Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමෙරිකානු ඉතිහාසයේ කළු පැල්ලම – වෝටර්ගේට් අපවාදය

ඇමෙරිකානු ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකු මුහුණ දුන් ආන්දෝලනාත්මක සහ අපකීර්තිමත් සිදුවීමක් ලෙස සැලකෙන වෝටර්ගේට් අපවාදය පිළිබඳවයි මෙම ලිපියෙන් විස්තර වන්නේ.

වියට්නාම් යුද්ධය, පෙන්ටගන් පත්‍රිකා වැනි එකිනෙක හා බැඳුනු සිදුවීම් සමූහයක් වෝටර්ගේට් අපවාදය හා සම්බන්ධ වූවත්, මෙම සිදුවීමේ ආරම්භය ලෙස සැලකෙන්නේ වොෂින්ටනයේ වෝටර්ගේට් සංකීර්ණයේ පිහිටා තිබූ ඩිමොක්‍රටික් ජාතික කමිටු (DNC)  ගොඩනැගිල්ලක සිදු වූ සොරකමක්.

සිදුවීම් දාමයක ආරම්භය

ඒ 1972 වර්ෂයයි. ඇමෙරිකාවේ එවක ජනාධිපතිවරයා වූයේ තිස් හත් වෙනි ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ රිචඩ් එම්. නික්සන්. මේ සමයේ දී මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට කටයුතු සංවිධානය වෙමින් පැවතුණා. මේ සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා වශයෙන් නැවත වරක් ඉදිරිපත් වූයේ රිචඩ් නික්සන් ජනාධිපතිවරයා.

රිචඩ් නික්සන් ජනාධිපතිවරයා. (wikiwand.com)

වියට්නාම යුද්ධය හා සම්බන්ධ මතවාද නිසා රට තුළ පැහැදිලි පිල් බෙදීමක් දක්නට ලැබුණු නිසා, නැවතත් රිචඩ් නික්සන් ජනාධිපතිවරයා පත් කර ගැනීමට නම් දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවය නික්සන්ගේ මැතිවරණ සංවිධායකයන් (Nixon’s Committee to Re-Elect the President හෙවත් CREEP) අවබෝධ කර ගෙන සිටියා.

එනිසා පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් 1972 මැයි මස වෝටර්ගේට් සංකීර්ණයේ පිහිටා තිබූ DNC කාර්යාලයට හොරෙන් ඇතුල් වී අතිශය රහසිගත ලිපිගොනු සොරා ගෙන දුරකථන මාර්ග ටැප් කරනු ලබනවා.

වෝටර්ගේට් සංකීර්ණය (history.com)

මෙම කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් තිදෙනෙක් කියුබානු ජාතිකයන්. එක් අයෙක් ඇමෙරිකානුවෙක් සහ අනෙකා CIA නියෝජිතයෙක්.

නමුත් මෙම ටැප් කිරිම නිසියාකාරයෙන් සිදු නොවූ නිසා නැවතත් ජූනි මස 17 වන දින හිමිදිරියේ පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නැවතත් වෝටර්ගේට් ගොඩනැගිල්ලට ඇතුල්වන්නේ නව මයික්‍රොෆෝනයක් පවා සවි කිරීමේ අදහසින්. නමුත් විමසිලිමත් මුර භටයෙකුගේ ක්‍රියාව නිසා මොවුන් පොලිස් අත්අඩංගුවට පත් වෙනවා.

මුලින්ම මොවුන් ජනාධිපතිවරයා හා සම්බන්ධ බව හෙළි නොවූවත් පසුව පරීක්ෂණ  කටයුතු කරගෙන යාමේ දී ධවල මන්දිරය හා සම්බන්ධ දුරකථන අංක සැකකරුවන් සතුව තිබී හමු වෙනවා. නමුත් අගෝස්තු මාසයේ දී නික්සන් මේ සම්බන්ධව තමාගේ නිර්දෝශීභාවය ඉදිරිපත් කරමින් කතාවක් සිදු කරනවා. ඔහුගේ බොහෝ අනුගාමිකයන් ඔහුව විශ්වාස කරන අතර 1972 නොවැම්බර් මාසයේ නැවතත් රිචඩ් නික්සන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වෙනවා.

