Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බලාගෙන ඉද්දී ඔබේ ධනය වැඩිදියුණු කර ගන්නා මාර්ගය – ආයෝජනය

සාම්ප්‍රදායිකවම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ආයෝජනය කියන්නේ විශ්‍රාම ගිය අයට කරන්න තියෙන දෙයක් හැටියටයි හිතාගෙන ඉන්නේ. අතපය වෙහෙසා වැඩ කරන කාලේ බොහෝ දෙනා හිතන්නේ රැකියාවක් කරන අතරේ මාසික පඩියක් ලබා ගන්නත්, වැඩිපුර තියෙන මුදල් සති අන්තේ සාද පවත්වන්න වැය කරන එකත් ගැන විතරයි. කවුරු කවුරුත් තමන්ට නැති බැරි දවසක ප්‍රයෝජනයට ගන්න කියලා ඉතිරි කර ගන්න එකම දේ ඉබේටම ඉතිරි වෙන අර්ථසාධකය තමයි. කොහොම නමුත් කැන්ඩර් (Candor Group) ව්‍යාපාර සමූහයේ අධ්‍යක්ෂක, වරලත් මූල්‍ය විශ්ලේෂක රවී අබේසූරිය මහතා නම් කියන්නේ ඇත්තටම මේකේ අනිත් පැත්ත සිදු වෙන්න ඕන කියලයි. අර්ථසාධකයෙන් එකවර දෙන සල්ලි කුට්ටියවත්, බැංකු ගිණුම්වල එකතු වෙලා තියෙන සල්ලි ටිකවත් උද්ධමනයත් එක්ක දිනෙන් දින වැඩි වන ජීවන බරට මුහුණ දෙන්න ප්‍රමාණවත් නැති බවයි ඔහුගේ අදහස.

“තරුණ කාලේම උත්සාහ කරොත් ඕනෑම කෙනෙකුට ලොකු මුදල් ප්‍රමාණයක් විශ්‍රාම යනවිට එක්රැස් කරගන්න අවස්ථාව තියෙනවා,” ඔහු ප්‍රකාශ කළා. “එතකොට කවදා හරි රැකියාවෙන් විශ්‍රාම යන දවසක කිසි කරදරයක් නැතිව අවුරුදු විස්සක් තිහක් ජීවත් වෙන්න සරිලන මුදල් ප්‍රමාණයක් ඉතිරි වෙලා තියේවි.”

අබේසූරිය මහතා නම් කියන්නේ අපේ රටේ උදවිය ආයෝජනය කරන එක ගැන වැඩි උනන්දුවක් නොදක්වන්නේ ඔවුන්ට තිබෙන ආයෝජන අවස්ථා මොනවාද කියන එක හරි හැටි අඳුනාගෙන නැති නිසා කියලයි. බොහෝ දෙනා කරන්නේ මූර්ත වත්කම් (භෞතිකව පවතින සම්පත්) වල ආයෝජනය කරන එක ඒ කිව්වේ ඉඩම්, ගෙවල්, ගොඩනැගිලි සහ රත්තරන් වගේ දේවල් එක්රැස් කරන එකයි. ව්‍යාපාර කොටස් (stocks) ඇතුළු මූල්‍ය වත්කම්, නියත ආදායමක් හිමි වන බැඳුම්කර (Bonds) සහ ණයකර (Debentures) වගේ දේවල් ගැන ඔවුන්ගේ ලොකු උනන්දුවක් නැහැ. ඇත්තෙන්ම ආයෝජන අවස්ථා අපේ රටේ ඕන තරම් තිබෙනවා. ඉතින් මේ සරලව කියන්න උත්සාහ කරන්නේ ඒ වගේ ආයෝජන ක්‍රම කිහිපයක් ගැනයි.

ස්ථාවර තැන්පතු.

