Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් ලැබෙන අපි නොහිතන වාසි

ISS හෙවත් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කියන්නේ ලෝකයට පරිබාහිරව තිබෙන මුලු ලෝකයම සැලකුවත් වැඩිම වියදමක් ගිය උඩුගුවන් පර්යේෂණ මධ්‍යස්ථානයක්. මෙහි ගෙවෙන ජීවිතය ගැන අපි Roar ටෙක් හරහා ගෙන ආවා. ඇත්තටම මේසා විසාල ධනස්කන්ධයක් වියදම් කරලා මේක කක්ෂගත කරලා තිබෙන එකෙන් තිබෙන වාසිය මොකද්ද? අපි ඒ ගැන කරුණු ටිකක් දැනගමු.

1. පෘථිවි කක්ෂය වාණිජකරණය කිරීම

මෙතක් කල් පෘථිවියෙන් පිටතට යානා යවනු ලැබූයේ රජයන් වල මූලික මැදිහත් වීමෙන්. එහෙත් දරන්නට වන අධික පිරිවැය එක්ක බැලුවාම හැමදාම රජයන්ට මේ කටයුත්ත කරගෙන යන්න අමාරුයි. ඒ නිසා පුද්ගලික අංශය දායක කරගෙන අභ්‍යාවකාශ පර්යේෂණ කටයුතු කරන්න ආරම්භ කරලා තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට දැන් පෞද්ගලික අංශයේ පරියේෂණාගාර මොඩියුල සම්බන්ධ කොට තිබෙනවා. ඒ හරහා ඒ පුද්ගලික අංශයේ ආයතන වල වියදමින් අඩු ගුරුත්වය සහ පෘථිවි කක්ෂයේදී කෙරෙන පර්යේෂණ කටයුතු කරගැනීමට හැකියාව ලැබේ.

2. ජල පෙරණ තාක්ෂණය

කිලෝමීටර 480ක් ඉහලින් පිහිටි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ජලය රැගෙන යෑම පහසු කාර්යයක් නෙමෙයි. ඒ නිසා ජලය පෙරාගන්න විශේෂිත ක්‍රමවේද දියුණු කරගන්නට මෙම අභ්‍යාවකාශ මධ්‍යස්ථාන කාර්යමණ්ඩල වලට සිදුවුණා. දියුණුකරගත් ජල පෙරණ තාක්ෂණය මගින් ජලය අඩු කාන්තාර පලාත් වලට වගේම අපවිත්‍ර ජලය තිබෙන පලාත්වල ජනයාටත් මේ තාක්ෂනයෙන් පානීය ජලය ලබාගන්නට හැකියි. එසේම ස්වාභාවික විපත් ආදියේදී ත් පෙරණ මගින් ජලය පෙරාගෙන භාවිතයට ගැනීමට හැකියි.

වැඩිදුර කියැවීමට: නාසා ආයතනය නිසා ලොවට බිහිවූ දේවල් 5ක්

3. ප්‍රෝටීන අධ්‍යයනය කිරීම

පෘථිවි තත්ත්වයන් යටතේදී වඩාත් සංකීර්ණ වන ප්‍රෝටීන අභ්‍යාවකාශයේදී වඩාත් ලෙහෙසියෙන් අධ්‍යයනය කරන්නට හැකිවී තිබෙනවා. මනුෂ්‍ය සිරුරේ ප්‍රෝටීන ලක්ෂයක්ද ස්වභාවික පරිසරයේ ප්‍රෝටීන වර්ග බිලියන 10ක්ද තිබෙනවා. මෙම ශූන්‍ය ගුරුත්වීය වටපිටාවේ නිර්මාණය වුණු ප්‍රෝටීන අධ්‍යයන පර්යේෂණාගාර ඇසුරෙන් අනාගතයේදී වැදගත් ඖෂධ පෘථිවි වාසීන්ට නිපදවාගන්නට හැකියාව ලැබේවි.

4 දුරබැහැර පුද්ගලයින්ගේ හදවතේ තතු කියන අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන්

අභ්‍යාවකාශ තාක්ෂණයෙන් සන්නද්ධ ඉංජිනේරුමය කුශලතාවයන් සහිත පිරිසක් තමයි බොහෝවිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින්නේ. ඔවුනට වෛද්‍ය විද්‍යාව සහ ඒ උපකරණ ගැන ගැඹුරු දැනුමක් නැහැ. එම නිසා හදවතේ ඇතිවන සංකූලතා ආදිය හඳුනාගැනීමට සාර්ථක ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් මෙම උපකරණය මගින් ගුවනේදී ලබාගන්නා දත්ත පෘථිවිය වෙත ලගාකරවීමටත් එම යන්ත්‍ර  අඩු ගුරුත්වයකදී ක්‍රියාත්මක කරන්නටත් නාසා ආයතනය සමත් වී තිබෙනවා. ඒ හරහා අනාගතයේදී බොහෝ දුරබැහර පලාත්වල ජනයාට සිය ලෙඩරෝග දැනගැනීමෙ ස්කෑන් පිරික්සුම් ආදිය වඩාත් සාර්ථක ලෙස ලබාගන්නට අවකාශ ලැබේවි.

