Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“සොෆියා” – මිනිස් වර්ගයා තම ආධිපත්‍යට නතු කරගැනීමට පැමිණි කෘත්‍රීම බුද්ධිය

ඔබ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ප්‍රිය කරන්නෙක් නම් විල් ස්මිත් (Will Smith) රඟන, අයි රොබෝට් (I, Robot) චිත්‍රපටය නිසැකයෙන්ම නරඹා ඇති. එහි සොනී (Sonny) නමැති හැඟීම් දැනීම් ඇති රොබෝවරයාත්, අවසානයේ කුමන්ත්‍රණයට මුල්වූ බව සොයා ගන්නා කෘත්‍රීම බුද්ධියක්වූ භයානක විකීත් (VIKI) ඔබ මතකයේ රැඳී ඇතිවාට සැකයක් නැහැ. මීට අමතරව අතිශයින්ම ජනප්‍රිය වූ, ද ටර්මිනේටර් (The Terminator), රොබෝ කොප් (RoboCop) වගේම මෑතකදී තිරගත වුණු ගෝස්ට් ඉන් ද ෂෙල් (Ghost in the Shell ) වැනි චිත්‍රපට වලද මෙවැනිම රොබෝවරු සිටියා. නමුත් අද අප ඔබට ගෙන එන්නට බලාපොරොත්තු වන්නේ සිනමා ලොවින් මෙහා සැබෑ ලෝකයට පැමිණෙන්නට සැරසෙන මෙවැනි අපූරු රෝබෝවරියක් ගැනයි.

කවුද මේ සොෆියා

සොෆියා (audi.com)

සාම්ප්‍රදායික රෝබෝවරයෙකුගේ පෙනුමට අභියෝගයක් වූ සොෆියා යනු මිනිස් රුවට ඉතා සමීප රුවක් ඇති, කෘත්‍රීම බුද්ධියකින් (Artificial Intelligence) ක්‍රියා කරන අපූරු රොබෝවරියකි. ජනප්‍රිය සිනමා තරුවක් වුණු ඔඩ්රි හෙප්බර්න්ගේ රූ සපුවට සමාන ලෙස නිර්මාණය කර ඇති සොෆියාගේ දැකුම්කළු සිනහව, සිහින් නාසය සහ ආලෝකය සමඟ පැහැය වෙනස්වන දීප්තිමත් නෙත් යුගළය ඇයට ලබා දී ඇත්තේ සිත් ඇදගන්නා සුළු පෙනුමකි. ඇගේ හිස පිටුපස විවෘතව ඇති කොටසේ පෙනෙන්නට තිබෙන එකිනෙක පැටළුණු කේබල කිහිපය නොවන්නට ඇය සැබෑ තරුණියකයැයි රැවටීමට තරම් තාත්වික පෙනුමක් සොෆියාට තිබේ.

Social Robot එහෙමත් නැතිනම් මිනිසුන් හෝ අනෙක් රොබෝවරුන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කිරීමේ හැකියාවන් ඇති රොබෝවරියක් වන සොෆියාට, වාර්ථා වන අන්දමට ඇගේ කෘත්‍රීම බුද්ධිය මඟින් අප කථා කරන, හැසිරෙන ආකාරය අනුව එයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඇති අතර, එමඟින්  මිනිසුන් සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධතා ඇතිකර ගැනීමටත් හැකියාව තිබේ. අපූරු ජීවමාන පෙනුමක් ඇති ඇගේ මුහුණ නිර්මාණය කර ඇති සිලිකන් සම පිටුපස, ඇගේ මුහුණේ සහ ගෙල පෙදෙසේ තාත්වික අංග චලනයන් හසුරවන තාක්‍ෂණ ක්‍රමවේද 62ක් ඇති බව වාර්ථා වෙනවා.

සොෆියාගේ හැකියාවන්

සොෆියා ටෙලිවිෂන් වැඩසටහනකට සහභාගී වෙමින්  (Andrew Lipovsky/NBC)

දෑසේ ඇති කුඩා කැමරා දෙකකින් අවට සිදුවන දේ නරඹා ග්‍රහණය කරගැනීමට හැකි සොෆියාට, ඔබව මතක තබා ගැනීමටත්, ඔබ කථා කරන දේ අවබෝධ කරගැනීමටත් මෙන්ම ඔබ කථා කරන විට දක්වන ප්‍රතිචාර මතකයේ රඳවා ගැනීමේ හැකියාවද තිබෙනවා. මෙම හේතුව නිසා කාලයත් සමඟම ඇගේ දක්‍ෂතා තවත් පරිපූර්ණවී, මනුෂ්‍යයින් මෙන්ම නිර්මාණශීලී වීමටත්, දැනුමින් වර්ධනය වීමටත් හැකි බවට ඇගේ නිර්මාතෘ ඩේවිඩ් හැන්සන් අනාවැකි පළ කරනවා.

