Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිහින දකින කෘත්‍රිම බුද්ධිය

මිනිසා යනු, තමන් සතුව කොපමණ දැනුම හා හැකියාවන් තිබුණද, තව තවත් නොදත් දේ සොයා යාමේ හා නව නිපැයුම් නිර්මාණය කිරීමේ නොතිත් ආශාවකින් පෙළෙන බුද්ධිමත් ජීවියෙක්. කාලයෙන් කාලයට විවිධ ආකාරයේ අනුවණ ක්‍රියාවන්ගේ යෙදීමේ පුරුද්දක් තිබුණත්, සමස්ථයක් වශයෙන් ගත් කළ මිනිසා පෘථිවිය තම වාසස්ථානය කරගත් අනෙකුත් ජීවීන් අභිබවා නැගී සිටින්නේ පෙරකී නොසංසිඳෙන දැනුම් පිපාසාව නිසාමයි.

ගින්දර නිපදවීමට උගත් ආදී වානරයන්ගේ සිට අභ්‍යවකාශයේ තවත් ග්‍රහලෝක වෙත යාමට සමත් යානා නිපදවීමට හැකියාව ඇති ජීවීන් පිරිසක් ලෙස පරිණාමය වී ඇති මනුෂ්‍ය වර්ගයා මෙතෙක් ආ ගමන් මගේදී නිර්මාණය කළ විවිධාකාරයේ අරුම පුදුම දෑ බොහොමයි.

අද අපි සොයා බැලීමට බලාපොරොත්තු වන්නේ ඒ සියල්ල අතරින් මේ වන විට නිපදවා ඇති අපූරු මෙන්ම මහත් විශ්මය දනවන නිර්මාණයක් පිළිබඳවයි.

මෙවැනි දේ සාමාන්‍ය දසුනක් වන දිනය වැඩි ඈතක නොවන්නට පුළුවන් (www.bbcamerica.com)

මෙවැනි දේ සාමාන්‍ය දසුනක් වන දිනය වැඩි ඈතක නොවන්නට පුළුවන් (www.bbcamerica.com)

කෘත්‍රිම බුද්ධියක් යනු…

කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) නැමති සංකල්පය කෙනෙකුට බොහෝ සෙයින් ආගන්තුක වන්නට පුළුවන්. තවත් කෙනෙකුට ඒ පිළිබඳ වැඩිපුර දැනුමක් නැතත් අසා තිබෙන්නට හෝ පුළුවන්. දන්නා නොදන්නා සියලුම දෙනාට සරලව කියනවා නම්, කෘත්‍රිම බුද්ධියකින් සිදුවන්නේ මිනිස් මොළයේ සිදුවන බුද්ධිමය ක්‍රියාකාරකම් පරිගණකගත දත්ත හා තවත් විවිධාකාර ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලි අනුසාරයෙන් අනුකරණය කිරීමයි.

සංකල්පය ඉතා බැරෑරුම් වුවත් එහි යෙදීම් නම් සෑම අවස්ථාවකදීම බැරෑරුම් ලෙස සලකන්නේ නැහැ. බොහෝ විට මෙහි සංකීර්ණ භාවය රඳවා පවතින්නේ එමගින් අනුකරණය කෙරෙන මිනිස් බුද්ධිමය ක්‍රියාකාරකම අනුවයි. ඒ සඳහා යොදාගන්නා තාක්ෂණය සරල පරිගණක කේතයන් කිහිපයක සිට සුපිරි පරිගණකයක සැකසුම් වේගය අවශ්‍ය වන කේත මිලියන ගණනක වැඩසටහනක් දක්වා විය හැකියි.

