ප්‍රවෘත්ති සහ වාර්ථාමය

විනාඩි 3 ක කියවීමක්

උතුරු කොරියානු රජය මෙතරම් “කයිවාරු” ගහන්නේ ඇයි?

Published

විනාඩි 3 ක කියවීමක් to read

Search Icon Search Icon Search Icon

උතුරු කොරියානු රජය කාලෙන් කාලයට, ඇමරිකා එක්සත් ජනපදයට, දකුණු කොරියාවට වගේම ඇතැම් විට ජපානයටත් විවිධාකාරයේ තර්ජනයන් කරනු ලබනවා. මෙම තර්ජනයන්, විශේෂයෙන්ම ඇමරිකාවට එරෙහිව කරන තර්ජනයන්, ඇතැම් අවස්ථාවලදී හාස්‍යජනක යයි සිතෙන්නත් පුලුවන් තරම්. එහෙත් උතුරු කොරියානුවන් මෙසේ තර්ජන ගර්ජන සිදු කරන්නේ තමන්ගේ තරම නොදැනය යන්න සිතීමට අමාරු කරුණක්.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට පත් වූ පසු කොරියානු අර්බුදය යළිත් හිස එසවූවා. ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් දකුණු කොරියාවේ සංචාරය කිරීමෙන් දින කිහිපයකට පසු, මෙම වසරේ පෙබරවාරි 12 වනදා, උතුරු කොරියාව විසින් බැලිස්ටික් මිසයිලය අත්හදා බැලීමක් සිදු කරනු ලැබුවා. ඉන් මාසයකට පමණ පසු, මාර්තු 6 වනදා, උතුරු කොරියාව විසින් මිසයිල හතරක් එක විට ජපන් මුහුද දෙසට එල්ල කරමින් කලාපයේ උණුසුම් තත්ත්වය තවත් ඉහළ දැමීමට කටයුතු කළා.

මේ සමඟම ඇමරිකා එක්සත් ජනපදය එක් පසෙකින් ජපානය, චීනය සහ දකුණු කොරියාව සමඟ මෙම ගැටලුව පිළිබඳ සාකච්ඡා කරන ගමන්, කලාපයේ හමුදා ශක්තිය තර කිරීමටත් කටයුතු කළා.

උතුරු කොරියානු හමුදා ශක්තිය

උතුරු කොරියාවේ පළමු නායකයා මෙන්ම එරට ව්‍යවස්ථාවට අනුව සදාතනික නායකයා වන කිම් ඉල් – සුංගේ 105 වන උපන් දින සංවත්සරය යෙදී තිබුණේ පසුගිය අප්‍රේල් 15 වනදා. එදින්, සෑම වසරකම මෙන්, විශාල හමුදා ආචාර පෙළපාලියක් උතුරු කොරියානු අගනගරය වන ප්‍යොංග්‍යෑංග් නගරයේදී පවත්වනු ලැබුණා. මෙහිදී ඔවුන් සිය හමුදා සතු මිසයිල ද ප්‍රදර්ශනය කළා.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කළේ මෙම මිසයිල ව්‍යාජ ඒවා යයි නොපෙණුන බවත් මෙහි සැබෑ තර්ජනයක් ඇති බවත්. විශේෂයෙන්ම ජංගමගත රඳවනවල සිට නිකුත් කළ හැකි මිසයිල ද මෙහිදී ප්‍රදර්ශනය කිරීම පිළිබඳව එම ලිපිය විශේෂ අවධානයක් යොමු කළා. යම් කිසි අයුරකින් යුද්ධයක් හටගතහොත් මෙම රඳවන සොයාගැනීම අපහසු වන බව එයින් පෙන්වා දුන්නා.

ඒ වගේම උතුරු කොරියාව සතු බැලිස්ටික් මිසයිලවලට පහසුවෙන්ම ජපානය සහ දකුණු කොරියාව වැනි රටවලට ළඟා විය හැකියි. බීබීසී ලෝක සේවය සඳහන් කරන පරිදි උතුරු කොරියාව සතු තඑපෙඩොන්ග් මිසයිලයට ඇමරිකා එක්සත් ජනපදයේ ඇලස්කාව වෙත ළඟා වීමේ හැකියාව තිබෙනවා.