ලොකු අවදානමක් ගන්න අකමැති මැදි වයසේ ඉන්න උදවියට ස්ථාවර තැන්පතුවක් – එහෙමත් නැතිනම් කවුරුත් කියන විදිහට FD එකක් – කියන්නේ වැඩිය හිතන්න අවශ්‍ය නැති, බොහොම ජනප්‍රිය ආයෝජන ක්‍රමයක්. ස්ථාවර තැන්පතුවකට අපි ආයෝජනය කරන ප්‍රාග්ධනය අඩු වැඩි වෙන්නේ නැති නිසාත්, යොදවපු මුදල වගේම කලින්ම දැනගන්න ලැබෙන පොළී මුදලත් කල් පිරුණාම කිසි කරදරයක් නැතිව ආපහු ලැබෙන නිසාත් FD එකක් කියන්නේ බොහොම හොඳ ආරක්ෂාවක් පවතින ආයෝජන ක්‍රමයක් කියලා කාගේත් පිළිගැනීමක් තියෙනවා.

ස්ථාවර තැන්පතුවල මුදල් ආයෝජනය කරන එක ශ්‍රී ලංකාවේ බොහොම ජනප්‍රිය ක්‍රමයක්, මොකද තියෙන ආරක්ෂිතම ක්‍රමය එය කියලයි සැලකෙන්නේ. (greenlivingbees.com)

FD එකක යම් මුදලක් තැන්පත් කරාට පස්සේ ඒ මුදලට කලින් කතා කර ගන්න පොළී ප්‍රමාණයක් ආයෝජනය කරපු කෙනාගේ පැත්තෙන් කිසිම මහන්සියක් වෙන්නේ නැතිව කල් පිරෙන තුරුම උපයා ගන්න පුළුවන්. FD එකට ලැබෙන බවට එකඟ වුණු පොළී ප්‍රමාණය ලබා ගන්න නම් යොදපු මුදල නියමිත කල් පිරීම දක්වා ලබා නොගෙන ඉන්නට සිදු වෙනවා. ඊට කලින් මොකක් හෝ හේතුවක් නිසා දාපු මුදල් ලබා ගන්න උත්සාහ කරොත් ගොඩක් මූල්‍ය ආයතනවලින් ලැබෙන්නේ බොහොම අඩු පොළියක් විතරයි. මුල් මාස තුනේදීම වගේ ආපහු ගන්න ගියොත් සමහරවිට කිසිම පොළියක් ලබා නොදෙන්නත් ඉඩ තියෙනවා.

තමන්ගේ මුදල් ටික ස්ථාවර තැන්පතුවක දාල කිසිම මහන්සියක් නොවී බලාගෙන ඉද්දී ඒ මුදල වර්ධනය වෙනවා දකින්න පුළුවන්කම ආයෝජන අවස්ථා ගැන වැඩි දැනුමක් නැති සාමාන්‍ය ජනයාට බොහොම ආකර්ෂණීය ආයෝජන ක්‍රමයක්. ස්ථාවර තැන්පතුවක් තියෙනවා නම් කිසිම කරදරයක් නැතිව අවශ්‍ය වෙලාවක ණයක් ලබා ගන්න අවස්ථාව තියෙන එකත් ලොකු වාසියක්. අබේසූරිය මහතාත් පෙන්වා දෙන්නේ ගොඩක් ස්ථාවර තැන්පතු දිගු කාලීන ඒවා නිසා වෙළඳපොළේ ඇති වෙන විචලනයන් හමුවේ වුණත් බොහොම වාසිදායක පොළී අනුපාතයක් ලබා ගන්න අවස්ථාව තියෙන බවයි.

කොහොම නමුත් මේ දිගු කාලීන බව නිසා යම් යම් ඍණාත්මක ප්‍රතිඵලත් තියෙනවා. ඒ අතරින් ප්‍රධානම දේ තමයි උද්ධමනයත් එක්ක තමන් සතුවන මුදලේ සැබෑ වටිනාකම, එහෙමත් නැතිනම් මිලදී ගැනීමේ හැකියාව අඩු වෙන එකයි. දියුණු වෙමින් පවතින ශ්‍රී ලංකාව වගේ රටක කාලයෙන් කාලයට උද්ධමන අනුපාතය ගොඩක් ඉහළ යන්න පුළුවන් නිසා මේක ලොකු ගැටළුවක්. උද්ධමන අනුපාතය ස්ථාවර තැන්පතුවට ගෙවන පොළී අනුපාතයට වඩා වැඩි නම් ඇත්තටම ඒ මුදල් තැන්පත් කරන එක ආයෝජකයාට පාඩුවක්.