මතකද මෙයාව? (knight-rider.wikia.com)

මතකද මෙයාව? (knight-rider.wikia.com)

ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් කෘත්‍රිම බුද්ධිය යන වචන ද්විත්වය වත් අසා නොතිබූ සමයක වුවත්, මේ පින්තුරයේ සිටින චරිතය නම් බාල මහළු සියලුම දෙනාගේ නොමද ආකර්ෂණයට ලක්වූවක්. ඒ දිනවල සිකුරාදා රාත්‍රියේ Knight Rider බලන්න රුපවාහිනිය ඉදිරිපිටට එකතු වුණු අයට නම් KITT කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. ඒ කාලේ මේ ගැන හරිහැටි අවබෝධයක් නොතිබුණා වුවත් දැන හෝ නොදැන ඔබ සැමගෙන් බහුතරයක් කෘත්‍රිම බුද්ධියක් දුටු මුල්ම අවස්ථාව මෙය බව නොඅනුමානයි. මීට අමතරව Steven Spielberg අධ්‍යක්ෂණය කළ A.I. Artificial Intelligence, James Cameronගේ The Terminator වැනි චිත්‍රපට ඇසුරෙනුත්, Crash Zone වැනි රුපවාහිනී කතා මාලාවන් මගිනුත් ඔබ තවදුරටත් මේ අමුතු මෙන්ම පුදුමාකාර සංකල්පය ගැන දකින්නට ඇති.

ඔව් ඔව් මේ බලන් ඉන්නේ Virgil දිහා තමයි (actf.com.au)

ඔව් ඔව් මේ බලන් ඉන්නේ Virgil දිහා තමයි (actf.com.au)

මෑත කාලයේ දක්නට ලැබුණු මේ ගැන නිපදවුණු චිත්‍රපට ලෙස I, Robot , Transcendence, Chappie, Avengers: Age of Ultron හා Ex Machina වැනි සිනමා නිර්මාණ දැක්විය හැකියි. නමුත් මේ සියලුම සිනමා අර්ථකතන නම් දැනට මිනිසා විසින් නිපදවන්නට සමත්වී ඇති කෘත්‍රිම බුද්ධීන්ට වඩා වෙනස්. මේවායේ දැක්වෙන බහුතරයක් සංකල්ප අතිශයෝක්තියෙන් යුක්තයි.

කියන තරම් යකා කළු නෑ (comicvine.gamespot.com)

කියන තරම් යකා කළු නෑ (comicvine.gamespot.com)

චිත්‍රපටවල දැක්වෙන කෘත්‍රිම බුද්ධීන් අතිශයෝක්තීන් නම් සැබෑවටම නිපදවා ඇති කෘත්‍රිම බුද්ධීන් කුමන ආකාරයේ ඒවාදැයි දැනගැනීමට ඔබ කැමති ඇති. මේ සටහන එවැනි ප්‍රධාන යෙදීම් කිහිපයක් පිළිබඳවයිි

අප අතරේ සිටින කෘත්‍රිම බුද්ධි

පරිගණක ක්‍රීඩා කියන්නේ ඉතා ජනප්‍රිය මාතෘකාවක්. පරිගණකයේ මෙන්ම  smart ජංගම දුරකථනයේ ද පැය ගණන් එක දිගට වෙනම ලෝකයක තම හැකියාවන් උරගා බලන්න කවුද අකමැති? එහිදී ඔබ පාලනය කරන චරිතයේ විවිධ ක්‍රියාකාරකම්වලට අනුව එහි ඇති අනෙකුත් චරිත දක්වන ප්‍රතිචාර එලෙස පාලනය වන්නේ කෙසේදැයි ඔබ මොහොතකට නැවතී සිතා බැලුවාද? ක්‍රීඩාවේ ඔබේ අතථ්‍ය (virtual) චරිතයේ ක්‍රියාකාරකම් විශ්ලේෂණය කර බලා ඊට සුදුසු ප්‍රතිචාර දක්වන ලෙස ක්‍රීඩාවේ ඔබ දකින අනෙකුත් චරිත මෙන්ම අවට පරිසරයද නිර්මාණය කෙරෙන්නේ කෘත්‍රිම බුද්ධි අනුසාරයෙන්. මෙය මිනිස් චරිත ලක්ෂණවලට අනුරූප දෑ සජිවිකරණයට පමණක් යොදාගන්නා දෙයක්ද නොවෙයි. මෝටර් රථ ධාවන තරඟ පිළිබඳ පරිගණක ක්‍රීඩාවක සෑම අවස්ථාවකදීම එක් මෝටර් රථයක් ඔබ ජයග්‍රහණය පෙනෙන මානයේ ධාවනය කරද්දී ඔබේ රථය හප්පා පාරෙන් ඉවතට දැමීමට තැත්කරන බව ඔබට හැඟී ඇත්නම් එය ඔබේ හිතලුවක් නොවේ. එම රථයේ කෘත්‍රිම බුද්ධියට ක්‍රීඩා නිර්මාණකරුවන් පවරා ඇති කාර්යය එයයි. කෘත්‍රිම බුද්ධීන් තම ප්‍රධානතම කාර්යයන් සඳහා යොදාගන්නා එක් විශාලතම ක්ෂේත්‍රයක් ලෙස පරිගණක ක්‍රීඩා කර්මාන්තය හැඳින්විය හැකියි.