නීතිය අයථා ලෙස ක්‍රියාවේ යෙදවීම

පසුව හෙළි වන පරිදි නික්සන් මුල සිටම අවංකව  කටයුතු කර තිබුනේ නැහැ. සොරකමට සම්බන්ධ වූ පස් දෙනාට එයින් දින කිහිපයකට අති විශාල මුදල් සම්භාරයක් ලැබෙන්නට සලස්වනවා. එසේම මෙම සිදුවීම සම්බන්ධව කටයුතු කරමින් සිටි FBI නියෝජිතයන්ගේ ක්‍රියාවන් වැලැක්වීමට CIA නියෝජිතයන් යොදවනවා. මෙය සොරකමටත් වඩා බැරෑරුම් අපරාධයක් යටතට ගැනෙන අතර ජනාධිපති වරයා සතු බලතල අයථා ලෙස යෙදවීමක්.

බොබ් වුඩ්වර්ඩ් සහ කාර්ල් බර්න්ස්ටීන් ගේ මෙහෙයුම

ටිකෙන් ටික සිදු වීමේ උණුසුම මැකී යන ලෙස කරුණු සිදු වූවත්, එවක වොෂින්ටන් පෝස්ට් හි වාර්තාකරුවන් දෙදෙනෙකුව සිටි බොබ් වුඩ්වර්ඩ් සහ කාර්ල් බර්න්ස්ටීන් ඇතුළු තවත් පිරිසක් මෙම සිදු වීම යටපත් වීමට ඉඩ දුන්නේ නැහැ. ඔවුන් විශ්වාස කළා මෙහි මතුපිටින් පෙනෙනවාට වඩා වැඩි යමක් ඇති බවට. මෙහිදී නික්සන්ගේ වෝටර්ගේට් හා සම්බන්ධ සෘජු මැදිහත් වීම පිළිබඳවත්, මෙම සම්පූර්ණ ක්‍රියාදාමය හා ජනාධිපතිවරණ ප්‍රචාරණ  කටයුතු සඳහා අයථා අන්දමින් උපයන ලද මුදල් භාවිතා කළේ ද යන වග පිළිබඳවත් ඔවුන් විසින් සැක සාංකා මතු කළා.

බොබ් වුඩ්වර්ඩ් (දකුණේ) සහ කාර්ල් බර්න්ස්ටීන් (වමේ) (time.com)

එසේම මෙම සිදුවීමට අදාල ඇතැම් රහසිගත තොරතුරු මොවුන්ට ලැබෙනවා. ඒ Deep throat යන අන්වර්ථ නාමයකින් හඳුන්වා ගත් අයෙකුගෙන්. සිදු වීමෙන් වසර තිහකට පසු හෙළිදරව් වන පරිදි, Deep throat යනු එවක FBI හි නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙක් ව සිටි W මාර්ක් ෆෙල්ට්.

මාර්ක් ෆෙල්ට් (nypost.com)

ඉහළම පීඩනය

මේ විමර්ශනත් සමඟ ඇති වූ පීඩනයන් නිසා අදාල සිදුවීමට සම්බන්ධ ඇතැම් පාර්ශවයන්ගේ නික්සන් කෙරේ තිබූ පක්ෂපාතීත්වය ගිලිහෙන්නට පටන් ගන්නවා. නික්සන්ගේ ආධාරකරුවන් පිරිසක් විසින් නික්සන්ට විරුද්ධව සාක්ෂි දීමට පෙළඹෙනවා. එසේම ඔවුන් ප්‍රකාශ කර සිටිනවා නික්සන් විසින් ඕවල් කාර්යාලයේ සිදු වූ සාකච්ඡා සියල්ල පටිගත කර ඇති බවත්, එම හඬ පට ලබා ගත හැකි නම් නික්සන්ගේ වරදකාරී බව ඔප්පු කළ හැකි බවත්.

