Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගූගල් සහ ෆේස්බුක් අසත්‍ය ප්‍රවෘත්ති සහිත වෙබ් අඩවි ඉවතලයි

මිනිසාගේ මූලික අවශ්‍යතා වලට පසු ඇති අනිකුත් අවශ්‍යතා අතරට ප්‍රවෘත්ති දැනගැනීමද අතීතයේ පටන් ලැයිස්තු ගතව තිබෙන බව ළිඳ ළඟ සංගමය, ගමටම තෙල බෙදනවා, කෝප්ප හෝදනවා ආදී වශයෙන් ග්‍රාමීය වහරෙහි මුණ ගැසෙන වචන හොඳින් සාක්‍ෂි දරනවා. ළිඳ ළඟ සංගමය යනු හවසට ගමේ ගැහැණු අය නෑමට, රෙදි සේදීමට පොදු ළිඳට ආ විට එහිදී එදින සිදුවූ සියළු ඕපාදූපයන් කතාබහ කිරීම වන අතර අනෙක් දෙකෙහිදී සිදුවන්නේ පන්සලට හෝ කඩපිලට යන ඇතැම් කාන්තාවන් ඒ අතරමග ඇති සියළු ම නිවාස අසල නැවතෙමින් එහි සිටින ගැහැණුන්ට ගම වටා පුවත් බෙදා දෙමින් ඒ ඒ නිවසේ සියළු තොරතුරු ද අසා දැනගැනීමයි.

මෙහිදී වඩාත් සාරවත් පුවත් සංග්‍රහයක් ලැබෙන්නේ කඩපිලට වන අතර එයට මෙවන් කාන්තාවන් කිහිප දෙනෙක් එකතු වෙලා ඒ ඒ අය ප්‍රවෘත්ති හුවමාරු කරගත්තා ම වතුරට දාපු කොන්ඩිස් ටිකක් වගේ ‘එහෙක්’ කරලා ‘මෙහෙක්’ කරනකොට ගම පුරාම ගමේ සියළුම ආරංචි පැතිරිලා ඉවරයි.

‘එහෙක්’ කරලා ‘මෙහෙක්’ කරනකොට (redbubble.net)

‘එහෙක්’ කරලා ‘මෙහෙක්’ කරනකොට (redbubble.net)

එකල කටකතා මාධ්‍යය බෙහෙවින් ප්‍රචලිත වන්නට හේතුවුණේ තාක්‍ෂණය- වෑර්ලස් එක හෙවත් රේඩියෝව ග්‍රාමීය නිවාසවලට ළඟාවන්නට කල් ගතවීමයි. කටකතා වලදී හැමවිටම නිවැරදි ප්‍රවෘත්ති නොලැබෙන අතර බොහෝ අවස්ථාවලදී මිනිසකු කපුටු පිහාටුවක් වමනය කළ බවට පැවති මුල් පුවතක් ගෙවල් දෙකක් එහාට යද්දී පිහාටු කිහිපයක් බවටත්, හන්දියට යන විට කපුටෙක් බවටත් ආදී වශයෙන් ගොස් ගමේ අනෙක් කෙළවරට ළඟා වන්නේ කපුටන් හත් දෙනෙක් බවටයි. අනතුරුව ගුවන් විදුලියත්, සාක්‍ෂරතාව යම් මට්ටමකට ආ පසු පුවත්පතත්, පසු කාලීනව රූපවාහිනියත් නිවෙස් වෙත ළඟාවූ අතර එමඟින් ජනතාවට රටේ පමණක් නොව ලොව පුරාම සත්‍ය ප්‍රවෘත්ති අසන්නට ලැබුණේ ඒ ප්‍රවෘත්ති සපයන ලද ආයතන නිසි ප්‍රමිතීන්ට අනුව ඉතා විශ්වාසවන්ත ලෙස ගෙන ආ නිසායි.

