Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බිලියන තුනකට වඩා වටින කොම්පියුටර් සෙල්ලම – The International

ලංකාවේ කොම්පියුටරෙන් සෙල්ලම් කරනවා කියන්නේ ගෙදර මිනිස්සුන්ගෙන් කාලේ කනවා කියල බැණුම් අහන්න වෙන වැඩක්. ඒත් ලංකාවෙන් එපිටදී පරිඝනක ක්‍රීඩා, නැත්නම් ඊ-ක්‍රීඩා (esports) වලට තියෙන පිළිගැනීම හුඟක් ඉහල ගිහිං තියෙනවා. කාලයක් දකුණු කොරියාව, ජපානය වගේ රටවලට පමණක් සීමාවුණු වෘත්තිමය මට්ටමේ ඊ-ක්‍රීඩා තරඟාවලි දැන් යුරෝපය, ඇමරිකාව වගේම දකුණු ආසියාවේ සමහර තැන්වල පවා සාමාන්‍ය දෙයක් වෙලා. ක්‍රිකට්, පාපන්දු වගේ විශාල ක්‍රීඩාංගන ක්‍රීඩා ලෝලීන්ගෙන් පුරවලා, ප්‍රවීණයෝ විස්තර විචාරය කරන විකාශන පවා තියන මට්ටමට වෘත්තිමය ඊ-ක්‍රීඩා ඇවිල්ලා. මේකට හොඳම උදාහරණයක් තමයි “ඩෝටා 2” ක්‍රීඩාවේ ලොකුම තරඟාවලිය වන, ඇමරිකානු ඩොලර්  මිලියන 24ක් වටින, “ද ඉන්ටර්නැෂනල්” (The International) තරඟාවලිය.

ඩෝටා 2?

සරලව කිව්වොත් මේක පස් දෙනෙක්ගේ කණ්ඩායම් දෙකක් අතරේ තියෙන යුද්ධයක්. විවිධාකාර මායා බලයන් තියෙන “වීරයන්” (Heroes) ක්‍රීඩකයින් විසින් හසුරුවා තමයි ක්‍රීඩාව කෙරෙන්නේ. වටයක අරමුණ වෙන්නේ අනික් පිලේ කඳවුර විනාශ කිරීමයි.

ඩෝටා 2 කියන්නේ අවුරුදු 14ක් ඉතිහාසයක් තියෙන ක්‍රීඩාවක්. 2002 බ්ලිසර්ඩ් (Blizzard) සමාගම නිකුත් කල වෝර්ක්රාෆ්ට් III (Warcraft III: Reign of Chaos) කියන ක්‍රීඩාව ස්ටීව් ෆීක් (Steve Feak) සහ අයිස්ෆ්රොග් (IceFrog) කියන අන්වර්ථ නාමයෙන් හදුන්වන ක්‍රීඩකයින් දෙදෙනා “මොඩ්” කරලා Defence of the Ancients නැත්නම් ඩෝටා (DoTA) කියන ක්‍රීඩාව හැදුවා. 2009දි වෑල්ව් (Valve) සමාගම මෙහි අයිතීන් මිලදීගෙන ඩෝටා 2 නමින් එහි නව සංස්කරණයක් හඳුන්වා දුන්නා. ඒක තමයි දැන් මේ ලොව පුරා ප්‍රචලිත වෙලා තියෙන්නේ.

“අන්තර්ජාතිකය” (The International නැත්නම් TI)

blog.dota2.com

නැවත වරක් වෑල්ව් සමාගම විසින්ම පවත්වන 2017 වසරේ “ද ඉන්ටර්නැෂනල්” තරඟාවලිය (TI7) කවදාවත් නැති තරම් විශාල වුණා. මේ සැරේ සම්පුරණ තෑගි මුදල ඩොලර් මිලියන 24ක් වනවා. ශ්‍රී ලංකා රුපියල්වලින් මෙය රුපියල් බිලියන 3 කට වැඩියි.. ඒ පහුගිය මාස 12 තුල තිබුණ ඩෝටා තරඟාවලි ඔක්කොම එකතු කරලත්, ඒ වගේ තුන් ගුණයක් තරම් වෙන විශාල මුදලක්. ඒකට තරඟ කරන්න ලෝකේ වටෙන් කණ්ඩායම් 18ක් ආවා.

මේක අනිත් අපිට පුරුදු ක්‍රීඩා එක්ක බැලුවත් සුවිසල් මුදලක්. සම්පුර්ණ IPL තරඟාවලියේ තෑගි මුදල ඩොලර් මිලියන 8ක් පමණයි. අන්තිම ක්‍රිකට් ලෝක කුසලානයේ සම්පුර්ණ තෑගි මුදලත් ඩොලර් මිලියන 10ක් විතර. අන්තර්ජාතිකය දිනන කණ්ඩායමට විතරක් ඩොලර් මිලයන 10ක් ලැබෙනවා. ටෙනිස්වල විම්බල්ඩන් තරඟාවලියේ සම්පුරණ තෑගි මුදල නං ඩොලර් මිලියන 30ක් විතර වෙනවා. හැබැයි තාම පාපන්දු චැම්පියන්ස් කුසලානයේ ඩොලර් මිලියන 800 තරම් මට්ටමකට ඩෝටා ඇවිල්ලා නැහැ.

