ලොව ප්‍රථම මිනිස් හිසක් බද්ධ කිරීමේ සැත්කම

හිස් බද්ධයක් ගැන තොරතුරු ප්‍රවෘත්ති සිරස්තලයකට වඩා පුරාවෘත්තයක කොටසක් ලෙස අපේක්ෂා කිරීමට නූතන අපි පුරුදු වී සිටිමු.  ගෝඨයිම්බර යෝධයා පා පහරක් දී ජයසේනගේ හිස ගලවා දැමූ අවස්ථාවේ එම හිස වෙනුවට වලසකුගේ හිසක් බද්ධ කිරීමෙන් මහසොහොනා නම් අවතාරය නිර්මාණය වුණා  කියලා කතාවක් තියෙනවා. එත් අපි මේ කියන්න යන්නේ මේ වසර අගදී හෝ ලබන වසර මුලදී සිදු වෙතැයි අපේක්ෂා කරන ලොව ප්‍රථම ශිර්ෂ බද්ධය, එහෙම නැත්නම් සරලව කියනවා නම් හිස් බද්ධ සැත්කම ගැනයි.

මීට කලින් හිසක් බද්ධ කරලම නැද්ද ?

අපි මනුෂ්‍ය ශරීර ආශ්‍රිතව කරපු අත්, පා, වකුගඩු වගේ බද්ධ කිරීම් ගැන අහලා තියෙනවා. එත් ලෝකේ හිස් බද්ධ කිරීමේ සැත්කමුත් සිද්ධ වෙලා තියෙනවා. නමුත්  ඒ සතුන් යොදා ගෙනයි.

එකම සුනඛයෙක්ට හිස් දෙකක් බද්ධ කිරීමේ ලොව ප්‍රථම සැත්කම සිදුකර ඇත්තේ සෝවියට් දේශයේ විශේෂඥ වෛද්‍යවරයකු වූ ව්ලැද්මියර් දෙමිකොෆ් (Vladimir Demikhov) නම් අයෙකු විසිනුයි.1959 වසරේ සිදු කල මෙම සැත්කම සාර්ථක එකක් වුවත් එහි ප්‍රතිපලය දින හතරකට සීමා වුණේ මේ සුනඛයන් දෙදෙනා මිය යාම සමගයි. මෙහිදී සිදු කර තිබුනේ මාස දෙකක් වූ කුඩා සුනඛයාගේ හිස වසර හතරක් තරම් වූ සුන්ඛයෙකුගේ ශරීරයට සම්බන්ධ කිරීමයි.1968 දී නැවතත් එක් සුනඛ හිසක් තවත් සුනඛ හිසකට සම්බන්ධ කිරීමේ සැත්කමක් මොහු සිදුකළ අතර එම සුනඛයා දින 38ක් ජිවත් වී තිබුණා.

එකම සුනඛයෙක්ට හිස් දෙකක් බද්ධ කිරීමේ ලොව ප්‍රථම සැත්කම (img2.thejournal.ie)

මනුෂ්‍යන්ට පරිණාමයෙන් වඩාත්ම  සමීපතම ජීවියා ලෙස සැලකෙන්නේ වඳුරන්ය. අමෙරිකා ජාතික විශේෂඥ වෛද්‍ය රොබට් වයිට් මෙසේ රීසස් වඳුරා යොදා ගෙන හිස් බද්ධ කිරීමක් අත්හදා බලා ඇත්තේ වර්ෂ 1970 දීය.මෙහිදී එම නව හිස පරණ ශරීරය මගින් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම වඳුරා ජිවත් වී ඇත්තේ දින 9ක් පමණි. නමුත් මේ පර්යේෂණය මනුෂ්‍ය හිස් බද්ධ කිරීමේ සැත්කමට න්‍යායාත්මක වශයෙන් පදනමක්  ඉතුරු කර තිබෙනවා.

අපේ කාලයේ මද්දුම බණ්ඩාර කෙනෙක්?

මෙවන් භයංකර පර්යේෂණයකට මිනිසකු භාවිතා කිරීම බිලී පූජාවක් දි ඔබට සිතෙනු නොඅනුමානය. අදහා ගත නොහැකි වුණත්, එම අවධානම ගැනීමට දැනටමත් මිනිසෙකු ඉදිරිපත් වී සිටී. ඒ 31 හැවිරිදි වැලරි ස්පිරිඩොනොෆ් (Valery Spiridinov) නමැති රුසියානු ජාතික මෘදුකාංග ඉංජිනේරුවායි.