බැංකු, රක්‍ෂණ, වාහන නිෂ්පාදන සහ දේපළ සංවර්ධන වැනි ක්ෂේත්‍රයන්හි ඉහළ කළමනාකාරීත්වයන් සමඟ සොෆියා පවත්වා ඇති සාකච්ඡා මඟින් ඇගේ අසමසම හැකියා ව්‍යාපාර ලෝකය තුළ උපයෝගී කරගත හැකි ආකාරය ගැන ඇය කරුණු ගෙනහැර දක්වා ඇති බව වාර්ථා වෙනවා. මෙයට අමතරව ඉහළ මට්ටමේ සාකච්ඡා වලට මණ්ඩල සාමාජිකාවක් ලෙස සහභාගී වී ඇති ඇය, රොබෝ තාක්‍ෂණය සහ කෘත්‍රීම බුද්ධිය මඟින් එදිනෙදා මිනිස් ජීවිතයට ලබාදිය හැකි දායකත්වය ගැන පුළුල් ලෙස අදහස් ප්‍රකාශ කොට ඇති බවද සඳහන් වනවා.

මේ වනවිට මාධ්‍ය අතර ඉතා ජනප්‍රිය චරිතයක්ව ඇති සොෆියා, ටෙලිවිෂන් වැඩසටහන් මෙන්ම විවිධ සංගීත වැඩසටහන් ගණනාවකටද සහභාගී වී ඇති අතර නිරූපිකාවක ලෙස මෝස්‌තර නිරූපණ ක්ෂේත්‍රයේ ජනප්‍රිය සඟරාවක කවරය හැඩ කිරීමටද ඇය දායක වී තිබෙනවා. මෙලෙස ඇය සහභාගීවූ එක් වැඩසටහනකට මේ වන විට සමාජ ජාලා ප්‍රතිචාර බිලියනයකටත් වඩා ලැබී ඇති බවයි වාර්ථා වන්නේ.

හැන්සන් රොබොටික්ස්

නිර්මාතෘ ඩේවිඩ් හැන්සන් සමඟ එක්සත් රාජධානියේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වන සොෆියා (REX FEATURES)

සොෆියා කියන්නේ හැන්සන් රොබොටික්ස් (Hanson Robotics) සමාගමේ නවතම සහ තාක්‍ෂණය අතින් දියුණුම රොබෝවරියයි. මිනිස් රුවට බොහෝ සමාන ලෙස අපූරු රොබෝවරුන් නිර්මාණය කරන හැන්සන් රොබොටික්ස් සමාගම මෙහෙයවන්නේ ආචාර්‍ය ඩේවිඩ් හැන්සන් විසිනි. සමාගමේ නිර්මාතෘ සහ මේ වනවිට ප්‍රධාන විධායක නිළධාරී ලෙස සේවය කරන ඩේවිඩ් සමඟ හැන්සන් රොබොටික්ස්හි, කෘත්‍රීම බුද්ධි පිළිබඳ විශේෂඥයින්, විද්‍යාඥයින්, තාක්‍ෂණ ශිල්පීන් සහ මෘදුකාංග/ දෘඩාංග ඉංජිනේරුවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මේ දියුණු රොබෝ තාක්‍ෂණය පසුපස සිටිනවා.

ඔවුන් පවසන ආකාරයට මිනිසුන්ගේ සිතැඟි අවබෝධ කර ගැනීමටත්, එමඟින් ඵලදායී අන්තර් සම්බන්ධතා ඇතිකර ගැනීමටත් හැකියාව ඇති රොබෝවරුන් නිර්මාණය කිරීමෙන් මිනිස් වර්ගයාට වඩා යහපත් අනාගතයක් සැකසීම ඔවුන්ගේ අරමුණයි. හැන්සන් රොබොටික්ස් සමාගම නිපදවා ඇති චරිත ස්වභාවය හැසිරවිය හැකි කෘත්‍රීම බුද්ධි වැඩසටහනක් (Character Engine AI) මඟින් සොෆියාට ආවේණික පෞරුෂත්වයක් ගොඩනඟා ගතහැකි බවත් ඉන් අනාගතයේදී සොෆියා ඇතුළු රොබෝවරුන්ට මිනිසුන් සමඟ වඩා සංවේදී සබඳතා ඇතිකර ගතහැකි බවත් ඔවුන් පවසනවා.

