ප්‍රවෘත්ති සහ වාර්ථාමය

විනාඩි 8 ක කියවීමක්

කොළඹ ප්‍රවාහන සැලැස්මට ඇතුලත් වෙන්නේ මොනවද?

Published

විනාඩි 8 ක කියවීමක් to read

Facebook Twitter GPlus
Himal Kotelawala

Himal Kotelawala

Staff Writer

English Translation Button Sinhala Translation Button

දේශපාලනික හෝ ආගමික මතභේද වලින් තොරව ලංකාවේ කවුරුත් පිළිගන්න දේවල් හරිම අඩුයි, නමුත් ප්‍රවාහනය පැත්තෙන් ගත්තාම කවුරුත් පිළිගන්න දෙයක් තියනවා. ඒ තමයි ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ බරපතල ප්‍රතිනිර්මාණයක් කරන්න අවශ්‍යයි කියන එක. මේ දවස් වල කොළඹ ප්‍රදේශයේ පාරවල් වල තත්වය බැලුවාම මේක හොඳින් වටහා ගන්න පුළුවන්. දැන් තියෙන තත්වය අනුව කොළඹ ප්‍රධාන පාරවල් වල තැනකින් තැනකට ඉක්මණින් යනවා කියන්නේ හීනයක් විතරයි. අඩු පාඩු බොහොමයක් තියෙන බස් සේවය, හැමදාම පරක්කු වෙන දුම්රිය සේවය වගේම පාරවල් පිරෙන්න වාහන ගොඩ ගැහෙන එකත් තමයි මේකට ප්‍රධාන හේතුව.

කාලයක් තිස්සේ එන්න එන්නම වැඩි වෙන වාහන තදබදයට විසඳුම විදිහට ලංකාවේ පොදු ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍ය බව මේ ගැන දැනුමක් තියෙන කාගේත් ඒකමතික අදහසයි. ටිකක් හිතලා බැලුවොත් ඒ කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා. පොදු ප්‍රවාහන සේවය දියුණුයි නම්, කලට වෙලාවට පහසුවෙන් යන්න පුළුවන් නම්, වැඩි දෙනා කාර් එක බයික් එක ගෙදර තියලා පොදු ප්‍රවාහන සේවයට එකතු වේවි. හැබැයි දැන් තියන තත්වය අනුව නම් බස් එකේ කෝච්චියේ යන්නේ වාහනයක් නැති හරි ඉන්ධන වියදම දරා ගන්න බැරි මිනිස්සුම විතරයි. මේක තමයි තදබදයට ප්‍රධාන හේතුව.

මේ අදහස කොයි තරම් වලංගු වුණත් ඒක ක්‍රියාත්මක කරන එක නම් තවමත් සිදු වෙලා නෑ. ආණ්ඩු කීයකින් මේක කරන්න උත්සාහ කරත් සතුටු වෙන්න පුළුවන් තත්වයක් තවම නැහැ. කොහොම නමුත් මේ සඳහා කරන්න යන මහා පරිමාණ වැඩසටහනක් අනුව මේ තත්වයේ වෙනසක් වේවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

කැබිනට් මණ්ඩලයෙන් පත් කරපු ලංකාවේ ප්‍රවාහනය ගැන ඉහළම දැනුමක් තියෙන විශේෂඥයන් කමිටුවක් මේ ගැන වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන්ගේ යෝජනාව වෙලා තියෙන්නේ මහජනතාව වඩාත්ම ප්‍රිය කරන ප්‍රවාහන මාධ්‍යය වෙනස් කිරීම මගින් වාහන තදබදය අවම කිරීම කියන එකයි. සරලව ගත්තොත් මේකේ අදහස දැනට පෞද්ගලික වාහන නිතර පාවිච්චි කරන පිරිසට පොදු ප්‍රවාහන සේවයට මාරු වෙන එක වඩා හොඳයි කියලා ඒත්තු ගන්වන එකයි. මේ විශේෂඥ කමිටුවේ සාමාජිකයෙක් වන මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය දිමන්ත ද සිල්වා මහත්මයා roar අපිට මේ වැඩපිළිවෙල වැඩිදුර පැහැදිලි කරලා දෙන්න කාරුණික වුණා. ලොකු ප්‍රචාරණයක් ලැබුණ මෙගාපොලිස් ව්‍යාපෘතියේ එක් අංශයක් විදිහට දියුණු කරන්න බලාපොරොත්තු වෙන මේ පොදු ප්‍රවාහනය දියුණු කිරීමේ වැඩසටහන කැබිනට් අනුමැතිය හිමි වීමෙන් පසු අදියර කිහිපයක් යටතේ ඉදිරි වසර ගණනාවක් තුළ ක්‍රියාවට නැංවෙන්න නියමිත වෙලා තියනවා. ඒ ගැන අපේ පාඨකයන් වෙනුවෙන් පැහැදිලි කිරීමක් කරන්න අපි හිතුවා.