මේ වාහන වලට ඔබ හිතනවට වඩා නුවණක් තිබෙනවා (www.videogamer.com)

මේ වාහන වලට ඔබ හිතනවට වඩා නුවණක් තිබෙනවා (www.videogamer.com)

Siri ද? Cortana ද? – එදිනෙදා ජීවිතයේ අපේ සහයට සිටින AI සගයින්

අපේ එදිනෙදා ජිවිතයේ කාර්යයන් පහසු කිරීම සඳහා නිපදවා ඇති කෘත්‍රිම බුද්ධීන් මොනවාදැයි දැන් බලමු. මේවා අයත් වන්නේ intelligent personal assistant ගණයට. එනම් ඔබේ සහයට සිටින අතථ්‍ය පෞද්ගලික සහයකයෙක්. චිත්‍රපට ඇතුළු නොයෙක් ප්‍රබන්ධ කතාවල එන කෘත්‍රිම බුද්ධිය පිළිබඳ කරුණු අතිශයෝක්තීන් වුවත් මෙවැනි නිර්මාණයන් බිහිවීමට අඩිතාලම දැමීමට එවැනි ප්‍රබන්ධවලින් ඉටුවූ කාර්යභාරය අපට නොසලකා හැරිය නොහැකියි. Virtual assistant ගණයට ගැනෙන කෘත්‍රිම බුද්ධියක කාර්ය වන්නේ තම පරිශීලකයාට පරිගණකයක් හෝ smart ජංගම දුරකථනයක් ආශ්‍රයෙන් සිදුකරගත යුතු කාර්යයන් ස්වයංක්‍රීයකරණය මගින් වඩාත් පහසුවෙන් ඉටුකර දීමයි. මිනිස් කටහඬ හඳුනාගැනීම මගින් පරිශීලකයා සමග සංවාදයේ යෙදෙමින් මෙවැනි කාර්යයන් සඳහා සහය ලබාදීමට මේවාට හැකියාව තිබෙනවා.

Apple සමාගම විසින් තම iPhone හා iPad වැනි උපාංග සඳහා නිර්මාණය කර ඇති Siri මීට හොඳම උදාහරණයක්.

ඔබේ එදිනෙදා වැඩකටයුතු පහසු කරගැනීමට සහයට එන Siri (www.cnet.com)

ඔබේ එදිනෙදා වැඩකටයුතු පහසු කරගැනීමට සහයට එන Siri (www.cnet.com)

Microsoft සමාගම Windows 10 මෙහයුම් පද්ධතියත් සමග සියලුම Windows 10 භාවිතා කරන උපාංග සඳහා හඳුන්වා දුන් කෘත්‍රිම බුද්ධියකින් හෙබි පෞද්ගලික සහයිකාව තමයි Cortana.

කෘත්‍රිම බුද්ධියක් ලෙස වඩාත් හොඳින් හා පරිශීලකයාට සමීප ලෙස ක්‍රියා කරන්නේ Siri ද Cortana ද යන්න තාක්ෂණික ලෝකයේ Microsoft Windows හා Apple iOS පරිශීලකයන් අතර මේ වන විට ඇති මහත් විවාදාත්මක මාතෘකා වලින් එකක් ලෙස දැක්විය හැකියි.