31 හැවිරිදි වැලරි ස්පිරිඩොනොෆ් (d.ibtimes.co.uk)

වැලරි, මාංසපේශීන්වල හටගත් බරපතළ රෝගි තත්ත්වයකින් පීඩා විඳින අයෙකි. එනිසා ඔහුගේ සියලු චලන රෝද පුටුවකට පමණක් සීමා වී ඇත. මෙම රෝගය වැළදෙන අයගෙන් බොහෝ දෙනෙකු එම රෝගය වැලදී වසර කිහිපයකින් මිය යන නමුත් එසේ නොවන 10% තරම් වූ සුළු පිරිසට වැලරි අයත් වෙනවා. තවද තම පවුලෙන්ද ඔහුට මෙයට විශාල සහයක් ලැබී තිබෙන බවයි කියවෙන්නේ. මෙම සැත්කම සාර්ථක වුවහොත් මොහුට නැවත වරක් ඇවිදීමට හා සාමාන්‍ය පරිදි තම කටයුතු කර ගැනීමට හැකි වෙතැයි සැවොම බලාපොරොත්තු වේ.  ඊට කොතරම් උද්යෝගයකින් ඔහු පසුවන්නේද කියතොත්, ශිර්ෂ බද්ධයට අදාළව මුදල් සොයා ගැනීම වෙනුවෙන් ඔහු කුඩා සිහිවටන අන්තර්ජාලය හරහා මේ වනවිට අලෙවි කරමින් සිටිනවා.

වැලරි පවසන්නේ තමන් මේ සැත්කම කරන වෛද්‍ය කැනවෙරෝ කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බවයි.

කවුද මේ කනවරෝ? මොකක්ද ඔහුගේ සැලැස්ම?

ඉතාලි විශේෂඥ වෛද්‍ය සර්ජියෝ කැනවෙරෝ (Sergio Canavero) මෙවැනි දෑ ගෙන නිතරම පර්යේෂණ කල වෛද්‍යවරයෙක්. මොහු චීන ජාතික වෛද්‍යවරයෙකු වන ෂියා ඕපිං රෙන් (Xiaoping Ren) සමග එක්ව මෙම ශල්‍යකර්මය කිරීමට සුදානම් වී සිටිනවා.

ශල්‍ය කර්මය කිරීමට පෙරාතුව බද්ධ කරන හිස හා ශරියයත් යන දෙකම සෙන්ටිග්‍රේඩ්ස් අංශක 12 – 15 ත් අතර උෂ්ණත්වයක තැබිය යුතු වෙනවා. මෙසේ සිසිල් කිරීම වැදගත් වන්නේ හිස දේහයෙන් වෙන් කල පසු මිනිත්තු ගණනක් ඔක්සිජන් රහිතව පවත්වාගෙන යෑමේදීය. සෛලවල ක්‍රියාකාරිත්වය, එකී පාරිසරික තත්ත්වවලට සරිලන පරිදි හැඩගැසීම මේ සිසිලනයෙන් සිදු වේ. ඉන් පසු වෛද්‍යවරු ඉතා පරිස්සමින් දේහයෙන් හිස වෙන් කරගනිති. හිස කොටසේ ඇති රුධිරවාහිනී නලවලට සම්බන්ධ කර ඒවායෙහි ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යනු ලැබේ. දෙවනුව ඇරඹෙන්නේ මේ හිස රෝගියාගේ දේහයට බද්ධ කරගැනීමයි. රෝගියාගේ හිස සුන් දේහයේ ඇති සුෂුම්නාවට, නව හිසේ ඇති සුෂුම්නාව නියමාකාරයෙන් තබා ‘අලවා’ ගැනේ. මේ ‘ඇලවුම’ සිදු කෙරෙන්නේ පොලිඑතිලීන් ග්ලයිකෝල්( polyethylene glycol (PEG)) නම් රසායනිකයක් භාවිතයෙනි. අනතුරුව දේහයේ සහ නව හිසෙහි මාංසපේශීන් සහ රුධිරවාහිනී සම්බන්ධ කරනු ලැබේ.

ඉතාලි විශේෂඥ වෛද්‍ය සර්ජියෝ කැනවෙරෝ හා චීන ජාතික වෛද්‍යවරයෙකු වන ෂියා ඕපිං රෙන් ( www.newsweek.com )

මේ වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුළු 80 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ඒ වෙනුවෙන් පැය 36 පමණ කාලයක් යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සියළු වෑයම් වලට වියදම ඇමරිකානු  ඩොලර් මිලියන 10කට ආසන්න බව අනුමාන කෙරේ.

සැත්කමෙන් පස්සේ

ශල්‍යකර්මය අවසන් වූ පසු මසක පමණ කාලයක් පුරා රෝගියාව සිහිමූර්ඡා තත්ත්වයෙන් (medically induced coma) තබනු ලැබේ. එවැන්නක් අවශ්‍ය වන්නේ රෝගියාගේ චලන නැති කිරීම සඳහායි. රෝගියා චලනය වුව හොත් බද්ධ කළ හිසෙහි ගෙල ප්‍රදේශය ආශ්‍රිතව ගැටලු ඇති වන්නට පුළුවන. මේ කලයේදී ඉලෙක්ට්‍රෝඩ ආධාරයෙන් සුෂුම්නාවට කම්පන සැපයීම දිගටම සිදු කෙරේ. නව සම්බන්ධතාව දැරීමට සුෂුම්නාව උත්තේජනය කර ශක්තිමත් කිරීම එවැන්නකින් බලාපොරොත්තු වේ.