නමුත් නික්සන් විසින් මෙම හඬ පට ලබා දීම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. අවසානයේ දී ඔහු තමා සතුව ඇති බලතල පාවිච්චි කරමින් එම හඬ පට තමා වෙත රඳවා ගැනීමට උත්සාහ දරනවා. නමුත් නීති ක්‍ෂේත්‍රයේ ඉහළ නිළධාරින් කෙසේ හෝ එය ලබා ගන්නට උත්සාහ දරනවා. මෙය අවසන් වන්නේ ජනාධිපති විසින් ඇතැම් නිලධාරින් සේවයෙන් පහ කීරීමෙනුත්, එයට සමස්ත නීතිය හා සම්බන්ධ නිළධාරීන්ගේ අප්‍රසාදය යොමු වීමෙනුත්.

අවසානයේදී නික්සන් සියළුම හඬ පට නැතත් කිහිපයක් පමණක් දීමට එකඟත්වය පල  කරනවා. නික්සන් හඬ පට 9ක් ලබා දීමට එකඟ වූවත්, ලබා දෙන්නේ 7ක් පමණයි. එයිනුත් එකක විනාඩි දහ අටක පමණ කාල අන්තරයක් තිබෙනවා. මෙය අත්වැරදීමක් විය නොහැකි බව සලකා අවසානයේ දී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නික්සන් හට නියෝග කරනවා එම හඬ පට පරීක්‍ෂන කටයුතු සඳහා ලබා දෙන ලෙසට.

අවසානයේ නීත්‍යානුකූලව කටයුතු නොකිරීම, බලය අයථා ලෙස පරිහරණය, අපරාධ වසන් කිරීම යන වරදවලට නික්සන්ට චෝදනා එල්ල වෙනවා.

1974 අගෝස්තු මස 5 වන දින මෙම හඬ පට මුදා හැරෙනවා. එයින් වෝටර්ගේට් සිද්ධිය හා සම්බන්ධව නික්සන්ගේ ඇති සම්බන්ධතාවය තහවුරු වෙනවා. අගෝස්තු 8 වෙනි දින ඔහු ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වෙනවා.

නව ජනාධිපති පත්වීම

උප ජනාධිපති වශයෙන් සිටි ජෙරාඩ් ෆෝඩ් මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඒ නික්සන්ගේ ඉල්ලා අස් වීමෙන් සති හයකට පමණ පසුව. ඔහු හිටපු ජනාධිපතිවරයාට සම්පූර්ණ සහ කොන්දේසි විරහිත සමාව ලබා දෙනවා. නමුත් නික්සන්ගේ ආධාරකරුවන් එතරම් වාසනාවන්ත වන්නේ නැහැ. ඔවුන් කළ වැරදි වලට දඬුවම් ලබනවා.

ජෙරාඩ් ෆෝඩ් (wikipedia.org)

වෝටර්ගේට් සිදුවීම පිළිබඳ ව විවිධ මතවාද තිබෙනවා. ඇතැමුන් එය නික්සන් ජනාධිපතිවරයා උගුලක සිර කිරීමට කළ කුමන්ත්‍රණයක් බවත් පවසනවා. කෙසේ නමුත්, මෙම වෝටර්ගේට් සිදුවීම ඇමෙකාව පමණක් නොව ලෝකය පුරාම ආන්දෝලනයකට ලක්වූ සිදුවීමක්. එසේම මෙම සිදු වීම අලලා නිපදවූ චිත්‍රපටි විශාල ගණනක් තිබෙනවා. මෙම සිදුවීම නිසා ජනාධිපතිවරයාගේ පාරිශුද්ධත්වය කෙරෙහි ජනතා අවධානය යොමු වීම ආරම්භ වුණා. එය අවසානයේ වූ යහපත් ප්‍රතිඵලයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

කවරයේ පිංතූරය –  usnews.com

Related Articles