අනුග්‍රාහක

විනාඩි 7 ක කියවීමක්

ශ්‍රී ලංකාව තුල අධ්‍යාපන ක්‍රමයේ විකාශනය

Published

විනාඩි 7 ක කියවීමක් to read

Facebook Twitter GPlus

අධ්‍යාපනය කියන්නේ කිසිදු තර්කයක් නැතිවම ශිෂ්ටාචාරයේ මූලික පදනමයි. සතුන් පවා ස්වභාවයෙන්ම සිදු කරන කටයුතුවලින් එහාට ගිහින් නියම මිනිසුන් ලෙස ජීවත් වෙන්න විවිධ දැනුම් පද්ධතීන් ගොඩ නගා ගැනීම සහ ඒවා අනෙක් අයට කියා දීම අධ්‍යාපනයේ ප්‍රධාන ලක්ෂණයක් කියලා හඳුන්වන්න පුළුවන්. කාලයක් තිස්සේ පැවති අධ්‍යාපන ක්‍රමවේදයන් අද අපි සිටින තත්වයට පත් වෙන්න දායක වුණු ප්‍රධානම බලවේගය වුණේ ඒ නිසායි.

විධිමත් ආකාරයකට අධ්‍යාපනය ලබා දෙන පාසල්, විශ්ව විද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන ඉපැරණි කාලයේ පවා තිබුණත් කාලයත් සමග අධ්‍යාපන පද්ධතියේ වෙනස්කම් රාශියක් සිදු වී තිබෙනවා. ඉස්සර කාලයේ විධිමත් අධ්‍යාපනයක් හෝ දැනුමක් ලබා ගැනීම වෙනුවෙන් තමන් සතු ධනය හෝ තමන්ගේ ශ්‍රමය කැප කරන්න සමාජයේ පහළ පන්තිවල ජීවත් වුණු පිරිසට හැකියාවක් තිබුණේ නැහැ. අධ්‍යාපනය ලැබීම ධනවතුන්ට පමණක් හිමි වරප්‍රසාදයක් බවට පත් වෙලා තිබුණා.

ඒ විදිහට පටන් ගත්තු අපේ අධ්‍යාපන ක්‍රමය අද වන විට සියලුම ළමුන් යම් වයසක් දක්වා අනිවාර්යයෙන්ම ලැබිය යුත්තක තත්වයට පත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවත් ඇතුළුව ලෝකය පුරා රටවල් කිහිපයක් මූලික අධ්‍යාපනය, ද්වීතියීක අධ්‍යාපනය සහ ඇතැම් විට තෘතීයික අධ්‍යාපනය පවා නොමිලේම ලබා දෙන්නට කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රම – ක්‍රි. පූ. 6 වැනි සියවසේ සිට ක්‍රි. ව. 20 වැනි සියවස දක්වා.

ශ්‍රී ලංකාවේ පැරණිතම අධ්‍යාපන ක්‍රමය වූයේ පිරිවෙන් අධ්‍යාපනයයි. (archives.dailynews.lk)

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව තිබෙන ඉපැරණිම වාර්තා දෙකක් වන මහාවංශයට සහ දීපවංශයට අනුව ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවස තරම් ඈත කාලයක සිට මෙරට පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය පැවතී තිබෙනවා. පන්සල් සහ පිරිවෙන් ඇතුළු ආගමික ආයතන බෞද්ධ භික්ෂූන්ට සහ ගම්බද සාමාන්‍ය පුද්ගලයන් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දුන්නු මුල්ම ආයතන විදිහට ක්‍රියාත්මක වුණා. මෙරටට යුරෝපීය අධිරාජ්‍යවාදී පිරිස් පැමිණෙන්න කලින් විධිමත් අධ්‍යාපනය ලැබීම සුළු පිරිසකට පමණක් සීමා වී පැවතුණා. ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තේ බෞද්ධ භික්ෂූන්. තමන් ලැබූ අධ්‍යාපනය ඇසුරින් තමන්ගේ විහාරය අවට ගම්වල ඉහළ පැලැන්තියේ පිරිස් වෙත කියවන්නට ලියන්නට ගුරුහරුකම් ලබා දෙන්නත් මේ භික්ෂූන් කටයුතු කළා. ද්‍රවිඩ ජන සමාජයන්වල ඉගැන්වීමේ කටයුතු ඉහළට අධ්‍යාපනය ලද බ්‍රාහ්මීන් හා වෙල්ලාලවරුන් වෙත පැවරුණා.

