Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උතුරු කොරියානු මිසයිලවලට එරෙහිව සූදානමින් සිටින තාඩ් (THAAD) මිසයිල​

උතුරු කොරියාවෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාරයක් පිළිබඳ තර්ජනය හේතුවෙන් දකුණු කොරියාවට ඇමරිකාව විසින් සපයන ලද තාඩ් (THAAD) මිසයිල ආරක්ෂණ පද්ධතිය මැයි මස මුලදී ක්‍රියාත්මක තත්ත්වයට පත් වුණා.

ක්‍රියාකාරීත්වය හා විශේෂත්වය

THAAD යන ඉංග්‍රීසි අකුරුවලින් හැඳින්වෙන්නේ Terminal High Altitude Area Defense යන්නයි. කළින් මෙම මිසයිල ආරක්ෂණ පද්ධතිය Theater High Altitude Area Defense යනුවෙන් හැඳින්වුණා. THAAD පද්ධතිය සතු ප්‍රති මිසයිලවල යුධ හිසක් නොමැති අතර සතුරු ප්‍රදේශයකින් පැමිණෙන බැලස්ටික් මිසයිලයක පියාසැරියේ අවසන් කොටසේදී (terminal phase) එ් කරා ගොස් එය හා ගැටී, චාලක ශක්තිය භාවිතයෙන් එම බැලස්ටික් මිසයිලය විනාශ කිරීම එහි ක්‍රියාකාරී ක්‍රමවේදයයි. මෙය hit-to-kill ක්‍රමවේදය යනුවෙන් හඳුන්වනු ලබනවා.

චාලක ශක්තිය භාවිත කරන බැවින් සතුරු බැලස්ටික් මිසයිලයෙහි න්‍යෂ්ඨික යුධ හිසක් තිබුණොත් එය පිපිරී නොයාමත්, ඉතා ඉහළ අහසේ ඝට්ටනය සිදු වන බැවින් පොළොව මට්ටමින් හානියක් සිදු නොවීමත් THAAD ප්‍රති මිසයිලවල වාසියයි. කෙටිදුර​, මැදි දුර සහ අතරමැදි දුර බැලස්ටික් මිසයිල මෙම ප්‍රති මිසයිල මගින් ඉලක්ක කළ හැකියි.

ඇමරිකානු නාවික හමුදාව සතුවත් මෙවැනි ආරක්ෂණ පද්ධතියක් තිබෙන බවත් මෙහිදී සඳහන් කළ යුතු වනවා. එයට නම තබා ඇත්තේ ඒජිස් බැලිස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධතිය (Aegis Ballistic Missile Defense System) යනුවෙන්.

THAAD පද්ධතිය නිර්මාණය කිරීම

THAAD පද්ධතිය නිර්මාණ කිරීම සඳහා අදහස පහළ වූයේ 1991 ගල්ෆ් යුධ සමයේදී ඉරාක හමුදා විසින් එල්ල කරන ලද ස්කඩ් (Scud) මිසයිල ප්‍රහාර හේතුවෙන්. සෝවියට් දේශය විසින් නිපදවන ලද බැලස්ටික් මිසයිල කාණ්ඩයක් වන ස්කඩ් මිසයිල තුන්වන ලෝකය යයි හඳුන්වන රටවල් කිහිපයකම භාවිත වෙනවා. 1991 දී ඉරාකය සතුව පැවති ප්‍රබලම අවියක් වූයේ මෙම ස්කඩ් මිසයිල යි. එමෙන්ම ස්කඩ් මිසයිල සහ ඒවා ආශ්‍රයෙන් වැඩිදියුණු කරන ලද මිසයිල වර්ග කිහිපයක් ම උතුරු කොරියාව සතුව පවතිනවා.

දකුණු කොරියාවට පැමිණි මිසයිල රඳවන දෙකක් (US Army, Public Domain)

මුලින් ඇමරිකා එක්සත් ජනපද හමුදාව යටතේ පවතින ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වූ අතර පසුව මිසයිල ආරක්ෂණ ඒජන්සිය යටතට ව්‍යාපෘතිය ගනු ලැබුණා. මෙම මිසයිල ආරක්ෂණ පද්ධතිය සම්බන්ධ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන්නේ ලොක්හීඩ් මාර්ටින් ස්පේස් සිස්ටම්ස් (Lockheed Martin Space Systems) සමාගමයි. ඊට අමතරව රේතියොන්, බෝයිං, එයරෝජෙට් ආදී සමාගම් කිහිපයක් ද එයට සම්බන්ධ වෙනවා. මෙම මිසයිල නිෂ්පාදනය කෙරෙන්නේ ඇලබාමා ප්‍රාන්තයේ ට්‍රෝයි නගරය අසළ පිහිටි ලොක්හීඩ් මාර්ටින් කර්මාන්තශාලාවේදී. මෙහි රේඩාර් පද්ධතිය රේතියොන් සමාගම විසින් නිපදවනු ලබනවා.