ඔබේ සිතැඟි දේ Cortanaට පවසන්න (www.cnet.com)

ඔබේ සිතැඟි දේ Cortanaට පවසන්න (www.cnet.com)

සිහින දකින කෘත්‍රිම බුද්ධිය

නව තාක්ෂණය ගැන උනන්දු කෙනෙක් නම් ඔබට මේ වන විට ලොකු ප්‍රශ්නයක් තිබෙන්නට පුළුවන්. Appleට  Siri තියෙනවා නම්, Windows වලට Cortana ඉන්නවා නම්, Android දැවැන්තයා Google මේ සියල්ල සිදුවන තුරු ඔහේ බලා සිටියාද? කොහෙත්ම නැහැ. මේ ලිපියේ වඩාත්ම සිත්ගන්නාසුළු කොටස වෙන්වන්නේ Google සමාගමේ කෘත්‍රිම බුද්ධියේ සෞන්දර්යාත්මක හැකියාවන් ගෙනහැර පෑමටයි. (මෙහිදී විස්තර කෙරෙන්නේ Siri හා Cortana වර්ගයේ Google නිපැයුම වන Google Now ගැන නොවේ)

Google හි ප්‍රධානම කර්තව්‍යයන්ගෙන් එකක් හා ප්‍රධානම සේවාවක් ලෙස එහි සෙවුම් යන්ත්‍රය හැඳින්විය හැකියි. මෙවැනි විවිධ Google සේවාවන්ගේ ක්‍රියාකාරිත්වය සඳහා අතිවිශාල දත්ත ප්‍රමාණයක් Google servers මගින් හැසිරවීම සිදුවනවා. තම ආයතනයේ විවිධ සේවාවන් සැපයීම සඳහා ඔවුන් ඒවා භාවිතා කරන අතර, Google විසින් තමන් සතුව ඇති මෙවැනි සම්පත් යොදාගෙන කෘත්‍රිම ස්නායු පද්ධතියක් (Artificial Neural Network) නිර්මාණය කර තිබෙනවා. මෙම පද්ධතියට ඇති එක් හැකියාවක් වන්නේ රූප හඳුනාගැනීම. මිනිස් මොළයේ හා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඇසුරෙන් මෙය නිර්මිතයි. ඊට කුමක් හෝ රුපයක් සැපයූ විට එය විශ්ලේෂණය කර එයින් නිරුපණය වන්නේ කුමක්ද යන්න හඳුනාගැනීමේ (image recognition) දියුණු හැකියාවක්  මෙම පද්ධතිය සතුයි.

Google මෘදුකාංග ඉංජිනේරුවන්ට පහලවූ අදහසකට අනුව ඔවුන් තීරණය කළා මෙම ක්‍රියාවලිය ආපසු හැරවුවහොත් කුමන ආකාරයේ ප්‍රතිඵලයක් ලැබේදැයි සොයාබැලීමට. මෙහි අරමුණ වුණේ Google කෘත්‍රිම ස්නායු පද්ධතියේ ඉගෙනගැනීමේ හැකියාව (machine learning) කෙතරම් ඵලදායී ද යන්න පරික්ෂා කිරීම. මේ සඳහා ඔවුන් කළේ කිසියම් වස්තුවක ලක්ෂණ ඊට ලබාදී එහි රුපයක් අඳින ලෙස උපදෙස් ලබාදීමයි. එහි ප්‍රතිඵල කීපයක් පහත දැක්වෙනවා.

ගූග්ල්ගේ (සිතා)බලා ඇඳීම  (photos.google.com)

ගූග්ල්ගේ (සිතා)බලා ඇඳීම  (photos.google.com)

