Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමෙරිකානු බුද්ධි අංශයන් Huawei සහ ZTE රටින් ‍ඉවතලයි

චීනයේ ප්‍රධාන දුරකථන නිෂ්පාදන සමාගම් දෙකක් වන Huawei සහ ZTE සමාගම් වල දුරකථන ඇමරිකාව තුළ භාවිත කිරීමට අනාරක්ෂිත බව එරට බුද්ධි අංශ පෙන්වා දෙනවා. චීනය විසින් හොර රහසේම අමරිකාවේ බුද්ධිමය තොරතුරු උකහා ගන්නට මාන බලන බවට චෝදනා එල්ල කරමිනුයි ඔවුන් මෙලෙස චීනයේ නිෂ්පාදිත දුරකථන භාවිත නොකරන ලෙස රටවැසියන්ට දන්වා සිටින්නේ.

අමෙරිකාවේ විශාලතම දුරකථන සැපයුම්කරු: AT&T

Galaxy note දුරකථනයක පසුපස AT&T ලාංඡනය යොදා ඇති ආකාරය (scene7.com)

අමෙරිකාවේ දුරකථන සේවා සැපයුම් සමාගමක් වන AT&T සමාගම විවිධ දුරකථන අඩු මිලට සහ පහසු ගෙවීමේ ක්‍රමයට එරට විකුණනු ලබනවා. ඔවුන්ගේ දුරකථන සබඳතාව භාවිත කිරීමට ඔවුන් නියම කරන ලද කාල සීමාවකට මිලදී ගන්නා බැඳී සිටිය යුතු අතර ඔවුන්ට මසකට ඩොලර් 25ක් පමණ මුදලක් ගෙවමින් Samsung S8 දුරකථනයක් පහසුවෙන්ම ලබාගත හැකියි. එය භාවිත කරමින් සිටියදී වෙනත් වර්ගයකට එය මාරු කරගත හැකියි. මේ ආකාරයට විකුණනු ලබන දුරකථනවල භාවිත කළ හැක්කේ ඔවුන්ගේම සිම්පත් පමණක් වන අතර AT&T ලෙස ඔවුන්ගේ ලෝගෝව ද දුරකථන මතුපිටෙහි සඳහන් කිරීමට ද නිෂ්පාදකයන් ඔවුන් හා ගිවිසුම්ගත වනවා. තමන්ගේ නිෂ්පාදන ඉතා පහසුවෙන්ම විකුණා ගැනීමට මෙම ක්‍රමවේදයෙහි එරට ඇති ප්‍රචලිත බව නිසාම සෑම දුරකථන සමාගමක්ම පාහේ මෙවන් දුරකථන සේවා සම්පාදකයන් හා ගිවිසුම් ගත වන්නට උත්සාහ ගන්නවා. අමෙරිකාවේම ඇපල් සමාගම තිබියදීත් එයට විරුද්ධව වෙළඳපොළ නැගෙන කොරියාවේ සැම්සන්ග් සමාගම පවා මෙම ක්‍රමවේද ගිවිසුමකට හිමිකම් කියද්දී චීනයේ Huawei සමාගමත් ඊට අත පොවන්නට උත්සාහ කළා.

Huawei සමාගම AT&T වෙතින්ද ප්‍රතික්ෂේප වෙයි

Huawei Mate 10 දුරකථනය (arstechnica.net)

ප්‍රථම වරට අමරිකාවේ ප්‍රධාන සහ විශාලතම දුරකථන සමාගම සමඟ එළැඹෙන්නට ගිය මෙම ගිවිසුම ඔවුන් ද නොසිතූ පරිදි ව්‍යර්ථ වුණා. පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේදී එනම් CES 2018 හි දී තමන්ගේ Huawei Mate 10 දුරකථනය එරට දුරකථන සේවා සපයන්නන් හරහා ලබා ගන්නට හැකි බව උජාරුවෙන් කියන්නට ඔවුන් බලාපොරොත්තු වූවත් Huaweiහි CEO රිචඩ් යූ China Morning Post වෙත පවසා සිටියේ “අපට මහත් අගතියක් සිදුවුණා” කියායි. iPhone X වෙත ඍජු අභියෝගයක් එල්ල කරන ඔවුන්ගේ Mate 10 එම නිසා වෙනත් වෙළඳසල් සහ අන්තර්ජාලය හරහා පාරිභෝගිකයන්ට ලබාදීමට ඔවුන් කටයුතු කළා. තවදුරටත් මේ සම්බන්ධව අදහස් දක්වමින් ඔවුන් කියා සිටින්නේ “අමෙරිකාවේ ඉතා හොඳ පාරිභෝගික පිරිසක් සිටින අතර ඔවුන් අපට විවිධ අවශ්‍යතාවයන් ඉදිරිපත් කරනවා. දුරකථන තාක්ෂණ ලොවේ දැවැන්තයෙක් ලෙස අපි ඒ අවශ්‍යතාවන් සපුරමින් දිගටම එම වෙළඳපොළ ඉලක්ක කරන්න බලාපොරොත්තු වෙනවා.” නමුත් මෙසේ ප්‍රතික්ෂේප කරන්නට ඍජු හේතුවක් AT&T සමාගම ඉදිරිපත් කර නැතත් එරට ආරක්ෂක අංශ මෑතකදී පෙන්වා දුන් දෙයක් ගැන සලකමින් අනුමානයක් අපට සිතාගත හැකියි.

