Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සයිටම් අර්බුධය – සිදුවෙමින් පවතින්නේ කුමක්ද?

පසුගිය සතියේ කොළඹ නගරය නැවත වරක් උණුසුම් වූයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් සහ පොලිසිය අතර ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම හේතුවෙනි. දකුණු ආසියානු තාක්ෂණ සහ වෛද්‍ය ආයතනයේ (SAITM) වෛද්‍ය පීඨය අහෝසි කර දමන මෙන් ඉල්ලමින් සංවිධානය කර තිබූ උද්ඝෝෂණ පාගමනක් වූ එය කෙලවර වූවේ සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුලට කඩා වැදීමෙනි. තත්වය මැඩ පැවැත්වීමට පොලිස් විශේෂ කාර්ය බලකා සහය ලබා ගන්නා ලද අතර ගැටුම කෙලවර වූවේ සිසුන් 90 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කිරීමට සිදු වීමෙනි. පොලිස් සහ විශේෂ කාර්ය බලකා සෙබළු කිහිප දෙනෙක් ද මෙහිදී තුවාල ලැබිය.

ශිෂ්‍යයන් වෙත එල්ල වූ මේ ප්‍රහාරයට විරෝධය පා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) එදිනට පසුවදාම දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන ලදී.

ශිෂ්‍ය විරෝධතාව විසුරුවා හැරීම​. (අමිල සංජීව​)

පසුගිය සිකුරාදා (23) ශිෂ්‍ය උද්ඝෝෂණය සංවිධානය කළ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ තවත් එම බලමණ්ඩලයේ නායකයෙකු පොලිස් අත්අඩංගුවට පත් වූවේ අමාත්‍යාංශයකට බලහත්කාරයෙන් කඩා වැදීම සහ රාජ්‍ය දේපළවලට හානි කිරීමේ චෝදනා මත ය. අදාළ සිද්ධිය නිසා අමාත්‍යංශ ගොඩනැගිල්ලට රුපියල් මිලියන 9 කට​ ආසන්න හානියක් සිදුවී ඇති බව පොලිසිය විසින් උසාවිය හමුවේ ප්‍රකාශ කරන ලද අතර එම කරුණු සැලකිල්ලට ගනිමින් සිසු නායකයන් දෙදෙනා ජුලි මස 5 වෙනදා තෙක් රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ ය.

උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යංශවල ප්‍රතිචාර

ආරම්භ කිරීමේ සිට වසර 8ක පමණ කාලයක් පුරා ඇදෙන මෙම සයිටම් ගැටළුව වෙනුවෙන් රජය පාර්ශවයෙන් ගත් තීරණ කිහිපයකි.

ඒ අතර සයිටම් ආයතනයට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරා ගැනීම මෙන්ම සයිටම් වෛද්‍ය පීඨයට අලුතෙන් සිසුන් බඳවා නොගන්නා ලෙස එම ආයතනයේ පාලනාධිකාරයට දැනුම් දීම මූලික වේ.

GMOA සභාපති අනුරුද්ධ පාදෙනිය (Daily News)

ආසන්නතම ගැටුමෙන් පසු රජය පාර්ශවයෙන් ගන්නා ලද තීරණය වූවේ සයිටම් ආයතනය සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් එළඹෙන 27වන දින කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරන බව සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ජුනි 25වන දින ප්‍රකාශ කර සිටීමයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආමාත්‍යවරයා කියා සිටියේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමත්, සයිටම් ආයතනය ස්ථාන ගත කිරීමත් සිදු කිරීම සම්බන්ධයෙන් තමාගේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත් කිරීමෙන් පසු ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කරන බවයි.

ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය සහ වෛද්‍යවරුන් වැඩ වර්ජනය අත්හිටවීම

ජුනි 24 දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර පැවති සාකච්ඡාවෙන් පසු වැඩ වර්ජනය නතර කරන බව වෛද්‍යවරු මාධ්‍ය වෙත ප්‍රකාශ කළෝය.

එම සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයාගේ මතය දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ජුනි 25 දින නිවේදනයක්ද නිකුත් කරන ලදී.

ඒ අනුව සයිටම් ආයතනය රාජ්‍ය හා පෞද්ගලික අංශවල ඒකාබද්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව ජනාධිපතිවරයා පවසයි.

ඊට අමතරව රජයේ ගැසට් නිවේදනයේ ඇතුළත් අදාළ කොන්දේසි සම්පූර්ණ කරන තෙක් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම නතර කිරීම සහ උපාධි පිරිනැමීම නතර කිරීමට තීරණය කර ඇති අතර වෛද්‍ය අධ්‍යාපනයට අදාළව අවම ප්‍රමිතීන්ගේ වලංගුභාවය නීතිය ඉදිරියේ තහවුරු කළ යුතු බැවින් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය වහාම ගැසට් කිරීමත් එකඟතාවක් ඇති වී තිබේ.

එම ගැසට් නිවේදනයේ සඳහන් වන කරුණු,

  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට හා අපක්ෂපාතිත්වයට කිසිදු ආයතනයක හෝ පුද්ගලයකුගේ බලපෑම් සිදු නොවිය යුතුය.
  • සයිටම් ආයතනයේ දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ පාඨමාලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් ක්‍රමවේදයකට අනුව සකස් කිරීම සහ දැනට උපාධිය සම්පූර්ණ කර ඇති ශිෂ්‍යයන්ගේ උපාධිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
  • සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම.
  • මීට අමතරව සයිටම් ආයතනයේ පරිපාලන ව්‍යුහය වෙනස් කරමින් රජයේ හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කටයුතු කිරීමට විධි විධාන සලසන බව එම නිවේදනයේ දැක්වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්,


ශිෂ්‍ය සංගම්වල මතය

ආරම්භයේ සිටම සයිටම් විරෝධයේ වැඩිම බරක් ඇදි අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව නම් පවසා සිටින්නේ සයිටම් ආයතනය පූර්ණ වශයෙන් රජයට පවරා ගන්නා තුරු තම සටන අත් නොහරින බවයි.

රජයේ අරමුණ නිදහස් අධ්‍යාපනය විනාශ කර දැමීම බව පවසන ඔවුන් කිසිම ආකාරයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඇරඹීම පිළිබඳව පැහැදීමක් දක්වන්නේ නැත. ශිෂ්‍යයන්ට සහය දෙන ඇතැම් වාමාංශික දේශපාලන පක්ෂවලත් මතයත් එයම වේ.

මේ වන විට සියළුම රාජ්‍ය වෛද්‍ය පීඨවල අධ්‍යයන කටයුතු ඇණ හිට ඇති අතර ඒවා නැවත ආරම්භ කිරීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැත.

කවරයේ පින්තුරය: සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුල් වූ සිසුන් පිරිසක්

Related Articles