අටවා ගත් වෙබ් අඩවි හා ෆේස්බුක් පිටු

සාමාන්‍යයෙන් “පරිණාමය වීම” යන කාරණයේදී අපිට දකින්නට ලැබෙන්නේ පෙර තිබූ දුර්වලතා නසාගෙන හොඳදේ පමණක් ඉදිරියට ගෙන යාම නමුත් තාක්‍ෂණයේ වැඩි දියුණුවකට එළඹ ඇති මේ කාලයේදී අන්තර්ජාලයද පුවත් දැනගැනීමේ මාධ්‍යයකට පැමිණ තිබුණත් පුවත් දැනගැනීමට බොහෝ දෙනෙක්ට ලැබෙන මාර්ගවල සත්‍යතාවය පිළිබඳ ගැටළු බොහොමයි. ඊට වඩාත් බරපතල හේතුව බවට පැමිණ ඇත්තේ අන්තර්ජාලයේදී ඕනෑම කෙනෙකුට වෙබ් අඩවියක් හෝ ෆේස්බුක් පිටුවක් අටවා ගත්විට ඒ හරහා නානාප්‍රකාර වශයෙන් ජනතාවගේ හැඟීම් අවුස්සමින් මුදල් ගැරීම සඳහා කැරට් අල පෙන්වීමේ සංස්කෘතියක් බිහිවීමයි. මොවුන් තමන්ගේ වෙබ් අඩවියට පැමිණෙන ප්‍රමාණයන් වැඩි කරගන්නට ජාතිවාදය, කාමය, රාජ්‍ය විරෝධීත්වය, දේශපාලනික මතවාද ආදිය පමණක් නොව ඒ දේවල් ඇති කිරීමට ඕනෑම කෙනෙකුගේ චරිත ඝාතනයට ද චුට්ටක්වත් පසුබට වෙන්නේත් නැහැ.

කැරට් අල පෙන්වා ඔබව විකිණීම

(tumblr.com)

(tumblr.com)

පරිණාමය කෙසේ වුවත් මනුෂ්‍ය සන්තානයේ හැටි හැමවිටම වැරදි දේට පෙළඹීමයි. මේ නිසා ඇය අවසන් වරට කී දේ, ඔහු කිසිවකුටත් නොකියූ රහස්, ලීක්වූ ඇගේ ඡායාරූප ආදිය මෙන් ම කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලයි යන්න වුවත් වීඩියෝ සහිතයි කී පමණින් ඒවා ක්ලික් බලන්නට වැඩි දෙනක්ගේ මවුසය හෝ ස්පර්ශ තිරය පෙළඹෙනවා. මෙසේ පෙන්වන්නේ එකක් නමුත් ඒ වෙබ් අඩවියට ගියවිට ඇත්තේ තවත් යමක්. ඒ පුවතේ ද ඇත්තේ ඉතා සුළු අන්තර්ගතයක් වන අතර දෙපස තීරුවල තොරණ මෙන් වෙනස් වෙමින් නානාප්‍රකාර ලින්ක් දිස්වන අතර ඔබේ නරක මවුසය තනියම ගොස් ඒවා ද ක්ලික් කර පෙන්වනවා. ඊට ගිය විට තවත් ඒවා තිබෙන අතර අවසානයේ කෙළවර වන්නේ ඔබ අන්තර්ජාලයට පිවිසුණු මිලියන දසවැනි මහා පුරුෂයා බවට පත්ව ඒ සඳහා ඇමරිකානු ග්‍රීන් කාඩ් එකට ද හිමිකම් කියා මහා දිනුම් ඇදීමකට ද ඇතුලත් වීමෙන් අනතුරුවයි.

නයිජීරියාවේ කුමාරයා ඔබට මුදල් ලබා දෙන්නට තවමත් ඔබ ඔහුගේ ඊමේල් එකට රිප්ලයි කරන තෙක් බලාගෙන ඉන්නවා (starecat.com)

නයිජීරියාවේ කුමාරයා ඔබට මුදල් ලබා දෙන්නට තවමත් ඔබ ඔහුගේ ඊමේල් එකට රිප්ලයි කරන තෙක් බලාගෙන ඉන්නවා (starecat.com)