ප්‍රවාහන සැලැස්ම

විශේෂඥ කමිටුව ලබා දුන්නු වාර්තාව මගින් ලඟා කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන අභිමතාර්ථ කිහිපය පහතින් දැක්වෙනවා.

  • පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම.
  • මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම.
  • ප්‍රවාහන ඉල්ලුම් කළමනාකරණය. (TDM – Transport Demand Management)
  • පරිසර හිතකාමී ප්‍රවාහනය.

මේ ගැන වැඩිදුර තොරතුරු කිහිපයක්:

සිල්වා මහතාට අනුව විශේෂඥ කමිටුවේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ මගී ජනතාවගේ කැමැත්ත පොදු ප්‍රවාහන සේවය වෙත යොමු කරන්න පුළුවන් ව්‍යුහාත්මක සැලැස්මක් ගොඩ නංවන එකයි. මෙහිදී කාටත් ප්‍රයෝජනවත් වන ක්‍රමවේදයක් යොදා ගැනීම වැදගත් බව ඔවුන් අවධාරණය කරනවා. (බලෙන් පොදු ප්‍රවාහනයට යොමු කිරීම වෙනුවට ඔවුන්ට ඒ ගැන පැහැදීමක් ඇති කරන එක)

වර්ධනය

බටහිර මෙගාපොලිස් සංවර්ධන ව්‍යාපෘතියට අනුව බස්නාහිර ප්‍රදේශය තුළ ඉලක්ක ගත ප්‍රදේශ 12ක් වෙන් වෙන්ව සංවර්ධනය කෙරෙන්න සැලසුම් කරලා තියෙනවා. මේ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වෙන ජනගහණය මීළඟ වසර ගණනාවකදී වෙනස් වෙන්නේ මේ විදිහට කියලයි ගණන් බලා තියෙන්නේ.

අපේක්ෂිත සංවර්ධනය

අපේක්ෂිත සංවර්ධනය

කොළඹ නගරය තුල එක දවසක්…

ජංගමතාවය (mobility)පිලිබඳ දර්ශක.

ජංගමතාවය (mobility)පිලිබඳ දර්ශක.

පොදු ප්‍රවාහන සේවයේ වර්ධනය සිදු වේ යයි 2030 වසර දක්වා ගණන් බලා ඇති ආකාරය

කොළඹ නගර ප්‍රදේශයේ ප්‍රධාන මෙහෙයුම් දර්ශක. (Key Performance Indices - KPI)

කොළඹ නගර ප්‍රදේශයේ ප්‍රධාන මෙහෙයුම් දර්ශක. (Key Performance Indices – KPI)

එන්න එන්නම පෞද්ගලික වාහන පාවිච්චිය වැඩි වුණාට ලංකාව තවමත් පොදු ප්‍රවාහන සේවා භාවිතය අතින් ඉදිරියෙන්ම ඉන්න රටක්. ආචාර්ය සිල්වා මහතාට අනුව ලංකාවේ දැනට පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන 52% ක ප්‍රමාණය ලෝකේ දියුණුම රටවල් එක්ක සලකා බැලුවත් බොහොම ඉදිරියෙන් තියෙන්නේ.