5 ඇස ට්‍රැක් කිරීමේ උපාංගය

NASA

ඇස් සම්බන්ධ ලේසර් ප්‍රතිකාර කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී හමාරයි. එවැනි ප්‍රතිකාරයක් උඩුගුවනේදී සිදුකිරීමේදී ඇස අඩු ගුරුත්වකදී නිසියාකාරව තබාගැනීම අවශ්‍යයි. මේ අභ්‍යාවකාශ පර්යේෂණායතන විසින් දියුණ කළ උපකරණය ඔස්සේ  ඇස් එකතැනක තබාගැනීම පහසු වුණා. ඒ හරහා ඉදිරියේදී ඇස එක් තැනක තබාගැනීම ගැන අමතරව ද නොවී දොස්තර මහත්වරුන්ට ඇස් ශල්‍යකර්ම කරන්න අවස්ථාව ලැබේවි.

6 ගෙඩි ඉවත් කිරීමට රොබෝ අත්

මෙම අභ්‍යාවකාශ ව්‍යාපෘතිය මගින් සැත්කම් කිරීම සඳහා නව රොබෝ අත් නිර්මාණය කරනු ලැබුවා. එම රොබෝ අත් අතුරින් සිරුර අභ්‍යන්තරයේ ඇති ගෙඩි ආදිය පහසුවෙන් ඉවත්කරන්නට හැකි රොබෝ අතක් සහ උපකරණ නිර්මාණය වුණා. මෙය කැනේඩියානු අභ්‍යාවකාශ කන්ඩායම් විසින් ලොවට දායාද කරන ලද්දක්.

7 අස්ථි බර අඩුවීමට විසඳුම් සෙවීම

මුල් කාලයේදී මධ්‍යස්ථානයට ගිය අභ්‍යාවකාශ ගාමීන්ගේ සැලකිය යුතු ලෙස බර අඩුවීමක්  සිදු වුණා. පසුකාලීනව නිවැරදි ව්‍යායාම රටාවක් හදුන්වා දීම මගින් ඔවුන්ගේ අස්ථිවල බර ස්ථිරව තබාගන්නට හැකි වුණා. ඒ හරහා අස්ථි සෞඛ්‍යය සම්පන්නව තබාගැනීමට අවශ්‍ය ව්‍යායාම ආදිය ගැන තොරතුරු රැසක් අනාවරණය වුණා.

8 ඔස්ටියෝපොරෝසිස්

ඔස්ටියෝපොරෝසිස් ඇතිවන්නට හේතුවන කාරණා පිළිබදව මීයන් ඇසුරෙන් පර්යේෂණ කරන්නට ජාත්‍යන්තර මධ්‍යස්ථානය දායක වුණා. ඒ අනුව ආදර්ශ වටපිටාවක් සකස් කර එය තුල ඔස්ටියෝපොරෝසිස් හි තත්වය නිරීක්ෂණය කරන්නට විද්‍යාඥයින් පියවර ගනු ලැබුවා.

9 එන්නත් දියුණු වීම

සැල්මොනෙල්ලා වැනි බැක්ටීරියාවක් අභ්‍යාවකාශ ගත විද්‍යාඥයින්ට ආසාදනය වූයේ නම් එය මහ බරපතල ව්‍යසනයක් වන්නට ඉඩ තිබුණා. බැක්ටීරියා ආසාදන වලින් වළකින්නට හැකි ක්‍රමවේද කවරේද යන්න පෘථිවි පර්යේෂණාගාර තුල පරීක්ෂණය ලක් වුණා. ඒ හරහා බැක්ටීරියා වැනි ආසාදන වලට එන්නත් හරහා ප්‍රතිකාර කිරීම ගැන අවධානය යොමු වුණා. එය පෘථිවි වාසී බැක්ටීරියා ආසාදිතයන්ටද වැදගත් වන පර්යේෂණයක් වුණා.

10 සිසුන්ට අධ්‍යයන අවස්ථා විවර වීම

NASA

යූටියුබ් හි පැවැත්වුනු ස්පේස් ලැබ් තරගාවලිය හරහා මෙන්ම අයි එස් එස් අධ්‍යාපනික අවකාශයන් හරහා සම්බන්ධ වී දැනුම ලබාගත් ලොවපුරා සිසුන් ප්‍රමාණය මිලියන 43 ඉක්මවයි. දරුවන්ට විශ්වය ගැන ඇත්තේ නොමද කුතුහලයකි. ඒ තුලින් ඔවුනගේ ඉංජිනේරු, ගණිත සහ තාක්ෂණික හැකියාවන් දියුණු කිරීමේ පිටුවහලද ලැබේ.