ඒ වන විට ඔබේ පරිගණකයට නානාප්‍රකාර වයිරසයන් ද රිංගා අවසන් විය හැකි අතර ඉන්පසු ඉතා සුවබර දිවියක් නිතැතින් ම හමුවෙනවා. මෙය ලංකාවටත් පෙර ලෝකය පුරා ම තිබුණු ප්‍රශ්ණයක්. වෙළඳ දැන්වීම් වශයෙන් පෙනී සිටිමින් මිනිසුන්ගේ දත්ත සහ ඔවුන්ගේ මුදල් ගරාගැනීමට හෝ දත්ත තෙවන පාර්ශවයකට විකුණා මුදල් ගැනීම තවමත් සිදුවන අතර ඒවායෙන් වැළකී සිටීමට පරිශීලකයන් සතුව ඇති දැනුම ද ඉතා අල්ප බව දුරකථන ඇමතුමක් ලබාදී ඔබ අසුවල් තරගයෙන් ජයග්‍රහණය කර තිබෙනවා ය, ඒ මුදල් ගන්නට නම් මේ ගිණුමට මුදල් දමන්නය කී පමණින් ඒවා සිදුකර ඇති බව කියැවෙන සිදුවීම් හොඳින් සාක්‍ෂි දරනවා.

ඒවායෙන් අපි වෙනස් වන හැටි

(roar.lk)

(roar.lk)

Roar හරහා ඔබ දකින සෑම ප්‍රවෘත්තියක් ම හා දැනුම බෙදන ලිපියක් ම පාහේ තිබෙන්නේ ඉතා හොඳ දැනුමකින් යුතු කතෘ මණ්ඩලයක් හරහා පෙරහන් කොට, ලිපියක් ලිවීමට පෙර මෙන්ම ලියා එය ලබාදීමෙන් ද පසු අනුමැතිය ලබාගත යුතු ඉතා සාරවත් අන්තර්ගතයක් සහිත දේවල්. අපේ ලේඛක මණ්ඩලය ද තෝරාගෙන ඇත්තේ මනා දැනුමකින් සන්නද්ධව තොරතුරු ඉතා විශ්වාසදායී ලෙස බෙදාහරින්නට සමත් අයම මිස කිසිම පඳුරකට ගල් ගසා ලාභයට ඇහිඳගත් මාධ්‍යවේදීන් නොවේ.

ඒ වගේම අපි පළ කරන සෑම ලිපියකම එහි තොරතුරු ලබාගන්නට මූලාශ්‍ර කරගත් වෙබ් අඩවි මෙන් ම ඡායාරූප පළ කිරීමේදී ද ඒවායේ කතු හිමිකම් එලෙසින්ම ආරක්‍ෂා කරන්නට අපි බැඳී සිටිනවා. එමඟින් අනිකුත් වෙබ් අඩවිවලටද ක්‍රියාවෙන් ආදර්ශයක් වන්නට අපට හැකිව තිබෙන නිසා ඉන් නිතැතින්ම සමස්ත ශ්‍රී ලංකාවේ මෙන්ම අපේ බංග්ලාදේශ වෙබ් අඩවිය හරහා එරටින් ද හොඳ රසික පිරිසක් අප වටා එක්රොක්ව සිටින අතර මෙය කියවන ඔබත් අපිට ලොකු සවියක්.

ඇමරිකානු ජනාධිපතිවරණයේ අසත්‍ය කථා තාක්‍ෂණික දැවැන්තයන්ගේ දෑස් හරියි

(movietvtechgeeks.com)

(movietvtechgeeks.com)

ලෝකයේ අවධානය දිනාගත් අවස්ථාවක් වූ ඇමරිකාවේ ජනපතිවරණයේදී ගූගල් සෙවුම් ප්‍රතිඵල සහ ෆේස්බුක් හරහා බෙදා ගැණුනු තොරතුරුවල සත්‍යතාවය පිළිබඳව ප්‍රශ්ණ ඇති වුණා. එහිදී සමාජය නොමඟ යවන ප්‍රකාශ රැසක් සමාජගත වුණු අතර ඉන් ප්‍රධාන අපේක්‍ෂකයන්ගේ පමණක් නොව පාප්තුමා වැනි අහක සිටින අයගේ චරිතවලටද බෙහෙවින් චෝදනා එල්ලවන පරිද්දෙන් සමාජ රාවයන් ඇතිකර තමන්ගේ මඩිය තරකර ගන්නට ලොව බොහෝ හතු පිපෙන්නාක් මෙන් හදිසියේ බිහිවූ පුවත් සමාගම් උත්සුක වුණා.