උතුරු කොරියානු මිසයිල සහ ඒවාට ළඟා විය හැකියය් සිතන උපරිම දුර (BBC)

ඊට අමතරව උතුරු කොරියාව සතු විශාල යුධ ශක්තියක් තිබෙනවා. එහෙයින් යම් හෙයකින් යුද්ධයක් ඇති වුවහොත් උතුරු කොරියාවේ සිට දකුණු කොරියාවේ අගනුවර වන සෝල් නගරයට පහර දීමට හැකි අවි උතුරු කොරියානුවන් සතුව තිබෙනවා.

මේ අතර උතුරු කොරියානුවන් සතුව න්‍යෂ්ඨික අවි තිබේ ද, එසේ නම් ඒ කොපමණක් ද යන්න ද පිටස්තර ආණ්ඩු හරිහැටි දන්නා බවක් පෙනෙන්නේ නැහැ.

උතුරු කොරියානුවන් නිරන්තරයෙන් සිය හමුදාමය හැකියාවන් පිළිබඳ වහසිබස් දොඩවන අතර මෑතදී කළ එවන් එක් ප්‍රකාශයක් වූයේ ඇමරිකානු ගුවන් යානා ගෙනයන යුධ නෞකාවක් එක පහරින් විනාශ කරන බවයි.

මෙම ප්‍රකාශය බටහිර මාධ්‍ය ගණනාවක් විසින් විශේෂ ප්‍රමුඛතාවයක් දී වාර්තා කෙරුණා.

වහසි බස් දොඩන්නේ කා සඳහාද?

නමුත් මෙහිදී බොහෝ මාධ්‍යවලට අමතක වූ හෝ ඔවුන් ඕනෑකමින් අමතක කළ හෝ කරුණක් වූයේ උතුරු කොරියානු රජය මෙම ප්‍රකාශය කළේ කොතැනකද යන්නයි. ඔවුන් මෙම ප්‍රකාශය පළ කර තිබුණේ ඔවුනගේ රජයේ පුවත්පතකයි.

බොහෝ උතුරු කොරියානුවන්ට තොරතුරු දැනගැනීමට ඇති එකම මාර්ගය රජයේ මාධ්‍ය පමණයි. පිටරටින් එන තොරතුරු කිසිවක් ඔවුනට ලැබෙන්නේ නැහැ. අපට උතුරු කොරියානුවන් මෙන්ම අනෙකුත් රටවල නායකයන් ද මෙම ප්‍රශ්න පිළිබඳ දරන මතයන් පෙනෙන අතර ම එක් එක් රටවල හමුදා ශක්තීන් පිළිබඳ දළ අදහසක් අපට තිබෙනවා. මක් නිසාද යත් අවශ්‍ය නම් ඒ පිළිබඳ අඩු තරමේ සමහර තොරතුරුවත් ලබා ගැනීමට ක්‍රම අප සතුව ඇති බැවින්. නමුත් උතුරු කොරියානුවන්ට එවන් ක්‍රමවේදයක් නැහැ.

උතුරු කොරියානු හමුදා පෙළපාලියක් (Sputnik)

මේ හේතුවෙන්, උතුරු කොරියානුවන් පවසන ඇතැම් කරුණු, විශේෂයෙන් ම රාජ්‍ය මාධ්‍ය ඔස්සේ පවසන කරුණු, බොහෝ අවස්ථාවල එරට ජනයා නොමග යැවීම උදෙසා කරන ප්‍රකාශයන් බව කිව යුතුයි.

රජයේ ප්‍රචාරයන් ජනතාව විශ්වාස කරන්නේද නැත්ද යන්න පිළිබඳ අදහසක් ගැනීමට ක්‍රමයක් පිටස්තරයින්ට නැහැ. නමුත් ජනතාවට වෙනත් තොරතුරු දැන ගැනීමේ මාධ්‍යයක් නොමැති හෙයින්, ඒ බොහෝ දෙනා දන්නේ රජය ප්‍රකාශ කරන දේ පමණක් බව සිතන්නට පුලුවනි.

තම ශක්තිය පෙන්වීම

උතුරු කොරියාවේ “කයිවාරු” බොහොමයක් තම රටේ ජනයා ඉලක්ක කරගෙන කරන ප්‍රකාශ වුවත්, ඔවුන් සිය හමුදා ශක්තිය වර්ධනය කරන බව පැහැදිලි කරුණක්. උතුරු කොරියාව තම හමුදා ශක්තිය, න්‍යෂ්ඨික බලය සහ මිසයිල ශක්තිය වර්ධනය කරගන්නට තවත් හේතුවක් තිබෙනවා. ඒ බව මුලින්ම ප්‍රකාශ කළ උතුරු කොරියානු නායකයා වන්නට ඇත්තේ කිම් ජොංග් – ඉල් හෙවත් වත්මන් නායක කිම් ජොංග් – අන්ගේ පියා.

