ප්‍රවෘත්ති සහ වාර්ථාමය

විනාඩි 5 ක කියවීමක්

ලොවක් කම්පා කළ ඉන්දියාවේ දියණිය

Published

විනාඩි 5 ක කියවීමක් to read

Facebook Twitter GPlus

Imesha Madubhani

Contributor

දිනය, 2012 වසරේ දෙසැම්බර් මස 16 වන දා ය. ඉන්දියාවේ දිල්ලි නගරයේ වෙසෙන භෞත චිකිත්සක ශිෂ්‍යාවක් වන ජ්‍යෝති සිං පාණ්ඩේ එදින සවස සිය මිතුරෙක් වන අවින්ද්‍ර ප්‍රතාප් පාණ්ඩේ සමග චිත්‍රපටයක් නැරඹීමට ගියාය. චිත්‍රපටය නිමාවී සිය මිතුරා ද සමග පෞද්ගලික බස් රථයකට ගොඩ වැදුණු ජ්‍යෝති මුහුණ පෑවේ අනපේක්ෂිත සිදුවීමකට ය. බස් රථයේ රියදුරු ඇතුළු සය දෙනෙකු විසින් ජ්‍යෝතිව අතිශය අමානුෂික ලෙස සමූහ දූෂණයකට ලක් කරන ලදී. නොසිතූ ලෙස නන්නාඳුනන පුද්ගලයින් සය දෙනෙකුට මැදි වූ ජ්‍යෝති දූෂණයට ලක් වූවා පමණක් නොව, අමානුෂික පහර කෑම් වලට ද ලක් වූවාය. ඇගේ මිතුරා ද පහර කෑම් වලට ලක් විය.

17 වන දින උදෑසන මහ මග නිරුවත් ව දමා ගොස් සිටි ජ්‍යෝතිගේ සහ ඇගේ මිතුරාව වහාම රෝහල් ගත කරන ලද අතර, දිල්ලි පොලීසිය ඊට වග කිව යුත්තන් සොයා මෙහෙයුම් දියත් කිරීම අරඹන ලදී. ජීවිතයත් මරණයත් අතර සටන් වදිමින් සිටි ජ්‍යෝති වහාම සිංගප්පූරුවේ රෝහලකට ඇතුළත් කළ ද, දින පහළොවකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ සිටියදී දහසය වන දින ඈ මෙලොවින් සමුගත්තාය. ඇගේ මිතුරාගේ දිවි බේරාගන්නට වෛද්‍යවරු සමත් වූහ. ජ්‍යෝතිගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙහිදී හෙලි වූයේ මෙම දූෂකයින් විසින් එම බස් රථයේ තිබූ යකඩ උපකරණ පවා ජ්‍යෝතිගේ සිරුරට ඇතුළත් කර තිබූ බවයි.

ජ්‍යෝති සිං පාණ්ඩේ (themuslimissue.wordpress.com)

මෙම අමානුෂික ක්‍රියාවට වග කිව යුත්තන් සය දෙනා ඉතාමත්ම ඉක්මණින් ඉන්දීය පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. බස් රථයේ රියදුරු වන රාම් සිං සිය සිර කුටිය තුළදීම සිය දිවි හානි කරගන්නා ලද නමුත්, අනෙකුත් පස් දෙනා වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥයින් එකඟ වූහ. සිව් වසරක ඇවෑමෙන්, විවිධ සාක්ෂි මෙහෙයවීම් වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය මැයි 5වන දා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම චූදිතයින්ගේ අභියාචනාවන් සියල්ල ප්‍රතික්ෂේප කරමින් ආක්ශේ ඨාකූර්, විනයි ශර්මා, පවන් ගුප්තා සහ මුකේශ් සිං යන සිව් දෙනා එල්ලා මැරීමට නියම කරන ලදි.

