Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියානු දියමන්ති ආකරයේ ඛේදවාචකය

පතල් කර්මාන්තය හා ඒ සබැඳි රැකියා කියන්නේ එක පසෙකින් මරණයේ සෙවණැල්ල තබාගෙන කෙරෙන ඉතා අවදානම් සහගත කාර්යයන්. පොළොවත් සමඟ පොරබදන විට ඕනෑම මොහොතකදී සිදුවිය හැකි විෂ වායු කාන්දු වීම්, දෝනා කඩා වැටීම් වැනි ව්‍යසනයන් සම්පූර්ණයෙන් මඟහරවා ගැනීමට සමහර විටෙක කොයි තරම් ආරක්ෂාකාරී උපක්‍රම හා උපකරණ තිබුණත් නොහැකි වෙන අවස්ථා මුණ ගැසෙනවා. මෙවැනිම ව්‍යසනයකින් සුප්‍රසිද්ධ රුසියානු දියමන්ති පතලක් වන ‘අල්රෝසා‘ සමාගමට අයත් ‘මිර්’ පතලේ මහත් ජීවිත හා දේපළ හානියක් සිදු වුණා. මෙයට හේතුව වුණේ පතල් කර්මාන්තය තුල අඩුවෙන් සිදුවෙන ගණයේ අනතුරක්. හදිසියේ මේ පතල තුලට ජලය පිරී යම නිසා ඇති වූ ගංවතුර හා සමාන තත්වයෙන් හානියකින් තොරව බේරීමට තරම් ඒ වන විට එහි කාර්යයේ නියුතුව සිටි සමහරක් දෙනා වාසනාවන්ත වුණේ නැහැ.

සිද්ධිය සැකෙවින්

මිර් පතල. මෙහි මධ්‍යය සුළු වශයෙන් ජලයෙන් පිරී පැවතීම සාමාන්‍ය තත්ත්වයකි-gemkonnect.com

අල්රෝසා සමාගම රුසියවේ විශාලම දියමන්ති ප්‍රමාණයක් නිෂ්පාදනය කරන සමාගමයි. මෙහි දියමන්ති නිෂ්පාදනයෙන් ලැබෙන ආදායමෙන් 11%ක් ලැබෙන්නේ නැඟෙනහිර සයිබීරියාවේ පිහිටා ඇති ‘මිර්’ නම් පතලෙනුයි.. මෙහි එළිමහන් ප්‍රදේශවල හා දෝනා යන දෙකෙහිම දියමන්ති ඉල්ලම් සෙවීම සිදු වෙනවා. ක්‍රි.ව 2017 අගෝස්තු මස 4 වැනිදා අළුයම 4.30 ට පමණ හදිසියේම මේ සුවිශාල පතල ජලයෙන් පිරී ගියා. මේ ගංවතුර තත්වය ඇති වන විට මිනිසුන් 151 ක් මෙහි සේවයේ නිරතව සිටියා. විශේෂයෙන් දෝනා වල රාජකාරි කරමින් සිටි සේවකයන්ට මේ නිසා ජීවිතය හා මරණය අතර සටනක් කිරීමට සිදු වූ අතර ඉක්මණින්ම ක්‍රියාත්මක වීමෙන් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් වල මුල් අදියර කිහිපයේදී මේ 151 න් 16 දෙනෙකු හැර අනික් සියල්ලන්වම ගලවා ගැනීමට හැකි වුණා.

ගලවාගැනීමේ මෙහෙයුම් යුහුසුළුව ක්‍රියාත්මක වෙමින්-rferl.org

කිහිප විටක් උත්සාහ කළද දින කිහිපයක් අවසන් වෙද්දීත් සෝදිසි කණ්ඩායම් වලට මුදවා ගැනීමට හැකිවුණේ මුලින්ම අතුරුදහන් වූවායැයි සැළකුණු 16 දෙනාගෙන් 8 දෙනෙක් පමණයි. මෙසේ ඇති වූ ගංවතුර තත්වය සම්පූර්ණයෙන් බැස ගියේ දින 4 කට පසුවයි. ඉතිරි 8 දෙනාගේ ජීවිත බේරා ගැනීමට කොතෙක් උත්සාහ කළත් ඔවුන්ගේ එම උත්සාහයන් ව්‍යර්ථ වුණා.

අල්රෝසා සමාගම හා යකුට්ස්ක් හි දියමන්ති පිළිබඳ ඉතිහාසය

රුසියාව සිය නිජබිම කරගත් ‘අල්රෝසා’ සමාගම ලොව විශාලතම දියමන්ති කණින සමාගමයි. 2017 වර්ෂය වන විට වසර 60 කට වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියූ එය දියමන්ති කැණීමට පමණක් නොව ගවේෂණය හා විකිණීමටත් ප්‍රසිද්ධියක් උසුළනවා.

