෝජිත අරමුණු ඉටු කර ගැනීමට හැකි වේ යැයි බලාපොරොත්තු වෙමු.

කවරයේ පින්තුරය: president.gov.lk

මුලාශ්‍ර:

  1. lankanewshits.net
  2. www.vidusara.com
  3. www.news.lk
  4. www.sundayobserver.lk
  5. sinhala.news.lk
  6. www.divaina.com
  7. www.wikipedia.org

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්