Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකබ් සූමාගේ අවසන් සටන

Netflix නාලිකාවේ විකාශය වූ House of Cards කතා මාලාව ඇතැම් විට ඔබ නරඹා ඇති. එක්සත් ජනපදයේ දේශපාලන උපක්‍රම සහ යටි උගුල් පිළිබඳ දිගහැරෙන කතා මාලාවක් වන එහි එක් අවස්ථාවක ප්‍රධාන චරිතය වන උප ජනාධිපති ෆ්‍රෑන්ක් අන්ඩර්වුඩ් උපක්‍රමශීලීව ඇමරිකානු ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කොට එම ධුරයට පත් වන අන්දම දැක්වෙනවා.

කෙවින් ස්පේසි House of Cards හි ෆ්‍රෑන්ක් අන්ඩර්වුඩ් ලෙස​ (Netflix)

වර්තමාන දකුණු අප්‍රිකානු දේශපාලනය පිළිබඳ විමසීමක් කරන විට House of Cards කතා මාලාව මතකයට නැගෙන්නේ නම් ඒ පිළිබඳ වරදක් කිව නොහැකියි. මක් නිසාද යත් එරට උප ජනාධිපති සිරිල් රමපෝසා මේ වන විට ජනාධිපති ජේකබ් සූමා ඉවත් කිරීමේ උත්සාහයක නිරත වන බැවින්.

තමන් ඇති තරම් ශක්තිමත් වන තෙක් රමපෝසා මෙම සටන කරලියට ගෙන ආවේ නැහැ. නමුත් වර්තමාන තත්ත්වය යටතේ ඔහුට එළිපිටම මෙම උත්සාහය කරගෙන යාමේ අවස්ථාව ලැබී තිබෙනවා. දැන් ප්‍රශ්නය ඇත්තේ පිටතට පෙනෙන දේශපාලනයට යටින් ක්‍රියාත්මක වන​, පාලක​ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය තුල තම තමන්ගේ බලය තහවුරු කරගැනීමේ අවස්ථාවයි.

ජේකබ් සූමා

1942 දී උපත ලද ජේකබ් සූමා අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නෙල්සන් මැන්ඩෙලාගේ පරම්පරාවෙන් පසු පරම්පරාවේ නායකයෙක්. 2009 දී ඔහු ජනාධිපති ධුරයට පත් වූ අතර 2019 දී ධූර කාල දෙකක් නිමවා ඔහු විශ්‍රාම ගැනීමට නියමිතයි.

සූමාට එරෙහිව දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබෙනවා. එයින් සමහරක් පිළිබඳව ඔහුට එරෙහිව චෝදනා ගොනු කළ යුතු බවට 2016 දී අධිකරණ තීන්දුවක් ද දෙනු ලැබුණා. එමෙන්ම ගුප්තා නම් ව්‍යාපාරික පවුලක් සමඟ ඔහුගේ ගනුදෙනු පිළිබඳ චෝදනා ද ඔහුට එල්ල වනවා.

ජේකබ් සූමා (Financial Tribune)

දූෂණ චෝදනා සහ අකාර්යක්ෂම ආර්ථික පරිපාලනය පිළිබඳ සූමාට චෝදනා එල්ල වන පසුබිමෙහි දී අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (African National Congress – ANC) කලබල වී ඇත්තේ අනාගත මැතිවරණ ප්‍රතිඵල ඔවුනට අවාසි සහගත වන ලකුණු පෙනෙන්නට තිබීමත් සමඟයි. වර්ණභේදවාදය බිඳ වැටුණ පසුව 1994 දී පැවති පළමු මහ මැතිවරණයේ පටන්ම සෑම මහ මැතිවරණයක්ම එම පක්ෂය විසින් ජය ගනු ලැබුවා. නමුත් 2016 පළාත් පාලන මැතිවරණයේ දී පක්ෂය සැලකිය යුතු පසුබෑමකට ලක් වූ අතර ප්‍රධාන විපක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය (Democratic Alliance – DA) මෙන්ම අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයෙන් කැඩී ගිය අප්‍රිකානු ජාතිකවාදී රැඩිකල් පක්ෂයක් වන ආර්ථික විමුක්ති පෙරමුණ (Economic Freedom Front – EFF) ද ජනප්‍රියත්වයෙන් ඉහළ ගොස් තිබෙනවා.

2017 අගෝස්තු දෝෂාභියෝගය​

සූමාට එරෙහිව විපක්ෂය විසින් අට වතාවක් දෝෂාභියෝග ගෙනෙනු ලැබුවා. නමුත් ඒ එකක්වත් සාර්ථක වූයේ නැහැ. 2014 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන 400 න් 249ක් ම දිනාගත්තේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය යි. මේ අනුව මෙම දෝෂාභියෝග පරාජය වීම පුදුමයක් නොවේ.

කෙසේ වෙතත්, 2017 අගෝස්තු 8 වනදා විභාග කරන ලද දෝශභියෝගය අන් ඒවාට වඩා විශේෂ වුණා. හේතුව නම් එම දෝෂාභියෝගයේ දී ඡන්ද විමසීම රහස්‍ය ඡන්දයක් වනු ඇති බවට පාර්ලිමේන්තුවේ කතානායකවරිය ප්‍රකාශ කිරීම යි. කතානායකවරිය ද ANC පක්ෂ සාමාජිකාවක වන හෙයින් මෙම තීරණය තුළ සූමාට එරෙහි කඳවුරක් පක්ෂය තුළ නිර්මාණය වී ඇති බවට පැහැදිලි ඉඟියක් පළ වුණා.