මුළු ලෝකයෙන්ම ඉතාම ශීතල ප්‍රදේශයක් වන යකුට්ස්ක් හි පළමු දියමන්තිය වාර්තා වෙන්නේ 1949 වසරේදීයි. අල්රෝසා සමාගමේ පළමුවැනි දියමන්ති පතලට 1954 වසරෙදී මූලික අඩිතාලම වැටුණු අතර ඊට වසරකට පසු ‘මිර්’ පතලට අයත් දියමන්ති ඉල්ලමත් සොයාගනු ලබනවා. 1967 වසරෙන් ඇරඹෙන පසුගිය වසර 50 තුල මේ සමාගම දියමන්ති සහිත පස් ටොන් මිලියන 350ක පමණ කැණීම් සිදුකර ඇති අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 80ක් පමණ වටිනා දියමන්ති ඒ තුල අන්තර්ගත වී ඇති බවට ගණන් බලා තිබෙනවා.

රුසියානු දියමන්ති -Reuters

අල්රෝසා සමාගමට අයත් මිර් පතලෙන් පමණක් 1960 දශකයේදී කැරට් මිලියන 10 ක දියමන්ති වාර්ෂිකව නිපදවා තිබෙනවා. එය කිලෝග්‍රෑම් 2000 ක බරකට සමාන වෙනවා.එයින් 20% ක් පමණ හොඳම තත්ත්වයේ ඒවා. මේ පතලේ උඩ කොටසේ පස් ටොන් 1ක සාමාන්‍ය වශයෙන් දියමන්ති ග්‍රෑම් 0.8ක් පමණ අන්තර්ගතව තිබූ බව කියැවෙනවා. මෙය ඉතා ඉහළ අගයක්. මෙහි හමු වූ විශාලම තනි දියමන්තිය ග්‍රෑම් 68ක් බරැති එකක් වුණා.

මිර් පතලෙන් මෙතෙක් හමු වූ විශාලම දියමන්තිය-techeblog.com

අනතුරට පසුබීම සැකසුම

නැඟෙනහිර සයිබීරියාවේ මිර්නි නම් කුඩා නඟරය ආසන්නයේ පිහිටා ඇති මිර් දියමන්ති ආකරය වසර 60 ක ඉතිහාසයකට උරුම කම් කියන අතර 1950 දශකයේ මැද භාගයේ සමාරම්භ වූවක්. ආරම්භයේ දී එළිමහන් පතලක් ලෙස ක්‍රියාත්මක වුණු මෙය 2004 වසරේදී වසා දැමුණත් වර්තමානය වන විට නැවත ක්‍රියාත්මක වී තිබෙන්නේ දෝනා ඔස්සේද කැණීම් ආරම්භ කරමිනුයි. මේ පතල මීටර 525ක් ගැඹුරු හෙවත් ලොව සිව්වැනියට ගැඹුරුම පතල වන අතර ලොව දෙවනුවට විශාලම , මිනිසුන් විසින් පොළොව මත හාරන ලද සිදුර බවට පත් වී තිබෙන්නේ එහි විෂ්කම්භය මීටර 1200ක් දක්වා විහිදී ඇති නිසායි. මෙය ලොව විශාලතම විවෘත සිදුරු දියමන්ති ආකරය ලෙස හැඳින්වෙනවා.

1955 වසරේදී රුසියානු භූගර්භ විද්‍යාඥයින් තිදෙනෙකු වන යූරි ඛබර්ඩින්, එකටෙරිනියා එලගිනා හා වික්ටර් අව්ඩින්කෝ විසින් මෙහි කිම්බර්ලයිට් පාෂාණ ඇති බව සොයාගත්තා. සාමාන්‍යයෙන් දියමන්ති ඇති වන ස්ථාන තදාසන්නව පිහිටන, ගිනිකඳු වලින් සම්භවය වන මේවා හමු වීමත් සමඟ මෙහි කැණීම් කටයුතු ආරම්භ වුණා.

