විද්‍යාව සහ තාක්ෂණය

විනාඩි 3 ක කියවීමක්

රතු රුධිරාණු සෛලය ගැන මේ දේවල් ඔබ දන්නවාද?

Published

විනාඩි 3 ක කියවීමක් to read

Facebook Twitter GPlus

මිනිස් සිරුරේ සෛල තුළ සිදුවන පරිවෘත්තීය ක්‍රියා සඳහා එම සෛල තුළට ඔක්සිජන් ගමන් කිරීම අවශ්‍ය වන අතර, එම පරිවෘත්තීය ක්‍රියාවලදී නිපදවන කාබන්ඩයොක්සයිඩ් එම සෛල තුලින් පිට කිරීමද අත්‍යවශ්‍ය කටයුත්තක්. වායුගෝලයේ පවතින ඔක්සිජන් අප ආශ්වාස කිරීමේදී පෙනහළු හරහා අපගේ ශරීරය තුළට ඇතුළු වෙනවා. පෙනහළු තුළට ඇතුළුවන මෙම ඔක්සිජන් දේහයේ අනෙකුත් සෛල කරා ගමන් කිරීමටත්, සෛල තුළ නිපදවන කාබන්ඩයොක්සයිඩ් දේහයෙන් ඉවත් කිරීමටත් පරිවහන මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. මෙහිදී පරිවහන මාධ්‍ය ලෙස ක්‍රියා කරන්නේ රතු රුධිරාණු සෛලයයි.

ඉතින් රතු රුධිරාණු සෛලය පිළිබඳව ඔබ නොදත් බොහෝ කරුණු පිළිබඳව මේ ලිපිය තුළින් ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා. අපේ දේහයේ ඇති රතු රුධිරාණුව පිළිබඳව කෙතරම් දේවල් අප දැනගත යුතු නොවේද?

පෙනහළු තුළදී වායුගෝලීය ඔක්සිජන් සරල විසරණය හරහා රුධිරය තුළට ඇතුළුවන අතර ඉන්පසු එම ඔක්සිජන් රතු රුධිරාණු තුළට ඇතුළු වෙනවා. රතු රුධිරාණු සෛල තුළ වැඩි ඝනත්වයකින් පවතින හිමෝග්ලොබින් ප්‍රෝටීන මගින් මෙම ඔක්සිජන් බැඳ තබා ගනී. එක් හිමෝග්ලොබින් අණුවකට ඔක්සිජන් අණු 4ක් බැඳ ගැනීමේ හැකියාවක් ඇත. මෙසේ බැඳගත් ඔක්සිජන් අපගේ හිසේ සිට පාදය දක්වා ඇති සියලුම සෛල කරා රැගෙන යාමට නම් එම රතු රුධිරාණුවලට ඉතා කුඩා කේශනාලිකා හරහාද ගමන් කිරීමට සිදුවේ. මේ සදහා ඉතා අද්විතීය ගුණාංග රැසක් රතු රුධිරාණු සෛලය සතු වෙනවා. උදාහරණයක් ලෙස රතු රුධිරාණු සෛල ප්‍රමාණයෙන් ඉතා කුඩාය; ඒවායේ විශ්කම්භය 8 μm පමණ වන අතර පරිමාව 80-95 fL තරම් කුඩායි.

ද්වී අවතල, තැටි ආකාර හැඩයක් ගන්නවා. එවිට පෘෂ්ඨිය වර්ගඵලය/පරිමාව අනුපාතය වැඩි අගයක් ගන්නා නිසා රතු රුධිරාණු සෛලය තුළට හා ඉන් පිටතට සිදුවන වායු හුවමාරු කාර්යක්ෂමතාව  වැඩි වෙනවා.

3.5 μm පමණ වූ සමහර කේශනාලිකා තුලින් ගමන් කිරීමේදී හැඩය වෙනස් කරගැනීමේ හැකියාවද රතු රුධිරාණු සෛලයට පවතිනවා.

සෛල තුළ වැඩි ඝණත්වයකින් හිමෝග්ලොබින් ප්‍රෝටීන අඩංගු වන නිසා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් පරිවහනය කිරීමට හැකියි.