“අපේ රටේ පොදු ප්‍රවාහන සේවය භාවිත කරන ප්‍රතිශතය එන්න එන්නම අඩු වෙනවා. බොහෝ දෙනෙක් හිතන්නේ මේක කාර් ප්‍රමාණය වැඩි වීමේ ප්‍රතිඵලයක් කියලයි. නමුත් ඇත්තටම පොදු ප්‍රවාහන සේවයෙන් ඉවත් වෙන වැඩි දෙනා යොමු වෙන්නේ මෝටර් සයිකල් සහ ත්‍රී වීල් වලටයි. ඉස්සර බොහෝ තැන් වලට ගමන් කරන පිරිස් තමන්ගේ ගමනේ අවසාන කොටස ගමන් කළේ ත්‍රී වීල් එකකින්. අද ඒ තත්වය වෙනස් වෙලා තියෙනවා…” සිල්වා මහතා මෙහෙම කිව්වේ ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය සංවිධානය කරපු සමුළුවක දේශනයක් කරමින්. බටහිර මෙගාපොලිස් ව්‍යාපෘතිය කඩිනම් කරන්න පුළුවන්ද කියන එක තමයි මේ සමුළුවේ මාතෘකාව වෙලා තිබුණේ.

මේ සැලසුමේ වැඩිම අවධානයක් යොමු වෙලා තියෙන්නේ පොදු ප්‍රවාහනය භාවිත කරන ප්‍රතිශතය අඩු වෙන එක වළක්වන්න සුවිශේෂ පියවර කිහිපයක් ගන්න එක ගැනයි. මේකට අයත් වෙන ප්‍රධාන වෙනස් කම් කිහිපයක්ම තියෙනවා.

  1. නවීකරණය කරපු බස් සේවාවක්.
  2. දුම්රිය පද්ධතිය විද්‍යුත්කරණය කිරීම.
  3. වේගවත් මගී ප්‍රවාහන පද්ධතියක්. (RTS – Rapid Transit System)
  4. අභ්‍යන්තර ජලමාර්ග ආශ්‍රිත ප්‍රවාහන පද්ධතියක්. මෙහිදී කොළඹ නගරය පුරා පැතිරිලා තියෙන ඓතිහාසික ඇළ මාර්ග පද්ධතිය ප්‍රයෝජනයට අරගෙන බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කරන්න නියමිතයි.

බස් සේවාව නවීකරණය

ඇමරිකානු ඩොලර් මිලියන 633ක වියදමෙන් බස්නාහිර පළාතේ බස් සේවය නව්‍යකරණය කරන්න නියමිතයි. මේකට අඩංගු ප්‍රධාන අංශ පහතින් දැක්වෙනවා.

  • දොරින් දොරට සේවාව වැඩිදියුණු කිරීම.
  • වැඩිදියුණු කළ ප්‍රවේශයක් සහිත පහසුවෙන් ඉහළ සේවාවක් සැපයීම.
  • දුම්රිය සේවය සහ වේගවත් මගී ප්‍රවාහන පද්ධතිය (RTS) සමග එකට ක්‍රියාත්මක වන සේවයක් ඇති කිරීම.
  • වර්තමාන ප්‍රවාහන සැපයුම්කරුවන් සහ මෙහෙයුම්කරුවන් සැලසුමට එක් කර ගැනීම.

සිල්වා මහතාට අනුව මේකට අදාළ තවත් කරුණු ගණනාවක් තියෙනවා.

  • ආයතන පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීම.
  • සියලුම බස් රථ හා මාර්ග නවීකරණය කිරීම.
  • පහසුවෙන් ගොඩ විය හැකි පහත් පොළවක් සහිත බස් රථ යොදා ගැනීම.
  • බස්රථ වායු සමීකරණය කිරීම, GPS සහ තොරතුරු තාක්ෂණය වැඩිපුර භාවිත කිරීම.
  • ගමන් පථ (Routes) ප්‍රතිසංවිධානය කිරීම.
  • අලුතෙන් නිර්මාණය වන අනිත් ප්‍රවාහන ක්‍රම හොඳින් භාවිතයට ගැනෙන ගමන් පථ හඳුනා ගැනීම.
  • බස් කාල සටහන අලුත් කිරීම.
  • සියලු බස් නැවතුම්පොළ වැඩිදියුණු කිරීම.
  • බස් රථ සඳහා වෙනම වීථියක් වෙන් කිරීම.