කිම්බර්ලයිට් පාෂාණයක්-soulfulcrystals.co.uk

මෙම පතලේ සැළකිය යුතු වර්ධනයක් 1957 වසරේ පටන් සිදු වුණු අතර ලොව මින්සුන් වෙසෙන ශීතලම ප්‍රදේශය වන යකුට්ස්ක් ආසන්නයේම පිහිටා තිබෙන නිසා නිරන්තරයෙන්ම පාහේ මෙය අධික ශීතලෙන් බැට කනවා. සාමාන්‍යයෙන් වසරේ මාස 7ක් පමණ මෙහි භූමිය සම්පූර්ණයෙන් පාහේ ශීතලට මිදී යන්නේ කැණීම් කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල කරමින්. ග්‍රීෂ්ම කාලයේදී මේ තත්ත්වය ඉහිල් වූවත් මෙහි පස වගුරු ස්වභාවයක් ගන්නේ එකතු වූ හිම දිය වී යාම නිසායි. මෙහි ගොඩනැඟිලි මේ නිසා අට්ටාල වැනි සැකසුම් උඩ ඉදි කර ඇති අතර පොළොවේ මේ ස්වභාවය නිස හා අධික ශීතල නිසා මෙහි ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය මීට කිලෝමීටර 20ක් පමණ ඉවතින් ඉදි කර තිබෙනවා. මීට පෙර විශාල ජල අනතුරු වාර්තා වී නොතිබුණද ලෝකයේ අනෙකුත් පතල් සැළකීමේදී මෙහි එවැන්නකට අතීතයේ සිටම වැඩි නැඹුරුතාවයක් තිබුණා.

ශීත කාලයේදී හිමෙන් වැසුණු මිර් පතල- avax.news

පසු කළෙක පතල ගැඹුරට කණින විට මීටර් 340 සීමාවේදී ජලය මතු වීම නිසා එයට වඩා කැණීම අපහසු වුණා. මේ නිසා  දෙවන වර මේ පතල මෑතදී විවෘත කළ විට දෝනා යවා ඉල්ලම් හෑරීමට වැඩි නැඹුරුතාවයක් දක්වනු ලැබුවා. ඉන් පසු බොහෝ විට මෙහි පත්ලේ ජලය රැඳී තිබුණු අතර යම් යම් මට්ටම් වලින් එහි වෙනස්කම් සිදු වුණත් පසුගියදා එක්වරම එහි මට්ටම සැළකිය යුතු ලෙස ඉහළ යන තුරු එය ජීවිත හා දේපල තර්ජනයක් එල්ල කරන තත්වයක් ලෙස පෙන්නුම් කළේ නැහැ.

මිර් පතලේ මැද කොළ පැහයෙන් පෙනෙන්නේ සමාන්‍ය ලෙස ජලය පවතින මට්ටමයි- raredelights.com

අනතුර පිළිබඳ පසු විපරම

ගංවතුරෙන් හානි වූ දෝනා මැදින් අතුරුදන් වූවන් සොයන ගැලවුම්කරුවන්-Yakutia media

හදිසියේ ඇති වූ මේ අනතුර ඇති වීමට නියම හේතුව සොයාගැනීමේ පරීක්ෂණ මේ ලිපිය ලියන අවස්ථාව වන විටත් පැවැත්වෙමින් තිබෙනවා. මේ වන විට ලැබී ඇති සාක්ෂි අනුව මේ පතලේ ප්‍රධාන ආවාටය තුළ ඇති අත්හැර දමන ලද කුඩා ආවාටයකින් මේ පාලනයකින් තොර වූ ජල කඳ පැමිණ තිබෙනවා. අල්රෝසා සමාගම පවසන පරිදි බෙහෝ විට මෙය ‘අනතුරක්’ ලෙස පෙනෙන ආකාරයට හිතාමතා කළ කඩාකප්පල්කාරි ක්‍රියාවක් විය හැකියි. අල්රෝසා සමාගම අප්‍රිකාවටත් මෑතකදී ව්‍යාප්ත වීම නිසා සමහරුන්ගේ ඊර්ෂ්‍යාවට ලක් වී තිබෙන්නට ඇතුවාට සැක නැහැ. අද වන විටත් මිය ගියායැයි සැළකෙන, අතුරුදන් වූවන්ගේ සිරුරු හමු වී නැහැ. රුසියානු රජයත් මේ වන විට මේ සිද්ධිය වෙනුවෙන් අපරාධ පරීක්ෂ්ණයක් පවත්වන අතර මෙතෙක් කල් ලොව ඇති හොඳම ආරක්ෂාවක් සහිත පතලක් ලෙස සැළකුණු මිර් දියමන්ති පතළේ සිදු වූ මේ ඛේදවාචකය රුසියානු ජාතිකයන් පමණක් නොවේ ලෝකයේ දියමන්ති වෙළඳපොලත් මදකට සසළ කළා.

කවරයේ පින්තූරය -crashmacduff.wordpress.com

Related Articles