THAAD මිසයිල පළමු වරට අත්හදා බලන ලද්දේ 1995 දී. 1999 වෙද්දී සාර්ථක අත්හදා බැලීම් සිදු කිරීමට හැකියාව ලැබුණ අතර ඉන්පසුව එම මිසයිල නිෂ්පාදන කටයුතු පටන් ගැණුනා. පළමු මිසයිල ආරක්ෂණ ඒකක 2008 වනවිට සූදානම් කෙරුණා.

THAAD භාවිතයට ගන්නා රටවල්

උතුරු කොරියාව විසින් එල්ල කළ හැකි ප්‍රහාරයක් පිළිබඳ අනතුරු හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය හවායි සහ ගුවාම් දූපත්වල THAAD මිසයිල ආරක්ෂණ පද්ධතීන් ස්ථානගත කළා. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තුර්කිය ද එම පද්ධතීන් ලබාගත් අතර මෑතදී දකුණු කොරියාවේ ද මෙම මිසයිල පද්ධතීන් ස්ථානගත කරනු ලැබුවා.

THAAD මිසයිල රඳවනයක් (Getty)

දකුණු කොරියාවේ THAAD මිසයිල ආරක්ෂණ පද්ධතීන් ස්ථානගත කිරීමට එරෙහිව එරට තුලින් ද තරමක විරෝධතා එල්ල වූ නමුත් පසුගිය මාස කිහිපයේදී උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන ඉහළ යාමත්, දකුණු කොරියාවේ අභ්‍යන්තර දේශපාලන තත්ත්වය අස්ථාවර වීමත් හේතුවෙන් එම විරෝධතා යටපත් ව ගියා. කෙසේ වෙතත් චීනය ද මේ පිළිබඳ සිය අප්‍රසාදය දක්වා සිටියා. මෙම පද්ධතියේ ප්‍රබල රේඩාර් පරාසය තම රට තුළට ඇතුළු වීම චීනය නොරුස්සන කාරණාවක්.

මේ අතර තායිවානයේද THAAD මිසයිල ආරක්ෂණ පද්ධතීන් ස්ථානගත කරනු ඇතැයි රාවයක් මෑතකදී පැතිර ගියා. යම් හෙයකින් මෙම රාවය සත්‍යයක් යයි අනාගතයේදී තහවුරු වුවහොත් ඒ පිළිබඳව චීනය තදින් ක්‍රියා කරනු ඇතැයි සිතීමට පිළිවන්.

පරාසය සහ බැටෑලියන්වල ශක්තිය

මෙම පද්ධතියේ ප්‍රති මිසයිලවල පරාසය පිළිබඳ නිවැරදි තොරතුරු ලැබී නැතත් දැනට හෙළි වී ඇති තොරතුරුවලට අනුව ඒවාට කිලෝ මීටර 200 ක් දුර පියාසර කළ හැකියි​. එමෙන්ම කිලෝමීටර 150 ක උසක් දක්වා ළඟාවීමට ද එයට හැකියාව තිබෙනවා.

සාමාන්‍ය බැටෑලියනයක මිසයිල රඳවන රථ (launcher) හයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තිබෙන අතර ඒ එක් රථයක මිසයිල අටක් දක්වා රැඳවිය හැකියි. එමෙන්ම මෙම බැටෑලියනයකට රේඩාර් පද්ධතියක් ද සපයනු ලැබ තිබෙනවා.

THAAD-ER

මේ වනවිට මෙම පරාසය වැඩි දියුණු කරමින් නව මිසයිල ආරක්ෂණ පද්ධතියක් සැලසුම් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. මෙය THAAD-ER (Extended Range – වැඩිදියුණු කළ පරාසය​) යනුවෙන් හැඳින්වෙනු ඇති. කෙසේ නමුත් එම මිසයිල ආරක්ෂණ පද්ධතියේ කටයුතු අවසන් වීමට තවත් කලක් ගතවනු ඇති.

කවරයේ රූපය : THAAD මිසයිලයක් අත්හදා බැලීම​ (Ralph Scott/Missile Defense Agency/U.S. Department of Defense)

මූලාශ්‍ර​:

  1. wikipedia.org
  2. Terminal High Altitude Area Defense, lockheedmartin.com
  3. Anikit Panda, What Is THAAD, What Does It Do, and Why Is China Mad About It?, The Diplomat

Related Articles