“කොටස් වෙළඳපොළ ආයෝජනයකදී වගේ සිදු කළ ආයෝජනයේ වටිනාකම වෙනසක් නොවුණත් මිලදී ගැනීමේ හැකියාව පොළියට වඩා වේගයෙන් අඩු වෙන නිසා සිද්ධ වෙන්නේ පාඩුවක්,” අබේසූරිය මහතා කියනවා. “සමහර විට ඔබ ස්ථාවර තැන්පතුව දාපු මූල්‍ය ආයතනය බංකොළොත් වුණොත් සේරම අහිමි වීමේ අවදානමකුත් තිබෙනවා.”

රජයේ සුරැකුම්පත්.

නියත ආදායම් උපාංග, එහෙමත් නැතිනම් fixed income instruments අතරින් අඩුම අවදානමක් තියෙන ආයෝජන ක්‍රමය වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වගේ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කරන එකයි. මේ වගේ රජයේ සුරැකුම්පත්වල කෙරෙන ආයෝජනවලට කල් පිරීම දක්වා වාරික විදිහට යම් පොළී මුදලක් රජය මගින් ගෙවනු ලබනවා.

ඇත්තටම ගත්තාම රජයේ සුරැකුම්පත්වල කිසිම අවදානමක් නැහැ කියලා කියන්නත් පුළුවන්, මොකද අවශ්‍ය ඕනෑම අවස්ථාවක ආයෝජකයන්ගේ පොළී මුදල් ගෙවන්න රජයට කැමති තරම් මුදල් නෝට්ටු මුද්‍රණය කරන්න පුළුවන්නේ. කොහොම වුණත් විදේශ මුදල් ඒකකවලින් ඉදිරිපත් කෙරෙන සුරැකුම්පත් ඇතුළු සමහර ආයෝජනවලට බංකොලොත් වීම තුළින් ගෙවීම් පැහැර හරින්න රටකට ඉඩක් තියෙනවා. මේ තත්ත්වය හැඳින්වෙන්නේ ස්වෛරීය ණයවාරණයක්, නැත්නම් sovereign default එකක් විදිහටයි.

ණයකර නැතිනම් ඩිබෙන්චර.

ණයකරයක්, එහෙමත් නැතිනම් ඩිබෙන්චරයක් කියලා හැඳින්වෙන්නේ බැංකු සහ වෙනත් ආයතන නියත පොළී අනුපාතයක් යටතේ ණය ලබා ගන්න පාවිච්චි කරන නියත ආදායම් උපාංගයක් (fixed income instruments). මේ විදිහට ලබා ගන්නා මුදල් ඒ ආයතනයේ කොටස් ප්‍රාග්ධනයේ, එහෙමත් නැතිනම් share capital එකේ කොටසක් විදිහට නැතිව ණය ප්‍රාග්ධනයේ, එහෙමත් නැතිනම් debt capital එකේ කොටසක් විදිහට එක්රැස් වෙන එක තමයි මෙහි ප්‍රධාන වෙනස. කොහොම නමුත් ඩිබෙන්චරයක් සාමාන්‍ය සුරැකුම්පතක් වගේ යම් වත්කමක් ඇපයට තබා නිකුත් කෙරෙන එකක් නොවන නිසා ආයෝජකයා සතුව ප්‍රාග්ධනයට හිලව් කරගත හැකි වත්කමක් පවතින්නේ නැහැ. මේ නිසා ණයකරයක, එහෙමත් නැතිනම් ඩිබෙන්චරයක තරමක් ඉහළ අවදානමක් තියෙනවා. තමන්ගෙන් මුදල් ලබා ගන්නා ආයතනයට යළි ගෙවීම් සිදුකරන්න තියෙන හැකියාව මත, එහෙමත් නැතිනම් ණය සුදුසුකම මත සම්පූර්ණ විශ්වාසය තියන්න ආයෝජකයාට සිදු වෙනවා.

