Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හැමදාම සමාව ගන්නා ෆේස්බුක් සමාගම

පුරුෂයකුගේ විවාහ වීමේ මූලික සුදුසුකම වන්නේ වරදක් නොකළත් සමාව ගැනීම බව memes පෙන්වා දෙද්දී ලොව තාක්ෂණික දැවැන්තයන් අතින් ද නිතර වැරදි සිදුවෙනවා. ට්විටර් සමාගම විසින් වරක් encrypt නොකර මුරපද ගබඩා කරගෙන තිබූ අතර මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Zune, Windows Vista, Windows Mobile ආදී අසාර්ථක නිෂ්පාදන කළා. අවසානයේ ඔවුන් දුරකතන සඳහා වූ මෙහෙයුම් පද්ධතිය සහ වින්ඩෝස් දුරකතන නිපැයීම ද දැන් නවතා තිබෙනවා. තමා අතින් වූ වරදකින්, පෞද්ගලික දත්ත පිළිබඳව අන්තර්ජාලය තුළ කෙතරම් කල්පනාකාරී විය යුතුද යන්න පිළිබඳව ලෝකයේ දෑස් හැරලූ ෆේස්බුක් සමාගමත් අවස්ථාවන් විශාල ප්‍රමාණයකදී වැරදි සිදුකර තිබෙනවා මෙන්ම නිහතමානීව ඒ හැම අවස්ථාවකදීම ඊට සමාව අයැද තිබෙනවා. මේ, ඉතිහාසය පුරා ඔවුන් සමාව භජනය කළ අවස්ථාවන් කිහිපයක්.

2018: කේම්බ්‍රිජ් ඇනලිටිකා සිද්ධිය

xtecit.com

ඉතා මෑතකදී ෆේස්බුක් පරිශීලකයන්ගෙන් ක්‍රීඩාවක් හරහා රැස්කරගත් දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමට විකිණීමෙන් අනතුරුව ඒවා ට්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් යොදාගැනීමත් සමඟ පූර්ණ චෝදනාවක් ෆේස්බුක් වෙත එල්ලවුණේ එම ක්‍රීඩාවට සහභාගී නොවූ අයගේත් පෞද්ගලික දත්ත පිටතට යාම නිසායි. මේ සඳහා අධිකරණයේ පෙනී සිටිමින් මාර්ක් සකර්බර්ග්ට උත්තර බඳින්නට සිදුවූ අතර “වට්ස්ඇප්වලින් ඊමේල් යවද්දී ඒවා ඔබට බැලිය හැකිද?” වැනි ආකාරයේ අමුතු ප්‍රශ්න ද ඔහු වෙත යොමු කෙරුණා. දත්ත පිටවීම පිළිබඳ මාර්ක් නිතරම පාහේ පැවසුවේ “එය මහත් වරදක්. ඒ වරද මගේ. මට ඒ පිළිබඳව සමාවෙන්න” යන්නයි.

2018: Private පළ කිරීම් Public දිස්වීම

vox-cdn.com

ජුනි 8 වැනිදා ෆේස්බුක් වෙබ් අඩවියෙහි තිබූ bug එකකින් පරිශීලකයන් Only Me හෝ Friends Only ආකාරයට කරන ලද පළ කිරීම් Public පෙනෙන්නට පටන් ගෙන තිබුණා. මිලියන 14 දෙනෙක් පමණ මුහුණ දී තිබූ මෙම වරද නිසා තමා පෞද්ගලික වශයෙන් පළ කිරීම් කරන ලද බවට පරීශීලකයන් සිතාගෙන සිටියත් ඒවා ස්වයංක්‍රීයවම Public ආකාරයට පළවී තිබුණා. වහා ක්‍රියාත්මක වූ ෆේස්බුක් සමාගම තම postsවල privacy නැවත පරීක්ෂා කරන ලෙස දන්වමින් notification එකක් ද ඔවුන්ට එවා තිබුණා. මේ සම්බන්ධයෙන් ප්‍ර‍ධාන පෞද්ගලිකත්ව නිලධාරී (Chief Privacy Officer) එරින් ඊගන් සමාව අයැද සිටියා.