කණ්ඩායම්

ලෝකයේ හැම පැත්තකින්ම තරඟ බිමට පැමිණි කණ්ඩායම් (click-storm.com)

වසර පුරා දක්වන ලද ක්‍රීඩා කුසලතා මත කණ්ඩායම් හයක් තරඟාවලියට සෘජුව ආරාධනා ලබනවා. ඒ වගේම ඇමරකානු, චීන, ආසියානු සහ යුරෝපීය කලාප තරඟාවලි වලින් සුදුසුකම් ලබා කණ්ඩායම් 12ක් සහභාගී වෙනවා. මූලික වටයෙන් පසුව, අවසාන දිනය වෙනකොට ඉතිරි වුණේ කණ්ඩායම් තුනක් පමණයි.

අවසාන තරඟ

අවසාන දිනය වෙනකොට අවසාන තරඟයට නිව්බී (Newbee) තේරුණු අතර, ඔවුන්ගේ ප්‍රතිවාදියා වෙන්න ටීම් ලික්විඩ් (Team Liquid) සහ එල්.ජී.ඩි. ෆොරෙවර් යන්ග් (LFY) තරඟ වැදුණා.

ටීම් ලික්විඩ් කණ්ඩායම අවසාන දිනයට පැමිණි ආකාරය

ටීම් ලික්විඩ් කියන්නේ යුරෝපෙන් එන තවත් සුපිරි කණ්ඩායමක්. ඔවුන් අවුරුදු ගාණක් ක්‍රීඩා කරලා තියෙන පරිණත කණ්ඩායමක්. “මිරැකල්” ලෝකේ හොඳම ක්‍රීඩකයෙක් කියල සමහරු කියන අතර, නායක ‘කුරෝකි’ හැමදෙනාම ගරුකරන අත්දැකීම් ඇති ක්‍රීඩකයෙක්. ඒ වුණාට ප්‍රධාන තරඟයේදී ඔවුන්ට පහසුවෙන් ඉදිරියට එන්න හැකිවුණේ නැහැ. මුලික වටයේ ඉහලින්ම ආවත් ඉහල පෙළ තරඟවලදී ඉන්වික්ටස් (Invictus Gaming) හමුවේ පරාජය වී පහල පෙළ තරඟවලට වැටුණා. නමුත් පහල පෙළ තරඟාවල ඔවුන් ඉතා උත්සාහයෙන් තරඟ වැදුණා. සික්‍රට් (Team Secret), TI5 ජයග්‍රහණය කල එම්පයර් (Empire), වර්ටුස් ප්‍රෝ (Virtus Pro) සහ සුපිරි චීන කණ්ඩායමක් වන LGD පරාජය කළා. විශේෂයෙන් වර්ටුස් ප්‍රෝ සමග තරඟය මිනිත්තු 100ට වැඩි ඉතා අභියෝගාත්මක​ තරඟයක් වුණා.

නිව්බී කණ්ඩායම අවසාන දිනයට පැමිණි ආකාරය  

හතරවැනි ඉන්ටර්නැෂනල් තරඟාවලිය ජයගත් නිව්බී චිනේ විශිස්ටතම කණ්ඩායමක්. මේ වසරේ ඔවුන් තරඟාවලි කිහිපයක්ම ජයගත්තා. ඒක නිසාම තමයි මේ වසරේත් ඔවුන්ට ආරාධනා ලැබෙන්නේ. ඔවුන් එන්නේ අන්තර්ජාතිකය දෙවරක් දිනාගන්න පුළුවන් වෙන පළවෙනි කණ්ඩායම වෙන බලාපොරොත්තුවෙන්. සෙන්ග් හොංඩා හෙවත් ෆේත් (Faith) පරිණත ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක්. ඔවුන් මෙතෙන්ට එන්න ඊවිල් ජිනිය්සස් (Evil Geniuses), ඉන්වික්ටස් (Invictus Gaming) වැනි සුපිරි යුරෝපීය සහ චීන කණ්ඩායම් පරාජය කළා.

LFY කණ්ඩායම අවසාන දිනයට පැමිණි ආකාරය

එල්.ජී.ඩි. ෆොරෙවර් යන්ග් නැත්නම් LFY කණ්ඩායම ඇරඹුණේ LGD කණ්ඩායමේ කනිෂ්ට කණ්ඩායමක් හැටියට. නමුත් ඔවුන් ඉක්මනින් තම දක්ෂතා පෙන්වා ප්‍රධාන කණ්ඩායම තරම් තැනකට පැමිණියා. පැරණි අත්දැකීම් ඇති ශි යුන්හාඕ සහ දූ පෙන් වැනි තරුණ ක්‍රීඩකයින් සිටින මේ අමුතු කණ්ඩායම දැන් තම හැකියාවන් ඔප්පු කර හමාරයි. ඒ පැරණි, වඩාත් පිළිගත් කණ්ඩායම් රැසක් පරාජය කරමින්.