අබේසූරිය මහතා කියන්නේ මෑතක් වන තුරුම ණයකරවලින් ලැබෙන පොළී ආදායම බදුවලින් නිදහස්ව පැවතුණු නිසා මූල්‍ය දැනුමින් සපිරි පිරිස අතර මෙය ඉතාම ජනප්‍රිය ආයෝජන ක්‍රමයක් වුණු බවයි. සාම්ප්‍රදායිකව කෙරෙන්නේ ආයෝජකයා තමන්ගේ මුදල් බැංකුවක ඉතිරි කරලා ඒ මුදල් විවිධ ආයතනවලට ණය විදිහට නිකුත් කරන එකයි. කොහොම වුණත් අතරමැදියන් විදිහට බැංකු යම් තැරව්කාර අනුපාතයක් ලබා ගන්නවා.

“සමහරවිට මේ අනුපාතය ඉතා ඉහළ වෙන්න පුළුවන්.” අබේසූරිය මහතා පැහැදිලි කළා. “ණයකරවලදී සිදු වෙන්නේ ආයතනය ආයෝජකයන්ව සොයා යෑමක්.” ඒත් ලැයිස්තුගත ණයකරවලට පවතින බදු රහිත තත්වය අලුතෙන් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න තිබෙන “නව දේශීය ආදායම් පනත” යටතේ අහිමි වෙන්නත් ඉඩක් තියෙනවා.

ණයකර, නැතිනම් ඩිබෙන්චර වර්ග දෙකක් තියෙනවා: ඒ තමයි හුවමාරු කළ හැකි ණයකර සහ හුවමාරු කළ නොහැකි ණයකර. හුවමාරු කළ හැකි වර්ගයේ යම් ආරක්ෂිත බවක් තියෙන්නේ යම් ආයතනයකට ගෙවීම් කරන්න බැරි වුණොත් එහි වටිනාකම ආයතනයේ සමාන වටිනාකමක කොටස්වලට හුවමාරු කරන්න අවස්ථාව ඇති නිසායි. හුවමාරු කළ නොහැකි වර්ගයේ ආරක්ෂාව අවම වුණත් ඉහළ පොළියක් ලබා දීම නිසා ආයෝජකයන් ඒ ගැනත් උනන්දුයි.

බොහෝ නියත ආදායම් උපාංග (fixed income instruments) වල තියෙන ණය සුදුසුකම, එහෙමත් නැතිනම් ගෙවීම් කිරීමේ හැකියාව විවිධ ණය සුදුසුකම් වර්ගීකරණය කරන ආයතනවලින් ඇගයීමකට ලක් කෙරෙනවා. ඒ යටතේ යම් නියත ආදායම් උපාංගයකට හෝ ස්ථාවර තැන්පතුවකට පොළිය වගේම ප්‍රාග්ධන ආයෝජනයත් නැවත ගෙවන්න තියෙන හැකියාව විවිධ මිනුම් මගින් නිර්ණය කෙරෙනවා. වැඩිම විශ්වාසයක් තබන්න පුළුවන්, එහෙමත් නැතිනම් අවදානම අඩුම ආයෝජන ක්‍රමවලට ලැබෙන තක්සේරුව තමයි AAA (සාමාන්‍යයෙන් කියන්නේ AAA රේටිං එකක් කියලයි). එතැනින් එහාට පිළිවෙලින් AA, A, BBB, BB, B විදිහට අඩු වෙලා ගිහින් අන්තිමට C හා D රේටිං එකක් ලැබෙනවා.

“නියත ආදායම් උපාංගවල ණය සුදුසුකම මේ විදිහට අඩු වෙන්නේ පොළී හා බදුවලට පෙර ආදායම, නැතිනම් EBIT එකත්, පොළී වියදම් හෝ ආපසු ගෙවීමේ හැකියාවත් අතර පවතින ස්වාරක්ෂක සීමාව (cushion එක) අඩු වෙනවාත් එක්කමයි.” අබේසූරිය මහතා කියා සිටියා. “එහෙම වෙනවා කියන්නේ වහාම ඒ ආයතනයෙන් තමන්ගේ ආයෝජන ඉවත් කරගන්න කියලා ලැබෙන පැහැදිලි සංඥාවක්.”

