Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අතුරුදහන් වූවන් එනතුරු බලාසිටින්නෝ

ශ්‍රී ලංකාව නිදහසින් පසු අවස්ථා කිහිපයකදීම අවි ගැටුම්වලට මුහුණ දුන්නා. මේ අතර 1971 සහ 1987-89 ජනතා විමුක්ති පෙරමුණ තරුණ නැගිටීම් මෙන්ම 1970 දශකයේ සිට ක්‍රියාත්මක වූ සහ 1983 න් පසු තීව්‍ර වුණ බෙදුම්වාදී අරගලයද වුණා. මෙම සිවිල් යුධ තත්ත්වය අවසන් වූයේ 2009 දී.

යුද්ධයෙන් විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වුණ අතර තවත් විශාල පිරිසකට සිදු වූ දෙය අද වනතුරු සොයාගත නොහැකියි. මෙසේ මියගිය සහ අතුරුදහන් වූවන්ගේ පවුල්වල අයත් මෙයින් පීඩා විඳිනවා. එමෙන්ම ආබාධවලට ලක්වූවන් ද විශාල ප්‍රමාණයක් වනවා. එහෙයින් යුද්ධයෙන් වින්දිතයන් බවට පත් වූවන් විශාල පිරිසක් සිටිනවා.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය​

ශ්‍රී ලංකා රජය 1990 දශකයේ සිටම අතුරුදහන් වූවන් පිළිබඳ විවිධ කොමිෂන් සභා පත් කර තිබෙනවා. එම සමහරක් කොමිෂන් සභා සිය වාර්තා ද පොදු මහජනතාවට පිරික්සිය හැකි අයුරින් නිකුත් කළා. කෙසේ වෙතත් අතුරුදහන් වූවන් පිළිබඳව තවත් බොහෝ කරුණු ඉටු විය යුතුව තිබෙනවා. විශේෂයෙන්ම තවමත් බොහොමයක් අතුරුදහන් වූවන් ගේ ඥාතීන්ට අතුරුදහන් වූවන්ට සිදු වූයේ කුමක්දැයි පැහැදිලි නැහැ.

2016 වසරේ හඳුන්වා දුන් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ශ්‍රී ලංකා රජය මේ පිළිබඳව ගත් නවතම පියවරයි. 2016 අගෝස්තු මාසයේදී මෙම කාර්යාලය පිළිබඳ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙම පනතට 2017 වසරේ ජූනි මාසයේදී සංශෝධන සමහරක් එකතු කරනු ලැබුණ අතර ජූලි මාසයේදී ජනාධිපතිවරයා එම පනතට අත්සන් තැබුවා. මෙම කාර්යාලයට අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පෙර පත් කරන ලද කොමිෂන් සභාවලට වැඩි බලතල ලබා දී තිබෙනවා.

එමෙන්ම එය අතුරුදහන් වීමක් පිළිබඳ කරුණු වාර්තා කරන්නට බැඳී සිටින්නේ පාර්ලිමේන්තුවට සහ අතුරුදහන් වූ පුද්ගලයකු පිළිබඳ දැනුම් දෙන පාර්ශවයට යි. නෛතික පියවරයන් ගැනීමට අවශ්‍ය යයි හැඟෙන අවස්ථාවල අදාල ආයතනවලට තොරතුරු ලබා දීමට මෙම කාර්යාලයට හැකියාව තිබෙනවා. නමුත් මෙම කාර්යාලයේ වගකීම අපරාධ පරීක්ෂණ කිරීම නොව අතුරුදන් වූවන් පිළිබඳ සොයා බලා, ඔවුනගේ ඉරණම පිළිබඳ අවසානාත්මක නිගමන කරා එළඹීමට උත්සාහ කිරීමයි.

අතුරුදහන් වූවන් පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් ලෙස දකින්න තිබෙන්නේ මෙම ප්‍රශ්නය සීමිත ප්‍රදේශයකට පමණක් මෙන්ම ඇතැම් ජන කොටස්වලට පමණක් සීමිත වූ දෙයක් සේ දැකීමයි. නමුත් මෙය එතරම් සරල හෝ සීමිත ප්‍රශ්නයක් නොවෙයි.

