Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2016 වසරේ යුරෝපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන්

සාමකාමී වාතාවරණයක් සහිත, බියෙන් තොරව ජිවත් වන්නට පුළුවන් රටවල් ලෙස සම්මතව පැවති බටහිර යුරෝපානු රටවලට පසුගිය වසර දෙක තුන එතරම් සුබදායී වුණේ නැහැ. ඒ සිතාගත නොහැකි අයුරින් විටින් විට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් නිසායි. මේවාගෙන් අති බහුතරය සඳහා වූ වගකීම ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධානයක් වන ISIS විසින් භාරගෙන තිබෙනවා.

සහජීවනයේ සහ සාමකාමීත්වයේ සංකේතයක් බඳු වූ බටහිර යුරෝපයට මෙවන් තත්වයක් උදාවූවේ කෙසේද? වසර ගණනාවක් තිස්සේ ඉතා සමීපව ඇසුරු කළ අසල්වැසියා දෙස පවා සැකයෙන් බලන තරම් භීතියකට යුරෝපා වැසියන් පත්වුණේ ඇයි? ඒ පිළිබඳව මෙන්ම 2016 වසරේ යුරෝපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන් ගැන ඔබේ මතකය අළුත් කරන්නටයි මේ ලිපිය වෙන්වන්නේ.

භීතියේ ආරම්භය

ෂාලි එබ්දෝ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් ශෝකය පළ කරන ජනතාව/Daily Mail

ෂාලි එබ්දෝ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් ශෝකය පළ කරන ජනතාව/Daily Mail

වර්තමානයේ යුරෝපයේ ඇතිවී තිබෙන ත්‍රස්තවාදී බියට මූලාරම්භය වැටෙන්නේ 2014 මැයි මස බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟයි. එහිදී ISIS සංවිධානය හා සම්බන්ධකම් තිබූ ප්‍රංශ ජාතිකයෙක් යුදෙව් කෞතුකාගාරයකට කඩා වැදී එහි සිටි ජනතාවට වෙඩි තැබීමට පටන් ගැනීමත් එම වෙඩි ප්‍රහාර නිසා සිව්දෙනෙකු මිය යාමත් සිදුවුණා.

අනතුරුව එම වසරේදී ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයකින් පිහි ඇනුම් සිද්ධීන් තුනක් වාර්තා වූ අතර 2015 වසරේ ආරම්භයේදීම, එනම් ජනවාරි 07 වන දින උපහාසාත්මක කාටූනයක් නිසා කෝපයට පත්වූ මුහුණු ආවරණය කරගත් දෙදෙනෙක් ප්‍රංශයේ ‘ෂාලි එබ්දෝ’ සඟරාවේ මූලස්ථානයට ඇතුළුවී එහි කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළා.

එසේ ඇරඹුන 2015 වසරේදී ත්‍රස්ත ප්‍රහාර නිසා යුරෝපානු වැසියන් 267ක් මරණයට පත්වුණා. 2016 වසරේ ආගමික ත්‍රස්තවාදයේ උමතුවට බිලි වූ ජීවිත සංඛ්‍යාව එම ගණන ඉක්මවනවා.

යුරෝපය තුළ ත්‍රස්තවාදී බිය පැතිරීමට බලපෑ ප්‍රධානතම හේතූන්

1970 දශකයේ සිට බටහිර යුරෝපා රටවල් ඊශ්‍රායලයට සහය දක්වාපු නිසා ඇතැම් පලස්තීන විමුක්තිකාමී සංවිධාන ඒ රටවල් සමඟ කෝපයෙන් පසු වුණා. නමුත් විශේෂයෙන්ම අල් කයිඩා සංවිධානය බිහි වීමෙන් පසු යුරෝපය කෙරෙහි වන අවදානම වැඩි වුණා. ඒ ඔවුන් ඉස්ලාමීය පාලනයක් බිහි කරන්නට බලාපොරොත්තු වූ නිසාත් ක්‍රිස්තියානි රටවල් මිත්‍යා දෘෂ්ඨිකයින් ලෙස දැකපු නිසාත්. ඒ වගේම ඇතැම් යුරෝපා රටවල් ඇෆ්ඝනිස්ථානය සහ ඉරාකය ආක්‍රමණයට සහය දැක්වීමත් ඒ රටවල් ඉලක්ක කරන්න හේතු වුණා. ISIS සංවිධානය දැන් ඒ ආකාරයටම යුරෝපා රටවල් ඉලක්ක කරගෙන තිබෙනවා.

එමෙන්ම යුරෝපා රටවල් බොහොමයක දිගු කළක පටන් මුස්ලිම් ජාතිකයන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඒ බොහෝ දෙනාගේ ජීවන තත්ත්වය එතරම් යහපත් තත්වයක ඇත්තේ නැහැ. විශේෂයෙන්ම ප්‍රංශයේ මේ තත්ත්වය ප්‍රබල වශයෙන් දකින්නට හැකියි. මේ නිසා ඒ රටවලින් සිය ත්‍රස්ත කටයුතුවලට පිරිස් බඳවාගන්න අල් කයිඩා සංවිධානයත්, විශේෂයෙන්ම ISIS  සංවිධානයත් සමත් වුණා.