අවසාන තරඟය වට පහකින් සමන්විත දිග තරඟයක්. ඒ වගේම ඊට කලින් තියෙන සුදුසකම් තරඟයත් වට තුනක් වෙනවා. එක වටයක් සාමාන්‍යයෙන් විනාඩි 30ක්, 40ක් විතර වෙන නිසා මේක බලලා ඉවර වෙන්න ටිකක් වෙලා ගතවෙයි.

ටීම් ලික්විඩ් (Team Liquid) සහ එල්.ජී.ඩි. ෆොරෙවර් යන්ග් (LFY) පළමුව තරඟ වැදුණා. තරඟාවලියේ සැලැස්ම අනුව මොවුන් කලින් තරඟ කර තිබුණ අතර ඉන් LFY ජයග්‍රහණය කළා. නමුත් මේ සැරේ කතාව වෙනස් වුණා. වට තුනෙන් පළමු වටය LFY ජයගත්තත්, ලික්විඩ් ඊළඟ වට දෙකම ඉතා හොඳ සටනක් දී තරඟය ජයග්‍රහණය කළා. ඒකෙන් ඔවුන් අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබුවා.

දැන් අවසන් තරඟයට හිටියේ නිව්බී (Newbee) සහ ටීම් ලික්විඩ් (Team Liquid). සියලු දෙනාම හොඳ තරඟයක් බලාපොරොත්තු වුණා. නමුත් දැනට තිබුණ TI අවසන් තරඟ වලින් එකක් පමණයි වට පහක් වෙනකං ක්‍රීඩා කෙරුණේ. මේ සැරෙත් එහෙම තමයි. නිව්බි කණ්ඩායමේ උත්සාහය හමුවේ ඉතා හොඳින් ක්‍රීඩා කර, පළමු වට තුනම ජයග්‍රහණය කරමින්, ටීම් ලික්විඩ් අවසාන මහා තරඟය ජයග්‍රහණය කළා. ඔවුන් අන්ත්රජාතිකය දිනාගත්තේ පළමු වතාවටයි. ඒකට ඩොලර් මිලියන 10ක තෑග්ගක් සහ Aegis of Champions පලිහ ලැබුණා.

දැන් බලන්න පුලුවන්ද?

තරඟ පැවැත්වෙන වේදිකාව මත කණ්ඩායම් සිටින හඬවරන කුටි (cambo-report.com/)

බලන්න පුළුවන් තැන් කිහිපයක් තියෙනවා. ඩෝටා 2 ක්‍රීඩාව ඔබේ පරිඝනකයේ ස්ථාපනය කරලා තියෙනවනං ඒක හරහා ඔබට මේ තරඟ විස්තර විචාරය සමගම නරඹන්න පුළුවන්. HTC Vive වැනි virtual reality උපකරණ ඔබ සතු නම් විශේෂ virtual reality අත්දැකීමක් ඔබට ලබාගන්න පුළුවන්. මේ සියලු විකාශ යුටියුබ් අඩවියෙන් සහ ට්විච් (Twitch) අඩවියෙන්ද ඔබට නරඹන්න පුළුවන්. මේ ක්‍රීඩාවට අලුත් අයට තේරුම් ගන්න ලේසි වෙන්න විශේෂ විස්තර විකාශයක් Newcomer Stream නමින් බලන්නත් පුළුවන්.

ලංකාවෙන් යන්න බැරිද?

දැනට ඩෝටා වල දක්ෂම ක්‍රීඩකයින් තමන්ගේ සම්පුර්ණ දිනචරියාවම ඩෝටා වෙනුවෙන් වෙන් කරනවා. හරියට ක්‍රිකට්, පාපන්දු වගේ වෙනත් ක්‍රීඩාවල වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෝ වගේ. ඒ ඔව්නුත් අනුග්‍රාහකයන්ගෙන් මුදල් ලබන වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෝ නිසා. දැනට ලංකාවේ දක්ෂ ක්‍රීඩකයෝ හිටියත් ඒ වගේ පුහුණුවක් නැතුව ඉහලම මට්ටමට සුදුසුකම් ලබන්න අමාරුයි. එහෙම පුහුණුවකට පහසුකම්, අනුග්‍රාහකයෝ ලබාගන්න පුළුවන් තරමට ලංකාවේ ඊ-ක්‍රීඩා තාම පිළිගැනීමකට ලක්වෙලා නැහැ. නමුත් පිටරට තරඟාවලිවලට ගිහිල්ල දකෂතා දක්වන්න තරම් අපේ ක්‍රීඩකයින්ට දක්ෂතා තියෙනවා.  සමහරවිට අනාගතේ ලංකාවේ කණ්ඩායමක් අන්තර්ජාතිකය දිනයි කියල බලාපොරොත්තු තියං ඉන්න එකේ වැරද්දක් නැහැ.

Related Articles