2016: පරිශීලකයන් මැරුණු බවට ප්‍රොෆයිල් එක මත දැන්වීමක්

abcnews.com

2016 නොවැම්බර් මාසයේදී පරිශීලක පිටුවලට පිවිසුණු විට එම පුද්ගලයන් මියගොස් ඇති බවත්, ඔවුන්ගේ මතකයන් ආවර්ජනය කරලමුයි කියා බැනරයක් පරිගණකයේ මෙන්ම දුරකතනයෙන් පිවිසෙන අයට ද දකින්නට ලැබුණා. මෙය පරීශීලකයන්ගේ ගිණුම්වල පමණක් නොව මාර්ක් සකර්බර්ග්ගේ නිල ගිණුම මත ද දකින්නට ලැබුණා. ඉතා කෙටි කාලයක් පැවතුණු මෙම bug එක බරපතල වරදක් බවත්, ඒ පිළිබඳ සමාව අයදින බවත්, ඔවුන් හැකි ඉක්මණින්ම එය පිළිසකර කරන ලද බවත් ආයතන ප්‍රකාශකයෙක් BusinessInsider වෙත පවසා තිබුණා.

2017: පලස්තීන ජාතිකයෙක් ෆේස්බුක්හි සුබ උදෑසනක් කීවාට අත්අඩංගුවේ

haaretz.com

යුනිකේත මගින් මෙන්ම ඉංග්‍රීසි අකුරු සහිත වෙනත් භාෂාවන්ගෙන් කරනු ලබන status updates සහ කමෙන්ට්ස් ෆේස්බුක් විසින් පරිවර්තනය කොට කියවන්නට අනෙක් පරිශීලකයන්ට අවස්ථාව සලසා දෙනවා. මුලදී මෙයට මයික්‍රොසොෆ්ට් පරිවර්තකයේ සහාය ලබා ගැණුනත්, පසුව 2016දී ඔවුන්ගේම පරිවර්තකයක් යොදා ගැණුනා. බුල්ඩෝසරයකට හේත්තු වුණු තමන්ගේම ඡායාරූපයක් සමඟ පලස්තීන ජාතිකයෙක් “සුබ උදෑසනක්” ලෙස අරාබි බසින් status update කර තිබුණා. අරාබි නොදත් පොලිස් නිලධාරීන්ට මෙය හීබෘ බසින් “ඔවුන්ට පහර දෙන්න” ලෙසත්, ඉංග්‍රීසි බසින් “ඔවුන්ට හිංසා කරන්න” ලෙසත් පරිවර්තනය වී තිබෙනු දක්නට ලැබුණා. ඒ අනුව, බුල්ඩෝසරයෙන් වාහනවලට පහරදීමක් කරන්නට යන බවට සැකපිට ඔහුව අත්අඩංගුවට ගත්තා. කළමනාකාර ඉංජිනේරු නෙසිප් ෆසීල් අයාන් “අවාසනාවකට, අපේ පරිවර්තන පද්ධතිය වැරදි පරිවර්තනයක් කර තිබුණා. අපි දිනපතා එය වැඩිදියුණු කරන්න උත්සාහ කරනවා. නමුත් මේ වගේ වැරදි නිතර සිදු වෙන්න පුළුවන්. අපි මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් මෙන්ම ඔහුගේ පවුලේ අයගෙනුත් සමාව අයදිනවා”යි පැවසුවා.

2014: නොකී මනෝ විද්‍යාත්මක අත්හදා බැලීමක්

365dm.com

දත්ත විද්‍යාඥ ඇඩම් ක්‍රාමර් විසින් ෆේස්බුක් පරිශීලකයන් 689,003කගේ news feed එකෙහි පෝස්ට් පෙනෙන ආකාරය වෙනස් කරමින් මනෝ විද්‍යාත්මක අත්හදා බැලීමක් සිදුකර ඇති බව ප්‍රසිද්ධියට පත් කෙරුණු පර්යේෂණ දත්ත වාර්තාවක් නිසා හෙළිවුණා. මෙහිදී සිදුකර තිබුණේ news feed එක තුළ පෙරහන් කිරීමකින් තොරව ධනාත්මක හා ඍණාත්මක ආකාරයේ පෝස්ට් විශාල ප්‍රමණයෙන් පරිශීලකයන්ට දකින්නට සැලැස්වීමයි. එහිදී මිතුරන්ගේ ඍණාත්මක post දකින අය ෆේස්බුක් පැමිණීම අඩු කරන බවට ඔවුන් අත්දැක තිබුණා. නමුත් මෙම අත්හදා බැලීම කරන බවට පරිශීලකයන්ට දැනුම් දීමක් නිසි ආකාරව සිදු නොවී ඇති බව පවසමින් ප්‍රධාන ක්‍රියාකාරීත්ව නිලධාරී ශෙරිල් සැන්ඩ්බර්ග් සමාව භජනය කළා.