කීවර්ඩ්ස් හරහා ගූගල් පුවත් ටැබ් එකේ ඉහළට පැමිණීමටත්, ගූගල්හි ඇඩ්සෙන්ස් ආදී වෙළඳ ප්‍රචාරණ මාධ්‍යන්හිත් ෆේස්බුක්හි අනුග්‍රාහක පණිවිඩ වශයෙනුත් ජනතාවගේ අවධානය ගන්නට සමත්වූ මොවුන් නිසා ගූගල් සහ ෆේස්බුක් හරහා ලැබෙන තොරතුරු වල විශ්වාසවන්තභාවය පිළිබඳව සමාජයේ දැඩි සේ දුර්මත පළ වුණා.

(marketingland.com)

(marketingland.com)

මේ නිසා Alphabet Inc හි Google දන්වා සිටියේ මින්පසු තවදුරටත් ඔවුන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ජාලයන් දෙක වන ඇඩ්සෙන්ස් සහ ඇඩ්වර්ඩ්ස් හරහා ප්‍රචාරණ කටයුතු කිරීම සඳහාවූ ප්‍රතිපත්තීන් යාවත්කාලීන කළ බවත් මින් පසු අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි සඳහා කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවයි.

ඒ අනුව යමින් ෆේස්බුක්හි මාක් සකර්බර්ග් ද පවසා සිටියේ සමාජය නොමඟ යවන ආකාරයේ සබැඳුම් ඇතුලත් බවට වාර්තාවූ සියළුම වෙබ් අඩවිවලට සම්බාධක පණවා ඒවායේ ෆේස්බුක් පිටු සඳහා වෙළඳ දැන්වීම් පළකිරීමට ඇති හැකියාව අබල කරන බවයි. මේ වන විටත් ෆේස්බුක් සතුව නීති විරෝධී, කූට ව්‍යාපාර සහ නොමඟ යවන ආකාරයේ වෙබ් අඩවි පිළිබඳ හොඳ ලැයිස්තුවක් තිබෙන අතර එවන් ලින්ක් ක්ලික් කළ වහා පරිශීලකයන්ට ඒ බව දැනුම් දෙනවා. දැන් එයට බොරු ප්‍රචාර සහිත පුවත් වෙබ් අඩවි ද ඇතුලත් කෙරෙන අතර වෙළඳ දැන්වීම් හරහා ඒවා ජනතාව වෙත ළඟා වීම ද වළකනු ලබනවා.

එම පියවර මේ දැවැන්ත සමාගම් දෙකට ඉතා විශාල ආදායමක් අහිමිව කරන නමුත් මුදලට වඩා ඔවුන් සලකනු ලබන්නේ ලොව වටා වූ පරිශීලකයන් ඔවුන් කෙරෙහි තබන විශ්වාසය පිළිබඳවයි. රන් පිහාටු හංසයාගෙන් එකවර සියළුම තටු ගලවාගන්නට ගොසින් තිබුණු එකත් නැති කරගන්නවාට වඩා කාලානුරූපව තමන්ගේ දැවැන්ත බව නංවාගනිමින් පවත්වා ගන්නට තරම් ඔවුන්ගේ ව්‍යාපාරික දැනුම ප්‍රබලයි. මෙය අපිට තිබුණා නම්, පිටරටට ගොරකා වෙනුවට ටයර් යවන්නටත්, මිරිස් කුඩු වෙනුවට ගඩොල් කුඩු යවන්නටත් පෙළඹෙන්නේ නැතිව බොහෝ කාලයක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට පත්ව ඉන්නට තිබුණා. තවමත් අපි ප්‍රමාද නැහැ.

මූලාශ්‍ර: The Verge

කවරයේ පින්තූරය: sciencedaily.com

Related Articles