දුම්රිය මාර්ග පද්ධතිය විද්‍යුත්කරණය කොට නව්‍යකරණය කිරීම

ලංකාවේ සම්පූර්ණ දුම්රිය සේවයම නව්‍යකරණය කෙරෙන්න නියමිතයි. ඒ යටතේ ඉහළ පරිභෝජනයක් සහිත දුම්රිය මාර්ග කිහිපයක්ම විද්‍යුත්කරණය කරන්නත් යෝජනා වෙලා තියෙනවා. වසර 20ක් පුරා සිදු කෙරෙන මේ සුවිශාල ව්‍යාපෘතියට වැය වන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 3.1ක්. මේ යටතේ දැනට පවතින දුම්රිය මාර්ග කිලෝමීටර් 196ක් විද්‍යුත්කරණය කරන්නත්, අලුතෙන් දුම්රිය මාර්ග කිලෝමීටර් 52ක් ඉදි කරන්නත් නියමිතයි.

විද්‍යුත්කරණය කෙරෙන දැනට පවතින දුම්රිය මාර්ග.

  • පානදුර සිට වේයන්ගොඩ. (පොල්ගහවෙල දක්වා දිගු කරන්න නියමිතයි.) (කිලෝමීටර් 110ක්)
  • රාගම සිට මීගමුව සහ ගුවන්තොටුපල දක්වා. (කිලෝමීටර් 26ක්)
  • කැලණිවැලි දුම්රිය මාර්ගය මුළුමනින්ම. (කිලෝමීටර් 60ක්)

අලුතෙන් ඉදි වන විදුලි දුම්රිය මාර්ග.

  • කොට්ටාව සිට හොරණ (කිලෝමීටර් 22ක්)
  • කැලණිය සිට දොම්පේ හරහා කොස්ගම (භාණ්ඩ ප්‍රවාහනය සඳහා) (කිලෝමීටර් 30ක්)
දුම්රිය මාර්ග නවීකරණය සහ විද්‍යුත්කරණය සිදු වන ප්‍රදේශ.

දුම්රිය මාර්ග නවීකරණය සහ විද්‍යුත්කරණය සිදු වන ප්‍රදේශ.

වේගවත් මගී ප්‍රවාහන පද්ධතිය (RTS). මෙයට සැහැල්ලු දුම්රිය සේවයකුත් (Light Rail Transit -LRT) අයත් වෙනවා

හැම දෙයක්ම සැලසුම් කරපු විදිහටම සිදු වුණොත් මේක ලංකාවේ ප්‍රවාහනය උඩු යටිකුරු කරන ව්‍යාපෘතියක් වේවි. ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක අති විශාල වියදමකින් ඉදි කෙරෙන මේ වේගවත් මගී ප්‍රවාහන පද්ධතිය සමග සැහැල්ලු දුම්රිය සේවයක් (LRT) ක්‍රියාත්මක කරන්නත් සැලසුම් කරලා තියෙනවා. මෙය පැයකට එක් දිශාවකට මගීන් 30,000ක් ප්‍රවාහනය කළ හැකි ධාරිතාවක් ඇතිවයි නිර්මාණය කෙරෙන්නේ. (30,000 Passengers Per Hour Per Direction – pphpd)

ආචාර්ය සිල්වා මහතාට අනුව කලින් යෝජනා වී තිබුණු මොනෝරේල් ව්‍යාපෘතිය වෙනුවට LRT එකක් යොදා ගන්න තීරණය කෙරුණේ හේතු ගණනාවක් නිසා.