මේ අතර වර්ණභේදවාදයට එරෙහිව සටන් වැදුණ ප්‍රවීණ සාමාජිකයන් පිරිසක් ද 2017 අගෝස්තු දෝෂාභියෝගය අවස්ථාවේදී සූමාව බලයෙන් පහ කරන්නැයි ඉල්ලා සිටියා.

ANC පක්ෂයේ ඇතැම් මන්ත්‍රීන් ඔහුට එරෙහිව එවර ඡන්දය භාවිතා කළ ද සූමාට මන්ත්‍රීන් 198 ක සහය ලැබුණා. මන්ත්‍රීන් 177 ක් ඔහුට එරෙහිව ඡන්දය දුන්නා.

රමපෝසා පක්ෂ නායකත්වයට​

සිරිල් රමපෝසා වර්ණභේදවාදී සමයේ දී වෘත්තීය සමිති නායකයකු වුණා. නෙල්සන් මැන්ඩෙලාගේ සමීපතමයකු බවට පත් වූ ඔහු මැන්ඩෙලා විසින් උප ජනාධිපති ලෙස පත් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටි බව ඇතැමුන් ප්‍ර්‍රකාශ කරනවා. නමුත් ඔහු එම ධුරයට පත් කෙරුණේ නැහැ.

සිරිල් රමපෝසා (Getty Images)

1997 දී දේශපාලනයෙන් ඉවත්වන ඔහු ව්‍යාපාරිකයකු ව සැලකිය යුතු ධනයක් උපයා ගත්තා. පසු කලෙක යළි දේශපාලනය කරා පැමිණි ඔහු 2012 දී ANC පක්ෂයේ උප නායකයා ලෙස පත් වුණා. ඔහු 2014 දී උප ජනාධිපති තනතුරට ද පත් කෙරුණා.

2017 දෙසැම්බර් මාසයේදී පවත්වන ලද ANC පක්ෂ ජාතික සම්මේලනයේදී රමපෝසා පක්ෂ නායකයා ලෙස පත් වුණා. මෙහිදී සූමාගේ සහය හිමි වූයේ, ඔහුගේ හිටපු බිරිඳ වන න්කොසසානා ඩ්ලමිනි-සූමා වෙතයි. ඇය නායකත්ව සටන පරාජය වූ බව ප්‍රකාශ කෙරෙන විට, සම්මේලනයට සහභාගී වෙමින් සිටි ජේකබ් සූමා මවිතයට පත් වූ බව දිස් වුණා.

න්කොසසානා ඩ්ලමිනි-සූමා (Africa News 24-7)

තීරණාත්මක හත් වෙනිදා

කෙසේ වෙතත් එම සම්මේලනයේදී පක්ෂයේ ප්‍රධාන නිලතල හයට පත් කරගන්නා ලද අයගෙන් තිදෙනෙකු රමපෝසා පාක්ෂිකයන් ද තිදෙනෙකු සූමා පාක්ෂිකයන් ද වනවා. මේ සය දෙනා සහ සූමා අතර ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳ එල්ල වන ඉල්ලීම් පිළිබඳ සාකච්ඡාවක් පසුගිය පෙබරවාරි 4 වනදා පැවැත්වුණා. රමපෝසා පාක්ෂිකයන් සඳහන් කරන්නේ පක්ෂය තව දුරටත් අපහසුතාවට පත් නොකර සූමා ඉල්ලා අස්විය යුතු බවයි.

මෙම සාකච්ඡාව​ අසාර්ථක වූ පසු පෙබරවාරි 5 වනදා ANC පක්ෂයේ ජාතික කෘත්‍යාධිකාරී කමිටුව මුණ ගැසුණා. එය විසින් තීරණය කෙරුණේ පෙබරවාරි 7 වනදා පක්ෂයේ ජාතික විධායක කමිටුව රැස්වී සූමා ගැන තීරණයක් ගත යුතු බවයි.

පෙබරවාරි 8 වනදා සූමා පාර්ලිමේන්තුවේදී සිය වාර්ෂික ජාතිය ඇමතීමේ කතාව කිරීමට නියමිතව තිබුණ අතර​ අතර ඔහුගේ විරුද්ධවාදීන්ට අවශ්‍ය වී තිබුණේ ඉන් පෙර ඔහුව නෙරපා දැමීමටයි. නමුත් පෙබරවාරි 6 වනදා රජය නිවේදනය කළේ එම කතාව කල් දමන ලද බවයි.

මීට දශකයකට පෙර ජේකබ් සූමා බලයට පත් වූයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි බලයෙන් නෙරපා දැමීමෙන් අනතුරුව යි. එහිදී ඔහු ද පක්ෂයේ ජාතික විධායක කමිටුව විසින් ගත් තීරණයකට අනුව ධුරයෙන් ඉවත් වුණා. දැන්, එදා තමන් බලයට ආ මාර්ගයෙන්ම බලයෙන් පහ වීමේ අවදානමකට ජේකබ් සූමා මුහුණ දී තිබීම දෛවයේ සරදමක් යයි කිව හැකියි.

Cover Image: රමපෝසා සහ සූමා (Daily Maverick South Africa)

Related Articles