සංක්‍රමණිකයන්/BBC

සංක්‍රමණිකයන්/BBC

ඊට අමතරව මෑතකදී ඇෆ්ඝන්, ඉරාක සහ සිරියානු යුද්ධ නිසා යුරෝපයට සරණාගතයන් විශාල වශයෙන් ඇදී ආවා. ඒ අතරිනුත් සිය සංවිධානයට පිරිස් බඳවා ගන්නට  ISIS  සංවිධානයට පහසුවෙන් හැකියාව ලැබුණා.

තවද, සිරියාව සහ ඉරාකය තුළ ඉස්ලාම් මනෝරාජික රාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණෙන් එම රටවල් කරා සංක්‍රමණය වූ අයගෙන් ඇතැමුන් අන්තවාදී අදහස් රැගෙන නැවත යුරෝපය කරා පෙරලා පැමිණීම සහ එම අදහස් තරුණ තරුණියන් අතර ප්‍රචලිත කිරීමත් යුරෝපයේ ඇති මෙම අවිනිශ්චිත තත්වයට බලපෑ ප්‍රධානම හේතුවක් ලෙස දැක්විය හැකියි.

2016 වසරේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන්

මාර්තු 22 – බෙල්ජියමේ බ්‍රසල්ස් නගරය

විශාල බෑග දෙකක් තුල සඟවා තිබූ බෝම්බ දෙකක් බ්‍රසල්ස්හි සවෙන්තම් ගුවන්තොටුපළේ පුපුරා යාම සහ තවත් බෝම්බයක් ඉන් පැයකට පමණ පසු මාල්බීක් මෙට්‍රෝ දුම්රියපොළේදී පුපුරා පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් 300 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

ජූනි 13 – ප්‍රංශයේ මැග්නන්විල් නගරය

ප්‍රංශයේ බටහිර පැරිසියේ මැග්නන්විල්හි පොලිස් නිලධාරී යුවළකගේ නිවසට කඩා වැදුණු ත්‍රස්තවාදියෙක් එම යුවළ පිහියෙන් ඇණ ඝාතනය කරනු ලැබුවා.

ජූනි 28 – තුර්කියේ ඉස්තාන්බුල් නගරය

පිපිරීමෙන් පසු ගුවන්තොටුපොළ/Getty Images

පිපිරීමෙන් පසු ගුවන්තොටුපොළ/Getty Images

ඉස්තාන්බුල්හි ගුවන්තොටුපොළක සිදුවූ පිපිරීම්  තුනක් හේතුවෙන් 41 දෙනෙකු මියගොස් 230කට අධික ප්‍රමාණයක් තුවාල ලැබුවා.

ජූලි 14 – ප්‍රංශයේ සිදුවූ ‘නීස්’ ප්‍රහාරය

ප්‍රහාරය සඳහා යොදාගත් නීස් රථය/Shutterstock

ප්‍රහාරය සඳහා යොදාගත් නීස් රථය/Shutterstock

ප්‍රංශ ජාතික දිනය සමරමින් සිටි පිරිසක් අතරට ටොන් 19ක් බරැති ට්‍රක් රථයක් පදවාගෙන පැමිණි අයකු 86 දෙනෙකු ඊට යටකර මරාදැමුවා. මෙම ප්‍රහාරයෙන් තවත් 434 දෙනෙකුට තුවාල සිදු වුණ අතර එම ප්‍රහාරය සිදු කළ පුද්ගලයා මාස 14 ක පමණ සිට එය සැලසුම් කළ බව පසුව හෙළිවුණා.

ජූලි 18 – ජර්මනියේ විරස්බුර්ග් නගරය

පිහියකින් සහ පොරොවකින් සන්නද්ධ වූ 17 හැවිරිදි පාකිස්තාන හෝ ඇෆ්ඝනිස්තාන සංක්‍රමණික තරුණයකු ප්‍රාදේශීය දුම්රියකට වැදී සංචාරකයන් සිව් දෙනෙකුට තුවාල සිදු කළා. ISIS සංවිධානය විසින් ඔහුගේ  රුව ඇතුලත් කර නිෂ්පාදනය කර තිබූ වීඩියෝවක එම තරුණයා තම නියෝජිතයෙකු බවත් ජර්මනිය තුළ මෙහෙයුම් කටයුතු සිදු කරනු ඇති බවටත් දැක්වුණ බව පසුව අනාවරණය කරගනු ලැබුවා.

ජූලි 24 – ජර්මනියේ අන්ස්බැක් නගරය

මරාගෙන මැරෙන බෝම්බකරුවකු වයින් තැබෑරුමකට එල්ල කළ ප්‍රහාරයකින් බෝම්බකරු මිය ගොස් 15 දෙනකු තුවාල ලැබුවා.