  • පොළොව මට්ටමේ මෙහෙයුම් කටයුතු සඳහා වියදම අවම වීම.
  • පොළොව මට්ටමේ නැවතුම්පොළවල් හා අංගන ඉදි කළ හැකි වීම.
  • සමස්ත මෙහෙයුම් වියදම අවම වීම.
  • මොනෝරේල් පද්ධතිය තුළ මාර්ගයකින් මාර්ගයකට මාරු වීමේ අපහසුතා පැවතීම.
  • මොනෝරේල් පද්ධතියක් එක මත එක වැටෙන මාර්ග සහිතව දියුණු කිරීමේ අපහසුතාව.
  • LRT සැපයුම්කරුවන් වැඩි ගණනක් සිටීම.
  • ලොව පුරාම භාවිතයට ගැනෙන ක්‍රමයක් වීම.

බස් රථ යොදා ගැනෙන වේග ප්‍රවාහන ක්‍රමයක් (Bus Rapid Transit – BRT) ක්‍රමයක් යොදා නොගන්න හේතුවත් අපි විමසන්න අමතක කළේ නැහැ. සිල්වා මහතා ඒකට පිළිතුරු දුන්නේ මෙහෙමයි. “BRT ක්‍රමය ඇත්තටම ඉතා ලාභදායක ක්‍රමයක්. නමුත් මේ ප්‍රදේශය තුළ දැනට පවතින මාර්ග එවන් සැලසුමක් දීර්ඝ කාලීන විදිහට වාසිදායක වෙන්න කුඩා වැඩියි.”

කොළඹ ප්‍රධාන නගරබද ප්‍රදේශය ආශ්‍රිතව ඉදි කෙරෙන වේග ප්‍රවාහන පද්ධතිය

යෝජිත RTS පද්ධතිය. රූපය සඳහා තොරතුරු ආචාර්ය දිමන්ත ද සිල්වා මහතාගෙන්.

යෝජිත RTS පද්ධතිය. රූපය සඳහා තොරතුරු ආචාර්ය දිමන්ත ද සිල්වා මහතාගෙන්.

අභ්‍යන්තර ජලමාර්ග ආශ්‍රිත ප්‍රවාහන පද්ධතිය

කොළඹ නගරයේ අතීත පාලකයන් වුණු යුරෝපීය ජාතිකයන් වරින් වර ඉදි කරපු විශාල ඇළ මාර්ග පද්ධතියක් තියෙනවා. කොහොම වුණත් මේ සම්පතෙන් අපි ගන්නා ප්‍රයෝජන නම් ඉතා සීමිතයි. ඒ නිසා මෙගාපොලිස් සැලසුමේ ප්‍රවාහන අංශයට අදාළව කොළඹ නගරය තුල ප්‍රවාහන කටයුතු සඳහා මේ ඇළ මාර්ග පද්ධතිය වැඩිපුර ප්‍රයෝජනයට ගන්න යෝජනා වෙලා තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 125ක වියදමින් මේ ඇළ මාර්ග නවීකරණය කරලා සුවපහසු, ඉක්මන් ප්‍රවාහන ක්‍රමයක් ස්ථාපිත කෙරෙන්න නියමිතයි.

ආචාර්ය සිල්වා මහතාට අනුව අලුතෙන් ඉදි කෙරෙන ගිලෙන්න අවස්ථාවක් නැති බෝට්ටු හා බත්තල මගින් මේ ප්‍රවාහන සේවය නිර්මාණය වෙනවා. මගීන් සඳහා වායු සමීකරණය කරන ලද සුවපහසු, ආරක්‍ෂිත ප්‍රවාහනයකට මග සලසන්න නියමිතයි. ප්‍රධාන මාර්ග පථ තුනක් මේ සඳහා යෝජනා වෙලා තියෙනවා. මහා මාර්ග A,B,C ලෙසත් (A1, B233 වගේ), අධිවේග මාර්ග E (Expressway) ලෙසත් (E1 වගේ) නම් කෙරෙන විදිහටම මේ අභ්‍යන්තර ජල මාර්ග IW (Inland Waterway) ලෙස නම් කෙරෙනවා.

  • වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා (IW1)
  • පිටකොටුව සිට යුනියන් ප්ලේස් දක්වා (IW2)
  • මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වා (IW3)

වැඩි ඉල්ලුමක් ඇති අවස්ථා වලදී මගී ප්‍රවාහනයටත්, අනෙක් අවස්ථා වලදී ස්වභාවික සංචරණය ප්‍රවර්ධනයටත් මේ අලුත් ජල මාර්ග සේවය භාවිතා වෙන්න නියමිතයි.

බහු මාධ්‍ය ප්‍රවාහන අංගන සහ මධ්‍යස්ථාන

මෙමගින් සැලසුම් කෙරෙන්නේ කොළඹ නගර ප්‍රදේශය මධ්‍යයේ බහු මාධ්‍ය ප්‍රවාහන කේන්ද්‍රයක් (Multimodal Transport Hub) ඇති කරන්නයි. මේ තුලින් සියලු ආකාරයේ ප්‍රවාහන මාධ්‍යයන් එක තැනකට ගෙන එනවා. එමගින් ප්‍රවාහනය, සැපයුම්කරණය හා විනෝදාත්මක සංචරණයත් එකට එක් කරන්න සැලසුම් කෙරෙනවා.

මේ බහු මාධ්‍ය ප්‍රවාහන පද්ධතියේ ප්‍රධාන මධ්‍යස්ථානය වෙන්න නියමිත පිටකොටුව සහ කොටුව ප්‍රදේශයයි. මීට අමතරව ප්‍රාදේශීය බහු මාධ්‍ය ප්‍රවාහන අංගන 11ක් ඉදි වෙනවා. හොරණ, කඩුවෙල, කඩවත, පානදුර, මීගමුව, අවිස්සාවේල්ල, ගම්පහ, මීරිගම, රාගම සහ මොරටුව කියන ලාංකීය ආර්ථිකයට වැඩිම දායකත්වයක් සපයන ප්‍රදේශ වල මෙසේ අංගන ගොඩ නංවන්න නියමිතයි.

යෝජිත සංවර්ධන ප්‍රදේශය

යෝජිත සංවර්ධන ප්‍රදේශය

වැඩිදියුණු කරන ලද පාසල් හා කාර්යාල ප්‍රවාහන සේවාවක්

ලංකාවේ මාර්ග තදබදයට වැඩිම දායකත්වයක් දක්වන්නේ මේ අංශ දෙකයි. ආචාර්ය සිල්වා මහතාට අනුව මේ අංශ දෙකේ ප්‍රවාහන කටයුතු වලින් ඇති වන තදබදය අවම කිරීම සඳහා අලුත් නියාමන ක්‍රමවේදයක් ඇති කරන්න නියමිතයි. මේ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව උසස් තත්වයේ, විශ්වාසදායී, කඩිනම් සේවාවක් දොරින් දොරට ක්‍රියාත්මක කරන්න සුදුසු ප්‍රවාහන සේවාවක් සහ නිරීක්ෂණ ක්‍රමවේදයක් ස්ථාපිත කෙරෙනවා. පවතින සිසු සැරිය සේවාව මේ ඔස්සේ වැඩිදුර දියුණු කරන්නත්, පවතින සේවා වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමත් මේ යටතේ සිදු කෙරෙන්න නියමිතයි.

නියාමනය කරන ලද කුලී රථ සේවාවක්

කොළඹ නගරයේ වගේම ඒ අවට ජනාකීර්ණ ප්‍රදේශ වලත් මෙහෙයුම් කටයුතු කරන කුලී රථ සේවා ගණන එන්න එන්නම වැඩි වෙනවා. සිල්වා මහතාට අනුව මේ සියලු සේවා වලින් ගුණාත්මක සේවයක් සැපයීම තහවුරු වෙන විදිහට පොදු හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන්න නියමිතයි.