ජ්‍යෝති නිර්භයා වූ හැටි

ඉන්දීය අපරාධ නීතියට අනුව ස්ත්‍රී දූෂණයකට ලක් වූ කාන්තාවකගේ අනන්‍යතාවය හෙළි කිරීම තහනම් ය. ජ්‍යෝති සිංගේ ඉරණම පිළිබඳව මුළු මහත් ඉන්දියාවම මෙන්ම මුළු ලෝකයම කැළඹීමට පත් ව ඇය පිළිබඳ කථා කිරීමට වන් නිසා ඇය වෙත නිර්භයා (Fearless) යන අන්වර්ථ නාමය යොදන්නට ඉන්දීය මාධ්‍ය කටයුතු කරන ලදි. එතැන් පටන් දෙස් විදෙස් මාධ්‍ය මෙන්ම කාන්තා අයිතිවාසිකම් සංවිධාන මෙන්ම මානව හිමිකම් සංවිධාන විසින් ද නිර්භයා හට යුක්තිය ඉටු කොට දීමේ කර්තව්‍ය ඉක්මන් කරන ලෙස ඉන්දීය රජයට බල කර සිටින ලදි. නිර්භයාගේ ඉරණම හා ඉන්දීය යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය පිළිබඳ බ්‍රිතාන්‍ය ජාතික ලෙස්ලි උඩ්වින් විසින් BBC නාලිකාව සමග එක්ව සැකසූ ඉන්දියාවේ දියණිය (Daughter of India) වාර්ථාමය චිත්‍රපට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ අවධානය දිනා ගත් අතර, ඔවුන් විසින් ඉන්දීය නීතියේ කාර්යක්ෂමභාවය මෙන්ම පුරුෂාධිපත්‍ය වැනි සංකල්පයන් ද ප්‍රශ්නගත කරන්නට විය. ඒ හරහා එල්ල වූ පීඩනය හමුවේ එම චිත්‍රපටය ඉන්දියාව තුළ තහනම් කරන්නට ද ඉන්දීය රජය පියවර ගන්නා ලදි.

නිර්භයා මියගොස් දෙවසක් ගතවන දින දිල්ලි නගරයේ තරුණියන් දියත් කළ විරෝධතාවය (cfr.org)

ඉන්දීය නීතිය වෙනස් කළ බාල වයස්කරුවා

පැහැර ගැනීම, ස්ත්‍රී දූෂණය, පහර දීම සහ මිනී මැරීම යන වරදවල් සඳහා අත් අඩංගුවට ගනු ලැබූ මෙම චූදිතයින් සය දෙනා අතුරින් එක් පුද්ගලයෙක් වයස අවුරුදු 18ට අඩු බාල වයස්කරුවෙක් විය. 2012 වසර වන විට ඔහුගේ වයස අවුරුදු දාහත හමාරක් විය. නීතිය අර්ථ නිරූපණය කළේ ඔහු වය අවුරුදු 18ට අඩු බැවින් ඔහුට ඉන්දීය අපරාධ නීතිය අදාල නොවන බවයි. ඉන්දීය නීතිය අනුව බාල වයස්කාර වරදකරුවකුට ලබා දිය හැකි උපරිම දඬුවම වසර තුනක පරිවාස කාලයකි. ඒ අනුව ඔහු වසර තුනකට පසුව, එනම් 2015 වසරේදී සිය පරිවාස කාලය හමාර කොට ඉන් නිදහස් විය. ඔහු දැනට දකුණු ඉන්දියාවේ හෝටලයක කෝකිවරයකු ලෙස රැකියාවක් කරන බවත්, පසුගියදා නිර්භයාගේ අවසාන නඩු තීන්දුව ලබාදුන් බවවත් ඔහු නොදන්නා බවත් ඉන්දීය වෙබ් පුවත් වෙබ් අඩවි වාර්ථා කොට තිබිණි.

නම ප්‍රසිද්ධ නොකරන ලද මෙම බාල වයස්කාරුවා ලද දඬුවම සෑහීමකට පත් විය නොහැකි තීන්දුවක් බවට එරට නීතිවේදීන්, ස්ත්‍රීවාදීන් මෙන්ම මහජනතාවද එකහෙලාම පවසා සිටියහ. පවතින නීති වෙනස් කළ යුතු බවට රජයට බල කරමින් ඔවුහු වීදි බැස උද්ඝෝෂණය කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස 2000 වසරේ බලාත්මක කරන ලද ඉන්දීය බාල යුක්ති පනත බල රහිත කොට 2015 වසරේදී නව බාල යුක්ති පනතක් (Juvenile Justice (Care and Protection of Children) Act, 2015) හඳුන්වා දෙන ලදි. එම පනත ප්‍රකාරව, වයස අවුරුදු 16ට වැඩි ඕනෑම පුද්ගලයකු විසින් සිදු කරනු ලබන අපරාධයන් සඳහා දඬුවම් ලබා දීමේදී ඔවුන් වැඩිහිටියන් ලෙස සලකනු ලබන බවට ප්‍රකාශ කෙරිණි.

‘ඉන්දියාවේ කාන්තාවක වීම’ තේමාව යටතේ අඳින ලද සිතුවමකි (brajasorensen.com)

එය ඇගේ වරදයි?