ඉතාලි විශේෂඥ වෛද්‍ය සර්ජියෝ කැනවෙරෝ (www.jdubuzz.com)

සිහිමූර්ඡා තත්ත්වයෙන් මුදාගත් පසු රෝගියාට තම චලන ක්‍රමානුකූලව ආරම්භ කළ හැකි බව සර්ජියෝ පවසයි. බද්ධ කළ හිසේ ඇත්තේ තමන්ගේ මුහුණමයැයි කියා රෝගියාට හැඟීමක් ඇති වනු ඇති බව වෛද්‍යවරයාගේ මතය වේ. එමෙන්ම රෝගියාගේ කටහඬ නොවෙනස් වන බවත් පැවසේ. එහෙත් රෝගියාට ඇවිදීම අරඹන්නට භෞත චිකිත්සාව අවශ්‍ය වනු ඇත. ව්‍යායාම මඟින් වසරක් ඇතුළත රෝගියාට ඇවිදීම ක්‍රමානුකූලව කරගෙන යෑමට අවස්ථාව ලැබේ.තවද තමන්ගේ නව ශරියට අනුගත වීම හා තමන් ඇතුලත්වන නව ජීවිතය හා විවිධාකාර වූ මානසික පිඩාවන්ට මුහුණ දීම සදහා  සුවය ලබන විට රෝගියාට මනෝ වෛද්‍ය විශේෂඥයන්ගේ සහායත් අවශ්‍ය වනු ඇත.

වැඩේ ගස්සෙයිද?

මීට පෙර මෙහෙම දෙයක් සිද්ධ නොවුණු නිසාත් සතුන් පදනම් කරගෙන වුනු මේ වගේ ඒවා එච්චර දුරට සාර්ථක නොවුණු නිසාත් මේ පර්යේෂණය යම් යම් කරුණු කිහිපයක් ගෙන මතවාදාත්මක කරුණු කිහිපයක් ඉදිරිපත් වී තිබෙනවා.

  1. දායකයාගෙන් ඉවත් කරගත් ශීර්ෂය, බද්ධය කරන තුරු ජීව මට්ටමින් පවත්වාගෙන යෑම පිළිබඳ ගැටළුවක් පැවතීම.
  2. බද්ධ කළ හිස සිරුර විසින් ප්‍රතික්ෂේප කිරීම ඇරඹුණු හොත් එය යථා තත්ත්වයට පත්කළ හැකිවනු ඇතිදැයි ගැටළුව.
  3. ශල්‍යකර්මයේ සියලු කටයුතු මැනවින් කළමනාකරණය කරගන්නට සිදු වීම තවත් හේතුවක් වෙන්න පුළුවන්—මොකද මේ සියල්ලම ජීවි කොටස්.
  4. දේහයේ ඇති සුසුම්නාව, ශිර්ෂයේ ඇති සුසුම්නාව සමඟ හරියටම බද්ධ කිරීමේදී සිදුවිය හැකි නොගැලපුම්. මේ ‘ඇලවුම’ හරියටම කළ යුතුව ඇත. ඊට පොලිඑතිලීන් ග්ලයිකෝල් නම් රසායනිකය යොදාගන්නා බව පැවසුණත් එය මෙයට පූර්වයෙන් මිනිසුන් අරභයා යොදාගත් බවක් දැනගන්නට නැත.

වෛද්‍ය සර්ජියෝ කැනවෙරෝ මෙම සැත්කම බෙල්ලෙන් පහල ශරීරය අක්‍රිය වී ඇති අයට සුභ ආරංචියක් වනු ඇති බව පැවසුවත් ඇමරිකාව හා යුරෝපිය රටවල් නම් මෙයට සහය පල කරන්නේ නෑ. නමුත් කනවෙරෝ මේ වන විට බ්‍රිතාන්‍ය කෙරෙහි බලාපොරොත්තු තබා තිබෙන අතර එසේ නැති වුවහොත් මෙය කොහේදී හෝ සිදුවනු ඇතැයි ඔහු පවසා සිටියා. සමහරක් වෛද්‍යවරුන් මෙය මානව සංහතියේ ප්‍රගමනයට හේතුවක් නොවන බවට පවසා සිටින්නේ මෙතෙක් වූ පර්යේෂණ අසාර්ථක වී ඇති නිසාවෙනුයි.

මෙම පර්යේෂණය කෙතරම් දුරට සමාජය බාර ගනිවිදැයි මේ නිසා කාටවත් මෙහි ප්‍රතිපල දකින තුරු නම් කියන්නට හැකිවනු එකක් නැත. එහෙත් යම් ආකාරයකින් සාර්ථක වුවහොත් මෙය පෙරළිකාර සොයාගැනීමක් වනු නොවනුමානයි . මේ ගෙන ඔබේ අදහස කුමක් ද යන්න අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය – streaming1.danviet.vn

Related Articles