අමුතුයි නේද? නමුත් මේ පටන්ගැන්ම පමණයි. මතක තබාගන්න, මේ මේ කෘත්‍රිම මොළයට අනුකරණය කිරීමේ හැකියාව තිබුණද විඥානයක් ඇත්තේ නැහැ. එම නිසා තම නිර්මාණයන්ගේ නිරවද්‍යතාව පිළිබඳ පැහැදිලි අදහසක් ද නැහැ. කෙසේ වුවත් Google ඉංජිනේරුවන් මීළඟට මෙම පද්ධතියට පුර්ණ නිදහස ලබා දුන්නා තම නිර්මාණාත්මක හැකියාව එහි උපරිමයෙන්ම භාවිතා කිරීමට. නොඑසේ නම් පද්ධතියට කැමති ආකාරයට තම සිතැඟි හා සිහින පිටස්තර ලෝකයාට ඉදිරිපත් කිරීමට. එලෙස කරළියට ආ Google කෘත්‍රිම ස්නායු පද්ධතියේ පරිකල්පන ශක්තියේ උච්ඡතම අවස්ථාවක් තමයි ඔබ පහතින් දකින්නේ.

ගූග්ල් සිත්තරාගේ කලාත්මක හැකියාව  (photos.google.com)

ගූග්ල් සිත්තරාගේ කලාත්මක හැකියාව  (photos.google.com)

මෙවැනි තවත් නිර්මාණ ඔබට මේ සබැඳියෙන් නැරඹීමේ හැකියාව තිබෙනවා.

(කෘත්‍රිම) බුද්ධියේ සීමාව කොහේද?

මදක් සිතා බලන්න. ඔබේ කටහඬ හදුනාගෙන ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය හැකි, ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පීන්ගේ  නිර්මාණයන්ට සමාන දෑ නිර්මාණය කළ හැකි කෘත්‍රිම බුද්ධීන් නිර්මාණය කිරීමට මිනිසා සමත්ව තිබෙනවා. මෙහිදී අප කතා කළේ කෘත්‍රිම බුද්ධීන් ගේ සිත්ගන්නාසුළු යෙදීම් කිහිපයක් පිළිබඳ පමණයි. සමීපතම උදාහරණයක් දක්වනවානම්, බොහෝ දෙනාගේ ප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන Facebook විසින් තම පරිශීලකයන් වඩාත් කැමති දෑ හා ඔවුන්ට අදාළ යැයි හැඟෙන දෑ නිතරම ඔවුන්ගේ news feed එක මත දැක්වීම වැනි කාර්යයන් සඳහා සහය ලබාගන්නේ ද කෘත්‍රිම බුද්ධියකින්. විවිධ විද්‍යා හා තාක්ෂණික කාර්යයන් සඳහා ද කෘත්‍රිම බුද්ධිය නැතිවම බැරි අංගයක් වී හමාරයි. සිතා බලන්න, මෙවැනි හැකියාවන් රාශියක් එක්කර තැනු කෘත්‍රිම බුද්ධියකට කළ හැකි දෑ කොපමණදැයි කියා. ඔබ Person of Interest, Ex Machina වැනි රුපවාහිනී කතාමාලා හා සිනමා නිර්මාණ තුළින් දැක ඇති කෘත්‍රිම බුද්ධීන් නුදුරු අනාගතයේදී දක්නට ලැබුණොත් එය විමතියට කරුණක් නොවන්නට පුළුවන්. තාක්ෂණයේ දියුණුවන වේගය කාලයත් සමග වැඩිවීමක් මිස අඩුවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. මේ සියලු දේ කෙසේ සිදුවූවත්, එම දියුණුව තමාට පාලනය කරගත හැකි මට්ටමක හා සමාජයීය ආචාරධර්මවලට අනුකුලව පවත්වාගැනීමට හැකියාව ඇත්තේද මෙවැනි විශ්මයජනක නිර්මාණ බිහිකළ හැකි විශ්ලේෂණාත්මක හැකියාව  මෙන්ම විඥානය හා හෘදසාක්ෂියකින් ද හෙබි මනුසතාටම පමණයි.

(සැ. යු.: මෙය රචකයාගේ පෞද්ගලික අදහසක් පමණි. සංවාදයට විවෘතයි. මේ පිළිබඳ ඔබේ අදහස් comment මගින් අපට දන්වන්න.)

IFL Science හි Google’s AI Can Dream, and Here’s What it Looks Like ඇසුරෙන්.

කවරයේ පින්තුරය:nigeriathegoodnews.com

Related Articles