කොටස් වෙළඳපොළ.

කොළඹ කොටස් වෙළඳපොළ. (Getty images/Bloomberg)

විවිධාකාර සමාගම් තමන්ට අවශ්‍ය ප්‍රාග්ධන වටිනාකම (equity එක) ලබා ගන්න කොටස් නිකුත් කරනවා. ඒ කියන්නේ යම් මුදලක් තම ආයතනයේ ආයෝජනය කිරීමට හිලව්වක් විදිහට ආයතනයේ හිමිකාරීත්වයෙන් යම් කොටසක් ආයෝජකයා වෙත පවරනවා කියන එකයි. ඉන් පස්සේ ආයතනයේ හිමිකරුවන් විදිහට කොටස් හිමියන්ටත් ලාභාංශයක්, එහෙමත් නැත්නම් dividend එකක් හිමි වෙනවා. යම් සමාගමකට තමන්ගේ කොටස් නිකුතුව ලැයිස්තුගත කරන එක අදාළ රටේ කොටස් වෙළඳපොළ(ක්) තුළ සිදු කරන්න පුළුවන්. IPO එක, එහෙමත් නැත්නම් සමාරම්භක කොටස් නිකුතුව කියන්නේ ඒ විදිහට මුල්ම වරට කොටස් ඉදිරිපත් කරන එකටයි.

මේ කොටස් ඉන්පස්සේ ද්වීතියික වෙළඳපොළ තුළත් හුවමාරු වෙන්න ගන්නවා. යම් ආයතනයක කොටස්වලට තිබෙන ඉල්ලුම සහ සැපයුම අදාළ කොටස්වලට හිමිවන වටිනාකම තීරණය කරනවා. මේ විදිහට ද්වීතියික වෙළඳපොළේ කොටස් වෙනුවෙන් ආයෝජනයේ තියෙන වාසිය වෙන්නේ අවශ්‍ය වෙලාවට කොටස් මිලදී ගෙන, කැමති වෙලාවට කොටස් විකුණා දිගු කාලීන වශයෙන් ස්ථාවර තැන්පතුවලට වඩා ඉහළ ලාභයක් ලබා ගැනීමේ අවස්ථාව ආයෝජකයන් වෙත හිමි වෙන එකයි. යම් ආයතනයක කොටස්වල මිල ඒ ආයතනය අනාගතයේදී ව්‍යාපාරික ඉපයීම් සිදු කරන්නට ඉඩ ඇති ආකාරය ගැන ආයෝජකයන් දරන ආකල්පය මත ඉහළ පහළ යනවා. ඒ වගේම දේශීය සහ විදේශීය සමාජ-ආර්ථික කාරණාත්, දේශපාලනික කාරණාත් විවිධ කොටස්වල මිල ඉහළ පහළ යන්න හේතු වෙන්න පුළුවන්. විචක්ෂණශීලීව කටයුතු කරන ආයෝජකයන්ට යම් හේතු කාරණාවක් නිසා ආයතනයක කොටස් මිලෙන් අඩු වූ අවස්ථාවක ඒවා මිලට අරගෙන පසු කාලයක ඒවායේ මිල ඉහළ ගිය විට විකුණා විශාල ලාභයක් උපයාගන්න පුළුවන්. අනිත් වාසිදායක තත්වය තමයි හොඳින් වර්ධනය වෙන ව්‍යාපාරයක කොටස් මිලදී ගත්තාම ඒ ආයතනවල දියුණුවත් එක්ක කොටස්වල වෙළඳ වටිනාකමේ වෙනස්කම් කොහොම වුණත් එක්ක ලාභාංශය වශයෙන් හොඳ ස්ථිර ආදායමක් ලැබීමට අවස්ථාව තිබෙන එක. (ලාභාංශය ගෙවන්නේ නාමික වටිනාකමට නිසා) තුන්වන වාසිය වෙන්නේ කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කොටස් සියල්ල ආයෝජකයාගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවාම ඉතාම ද්‍රවශීලී (ඉතා පහසුවෙන් මුදල් බවට පත් කළ හැකි) වත්කම් වීමයි. මේ නිසා හදිසි අවස්ථාවක තමන්ට හිමි කොටස් සියල්ල විකුණා ඉතා පහසුවෙන් එය මුදල් බවට පත් කර ගන්නත් ආයෝජකයාට අවස්ථාව තියෙනවා.

කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනකොට යම් අවදානමක් ගන්න සිදු වෙන ප්‍රධාන හේතුව තමයි කොටස්වල මිල ගණන් ඉහළ පහළ යාම මත ලැබීම් නිශ්චිත නොවෙන එක. ඒ නිසා තමන් ආයෝජනය කරන ප්‍රාග්ධන ප්‍රමාණයේ වටිනාකම වෙනස් වීම ගැනත්, එහි ඇති අවිනිශ්චිතභාවය ගැනත් වටහාගෙන, එය පිළිගෙන කටයුතු කරන්න ආයෝජකයාට හැකි වෙන්න අවශ්‍යයි. කොහොම වුණත් ප්‍රාග්ධන වෙළඳපොළේ ආයෝජකයන්ට ඉහළ ලාභයක් ලබා ගන්න තියෙන හැකියාව මුහුණ දෙන්න වෙන මේ අවදානමට හිලව් වෙනවා, මොකද බුද්ධිමත්ව සහ පිළිගත් ආයෝජන මූලධර්මවලට අනුකූලව ආයෝජන උපදෙස් ලබාගෙන කරනවා නම් අනික් හැම ආයෝජන ක්‍රමයකටම වඩා හොඳ ප්‍රතිලාභ ලබා ගන්න ඔවුන්ට කොටස් වෙළඳපොළ තුළ අවස්ථාව තිබෙනවා. තමන්ගේ ආයෝජනවල වටිනාකම දිගුකාලීනව දිගින් දිගටම වර්ධනය කරගන්න මෙය ඉතා හොඳ ක්‍රමයක්.

ආයෝජකයන් සමාගම්වල කොටස් වෙනුවෙන් ආයෝජනය කරලා ව්‍යවසායක කටයුතුවලට සහභාගී වෙන්නේ නිවැරදිව ක්‍රියාත්මක වෙන සමාගම්වල දිගු කාලීනව බැලුවාම විශාල වටිනාකම් ජනනයක් පවතින නිසයි. කොටස් වෙළඳපොළ මගින් සිදු වෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උර දෙන සමාගම්වල වර්ධනයට හිමිකරුවෙක් විදිහට දායක වෙන්න කාටත් අවස්ථාව සළසන එකයි.

“ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළ ගැන ආයෝජක විශ්වාසය අවම වීමේ බරපතල ගැටළුවක් තියෙනවා” අබේසූරිය මහතා කියා සිටියා. ආයෝජකයන් තුළ කොටස් වෙළඳපොළ ගැන විශ්වාසයක් නැති වුණාම ඔවුන් වැඩි මුදලක් ඉතිරි කරගෙන තමන්ගේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරලා ඔවුන්ගේ දිගු කාලීන මූල්‍යමය අරමුණු සාක්ෂාත් කර ගන්න තිබෙන අවස්ථාව අඩු වෙනවා. ශ්‍රී ලංකාව ලෝකයේ තිබෙන වඩාත්ම වේගයෙන් මහලු වන රටක් නිසා අබේසූරිය මහතා කියන්නේ “අපේ රටේ මිනිසුන් වැඩි වැඩියෙන් ආයෝජනය කරන්න පටන් ගත්තේ නැතිනම් ශ්‍රී ලංකාවට නුදුරු අනාගතයේදීම ඉතා විශාල සමාජයීය බලපෑමකට මුහුණ දෙන්න සිදු වේවි; මිනිසුන්ගේ ජීවන තත්වය පහත වැටිලා, වඩාත් වයස්ගත වන තුරු රැකියා කරන්න සිදු වෙලා, පරම්පරාවන් අතර ඝට්ටනයන්ට මුහුණ දෙන්න සිදු වේවි.” කියලයි.