2013: කාන්තාවකගේ වෙනස් කළ ඡායාරූපයක් report කළාට ගණන් ගෙන නැහැ

wired.com

කාන්තා විරෝධී පිටුවක් විසින් අයිලන්තයේ කාන්තාවකයේ ඡායාරූපයක් සොරාගෙන, ඇය පහරදීමකට ලක්වූ ආකාරයට සංස්කරණය කර “කාන්තාවෝ තණකොළ වැනිය, ඒවාට දිනපතා පහරදීම (කැපීම) අවශ්‍යයි” ලෙස text එකක් ද එක් කොට පළකර තිබුණා. මෙය බොහෝ පිරිසක් දකින තෙක් share වී තිබූ අතර එය report කළ විට එම ඡායාරූපය ෆේස්බුක්හි පෞද්ගලිකත්ව කොන්දේසි උල්ලංඝණය කරන්නක් නොවන බවට පවසමින් එය ෆේස්බුක් වෙතින් ඉවත් කිරීම සමාගම විසින් මගහැර තිබුණා. නමුත් මාධ්‍ය හරහා මේ වෙනුවෙන් හඬක් නැගුණු විට ඔවුන්ගේ ක්ෂණික අවධානය යොමුව තිබූ අතර මේ ආකාරයේ ඡායාරූප ෆේස්බුක් මත තිබුණහොත් ඉවත් කරන බවටත්, report කිරීම් සිදුකරන ලෙස පරිශීලකයන් දිරිමත් කරන බවටත්, මේ පිළිබඳව කටයුතු කරන්නට පමා වීම ගැන සමාව අයදින බවත් ආයතනයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

2010: සඳහනක් නැතිවම code එකක් සොරකම් කරලා

mshcdn.com

වැඩ පහසු කරගන්නට පරිගණක කේත ලියන්නන් විසින් අන්තර්ජාලයෙන් සොයාගන්නා Libraries පාවිච්චි කළත්, ඒවා භාවිත කළ බවට වෙබ් අඩවියේ සඳහන් කළ යුතු බවට ඇතැම් බලපත්‍රවල සඳහන් වෙනවා. ෆේස්බුක් සමාගම iOS සඳහා එකල තිබූ ඇප් එකෙහි Pull to Refresh හෙවත් ඇප් එකෙහි පහතට ඇද්ද විට news feed එකට නව පෝස්ට් ලැබෙන ආකාරයේ වූ හැකියාව ලබා දෙන්නට කේතයක් සොරකම් කර තිබුණා. Enormego නමින් හඳුන්වාගත් පිරිසක් Tweetie 2 නමින් හැදූ ට්විටර් client එක වෙනුවෙන් සකසන ලද මෙම පහසුකම ඔවුන් විවෘත කේතයක් ලෙස මුදා හරිනු ලැබුවා. පසුව ෆේස්බුක් විසින් තමන්ගේ ඇප් එකටත් three20 නමින් වූ තමන්ගේ library එකකට Enormego සතු කේතයන් එලෙසින්ම රැගෙන තිබුණේ කිසිදු සඳහනක් නැතිවයි. මේ ගැන විමසූ විට ෆේස්බුක් සමාගම ඔවුන්ට attribution නොදීම පිළිබඳව සමාව ඉල්ලා තිබුණා.

පසුවදන

සමාව ඉල්ලීම අපි බොහෝ දෙනෙක් මැලිවන දෙයක්. ඔබේ කුඩා සමාගමේ හෝ ව්‍යාපාරයේත් පාරිභෝගිකයන් වෙනුවෙන් මෙන්ම සේවකයන්ටත් වැරදි සිදුවෙනවා ඇති. නමුත් ෆේස්බුක් සමාගම ප්‍රසිද්ධියේ ම වසර ගණනක සිට තමන්ගේ වැරදිවල වගකීම භාර ගනිමින්, ඒවාට වග කිවයුතු පාර්ශව විසින්ම ප්‍රසිද්ධියේ සමාව භජනය කරමින් නිහතමානීව ඒවා භාර ගැනීම අගය කළ යුත්තක් මෙන්ම, අපට ද ආදර්ශ සපයන්නක්.

කවරයේ ඡායාරූපය: digitalspy.com

Related Articles