රතු රුධිරාණු නිෂ්පාදනය

රතු රුධිරාණු සෛල පටලය ( nature.com)

මෙම අද්විතීය ගුණාංග රැගත් රතු රුධිරාණු සෛල නිපදවන්නේ මිනිස් දේහයේ ඇටමිදුළු තුළයි. දිග අස්ථිවල මධ්‍යයේ, කශේරුකාවල හා හිස්කබලේ අස්ථිවල ඇති රතු ඇටමිදුළු තුළ මෙම රතු රුධිරාණු නිපදවීම සිදුවෙනවා. රතු රුධිරාණු නිපදවීම යාමනය කරන්නේ වෘක්ක මගින් නිපදවන එරිත්‍රෝපොයිටීන් නමැති හෝමෝනය මගින්. මෙම එරිත්‍රෝපොයිටීන් හෝමෝනය නිපදවීම වෘක්ක සෛල තුළ ඇති ඔක්සිජන් මගින් උත්තේජනය කරනවා. වෘක්ක සෛල තුළ ඔක්සිජන් ආංශික පීඩනය අඩුවිට එරිත්‍රෝපොයිටීන් නිපදවීම වැඩිවන අතර එමගින් වැඩි වශයෙන් රතු රුධිරාණු නිපදවීම උත්තේජනය කරවනවා.

වැඩුණු පිරිමි පුද්ගලයෙකුගේ රුධිරය ලීටරයක් තුළ රතු රුධිරාණු සෛල 4.5-6.5 × 1012 ක්  පවතින අතර කාන්තාවකගේ රුධිරය ලීටරයක් තුළ 3.9-5.6 × 1012 පමණ පවතිනවා.

රතු රුධිරාණු සෛල පටලය

heriditory spherocytosis  රෝගී තත්වය (Pinterest)

රතු රුධිරාණු සෛලය සෛල පටලයකින් සංවෘතව පවතින අතර  එම සෛල පටලය සෑදී ඇත්තේ ලිපිඩ ද්විත්ව ස්ථරයකින් හා එම ද්විත්ව ස්ථරය තුළ ගිලී හා පිටතින් හා ඇතුලතින් ද්විත්ව ස්ථරය සමග බැඳී ඇති ප්‍රෝටීන වලින්. ඊට අමතරව කාබෝහයිඩ්‍රේට සුළු ප්‍රමාණයකින්ද සෛල පටලය සමන්විත වෙනවා. සාමාන්‍යයෙන් 50% ක් ප්‍රෝටීනද, 20% ක් ලිපිඩද, 20% ක් කොලෙස්ටරෝල් හා 10% ක් කාබෝහයිඩ්‍රේටද සෛල පටලයේ අඩංගුයි. මෙම සෛල පටලය හරහා ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ් සරල විසරණය ඔස්සේ ගමන් කරනවා.

මෙම සෛල පටලය රතු රුධිරාණුවේ නියමිත හැඩය වන ද්වි අවතල, තැටි ආකාර හැඩය පවත්වා ගැනීම සඳහා බෙහෙවින්ම වැදගත් වන අතර සමහර පුද්ගලයන්ගේ ප්‍රවේණිකව සිදුවන, මෙම සෛල පටල ප්‍රෝටීනවල අඩුලුහුඬුකම් හා වැරදි නිසා රතු රුධිරාණු සෛලයේ ඇති නියමිත හැඩය පවත්වා ගැනීමට නොහැකි වී යන අවස්ථා උදා වෙනවා. එවිට රුධිර කේශනාලිකා හරහා ගමන් කිරීමට නොහැකිවන අතර ඉක්මණින්ම රතු රුධිරාණු සෛල මරණයට පත්වෙනවා. මේ හේතුව නිසා රක්තහීනතා තත්වයක් ඇතිවිය හැකියි. “hereditary spherocytosis” එවැනි රෝගී තත්වයකට නිදසුනක් ලෙස දක්වන්නට පුළුවන්.