ඒකක භාර, නැතිනම් සාමූහික අරමුදල්.

කලින් සඳහන් කරපු හැම ආයෝජන ක්‍රමයක්ම තනි තනිව සිදු කෙරෙන ඒවායි. අනිත් අතට ඒකක භාරයක්, එහෙමත් නැතිනම් Unit trust එකක් කියන්නේ කොටස්වල සහ නියත ආදායම් උපාංගවල සාමූහිකව ආයෝජනය කිරීමේ ක්‍රමයක්. තමන්ගේ අතේ රුපියල් 1,000ක් පමණක් තියෙන කෙනෙකුට වුණත් ඒකක භාරයක ඒකකයක් (Units) මිලට ගන්න පුළුවන්; මේ විදිහට එකතු වෙන ප්‍රාග්ධනය ඉන් පස්සේ ඊට අදාළ භාර ඔප්පුවට අනුකූලව වෘත්තීයමය විදිහට කළමනාකරණය කෙරෙනවා. ඒකක භාර මේ සඳහා කළමනාකරණ ගාස්තුවකුත් අය කරනවා.

තනි පුද්ගලයෙක් සීමිත ප්‍රාග්ධන ප්‍රමාණයක් පමණක් ඇතිව ආයෝජනය කරනවා වෙනුවට ඒකක භාරයක් හැම විටම තමන්ගේ ආයෝජනයන් විවිධාංගීකරණය සිදු කරන නිසා පවතින අවදානමත් අඩු වෙනවා. මෙහි තියෙන තවත් වාසියක් තමයි ඒවායේ හැම විටෙකම ආයෝජකයන්ගේ බලාපොරොත්තු නියෝජනය කරන භාරකරුවෙක් ඉන්න එක.

ඒකක භාර වර්ග ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තිබෙනවා:

විවෘතාන්ත / අසීමිත අරමුදල්.

ඒකක භාරය කළමනාකරණය කරන සමාගම තමන්ගේ ආයෝජකයන්ගේ කොටස් අනිවාර්යයෙන්ම මිලට ගැනීමට බැඳී සිටිනවා.

ආවෘතාන්ත / සීමිත අරමුදල්.

මේ භාරවලින් මහජනතාව වෙත කොටස් නිකුත් කරන්නේ එක් අවස්ථාවක් පමණයි. යම් හේතුවක් නිසා ආයෝජකයෙකුට කොටස් විකුණා දමන්න අවශ්‍ය නම් ඔවුන් එය ද්වීතීයික වෙළඳපොළ තුළ සිදු කළ යුතුයි.

භාර ඔප්පුව.

ඒකක භාර අරමුදලක් පිහිටුවන්නේ භාර ඔප්පුවකට යටත්වයි, ඒ වගේම එහි භුක්ති විඳින්නා වෙන්නේ ආයෝජකයායි. සිදු කෙරෙන ආයෝජනය ආයෝජකයා (ඒකක භාරකරු කියලත් කියනවා) වෙනුවෙන් භාර අරමුදල මගින් රඳවා තබා ගැනෙන්නේ භාර ඔප්පුවේ සඳහන් කාල වකවානුව සඳහායි. මේකෙන් අදහස් වෙන්නේ ඒකක භාරයන් තාවකාලික ඒවා බවයි. මේ අරමුදල්වලින් ආයෝජකයාට ඍජුවම ආපසු ගෙවීමකුයි කෙරෙන්නේ, ලැබීම් නැවත නැවතත් අරමුදලේම ආයෝජනය කෙරෙන්නේ නැහැ.

ආයෝජනයෙදී කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල්.

ආයෝජන විවිධාංගීකරණය කර ගන්න.