ජූලි 26 – ප්‍රංශයේ නොර්මැන්ඩිය

පල්ලිය ඉදිරිපිට රැස්ව සිටින පොලිසිය/EPA

පල්ලිය ඉදිරිපිට රැස්ව සිටින පොලිසිය/EPA

නෝර්මැන්ඩි ප්‍රදේශයේ සෙන්ට් – එටියේන් – ඩු – රෝවාරි නගරයේ පල්ලියකට එල්ල වූ ප්‍රහාරයකින් 84 හැවිරිදි පූජකයකු මිය ගියා. ප්‍රහාරයේ වගකීම ISIS සංවිධානය විසින් බාරගනු ලැබුවා.

ඔක්තෝබර් 16 – ජර්මනියේ හැම්බර්ග් නගරය

හැම්බර්ග්හි ඇල්ස්ටර් විලෙහි පාලම මතදී 16 හැවිරිදි තරුණයකු පිහියෙන් ඇන මරාදමන ලද අතර විලට තල්ලු කරන ලද ඔහුගේ පෙම්වතිය ජීවිතය ගලවා ගැනීමට සමත් වුණා. එයින් දින කිහිපයකට පසු ප්‍රහාරයේ වගකීම  ISIS සංවිධානය විසින් භාර ගනු ලැබුවද පොලිසිය කියා සිටියේ ප්‍රහාරය කෙරෙහි ඔවුන්ගේ සම්බන්ධයක් නොපෙනෙන බවයි.

දෙසැම්බර් 19 – ජර්මනියේ බර්ලින් නගරය

ප්‍රහාරයෙන් අනතුරුව ට්‍රක් රථය/International Business Times

ප්‍රහාරයෙන් අනතුරුව ට්‍රක් රථය/International Business Times

බර්ලිනයේ නත්තල් වෙළෙඳපොළකට කඩා වැදුණ ට්‍රක් රථයක් 12 දෙනෙකු මරා දැමුවා. මෙම ප්‍රහාරයේ වගකීමත් බාර ගනු ලැබුවේ  ISIS සංවිධානයයි.

දෙසැම්බර් 19 – තුර්කියේ අන්කාරා නගරය

ප්‍රහාරය එල්ල වීමට මොහොතකට පෙර සභාව අමතන තානාපතිවරයා/Mirror

ප්‍රහාරය එල්ල වීමට මොහොතකට පෙර සභාව අමතන තානාපතිවරයා/Mirror

අන්කාරා නුවර කලාගාරයක් තුලදී පොලිස් නිලධාරියෙකු විසින් තුර්කියේ රුසියානු තානාපතිවරයා වෙඩිතබා ඝාතනය කරනු ලැබුවා.  

ඉදිරියේ ඇති අනතුර

ඉරාකයේ සහ සිරියාවේ ඇති පාලන ප්‍රදේශයන් මුදා ගැනීම සඳහා මේ වන විට මෙහෙයුම් දියත් වී ඇති බව ඔබට අසන්නට ලැබී ඇති. ඉරාකයේ මොසූල් සහ සිරියාවේ පැල්මයිරා නගර අත්පත් කරගැනීම වෙනුවෙන් මේ මොහොත වන විටත් දරුණු සටන් ඇවිලෙමින් පවතිනවා.

මැද පෙරදිග කලාපයේ තමන් සතුව තිබූ ප්‍රදේශ අහිමි වීමත් සමඟ මෙම ත්‍රස්තවාදීන් ආසියාව කරා සිය බලපෑම ව්‍යාප්ත කිරීමේ අවදානමක් මේ වන විට පවතිනවා. විශේෂයෙන්ම ඇෆ්ඝනිස්ථානයේ සහ පාකිස්ථානයේ ක්‍රියාත්මක වන ඇතැම් ආගමික අන්තවාදී කණ්ඩායම් ISIS සංවිධානයට සහය පල කරන බව නොරහසක්. ISIS සංවිධානය ඉන්දියන් සාගරය ආශ්‍රිතව සිය මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරන බව පාකිස්ථාන නාවුක හමුදාපතිවරයා මෑතකදි පවසා සිටියා.

මේ නිසා තම රටවල බුද්ධි අංශ හරහා ඇති විය හැකි ත්‍රස්ත ප්‍රහාර ගැන දැඩි අවධානයෙන් සිටීමට ආසියානු කලාපයේ රජයයන් ක්‍රියා කළ යුතු වනවා. එමෙන්ම සාමාන්‍ය ජනතාව ලෙස ඔබත් මමත් නිරතුරුවම අප අවට සිදුවන දෑ පිළිබඳ අවධානයෙන් සිටීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.

මුලාශ්‍ර – BBC, CNN, RT, Daily Mail, Time ඇතුළු අන්තර්ජාතික පුවත් සේවාවන් සහ විකිපීඩියා

කවරයේ පින්තුරය: නීස් ප්‍රහාරයෙන් මිය ගිය කුඩා දරුවෙකුගේ සිරුර අසල වැටී තිබුණ බෝනික්කෙක්/Telegraph

Related Articles