මෙවැනි සාම්ප්‍රදායික අධ්‍යාපන ආයතනවල පැවතුණු විෂය නිර්දේශය බොහෝ දුරට ධර්ම හා ඓතිහාසික කරුණු ඉගැන්වීම්වලිනුත්, තාක්ෂණික හා ප්‍රායෝගික කර්මාන්තවලට අවශ්‍ය නිපුණතාවන්ගෙනුත් සමන්විත වුණා. ලෝහ කර්මාන්තය, ගෙතුම් හා විවීම් කටයුතු, ගෘහ නිර්මාණ ශිල්පය, ජ්‍යාමිතිය ආදී දේ මීට අයත් වූ බව පැවසෙනවා. මීට අමතරව කලාව සහ චිත්‍ර ඇඳීමත් බහුලව උගන්වා තිබෙනවා. මෙවැනි පාසල්වලට අමතරව පියාගෙන් පුතාට නිපුණතාවන් ගලා ඒමත් සිදු වුණා. කොහොම නමුත් අති බහුතරයක් දෙනා කිසිදු විධිමත් අධ්‍යාපනයක් නොලබා, සාක්ෂරතාවක් නොමැතිව ජීවත් වී තිබෙනවා.

මෙරට පැවති සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය වෙනුවට තරමක් නවීන අධ්‍යාපන ක්‍රමයක් බවට හඳුන්වා දීම සිදු වුණේ ලංකාවේ විවිධ ප්‍රදේශ කාලයෙන් කාලයට පාලනය කළ යුරෝපීය ජාතිකයන් අතිනුයි. 16 වැනි ශතවර්ෂයේදී ලංකාවේ මුහුදුබඩ පළාත් ගණනාවක් පෘතුගීසි පාලනයට යටත් වීමත් එක්ක පෘතුගීසි මිෂනාරී කණ්ඩායම් මෙරට රෝමානු කතෝලික ආගම ප්‍රචාරය කිරීම වෙනුවෙන් පාසල් ගණනාවක් බිහි කරන්නට කටයුතු කළා. ඊට ශතවර්ෂයකට පමණ පසුව ලන්දේසි ජාතිකයන් මෙරට මුහුදුබඩ පළාත්වල බලය අල්ලා ගැනීමත් එක්ක මෙරට තුළ ක්‍රිස්තියානි ප්‍රාථමික පාසල් පද්ධතිය ස්ථාපිත කරන්න සමත් වුණා.

අවුරුදු 100කට ආසන්න කාලයක් තිස්සේ හොඳින් ක්‍රියාත්මක වූ මෙම ප්‍රාථමික පාසල්වල ඉගැන්වීම් මාධ්‍යය ඉංග්‍රීසි බවට පත් කෙරුණේ 18 වැනි ශතවර්ෂයේදී මෙරට පාලනය අල්ලා ගත් ඉංග්‍රීසීන් විසින්. ඒ සමගම පාසල්වල සිසුන් ප්‍රමාණයේ ශීඝ්‍ර අඩුවක් සිදු වුණා: ඒ කාලයේ ඉංග්‍රීසි භාෂාව දැන සිටි ලාංකිකයන් සිටියේ ඉතා සුළු පිරිසක් විතරයි.