පැහැර ගැනීම, ස්ත්‍රී දූෂණය හා පහර දීම යනාදී වැරදි වලට චෝදනා ලැබ සිටි මුකේශ් සිං විසින් සිර භාරයේ සිටියදීම 2015 වසරේ මාර්තු මස නාලිකාවට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් වූයේ මෙම සියල්ලටම වැරදිකාරිය නිර්භයාම වන බවයි. ඔහු ඊට හේතු පහක් දැක්වීය. රාත්‍රී කාලයේ තරුණයකු සමග මහ මග ගමන් කිරීම, එමගින් පුරුෂයින්ගේ අවධානය දිනා ගැනීම, දූෂණයට ලක් වන අවස්ථාවේ ඊට අවනත නොවෙමින් සටන් වැදීම, නිවසට වී නිවසේ කටයුතු බලාගනිමින් නොසිට මහ මග ගමන් කිරීම සහ කාන්තාවන් සහ පුරුෂයින් එක හා සමාන නොවන බව තේරුම් නොගැනීම එම හේතු පහ වේ. මුකේෂ්ගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය නාලිකාව විසින් 2015 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය දා නිකුත් කරන ලද අතර, ඊට ලොව පුරා ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාරය අමුතුවෙන් කීම අවශ්‍ය වන්නේ ද නැත.

එමෙන්ම, සියළු දෙනාගේ දැඩි කම්පාවට තුඩු දෙමින් ඉන්දියාවේ ඉතා ඉහළ පෙළේ නීතීඥයින් මුකේෂ් ඇතුළු මෙම චූදිතයින් පෙනී සිටින්නට එකඟ වූ අතර, ඔවුන් උසාවියේදී මුලින්ම ප්‍රකාශ කළේ මේ සියල්ලටම මුල නිර්භයාගේ නොමනා හැසිරීම වන බවත්, තමාගේ පවුලේ කාන්තාවකට මෙවැනි සිදුවීමකට මුහුණපාන්නට වුවහොත් තමන් විසින්ම ඔවුන්ව ගිනි තබා මරන්නට පෙර ඔවුන් දෙවරක් නොසිතන බවත් ය.

චූදිතයින් සිව්දෙනා (ndtv.com)

මනුෂ්‍ය ආශාවන් ඔවුන්ව තිරිසනුන් කරනු ලබයි

ලොවම කම්පා කළ නිර්භයා වෙත නීතියේ දෙවඟනගේ බැල්ම යොමු කරමින් පසුගිය දා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබ දුන් නඩු තීන්දුව පිටු 429කින් යුක්ත ලේඛනයකි. ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 375 වගන්තිය ප්‍රකාරව ස්ත්‍රී දූෂණය යන අපරාධයටත්, 299 වන වගන්තිය යටතේ මිනීමැරීම යන අපරාධයටත්, 377 වගන්තිය ප්‍රකාරව අසාමාන්‍ය අපරාධ සිදුකිරීම සහ වගන්ති අංක 425 ප්‍රකාරව සාක්ෂි විනාශ කිරීම යන වරදටත් ඔවුන් සිව් දෙනාම වැරදිකරුවන් වන බව ඉන්දීය අධිකරණය ඒකමතිකව තීරණය කරන ලදි.

නඩුවේ තීන්දුව ලබා දෙමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙහි විනිසුරුවරුන් ප්‍රකාශ කර සිටියේ නිර්භයාගේ නඩුව “මේ ලෝකයෙහි වූවක්දැයි විශ්වාස කළ නොහැකි අන්දමේ අතිශය දුර්ලභ ශෝකාන්තයක් බවයි. වරදකරුවන්ට ලබා දිය යුතු දඬුවම කුමක්දැයි තීරණය කිරීම අපහසු නොවන බවත්, නිර්භයාගේ මරණාසන්න ප්‍රකාශය මත පදනම්ව මෙම වරදකරුවන්ට ලබා දිය යුතු උපරිම දඬුවම තීරණය කරන ලද බවත් ඔවුහු ඒකමතිකව තීන්දු කළහ. මනුෂ්‍ය ආශාවන් සන්තර්පණය කරගැනීමේ අතිශය අමානුෂික ක්‍රියාවක් ලෙස ඔවුහු මෙම සිදුවීම අර්ථ නිරූපණය කළහ. වරදකරුවන්ගේ ඇඟිලි සලකුණු වැනි සෘජු සාක්ෂි මත පදනම්ව සාධාරණ සැකයකින් තොරව ඔවුන්ගේ වරදකාරීභාවය ඔප්පු කොට ඇති බවද විනිසුරුවරුන් එකහෙලා ප්‍රකාශ කර සිටියාහ.