ඒ බව පැහැදිලි වන්නේ 1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කෙරුණ වාර්තාවකින් ශ්‍රී ලංකාව ලෝකයේ දෙවනියට විශාලම අතුරුදහන් වීම් සංඛ්‍යාව වාර්තා වූ රට බවට ප්‍රකාශ වීමෙන්. එම සංඛ්‍යාව 12,000 ක් ලෙස ඔවුන් වාර්තා කළා. මීට වඩා ඉහළ අතුරුදහන් වීම් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ඉරාකයේ පමණයි. කෙසේ නමුත් මෙම සංඛ්‍යාව​, එවක රජය විසින් ඉදිරිපත් කළ අනුමානයට වඩා බෙහෙවින් අඩු වුණා. එවක රජය සඳහන් කළේ අතුරුදහන්වීම් 17,000 ක් පමණ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන බවයි.

මේ අතරට උතුරු නැගෙනහිර මෙන්ම 1987-90 සමයේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල සමයේ අතුරුදහන් වූවන් ද අයත් වූ බව අමතක කළ නොහැකියි.

දෙවිදියක ප්‍රතික්‍රියා

උතුරේ අතුරුදහන් වීම් සහ දකුණේ අතුරුදහන්වීම් පිළිබඳව දෙආකාරයක ප්‍රතික්‍රියාවන් බැලූ බැල්මටම පෙනෙන්නට තිබෙනවා. මේ දෙපිරිසෙන්ම යම් යම් පාර්ශව දේශපාලන වාසි ලබා ගැනීමට උත්සුක වන අවස්ථා දැකිය හැකි නමුත්, උතුරේ අතුරුදහන් වූවන් වෙනුවෙන් හඬ නගන්නේ ඔවුන්ගේම ඥාතීන් මූලික කරගත් පිරිස් බව පෙනෙන්නට තිබෙනවා. නමුත් දකුණේ එවැනි හඬක් දකින්නට ලැබෙන්නේ අඩුවෙන්.

නමුත් එහි අදහස දකුණේ එවැනි අතුරුදහන් වීම් සිදු නොවුණේය යන්න නොවේ. ඇතැම් අවස්ථාවල ඒවා පිළිබඳ තොරතුරු කරලියට එනු දකින්නට පිළිවන්. 1990 දශකයේදී එවැනි රටම කැළඹූ සිද්ධියක් වූයේ සූරියකන්ද සමූහ මිනී වළ සොයා ගැනීමයි. නමුත් බොහෝ අතුරුදහන් වීම් සම්බන්ධයෙන් අවසානාත්මක පියවර ගනු දකින්නට ලැබෙන්නේ නැහැ.

පානම ප්‍රදේශයේ සිංහල මවකට ත්‍රස්තවාදී ප්‍රහාරයකින් දරුවන් දෙදෙනකු අහිමි වනවා. ඒ 1995 දී. ඉන් කළකට පසු, 2008 දී, ඇගේ සැමියා අතුරුදහන් වනවා. ඒ පිළිබඳ කිසිවක් ඇයට දැනගන්නට ලැබෙන්නේ නැහැ.

“මගේ ආදරණීය සිවාමි පුරුසයාත් 2008-09-02 සිට ආගිය අතක් නැති වුනා. මළ කඳවත් ලැබුනේ නැහැ. පසුව උසාවියේ නඩු තිබුනා එහි තීන්දුව අනුව මරණ සහතිකයක් ලැබණා. මා හට මේ සම්බන්ධව කිසිම ආදාරයක් කොහෙන්වත් ලැබුනේ නැත.”