උතුරු කොරියාව පිළිබඳ පොත් කිහිපයක් ලියා ඇති පෝල් ෆ්‍රෙන්ච් සිය “North Korea: The Paranoid Peninsula” නම් කෘතියෙහි මෙවන් අවස්ථාවක් ගෙන හැර දක්වනවා. වරක් කිම් ජොංග් – ඉල් ප්‍රකාශ කර තිබෙන්නේ තමන් සිය යුධ ශක්තිය වර්ධනය කරගන්නට උත්සාහ කරන්නේ එවිට ලෝකය තමන් ව “ගණන් ගන්නා” නිසාවෙන්.

දකුණු කොරියාවේ යොන්සෙයි සරසවියේ මහාචාර් ය ජෝන් ඩෙලුරි බීබීසී සේවය සමඟ මීට කළකට පෙර ප්‍රකාශ කර තිබුණේ ද මෙවන් අදහසක්. උතුරු කොරියාව උත්සාහ කරන්නේ ධවල මන්දිරයේ අවධානය දිනා ගැනීමට බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම නිතරම විවිධාකාර ප්‍රකාශ නිකුත් කළ ද, යම් කිසි බරපතල ක්‍රියාවක් සිදු කිරීමට පළමුව ඒ පිළිබඳ පැහැදිලි අනතුරු ඇඟවීමක් සිදු කිරීමට උතුරු කොරියාව කටයුතු කර ඇති බව ද ඩෙලුරි ප්‍රකාශ කරනවා.

මේ අතර ඩොයිෂ වෙල්ලෙ මාධ්‍ය ආයතනයේ ඇලෙක්සැන්ඩර් ෆ්‍රොයින්ඩ් මීට මාස කිහිපයකට පෙර ලියූ ලිපියක කියා සිටියේ උතුරු කොරියානු මිසයිල අත් හදා බැලීම් වාර්ෂික සම්ප්‍රදායක් මෙන් වී ඇති බවයි.

උතුරු කොරියානු හමුදා පෙළපාලියක් (CNN)

කළකට පෙර, විශේෂයෙන්ම බිල් ක්ලින්ටන් සහ බැරක් ඔබාමාගේ පාලන කාළවලදී උතුරු කොරියානුවන් සිය න්‍යෂ්ඨික වැඩපිළිවෙල කේවල් කිරීමට යොදාගත්තා. ඔවුනට ආධාර අවශ්‍ය වූ විට ආධාර ලබා දෙන්නේ නම් න්‍යෂ්ඨික වැඩපිළිවෙල අත්හැර දමන්නට කැමති බව ඔවුන් ප්‍රකාශ කළා. ඒ පමණක් නොව, 1990 දශකයේදි ඔවුන් න්‍යෂ්ඨික අවිහරණ ගිවිසුමට පවා එළඹුණා.

නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡාමය විසඳුමක් වෙත යාමට ඉඩකඩ අඩු බැවින් උතුරු කොරියාව එවැනි පියවරක් ගනු ඇතැයි සිතන්නට අපහසුයි. දැන් උතුරු කොරියානුවන් කරන්නේ තම ශක්තිය පෙන්වීමේ ක්‍රියාවලියක් බව කිව හැකියි.

අනෙක් අතට උතුරු කොරියාව කෙතරම් වහසි බස් දෙඩුවත් ඔවුන් යුද්ධයකට අර අඳිනු ඇතැයි සිතන්නට අපහසුයි. ඒ එවැනි සිද්ධියකදී ඇමරිකාව ප්‍රමුඛ රටවල ප්‍රතිචාරය ඉතා දරුණු විය හැකි බව ඔවුන් දන්නා බැවිනි.

මේ හේතුවෙන්, මීළඟ සති කිහිපය තුළ උතුරු කොරියානුවන් තව තවත් වහසි බස් දෙඩුවහොත් ඒ පිළිබඳ අප පුදුම විය යුතු නැහැ.

මූලාශ්‍ර

  1. Paul French North Korea: The Paranoid Peninsula: A Modern History (Zed Books, 2005)
  2. Alexander Freund, Opinion: North Korea is testing missiles – and US limits, DW
  3. How potent are North Korea’s threats?, BBC, Sep 15, 2015.

Cover Image: Reuters

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්