චීන දුරකථනවලට එරෙහිව අමෙරිකානු බුද්ධි අංශ

businessinsider.com

පසුගිය අඟහරුවාදා CIA, FBI, NSA ආදී ආරක්ෂක බුද්ධි අංශ ප්‍රධානීන් 6 දෙනෙක් සෙනේට් රහස් තොරතුරු කමිටුවට වාර්තා කර ඇත්තේ රාජ්‍ය සේවකයන් සහ ඉහළ නිලධාරීන් විසින් Apple වෙත තරඟකාරීව නැගෙන Huawei සහ ZTE දුරකථන භාවිත කිරීම නිර්දේශ කළ නොහැකි බවයි. මීට පෙර 2012 වර්ෂයේදී අමෙරිකානු කොංග්‍රසය විසින් Huawei සහ ZTE සමාගම්වලට ඇඟිල්ල දිගු කරමින් වාර්තාවක් ඉදිරිපත් කළේ ඔවුන් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන බව පවසමින්.

FBI අධ්‍යක්ෂ ක්‍රිස් ව්‍රේ CNBC පුවත් සේවය වෙත අදහස් දක්වමින් “කිසියම් සමාගමක් හෝ විදේශ රජයක් අපේ දුරකථන ජාලවල ස්ථානයක් අත්පත් කරගන්නා එක කිසිසේත් හොඳ දෙයක් නොවේ” යැයි පවසනවා. එසේම “ඔවුන් අපගේ දුරකථන පද්ධතිවල වැඩි කොටසකට හිමිකම් කීවොත් පසුකාලීනව අපේ දත්ත වෙනස් කරන්නට හෝ හොරෙන් ලබාගන්නට උත්සහ දරන්න පුළුවන්. ඔවුන්ට ඉඩ දීමෙන් අපි, අපිවත් නොදැනම ඔවුන්ට ඔත්තු බැලීමට ඉඩ සලසා දෙනවා” යැයි ද පෙන්වා දෙනවා.

imgix.net

Huawei සමාගම මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටින්නේ ඔවුන් රටවල් 170කටත් වැඩි ප්‍රමාණයක පාරිභෝගිකයන් සමඟ විශ්වාසවන්තව කටයුතු කරන බවත් අනෙක් නිෂ්පාදකයන්ට වඩා කිසිදු සයිබර් ප්‍රහාරයක සේයාවක් හෝ ඔවුන් සතු නොවන බවයි. ZTE සමාගම ද ඔවුන් අමෙරිකානු නීති රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන බවත්, ඉහළ ව්‍යාපාරික සම්මතයන්ට අනුව ක්‍රියාත්මක වෙමින් සිටින බවත් කියා සිටිනවා.

සෙනට් සභික ටොන් කොට්න් විසින් ද කෙටුම්පතක් ඉදිරිපත් කරමින් අමෙරිකානු රජය චීන සමාගම්වලින් රාජ්‍ය කටයුතු සඳහා භාණ්ඩ මිලදී ගැනීම වළක්වාලන්නට කටයුතු කරන අතර ෆෙඩරල් ආයතන සෑම තාක්ෂණික උපාංගයක්ම ලබා ගැනීමේදී ඒ සඳහා අනිවාර්යයෙන්ම අනුමැතිය ගත යුතු බවට 2013 දී නීතිගත කෙරුණා. ආරක්ෂාව පිළිබඳ ඉතා තද ප්‍රතිපත්තියක සිටින අමෙරිකාව විසින් රුසියාවේ නිෂ්පාදිත Kaspersky ප්‍රතිවෛරස මෘදුකාංගය පවා ෆෙඩරල් පරිගණක වලින් ප්‍රතික්ෂේප කොට හැරියා.

කවරයේ ඡායාරූපය: wccftech.com

Related Articles