පානම ප්‍රදේශයේ කාන්තාවක සිය දරුවන් අහිමි වීමේ සහ සැමියා අතුරුදහන් වීමේ සිදුවීම් පිළිබඳ ලියූ විස්තරය – පළමු පිටුව​ (http://herstoryarchive.org/)

පානම ප්‍රදේශයේ කාන්තාවක සිය දරුවන් අහිමි වීමේ සහ සැමියා අතුරුදහන් වීමේ සිදුවීම් පිළිබඳ ලියූ විස්තරය – දෙවන පිටුව​​​ (http://herstoryarchive.org/)

http://herstoryarchive.org/ හි පළවූ ඇයගේ කතාව අතුරුදහන්වීම් පිළිබඳ දකුණේ හඬක් නැගිය යුතු බවට එක් උදාහරණයක් වනවා.

එමෙන්ම ඇතැම් අවස්ථාවලදී කිසිදු ආකාරයකින් දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ නොවූ අයත් මෙසේ අතුරුදහන් වූ අවස්ථා වාර්තා වුණා. පහත වීඩියෝවෙහි එවැනි එක් කතාවක් කියැවෙනවා. මේ කතාව අපට අසන්නට ලැබෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටියේ ඊරියතොටින්. මාතර දිස්ත්‍රික්කය යනු 1987-89 සමයේ ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල බරපතලව ක්‍රියාත්මක වූ ප්‍රදේශයක්. එහි අහිංසක​, කිසිදු දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ නොවූ ගැමියකු පැහැරගෙන ගොස් අදටද ඔහු පිළිබඳ තොරතුරක් නොමැති තත්ත්වයක් මතුව තිබෙනවා.

මෙවැනි කතා අපට වෙනත් ගම්මානවලින් ද අසන්නට ලැබෙනවා. ඇතැම් විට ඔබටත් මේ ආකාරයේ සිදුවීම් පිළිබඳව අසන්නට ලැබී ඇති. මෙවැනි සිදුවීම් පිළිබඳව සොයා බැලීම සඳහා අදාළ ආයතන පෙළඹවීමට හැකියාවක් මෙතෙක් සාමාන්‍ය ජනතාවට තිබුණි ද යන්න සැක සහිතයි. නමුත් අනාගතයේදී අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය හරහා දකුණේ පුද්ගලයන්ට ද සිය ඥාතීන් පිළිබඳ තොරතුරු ඉල්ලා සිටීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන්නට පිළිවන්. දකුණේ බොහෝ අතුරුදහන්වීම් සිදුවූ හෙයින් එවැනි ඉල්ලීම් රැසක් ලැබීමේ ඉඩක් තිබෙනවා. නමුත් එසේ ඉල්ලීම් ලැබීමට නම් එසේ අතුරුදහන් වූ අයගේ ඥාතීන් මෙම කාර්යාලය පිළිබඳව සහ තමන්ට ද ඒ හරහා සහනයක් ඉල්ලා සිටිය හැකි බවද දැනගත යුතුයි.

සොහොයුරන් දෙදෙනකු

අතුරුදහන්වීම් නිසා පීඩාවට පත්වූ දමිළ ජනතාව දකුණේ ද සිටිනවා. මොණරාගල දිස්ත්‍රික්කයේ “මායිම් ගම්” යයි කලක් හඳුන්වන ලද ප්‍රදේශයක ජීවත් වන දමිළ කාන්තාවක් පැහැරගන්නා ලද තම සහෝදරයින් දෙදෙනා පිළිබඳ තොරතුරක් බලාපොරොත්තුවෙන් කල් ගත කරනවා. ඔවුන් දෙදෙනාම ත්‍රී රෝද රථ රියැදුරන් වුණා. එක් දිනක්, මෙයින් එක් සහෝදරයකුගේ ත්‍රී රෝද රථයට දෙදෙනකු ගොඩවී තිබෙන්නේ ගමනක් යෑමට බව පවසමින්. ඉන්පසු ඔහු පිළිබඳ තොරතුරක් ලැබී නැහැ.

ඉන් මාසයකට පසු ඇගේ අනෙක් බාල සහෝදරයා පැහැරගෙන තිබෙන්නේ බසයෙන් ගමන් කරමින් සිටියදී. සුදු පැහැති වෑන් රියකින් පැමිණ ඇති පිරිසක් ඔහුට පහරදී පැහැරගෙන ගොස් තිබෙනවා.