තොරතුරු තාක්ෂණය මූලික කරගෙන නිර්මාණය කරන මේ ක්‍රමවේදයට නියාමන ආයතනයක් සහ සියල්ලන් අනුගමනය කළ යුතු රීති පද්ධතියක් අයත් වෙනවා. ඒ වගේම දැනට තියෙන ගාස්තු මට්ටම් නැවත සලකා බලා වඩාත් සාධාරණ ගාස්තු පද්ධතියක් ස්ථාපිත කරන්නත් නියමිතව තියෙනවා.

මාර්ග පද්ධතිය සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම

ඇමරිකානු ඩොලර් බිලියන 3.3ක වියදමකින් බස්නාහිර පළාතේ සියලු ප්‍රධාන මහා මාර්ග සහ යටිතල පහසුකම් දියුණු කරන්න අපේක්ෂා කෙරෙනවා. මේ යටතේ අලුත් අධිවේගී මාර්ග ඉදි කරන්නත්, පවතින මාර්ග අවශ්‍යතාවයට අනුව පුළුල් කොට නව්‍යකරණය කරන්නත් නියමිතයි.

අධි වේගී මාර්ග (අලුතෙන් ඉදි වන)

  • කොළඹ සිට මහනුවර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගය.
  • කොළඹ සිට රත්නපුර දක්වා රුවන්පුර අධිවේගී මාර්ගය.

මීට අමතරව මේ අධිවේගී මාර්ග වල අතිරේක දිගු කිරීම් වලින් රට පුරා ප්‍රවාහනය ඉක්මන් කරන්න නියමිතයි, නමුත් මෙගා පොලිස් ව්‍යාපෘතිය යටතේ අලුතින් ඉදි වන්නේ මේ අධි වේගී මාර්ග දෙක පමණයි. ඒවායේ දිගු කිරීම් ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ සිදු කෙරෙනවා.

පවතින මාර්ග පුළුල් කිරීම සහ නව්‍යකරණය

  • පාදුක්ක හා කිරිඳිවැල හරහා හොරණ සිට මීරිගම දක්වා මාර්ගය.
  • මීගමුව සිට දිවුලපිටිය – මීරිගම මාර්ගය
  • ඒකල හා මිනුවන්ගොඩ හරහා ජා ඇළ සිට දිවුලපිටිය දක්වා මාර්ගය.
  • දැනට සිදු කෙරෙන පුළුල් කිරීම් සහ මාර්ග සංවර්ධන අධිකාරිය හඳුනා ගන්නා අනෙකුත් ව්‍යාපෘති පවත්වාගෙන යාම.

නගරබද සීමිත අධිවේගී මාර්ග

  • කැළණිය අලුත් පාලම සිට කොළඹ වරාය දක්වා.
  • බත්තරමුල්ල සිට කැළණිය හරහා කොළඹ වරාය.

පවතින මාර්ග වල වැදගත් හිස් තැන් සම්පූර්ණ කිරීම

  • බේස්ලයින් මාර්ගය දිගු කිරීම.
  • මුහුදුබඩ මාර්ගය (මැරීන් ඩ්‍රයිව්) ගාලු මුවදොර වෙතටත්, අනෙක් පසින් දෙහිවල – ගල්කිස්ස දක්වාත් දීර්ඝ කිරීම.
  • රෝහල් පාර දක්වා ඩුප්ලිකේෂන් මාර්ගය (R. A. ද මෙල් මාවත) දීර්ඝ කිරීම.

ප්‍රවාහන ඉල්ලුම කළමනාකරණය කිරීම

රටේ පවතින මාර්ග වල අධි ඉල්ලුමක් ඇති වී තදබදයන් හට ගැනීම අවම කරන්න ඉල්ලුම කළමනාකරණය කිරීමේ ක්‍රමවේද සකස් කරන්න නියමිතයි. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 196ක වියදමෙන් නව්‍යකරණයක් සහ නියාමන – නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කරන්න නියමිතයි.