පිරිමි ළමුන් සඳහා වන මෙරට පළමු රජයේ පාසල විදිහට කොළඹ රාජකීය විද්‍යාලය ස්ථාපිත කරන ලද්දේ ඉංග්‍රීසීන් විසින්. (mapio.net])

1836 දී බ්‍රිතාන්‍යයේ සිට එවන ලද කෝල්බෲක් කොමිසමේ නිර්දේශවලට අනුව මෙරට විධිමත් රාජ්‍ය පාසල් ජාලයක් ස්ථාපිත කරන්න බ්‍රිතාන්‍ය කිරීටය කටයුතු කළා. මේ තුළින් තමයි පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වෙන, අදටත් පවතින පාසල් ජාලයක් බිහි වුණේ. 1835 වර්ෂයේදී පෞද්ගලික පාසලක් ලෙස ආරම්භ වුණු කොළඹ ඇකඩමිය කොළඹ රාජකීය විද්‍යාලය විදිහට නම් කරමින් මෙරට පිරිමි දරුවන් සඳහා පූර්ණ ද්වීතීයික අධ්‍යාපනය ලබා දෙන මුල්ම රජයේ පාසල බවට 1836 වර්ෂයේදී පත් කෙරුණා. බොහෝ රජයේ පාසල්වල මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබන්නට අවස්ථාව සලසා දීමේ ප්‍රතිඵලයක් විදිහට නැවතත් පාසල් සිසුන් ප්‍රමාණය වර්ධනය වෙන්න පටන් ගත්තා.

ශ්‍රී ලංකාවේ නවීන අධ්‍යාපන ක්‍රමය බිහි වීම ආරම්භ වුණේ 19 වැනි සියවසේදී මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වීමත් සමගයි. 19 වැනි ශතවර්ෂයේ අවසානය වන විට මෙරට තෘතීයික අධ්‍යාපන ආයතන ස්ථාපිත කරන්නත් බ්‍රිතාන්‍යයන් කටයුතු කර තිබෙනවා.

19 වැනි ශතවර්ෂයේ අග භාගයේදී සහ 20 වැනි ශතවර්ෂයේ මුල් කාලයේදී ක්‍රිස්තියානි ආගමට අමතරව අනෙක් ආගම්වල නමිනුත් පාසල් බිහි වීම ආරම්භ වුණා. මෙරට පුරා බෞද්ධ පාසල් විශාල ප්‍රමාණයකුත්, මුස්ලිම් හා හින්දු පාසල් සැලකිය යුතු ප්‍රමාණයකුත් ආරම්භ වුණේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. මේ සමග මෙරට සාක්ෂරතාවය වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තත් එය බොහෝ දුරට පුරුෂයන්ට පමණක් සීමා වුණු තත්ත්වයක් ලෙසයි පැවතුණේ. කාන්තාවන්ගේ සාක්ෂරතාව ඒ වන විටත් ඉතා පහළ මට්ටමක පැවැතුණා.

1890 ගණන්වලදී මෙරට පැවති කාන්තා බෝඩිං පාසලක් (commons.wikimedia.org)

රජයේ පාසල්වල අධ්‍යාපනය බොහෝ දුරට නොමිලේම පැවතුණු අතර 1942 දී නිල වශයෙන්ම අධ්‍යාපනය නොමිලේ සැපයීමේ ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නා. මේ වර්ෂයේදීම පෞද්ගලික පාසල් හැර අනෙක් සියලුම පාසල්වල අධ්‍යාපන මාධ්‍යය දේශීය භාෂාවන් වෙත මාරු කෙරුණු අතර තමන්ට කැමති ආගමික අධ්‍යාපනයක් ලැබීමේ නිදහසත් සිසුන් වෙත හිමි වුණා. මහා විද්‍යාල, මධ්‍ය මහා විද්‍යාල ඇතුළු සිංහල හා දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය සැපයෙන පාසල් විශාල වශයෙන් අලුතෙන් බිහි වීම ආරම්භ වුණේ ඒ සමගයි. 1940 දශකය අවසාන වන විට ශ්‍රී ලංකාවේ තිබුණේ පාසල්වලින් 60%ක ප්‍රමාණයක් රජයේ පාසල්ව පැවතුණා. මෙවන් තත්වයක් ඇති කිරීමට විශාලම දායකත්වයක් සැපයුවේ ආචාර්ය C. W. W. කන්නන්ගර මහතා බව විශේෂයෙන්ම කිව යුතුයි. මහා විද්‍යාල ඇති කිරීම, පෙර පාසලේ සිට විශ්ව විද්‍යාල අවසානය දක්වාම නොමිලේ අධ්‍යාපනය සැපයීමත්, මහා විද්‍යාල බිහි කිරීමත්, සිසුන්ට වරප්‍රසාද දීමනා හිමි කර දීමත් වැනි වැදගත් යෝජනා ගණනාවක් ගෙන එන ලද්දේ එතුමන් විසින්.