මෙම පැහැරගෙන යාම් පිළිබඳ පොලිසියට පැමිණිලි කළ බවත් රතු කුරුස සංවිධානයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයටද දැන්වූ බවත් තමන්ට කිසිදු පිළිතුරක් නොලැබුණ බවත් ඇය පවසනවා.

ඇගේ සහෝදරයින් අතුරුදහන් වීමෙන් පසු ඇගේ මවගේ සහ පියාගේ සෞඛ්‍ය තත්ත්වයද බෙහෙවින් පහළ වැටුණ බව ඇය පවසා සිටියා.

කළ යුතු දේ

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය තවමත් ක්‍රියාත්මක තත්ත්වයට පත්ව නැහැ. එමෙන්ම අතුරුදහන් කරවීමෙන් සියලුම පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය දේශීය නීති පද්ධතියට එක් කිරීම සඳහා පනත් කෙටුම්පතක් ද මෙතෙක් ශ්‍රී ලංකාව විසින් සම්මත කරගෙන නැහැ. මේ හේතුවෙන් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයට අවශ්‍ය කාර්යය මණ්ඩලය බඳවාගෙන එය ක්‍රියාත්මක තත්ත්වයට පත් කරවීම සහ අවශ්‍ය නව නීති හඳුන්වා දීමත් අවශ්‍ය වනවා.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් එම අතුරුදහන් වූවන් වෙනුවෙන් කරගෙන යන සටන දිගටම ක්‍රියාත්මක කරන අතර මෙහිදී ඔවුනට ඇතැම් සංවිධාන සහ දේශපාලන පක්ෂවල ද සහය ලැබී තිබෙනවා. උතුරේදී මෙම උද්ඝෝෂණ වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර 1987-90 සමයේ අතුරුදහන් වූ සිංහල ජනතාව බහුතරයක් වසන ප්‍රදේශයන්හි වැසියන් පිළිබඳ මීට වඩා හඬක් නැගිය යුතු වනවා.

අතුරුදහන් වීම් පිළිබඳ මීට වඩා සංවේදීව කටයුතු කිරීමත් යුද්ධය හෝ වෙනත් යම් සිදුවීමක් හේතුවෙන් අතුරුදහන් වූ ඇතැම් විට කිසිදු ආකාරයකින් දේශපාලනයට සම්බන්ධ නොවූ පුද්ගලයන් පිළිබඳව සානුකම්පිතව සැළකීම වැදගත් වනවා.

මේ පිළිබඳව මේ අයුරින් යම් පියවරයන් ගත හැකි වනවා මෙන්ම තනි තනි පුද්ගලයන් ලෙසද අපට යමක් කළ හැකියි. මූලික වශයෙන් අතුරුදහන්වීම් සාමාන්‍යකරණය කරන යමෙක් වේ නම් එයට අප විරුද්ධ විය යුතුයි. යම් කිසි අයකු අතුරුදහන් වන්නේ නම් එයින් ඔහුගේ හෝ ඇයගේ හෝ ඥාතීන්ට සිදුවන පීඩාව පිළිබඳ අප සානුකම්පිත විය යුතුයි.

එමෙන්ම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිළිබඳ ජනතාව මීට වඩා දැනුවත් කළ යුතු වනවා. විශේෂයෙන්ම, ඔබ දන්නා යම්කිසි පවුලක කිසියම් අයකු මෙසේ අතුරුදන්ව ඇත්නම්, එම පවුලෙහි අය මෙම නව පියවරයන් පිළිබඳ දැනුවත් කිරීම ඔවුනට කරන මහත් උපකාරයක් වේවි.

සංස්කාරක සටහන​: මෙහි සඳහන් සියලුම අත් දැකීම් http://memorymap.lk/ සහ http://herstoryarchive.org/ වෙතිනි.

Cover Image: අතුරුදහන් වූවන් වෙනුවෙන් කරන ලද විරෝධතාවක් (srilankabrief.org)

Related Articles