මෙම ව්‍යාපෘතියට අයත් වෙන ප්‍රධාන ක්‍රමවේද පහත දැක්වෙනවා

  • වඩාත් නම්‍යශීලී වැඩ කරන වේලාවන් හඳුන්වා දීම.
  • වඩා දියුණු හා ක්ෂණික ක්‍රියාකාරී CCTV පද්ධතියක් ඇසුරෙන් තදබද ඇති වන අවස්ථා වලදී ඉක්මන් ප්‍රතිචාර පද්ධතියක් ඇති කිරීම.
  • රථ ගාල් ඇති කිරීම සහ ඒවා නියාමනය.
  • මාර්ග සංඥා පහන් (Traffic light) පද්ධතිය නව්‍යකරණය සහ ඉල්ලුම අනුව වෙනස් කළ හැකි ස්වයංක්‍රීය පද්ධති ස්ථාපනය කිරීම.
  • ප්‍රවාහන ගලනය (traffic flow) මෙහෙයවීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම.

මාර්ග නිසි පරිදි භාවිත කරන්න සුදුසු මට්ටමකට සංවර්ධනය කෙරුණු පසු (2025 දී පමණ) මාර්ග භාවිතය සඳහා ඉලෙක්ට්‍රොනික ගාස්තු පද්ධතියක් (Electronic Road Pricing – ERP) සකස් කෙරෙන්න නියමිතයි. මේ තුලින් වැඩි ඉල්ලුමක් ඇති මාර්ග වල වඩාත් කාර්යක්ෂම නියාමනයක් සිදු කරන්න යෝජනා කෙරෙනවා.

සාරාංශය

මේ දැවැන්ත ව්‍යාපෘතිය සාරාංශ කරනවා නම් ආචාර්ය සිල්වා මහතාගේ සැලැස්මට අනුව පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම තමයි වැදගත්ම දේ වෙන්නේ. නව්‍යකරණය කළ පසු දුම්රිය මාර්ග ඔස්සේ ඉහළ ධාරිතාවයකින් මගීන් ප්‍රවාහනය කෙරෙන්න නියමිතයි. වේග ප්‍රවාහන පද්ධතිය ඔස්සේ කොළඹ නගරයට ඉක්මනින් ලඟා වෙන්නත්, එතැන් සිට කොළඹ බස් ප්‍රවාහන කේන්ද්‍ර හා ආශ්‍රිත ප්‍රදේශ වලට ඉක්මන් සේවාවක් ඇති කෙරෙනවා.

නව බස් රථ භාවිතය මගින් දුම්රිය ගමන් වාර හා වේග ප්‍රවාහන පද්ධතිය සමග එකට ක්‍රියා කරමින් වඩාත් විශ්වාසදායී පොදු ප්‍රවාහන සේවාවක් ඇති කෙරෙනවා. හැකි සෑම තැනකම අභ්‍යන්තර ඇළ මාර්ග භාවිත කර ඉක්මන් ප්‍රවාහන සේවයක් ලබා දෙනවා.

මෙයට අදාලව ශක්‍යතා අධ්‍යයන ලබන මාසයේ ආරම්භ වෙන්න නියමිතයි. මාස 6ක සිට 9ක කාලයක් තුලදී එම අධ්‍යයන අවසන් වූ පසුව කලින් රූප වල දම් හා කොළ පැහැයෙන් දක්වපු ප්‍රදේශ වල සංවර්ධන කටයුතු ආරම්භ වෙනවා.

“අධිවේගී මාර්ග නිර්මාණය හැම විටම පොදු ප්‍රවාහන සේවා වල නිසි ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව සිදු විය යුතුයි. මේ සියලු යටිතල පහසුකම් දියුණු වන තුරු මාර්ග නිසි පරිදි භාවිත කෙරෙන්න ප්‍රවාහන ඉල්ලුම කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍යයි. කෙටි කාලීන විසඳුම් ඉතා වැදගත්.” කියලා සිල්වා මහතා කතාව අවසන් කළා.

ආචාර්ය දිමන්ත සිල්වා මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරනවා. අපි මෙහිදී භාවිතා කළ සියලුම රූප සඳහා යොදා ගත් දත්ත එතුමාගේ අනුදැනුම යටතේ යොදා ගන්නා ලද ඒවා.

කවරයේ පින්තුරය: RideMetro.org

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්