1948 දී මෙරටට නිදහස හිමි වීමත් සමග නව පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන තව දුරටත් බිහි වුණු අ සාක්ෂරතාව වේගයෙන් වැඩි වෙන්නට පටන් ගත්තා. යටත් විජිත සමයේදී පෞද්ගලික හිමිකාරීත්වයේ පාසල් ගණනාවක්ම රජයට පවරා ගන්නත් කටයුතු කෙරුණු අතර 1960 දශකයේදී ගණිතය හා විද්‍යාව විෂයන්ට විෂය නිර්දේශ සම්පාදනය සඳහා මධ්‍යස්ථානයක් ආරම්භ වුණා. අන්තර්ජාතික පාසල් මෙරට මුල්ම වරට ස්ථාපිත කෙරුණේ 1980 ගණන්වලදීයි. 1986 දී ජාතික අධ්‍යාපන විද්‍යාල සහ ගුරු පුහුණු මධ්‍යස්ථානද බිහි කෙරුණා.

ශ්‍රී ලංකාවේ නවීන අධ්‍යාපන ක්‍රමය.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ රජයේ පාසල් ආසන්න වශයෙන් 10,000ක පමණ ප්‍රමාණයක් තිබෙනවා. මේ පාසල් වර්ගීකරණය කර තිබෙන්නේ ජාතික පාසල්, පළාත්බද පාසල් සහ බෞද්ධ පිරිවෙන් ලෙසයි.රජයේ සහ පෞද්ගලික අනුමත පාසල් ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්යංශය යටතේ පවතිනවා. රජයේ නොවන පාසල් අතර ජාතික විෂය නිර්දේශය අනුගමනය කරන පෞද්ගලික පාසල් වගේම බ්‍රිතාන්‍ය විෂය නිර්දේශයන් අනුගමනය කරන අන්තර්ජාතික පාසල් ද පවතිනවා. ශ්‍රී ලංකාවේ තිබෙන අන්තර්ජාතික පාසල් වැඩි ප්‍රමාණයක් එඩෙක්සෙල් (Edexcel) හා කේම්බ්‍රිජ් (Cambridge) විෂය නිර්දේශයන්ට අයත් IGCSE Ordinary, Advanced Subsidiary සහ Advanced යන ද්වීතියික පෙළ විභාග ඉලක්ක කරගෙන සිසුන් හට අධ්‍යාපනය ලබා දෙනවා.

දියුණු වෙමින් පවතින බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුළද පවතින අධ්‍යාපන ක්‍රමය යටත් විජිත සමයේ සිට සැලකිය යුතු වෙනසකට පාත්‍ර වී නැහැ. කොහොම නමුත් 1947 සිට 2006 දක්වාම වරින් වර විවිධ වෙනස්කම් සිදු කරමින් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුගත වීමට සාධනීය උත්සාහයන් ගෙන තිබෙනවා. කෙසේ නමුත් තවමත් තාක්ෂණය භාවිතයට ගැනීම, පරිගණක පහසුකම් වෙත ප්‍රවේශය සැලසීම හා පාසල් වෙත අන්තර්ජාල පහසුකම් සැලසීම වගේ කාරණා අතින් ශ්‍රී ලංකාව සිටින්නේ තරමක් පිටුපසින්. දියුණු රටවල් බොහොමයක් 1980 දශකයේ සිට තාක්ෂණයත් සමග සිදු වන අධ්‍යාපන ක්‍රමයේ ඩිජිටල්කරණයට මග විවර කර දී තිබුණත් ශ්‍රී ලංකාවේ තවමත් අධ්‍යාපන හා ඉගැන්වීම් ක්‍රමවේදයන් සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට ඇලී ගැලී තිබෙනවා. තාක්ෂණය ඇසුරු කරගෙන විකාශනයට ලක් වූ අධ්‍යාපන ක්‍රමයක් මෙරට තුල ඇති වීම මේ හේතුවෙන් අඩපණවයි තිබෙන්නේ.