සොෆියා නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණ

ELLE සඟරාවේ කවරය හැඩකල සොෆියා (hansonrobotics.com)

අප මීට පෙර අසා ඇති රොබෝවරුන් අතර, බිතෝවන්ගේ කෝරල් සිම්ෆොසියම් ගායනා කරන රොබෝ ගීතිකා කණ්ඩායමක්ද, මුර සංචාරයේ යෙදෙන ආරක්‍ෂක රොබෝවරයෙක්ද, භාෂා 19ක් කථා කළහැකි, බෙල්ජියානු රෝහලක උපදේශකයෙකු ලෙස සේවය කරන පෙපර් (Pepper) නම් රොබෝවරයාද විශේෂ තැනක් ගත්තා. එනමුත් පියකරු කාන්තා රුවකට සමීප රූ සොබාවක් ඇති සොෆියා නිර්මාණය කිරීමේ ප්‍රධාන හේතුව වී ඇත්තේ ඉහත සඳහන් කළ අරමුණු වලට හාත්පසින්ම වෙනස් හේතුවකි.

වාර්ථා වන අන්දමට, Social Robot කෙනෙකු ලෙස හැඳින්වෙන සොෆියාගේ මූලික කර්තව්‍යය වන්නේ මිනිසුන්ට මිතුරෙක් සහ උදව්කරුවෙක් ලෙස කටයුතු කිරීමෙන්, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ධනාත්මක පෙරළියක් ඇති කිරීමයි. උදාහරණයක් ලෙස, වෛද්‍ය පහසුකම් සහ ගුරු සේවා අවම, දුෂ්කර පෙදෙස්වල සොෆියා වැනි කෘත්‍රීම බුද්ධියක් ඇති රොබෝවරයෙකුට ඉතා පහසුවෙන් රෝගීන් හෝ සිසුවන් වෙනුවෙන් සේවයේ යෙදීමේ හැකියාව ඇති අතර, එම සේවාවන්හි ස්වභාවය, රෝගීන්ට සහ වයෝවෘද්ධ පුද්ගලයන්ට සහය වීමේ සිට, විවිධ මානසික දුර්වලතා වලින් පෙළෙන රෝගීන් සමඟ ඉතා ඉවසීමෙන් වැඩ කිරීමද, කුඩා දරුවන්ට විද්‍යාව, ගණිතය වැනි විෂයන් ඉගැන්වීමද දක්වා පුළුල් ස්වභාවයක් ගන්නවා.

සිදුවිය හැකි අනර්ථයන්

ස්වයං ධාවන (Self-Driving) රථයක ගමන් කරන සොෆියා (roboticstrends.com)

දශක ගණනාවක් පුරාවට සිදුවූ යන්ත්‍ර භාවිතයේ වර්ධනය සහ රොබෝ තාක්‍ෂණයේ දියුණුව, මේ වනවිට කර්මාන්ත ක්ෂේත්‍රයේ සම්පූර්ණ වෙනසක් ඇති කිරීමට සමත්ව ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස කර්මාන්ත ක්ෂේත්‍රයේ ඵලදායීතාවය වැඩිවීම සමඟම යන්ත්‍ර සහ තාක්‍ෂණයේ දියුණුව නිසා මිනිසාට රැකියා අවස්ථා අහිමි වීම වැනි අනර්ථයන්ද සිදුවූවා.