11 පියයරු පිළිකා හඳුනාගැනීම සහ පිලියම්

කැනඩා අභ්‍යාවකාශ ඒජන්සිය මගින් පියයරු පිළිකා හඳුනාගැනිමේ රොබෝ තාක්ෂණයක්ද වැඩිදියුණු කොට තිබේ. එම් ආර් අයි ස්කෑනර් යන්ත්‍රය තුලදී පියයරු පිළිකා සඳහා පරීක්ෂා කිරීමෙ පහසුව ඒ හරහා උදා වී තිබේ.

12 පිරිසිදු ජලය මැනීම

පෘථිවි ගෝලයේ ජීවය පවතින්නට පිරිසිදු ජලය අත්‍යාවශ්‍යම සාධකයකි. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සවිකරන ලද සෙන්සර් මගින් පෘථීවි ගෝලයේ ඇති ජලතලා හි ජලය කෙතෙක් පිරිසිදු දැයි ගණනය කිරීම සිදුකර ඇත. ඒ ඔස්සේ ජල දූෂණය අවමකිරිම සහ තිබෙන පිරිසිදු ජලය රැකගැනීමේ ක්‍රියාමාර්ග වලට මනා දත්ත රැසක් එකතුකරගන්නට අවස්ථාව ලැබී තිබේ.

13 විපත් කළමනාකරණය

ලංකාවේ පසුගිය කාලේ ඇති වූ ජල ගැලීම් වලදීද නාසා ආයතනය සිය ඡායාරූප මගින් එම විපත් ස්වභාවය අධ්‍යයනය කිරීමට සහාය වූයේය. එසේම ලොව පුරා සිදුවන නායයෑම්, ගිනිකඳු, භූමිකම්පා, සුළි සුළං, හරිකේන් ආදී විපත් ආදියෙන් සිදුවන විනාශය සහ ඒවායේ දත්ත එක්රැස් කිරීමටද අහසේ ඇති චන්ද්‍රිකා වලට අමතරව මෙම උඩුගුවන් නැවතුම ද උපකාරී වී තිබේ.

14 ශුන්‍ය ගුරුත්වයෙන් යුතු වටපිටාවේදී තරලවල ගතිසොබාව සොයාබැලීම

තරලයන් වල හැසිරීම ගුරුත්වයකදී කෙසේ වෙත්ද යන්න පෘථිවියේ දී පර්යේෂණ කෙරී ඇත. එහෙත් තරලයෝ ශුන්‍ය ගුරුත්වය යටතේ කෙසේ නම් හැසිරෙත්ද යන්න පර්යේෂණ කිරීම අනාගතයට වැදගත් දෙයකි. සිරුරට එන්නත් සහ සේලයින් ආදිය ලබා දීමේදී ඒවා පෘථිවියේ පරිදි රැගෙන යෑම හෝ එන්නත් කිරීම අභ්‍යාවකාශයේදී පහසු නැත. එවැනි පර්යේෂණ තුළින් දියරමය ඔසු රැගෙන යෑම සහ භාවිතය ගැන කරුණු රැසක් අනාවරණය වී තිබේ.

15 අභ්‍යන්තර පරිසර සැකැස්ම

එකම නිවර්තන පරිසරය වුවද මැලේසියානු බෝර්නියෝ දූපත්හි වැවෙන බව භෝග සහ ලංකාවේ වැවෙන බව භෝග අතර පැහැදිලි වෙනස් කම් තිබේ. එසේම තවමත් ආගන්තුක වූ අභ්‍යාවකාශ වටපිටාවේද බෝග වගාව හැදෑරිය යුතුය. මන්ද යම් දිනෙක අඟහරු හෝ ඒ පසුකර යන අභ්‍යාවකාශ ගමන් වලදී ආහාර වගාකරගැනීමට හැකිනම් එය පහසුවක් වන බැවිනි.

පෘථීවියෙන් පිටත පිබිදුනු ප්‍රථම මල (lifegate.com)

අභ්‍යාවකාශ තාක්ෂණය වනාහි මහත් පෙරළියකි. ඒ රොකට් එකෙන් ගිහින් ගෙනාවේ මොනවාද යැයි ඇසූවිට දෙන්නට සෘජු පිළිතුරක් නොමැති වුවද ඒ දියුණුවන තාක්ෂණය, මානව සංහතියේ අනේකවිධ අභියෝග ජයගැන්මට නව ප්‍රවේශයක් බිහිකරදෙනු ඇත.

කවරයේ ඡායාරූපය: NASA

Related Articles