පිටිසර පාසල්වල භෞතික හා මානව සම්පත්වල විශාල හිඟයක් පවතිනවා. (hiveminer.com)

ටැබ්ලට් පරිගණක, ස්මාට් දුරකථන, ලැප්ටොප්, පරිගණක, සහ ප්‍රක්ෂේපණ යන්ත්‍ර (ප්‍රොජෙක්ටර) එක් එක් ශිෂ්‍යයාගේ හැකියාවට හා අවශ්‍යතාවන්ට සුදුසු ලෙස අධ්‍යාපනය සැලසීම සඳහා සහයට ගැනීම අද බොහෝ රටවල පාසල් තුළ ඉතා සුලභව දකින්නට ලැබෙනවා. කොහොම නමුත් ශ්‍රී ලංකාවේ පන්ති කාමර තුල මෙම තත්වය දකින්න ලැබෙන්නේ ඉතාම අඩුවෙන්: බොහෝ පාසල්වලට ප්‍රමාණවත් ලෙස මේ උපාංග මිලදී ගැනීමට ප්‍රතිපාදන හා ඒවා නිසියාකාරව ප්‍රයෝජනයට ගැනීමට පුහුණුව ලද මානව සම්පත් ලැබීමේ හිඟයක් පවතිනවා. සිසුන් ප්‍රමාණයට සරිලන පරිගණක ප්‍රමාණයක් ඉහළම පෙළේ පෞද්ගලික පාසල් තුලදී පවා දක්නට ලැබීම විරලයි. විශේෂයෙන්ම පළාත්බද පාසල් තුළ පහසුකම් හිඟය බරපතල තත්වයක පවතිනවා: ඩිජිටල් උපාංග තියා අත්‍යාවශ්‍ය යටිතල පහසුකම්වත්, පුහුණුව ලත් ගුරුවරුන් ප්‍රමාණවත් පිරිසක්වත් මේ පාසල්වල නැහැ.

ජාතික පාසල් සහ රජයේ නොවන පාසල්වල තත්ත්වය නම් කෙමෙන් කෙමෙන් සුභදායී තත්වයට හැරෙමින් පවතිනවා. මෙවන් බොහෝ පාසල්වල ඩිජිටල් හා තාක්ෂණික උපාංග ඉගැන්වීම් ක්‍රමයේ සහයට ලබා ගැනීම දැක ගන්නට පුළුවන්. අන්තර්ජාල සම්බන්ධතාව, පුද්ගලික පරිගණක, විද්‍යාත්මක ගණක යන්ත්‍ර, ප්‍රක්ෂේපණ යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර වැනි සම්පත් ප්‍රමාණවත් ලෙස මේ සිසුන් වෙත ලැබෙනවා. කොහොම නමුත් පුහුණුව ලද උපදේශකවරුන් ඇතුළු මානව සම්පත්වල හිඟය නම් තවමත් විසඳිලා නැහැ. ඔවුන්ගේ තාක්ෂණික පුහුණුව වගේම ඉගැන්වීම් ක්‍රමවේදවලත් යම් ගැටළු පවතිනවා: අදටත් බොහෝ දුරට රෙජිමේන්තු ක්‍රමයේ, ගුරුවරයා මූලික සහ විභාග පදනම් කරගත් ඉගැන්වීම් ක්‍රමයක් තමයි පවතින්නේ. වඩාත් නම්‍යශීලී, ශිෂ්‍යයා මූලික කරගත්, සිද්ධාන්ත වටහා ගැනීම ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමයක ඉහළ අවශ්‍යතාවක් අද කාලයේ පවතිනවා.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ අනාගතය

ශ්‍රී ලංකාවට සිය අධ්‍යාපන ක්‍රමය ඩිජිටල්කරණය කරන ගමනේ යා යුතු දුර තව බොහොමයි. අධ්‍යාපන ක්‍රමය ඩිජිටල්කරණය කිරීම අවධීන් තුනකට බෙදා දක්වන්න පුළුවන්.