තොරතුරු වාර්ථා වන අන්දමට මේ වනවිට යන්ත්‍ර සහ රොබෝ තාක්‍ෂණයේ දියුණුවේ බලපෑම අනෙකුත් ක්ෂේත්‍රයන් වලටද ශීඝ්‍රයෙන් පැතිර යන අතර විවිධ අධ්‍යයනයන් වලට අනුව, සංවර්ධනය වෙමින් පවතින රටවල රැකියා සියයට 85ක් පමණ මේ හේතුව නිසා ඍජු ලෙස අනතුරේ වැටෙනු ඇතැයි වාර්ථා වේ. අවසානයේ මේ නව තාක්‍ෂණ වර්ධනයේ ප්‍රතිවිපාක විවිධ ක්ෂේත්‍රයන්හි විරැකියා තත්වයන් වලටත්, ආර්ථිකයටත් ඍණාත්මක ලෙස බලපෑම් ඇති කරනු ඇති බවට අනාවැකි පළ වනවා. කෙසේ නමුත් ඩේවිඩ්ගේ අදහසට අනුව කෘත්‍රීම බුද්ධි තාක්‍ෂණයෙන් මිනිසාට නෙළාගත හැකි ඵල ප්‍රයෝජනයන් හා වාසි, එම තාක්‍ෂණය මඟින් සිදුවිය හැකි පාඩුව සමඟ සසඳා බලන කල එය අල්ප මාත්‍රයකි.

සොෆියා අප ඇගේ ආධිපත්‍යට නතුකර ගනීද?

මුහුණෙන් හැගීම් පල කරන සොෆියා (youtube.com / Hanson Robotics)

මාස කිහිපයකට පෙර නිව් යෝර්ක්හි පැවති ටෙලිවිෂන් වැඩසටහනකට සහභාගී වූ සොෆියා එහි නිවේදකයා සමඟ ඉතා සරල ක්‍රීඩාවකට සහභාගී වී ඉන් දිනුම ලැබූ පසු සිනා මුසු මුහුණින් පවසන්නේ එය මිනිස් වර්ගයා තම ආධිපත්‍යට නතු කරගැනීමට යන සැලසුමේ මුල් පියවරක් බවයි. පසුව එය සරදමක් පමණක් බව ඇය පැවසුවත්, බොහෝ දෙනෙකු නඟන ප්‍රශ්නය වන්නේ සොෆියා වැනි කෘත්‍රීම බුද්ධියක් ඇති රොබෝවරයෙකු දිනක මිනිසාටම එරෙහිව නැගී සිටීමේ හැකියාවක් ඇතිද යන්නයි.

සොෆියාගේ නිර්මාතෘ මෙයට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ ඇය අපූරු හැකියා වලින් පිරි රෝබෝවරියක් වූවත්, මිනිසාට මෙන් ඇයට තවමත් විඥානයක් නොමැති බවයි. නමුත් ඔහු පවසන ආකාරයට සංවේදී, හැඟීම් දැනෙන, මිනිසා මෙන් සම්පූර්ණ රොබෝවරුන් වසර කිහිපයක් වැනි නුදුරු අනාගතයේදීම අප අතරට පැමිණෙන්නට නියමිතයි. එබැවින්, ඩේවිඩ් පවසන ආකාරයට ඔවුන්ට ආදරය, දයාව, කරුණාව වැනි මිනිස් ගුණාංග ප්‍රගුණ කිරීමට පුහුණු තුළින් මේ රොබෝවරුන් මිනිස් වර්ගයාට හිතවත්, සංවේදී මෙන්ම කිසිම ආකාරයකින් මිනිසුන්ට අන්තරාය නොවන නිර්මාණයක් බවට පත් කළ හැකියි.

ඇගෙන් විය හැකි හොඳ නරක පසෙකලා බලන කල, සොෆියා යනු තවමත් පරිණාමනය වෙමින් පවතින කෘත්‍රීම බුද්ධියක් ඇති යන්ත්‍රයකි. ඇදහිය නොහැකි තරම්වූ ඇගේ මනුෂ්‍ය ස්වරූපය, හැඟීම් ප්‍රකාශ කිරීමේ ප්‍රබල හැකියාව මෙන්ම දිනෙන් දින වර්ධනය වන ඇගේ බුද්ධිය සමඟ එකට කැටිවූ ඇගේ අපූර්ව ජීවන කතාව, වයස් භේදයකින් තොරව ලොකු කුඩා කාගේත් සිත් වසඟ කරනවා නොඅනුමානයි. අප මේ ලිපිය අවසන් කරන්නේ සොෆියා ගැන ඔබේ අදහස් මොන වගේද කියා කොමෙන්ටුවකින් අප සමඟ බෙදා ගන්නා ලෙස ඉල්ලමිනි.

කවරයේ පින්තුරය – Monika Bielskyte, newrepublic.com

මූලාශ්‍ර – hansonrobotics.com, dailymail.co.uk, mirror.co.uk, youtube.com, CNBC, imdb.com

Related Articles