රෝතක්හි නිර්භයා

ජ්‍යෝතිට නීතියේ දෙවඟනගේ පිහිට ලැබී සතියක් ගතවන්නටත් මත්තෙන්, ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ රෝතක් නගරයෙන් තවත් එවැනිම ඛේදනීය සිදුවීමක් වාර්තා විනි. පසුගිය මැයි මස නව වන දා උදෑස්න සිය රැකියාව බලා යමින් සිටි තරුණියක් පුද්ගලයින් සත් දෙනෙකු විසින් පැහැරගෙන ගොස් සමූහ දූෂණය කොට මරා දමා තිබියදී ඇගේ මළ සිරුර හමු වූයේ මැයි එකොලොස් වන දාය. ඊට හේතුව වී ඇත්තේ ඇය එක් තරුණයකුගේ මංගල යෝජනාවකට එකඟ නොවීමයි. ඇයගේ අනන්‍යතාවය සැඟවීම සඳහා ඇගේ රහසඟ තුළට තියුණු ආයුධ ඇතුලත් කර තුවාල කොට, ඇගේ හිස් කබල පොඩි කොට ඇයගේ සිරුර උඩින් වාහනයක් පදවා තිබිණි. තරුණියගේ ගලනාලය පවා ඉවත් කොට ඇති බව පශ්චාත් මරණ පරීක්ශණයේදී හෙලි විය. එවැනි පාපතරයින් වෙසෙන ලොවට අප අපගේ දියණියන් රැක ගන්නේ කෙසේදැයි අසමින් හර්යානා ප්‍රාන්තය පුරා මවුවරු හඬ නගන්නට වූහ. මෙම විරෝධතා සඳහා සහභාගී ව සිටි ඉන්දීය කාන්තාවන් ඔසවාගෙන සිටි බැනර වල දැක්වුණේ  Proud to be Indian, terrified to be an indian woman ( ඉන්දියානුවකු වීම ගැන ආඩම්බර වෙමි, ඉන්දියානු කාන්තාවක් වීම ගැන බිය වෙමි ) යන පාඨයයි.

වරදකරුවන්ට ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති අංක  365, 302,376 A,D, 34 හා 328 යටතේ (එනම්, පැහැර ගැනීම, මිනීමැරීම, ස්ත්‍රී දූෂණය, තුවාල සිදු කිරීම හා අපරාධයක් කිරීමට සාමූහිකව දායක වීම යන අපරාධ සඳහා ) මේ වන විට හර්යානා පොලීසිය විසින් නඩු පවරා ඇත.

යුක්තිය වෙනුවෙන් හඬ නගන ඉන්දීය දැරියන් (snappa.press.net)

නිර්භයාගෙන් අපට උගත හැකි දේ

ඉන්දීය මාධ්‍ය විසින් මානුෂීය හේතූන් මත ජ්‍යොතිගේ අනන්‍යතාවය සුරකිමින් ඇය වෙත යුක්තිය ඉටු කිරීම සඳහා ගත් වෑයම අගය කළ යුතු ය. ජ්‍යෝතිගේ දෙමව්පියන්ගේ අවසර ලැබෙන තුරු ඉන්දීය මාධ්‍ය විසින් ඇගේ නම හෙලි නොකරන ලදි. බාල වයස්කාර අපරාධකරුගේ අනන්‍යතාවයද හෙලි කරනු ලැබුවේ නැත. පසුගිය දා මෙරට සිදුවුනු සේයා දැරියගේ ඝාතන සිදුවීමෙන් පසුව සේයාගේ මළ සිරුර පවා මාධ්‍ය තුළ ප්‍රදර්ශනය කෙරුණු අතර, ඊට චෝදනා ලැබ අත් අඩංගුවට ගත් පාසල් සිසුවාගේ පෞද්ගලිකත්වය ද විනාශ කර දමන ලදී. සෑම පුවතක්ම වෙළඳ උපක්‍රමයක් නොවන බව අපගේ මාධ්‍ය ආයතන තේරුම් ගත යුතුව ඇත.

මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 262 හා 264 වගන්ති ප්‍රකාරව ස්ත්‍රී දූෂණ සහ ස්ත්‍රී දූෂණයක් කිරීමේ අරමුණින් කාන්තාවක් පැහැර ගතහොත් වසර 7ත් 20ත් අතර කාලයකට දඬුවම් ලබාදේ. නමුත් ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති අංක 52 හා 53 ප්‍රකාරව ස්ත්‍රී දූෂකයෙකුව එල්ලා මැරීමට නියෝග කිරීමට නීතිමය අවසර පවතී. කෙසේවෙතත්, කාන්තා අයිතිවාසිකම් පිළිබඳ හඬ නගන බොහේ දෙනාගේ මතයක් වන්නේ ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය සංශෝධනය කොට ස්ත්‍රී දූෂකයින්ට පවතින  දඬුවම තවත් දැඩි කළ යුතු බවයි. මේ පිළිබඳ වැඩි විස්තර ඔබට ඉන්දියාවේ දියණිය වාර්ථාමය චිත්‍රපටය ගෙන එනවා.

කවරයේ ඡායාරූපය: independent.co.uk

මූලාශ්‍ර

1.timesnow.tv/india

2.ndtv.com

3.thequint.com

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්