  • පළමු අවධිය – VCR, DVD හා රූපවාහිනී ඇතුළු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය, මන්දගාමී අන්තර්ජාල සම්බන්ධතා, ඉහළ සිසු පරිගණක අනුපාතය සහ අවශ්‍ය තොරතුරු තාක්ෂණ සුදුසුකම් සහිත ගුරුවරුන් ඉතා සුළු පිරිසක්.
  • දෙවන අවධිය – බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍ර (Multimedia Projectors) වැනි තාක්ෂණයෙන් ඉහළ උපාංග, වේගයෙන් වැඩි අන්තර්ජාල සම්බන්ධතා, අඩු සිසු පරිගණක අනුපාතය සහ තොරතුරු තාක්ෂණ සුදුසුකම් ලත් ගුරුවරුන් ප්‍රමාණවත් පිරිසක්.
  • තෙවන අවධිය – ඩිජිටල් උපාංග භාවිතයෙන් ගුරුවරුන් වෙනුවට සිසුන් මූලාරම්භකයන් වන අධ්‍යාපන ක්‍රමවේදයක්.

කණගාටුවට වගේ ශ්‍රී ලංකාවේ බොහෝ පාසල් තවමත් පවතින්නේ පළමු අවධියේ. 1990 දශකයේ අග භාගයේ සිට මෙරට පාසල් වෙත පෞද්ගලික පරිගණක හඳුන්වා දී තිබුණත් මේ වන තුරුත් දෙවන අවධියට හෝ පැමිණි පාසල් තිබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි.

1990 දශකයේ සිටම ඇතැම් පාසල්වලට පරිගණක හඳුන්වා දෙනු ලැබුවත් අධ්‍යාපන ක්‍රමය ඩිජිටල්කරණයේදී ශ්‍රී ලංකාව තව යා යුතු දුර බොහෝයි. (nec.gov.lk)

ලෝකය පුරාම පාසල් සහ සිසුන් අද ඉහළම තාක්ෂණයේ උපාංග හා සේවා භාවිතයටත්, සමාජ මාධ්‍ය හරහා දැනුම ලබා ගැනීමටත්, තොරතුරු බෙදා හදා ගැනීමටත්, සංවාදයේ යෙදීමට හා අධ්‍යාපන අවස්ථා සොයා යාමටත් පෙළඹී සිටිනවා. MOOC (Massive Open Online Courses), Coursera හා Lynda වැනි දුර සිට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලැබීම් සහ ජාලගත ඉගෙනුම් පාඨමාලාවන් නිසා වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ නිම්වළලු ලෝකය පුරාම පුළුල් වී තිබෙනවා. අධ්‍යාපනයට පැවති බාධා හා දුෂ්කරතා බොහොමයක් මේ නිසා ඉවත් වී ගිහින්. අනාගතයේ ඩිජිටල්කරණය වූ ඉගැන්වීම් ක්‍රියාවලි තුල අධ්‍යාපනය පරිගණක ක්‍රීඩාවක ආකාරයෙන් සිදු කිරීමේ සැලසුම්, Youtube වැනි වීඩියෝ හුවමාරු සේවා අධ්‍යාපනික උපාංගයක් ලෙස භාවිතය, Cloud තාක්ෂණය ඇසුරෙන් හා දත්ත මූලික කරගත් ඉගැන්වීම් ක්‍රමවේද, 3D මුද්‍රණය ඇසුරෙන් නිර්මිත ආදේශක භාවිතය, තාත්වික යතාර්ථය හෙවත් Virtual Reality තාක්ෂණය ඉගැන්වීම් සඳහා සහායට ගැනීම ඇතුළු අපූරු දේ බොහොමයක් අන්තර්ගතයි. දියුණු රටවල පාසල් විශාල ප්‍රමාණයක් අපිට තව බොහෝ දුර යැයි සිතෙන මේ දේවල් දැනටමත් තමන්ගේ ඉගැන්වීම් ක්‍රියාවලියට දායක කරගෙන තිබෙනවා.