හිමෝග්ලොබින් ප්‍රෝටීන

හිමෝග්ලොබින් අණුව (luniversetmoi)

රතු රුධිරාණු තුළ අඩංගුවන හිමෝග්ලොබින් ප්‍රෝටීන නිපදවීම සිදුකරන්නේද වර්ධනය වන රතු රුධිරාණු තුළමයි. මිනිස් රතු රුධිරාණු තුළ හිමෝග්ලොබින් ප්‍රෝටීන වර්ග 03ක් අඩංගු වෙන අතර ඒවා  හිමෝග්ලොබින් A, හිමෝග්ලොබින් F හා හිමෝග්ලොබින් A2 ලෙස වර්ග කර දක්වන්නට පුළුවන්.

වැඩිහිටි පුද්ගලයන්ගේ රතු රුධිරාණු තුළ ප්‍රධාන වශයෙන්ම අඩංගු වන්නේ හිමෝග්ලොබින් A ප්‍රෝටීනය වන අතර මවගේ කුසතුළ සිටින දරුවාගේ හා උපතින් මාස 3-4ක් යන තෙක් දරුවාගේ රතු රුධිරාණු තුළ ප්‍රධාන වශයෙන් ඇත්තේ හිමෝග්ලොබින් F ප්‍රෝටීනයයි. එම වෙනස්කමට හේතුව වන්නේ මෙම හිමෝග්ලොබින් අණු සතුව ඇති ඔක්සිජන් ඇදගැනීමේ හැකියාවයි.

වැඩිහිටි පුද්ගලයන් පෙනහළු මගින් ඔක්සිජන් ලබාගත්තද මවගේ කුස තුළ සිටින දරුවාට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීමට සිදුවී තිබෙන්නේ කළල බන්ධය හරහායි. හිමෝග්ලොබින් F සතුව ඇති වැඩි ඔක්සිජන් ඇදගැනීමේ හැකියාව නිසා මවගේ කුස තුළදී දරුවා ඉතා කාර්යක්ෂමව කළල බන්ධය හරහා ඔක්සිජන් ලබාගන්නවා.

සමහර රෝගී තත්ත්ව වලදී රතු රුධිරාණු තුළ ඇති මෙම හිමෝග්ලොබින් ප්‍රමාණය සමාන්‍යයෙන් තිබිය යුතු මට්ටමට වඩා අඩු වී යයි. එවිට රක්තහීනතාවය නමැති රෝගී තත්වය ඇතිවීම දකින්නට පුළුවන්. යකඩ ඌණතාව නිසා ඇතිවන රක්තහීනතාව මේ සඳහා නිදසුනක්.

රතු රුධිරාණු තුලින් ගෙනගිය ඔක්සිජන් දේහ සෛල තුළට ඇතුල් කරන අතර එම සෛල තුළදී කාබන්ඩයොක්සයිඩ් රතු රුධිරාණු තුළට ඇතුළු වී පෙනහළු දක්වා ගමන් කර අපගේ දේහයෙන් පිටවී යනවා. මෙසේ පෙනහලුවලින් ඔක්සිජන් ලබාගත් රතු රුධිරාණු සෛලය දේහ සෛල තුළට ඔක්සිජන් බැර කර, කාබන්ඩයොක්සයිඩ් රැගෙන නැවත පෙනහළු දක්වා පැමිණීමට ගතවන්නේ තත්පර 20ක් වැනි සුළු කාලයක්. දින 120ක් වන තම ජීවිත කාලය තුළදී රතු රුධිරාණු සෛලය දේහය තුළ 480 Km දුරක් එහා මෙහා ගමන් කරන අතර, දින 120 අවසානයේදී ප්ලීහාව තුළට පැමිණෙන රතු රුධිරාණුව තම ජීවිත ගමන නතර කර දමන්නේ අප දේහයට විශාල සේවයක් කිරීමෙන් අනතුරුවයි.

ඉතින්, රතු රුධිරාණුව පිළිබඳව ඔබ නොදැන සිටි බොහෝ කරුණු ප්‍රමාණයක් ලිපිය ඔස්සේ දැන ගන්නට ඇතැයි අප විශ්වාස කරනවා.

කවරයේ පින්තූරය – shutterstock    

විශේෂ ස්තූතිය – පේරාදෙණිය වෛද්‍යපිඨයේ අවසන් වසර වෛද්‍ය ශිෂ්‍ය සුරාජ් ධනුෂ්ක 

වැඩිදුර මූලාශ්‍ර – Hoffbrand’s Essential Haematology

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්