අද වන විට ශ්‍රී ලංකාවේ පාසල් තුල නව තාක්ෂණය භාවිතය සැලකිය යුතු තරමින් සිදු වුණත් ඒ මට්ටමට එන්න තවත් බොහෝ දේ කළ යුතුව තිබෙනවා. මේ නිසා ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල් අතර ඩිජිටල් අංශයේ විශාල විභේදනයක් දැක ගන්න ලැබෙනවා වගේම අවස්ථාවන් ලබා ගැනීමට ඇති ඉඩකඩ ඇහිරීම හා ඩිජිටල් ලෝකය තුල ඉදිරියට යාමේ අපහසුව වැනි ගැටළුවලටත් මුහුණ දීමට සිදු වෙනවා. ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින අධ්‍යාපන ක්‍රමය පූර්ණ නව්‍යකරණයකට ලක් කර තාක්ෂණය පදනම් කර ගත් වර්තමාන ලෝකයට අවශ්‍ය හැකියාවන්ගෙන්, දක්ෂතාවයන්ගෙන්, නිපුණතාවන්ගෙන් හා ආකල්පවලින් සන්නද්ධ වෘත්තිකයන් පිරිසක් බිහි කරන එක යුගයේ අවශ්‍යතාවක්.

කොහොම නමුත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ධනාත්මක කරුණු විශාල ප්‍රමාණයක් ඇති බවත් අමතක කළ යුතු නැහැ. අවුරුදු 5 – 16 අතර දරුවන් අධ්‍යාපනය ලැබීම අනිවාර්යය කර තිබෙනවා වගේම පාසල් අධ්‍යාපනය ලැබීම අත්‍යාවශ්‍ය කරුණක් ලෙස සියලුම පුරවැසියන් තුල ආකල්පයක් පවතිනවා. රටේ සාක්ෂරතාවය 92%ක් හා ප්‍රාථමික පාසල්වලට ඇතුලත් වන සිසුන් ප්‍රතිශතය 99% සීමාවේ පැවතීම බොහෝ රටවලට සාපේක්ෂව ආඩම්බර විය හැකි කරුණක්. රටේ පැවැත්වෙන පොදු විභාග සියල්ලම ඉතාම තරඟකාරීයි: බොහෝ විට පාසල් අධ්‍යාපනයට අමතරව පෞද්ගලික උපකාරක පන්තිවල සහය ලබා ගැනීමටත් සිසුන් පෙළඹී සිටිනවා. (උපකාරක පන්ති වෙත යාම ගැන ආකල්ප විවිධ වුවත් සිසුන්ගේ පැත්තෙන් ගතහොත් වඩා පුළුල් අධ්‍යාපනයක් ලැබීම හොඳ තත්වයක්) වර්තමානය වනවිටත්  අපේ රටේ අධ්‍යාපන මට්ටම සාපේක්ෂව ඉහළ තත්ත්වයක පවතින පසුබිමක අපේ අධ්‍යාපන ක්‍රමයට නව තාක්ෂණය වඩාත් සාර්ථකව එක්කාසු කර ගැනීමෙන් ඉතා ඉහළ ඵලදායීතාවක් ලබා ගන්නට හැකි වේවි. තාක්ෂණික උපාංග හා සේවාවලට ඇති ප්‍රවේශය ඉහළ යාමත්, ඒවා දැරිය හැකි මිලකට භුක්ති විඳීමේ අවස්ථා පුළුල් වීමත් එක්ක ශ්‍රී ලංකාව වඩාත් ඉක්මනින් පරිගණක හා තාක්ෂණික ලෝකය සමග අනුගත වෙලා අනාගතය කරා යාවි කියලා අපිත් බලාපොරොත්තු තියා ගනිමු.

මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

ආකර්ශනීයයි
අධ්යාපනිකයි
සතුටුයි
දුකයි
තරහ යනවා
හාස්‍යජනකයි

අදහස්