කළු බ්‍රහස්පතින්දා කියාත් හැඳින්වෙන 1929 දී සිදු වුණු වෝල් ස්ට්‍රීට් කඩා වැටීම “මහා ආර්ථික අර්බුදය”ට හේතු වුණා. මෙය 20 වන සියවසේ සිදු වුණු විශාලතම මූල්‍ය ව්‍යසනය කියලා සැලකෙනවා. (Wikimedia)

“සේරම බිත්තර එකම මල්ලක දාන්න එපා කියන සරල ප්‍රස්තාව පිරුළ මතක තබා ගැනීම වටිනවා.” අබේසූරිය මහතා කියා සිටියා. තමන්ගේ සේරම මුදල් එකම තැනක ආයෝජනය කරලා විනාශයට ගිය අය ගැන ආයෝජන ක්ෂේත්‍රයේ කතා බොහොමයක් තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නා. මෑතක සිදුවුණු හොඳම උදාහරණය විදිහට ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම හඳුන්වා දෙන්න පුළුවන්. මහජන මුදල් අයුතු ලෙස භාවිත කිරීමකට ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ හිමිකරු වරදකරු වීමත් එක්ක ඇති වූ ගැටළුවෙන් දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනින් මුදල් අහිමි කර ගත්තා. “තමන්ගේ මුදල් ආයතන කිහිපයකම ආයෝජනය කිරීම විතරක් නෙවෙයි, ආයෝජන ක්‍රමත් විවිධාංගීකරණය කිරීම වැදගත්, මොකද එක ආයෝජන පන්තියක් එහෙම පිටින්ම කඩා වැටෙන්න වුණත් ඉඩක් තිබෙනවා.” අබේසූරිය මහතා පැහැදිලි කළා. “ශ්‍රී ලංකා ඉතිහාසය තුළ පද්ධතිමය ගැටළු හින්දා මූල්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් එකවරම බංකොලොත් වූ අවස්ථාවන්වලට අපි මුහුණ දීලා තියෙනවා.”

ආයෝජන විස්තරපත්‍රයක් (Portfolio එකක්) තබා ගන්න.

ධනය කළමනාකරණය කිරීම කියන්නේ ආයෝජකයා විස්තරපත්‍රයක් එක්ක ගැළපීමයි. මේකෙන් අදහස් වෙන්නේ කොටස් තෝරා ගැනීමවත්, විචක්ෂණශීලීව දේපළවල ආයෝජනය කිරීමවත් නෙවෙයි. ආයෝජන පරාසය ඉතා සීමිත වුණු විස්තරපත්‍රයක් (Portfolio එකක්) ඉතා පුළුල් ආයෝජන සහිත විස්තරපත්‍රයකට වඩා පාඩු සිදු වීමේ විශාල අවදානමක් සහිතයි. ධනය කළමනාකරණය කිරීම ආරම්භ විය යුත්තේ මුලින්ම තමන් තමාවම වටහා ගැනීමෙන්. ඉන් පස්සේ වෙළඳපොළ ගැනත්, ප්‍රාග්ධනය සුරක්ෂිතව තබා ගැනීම සහ තමන්ගේ ආයෝජන විස්තරවාර්තාව වර්ධනය ගැනීම අතර තුලනය පවත්වා ගැනීම ගැනත් අවධානය යොමු කළ යුතුයි. ධනය කළමනාකරණය කරගැනීම කියන්නේ ඉක්මණින් ධනවත් වෙනවා කියන එකටවත්, කොටස් වෙළඳපොළේ අනුමානයට ආයෝජනය කිරීමවත් නෙවෙයි. ධනය කළමනාකරණය කියන්නේ බුද්ධිමත් තීරණ ඔස්සේ ආර්ථික සෞභාග්‍යය කරා යන දිගු කාලීන ගමනක්.

ආයෝජනය කරනකොට තනි ආයෝජකයෙක් නිතරම කළ යුත්තේ විස්තරපත්‍ර ක්‍රමය අනුගමනය කරන එකයි. ඒකෙන් අදහස වෙන්නේ එක් එක් ආයෝජන පන්තීන් හා ඒවායේ ආරක්ෂිතබව ඒවායින් තමන්ගේ සම්පූර්ණ ආයෝජන විස්තරපත්‍රයේ ආයෝජන ලක්ෂණවලට ලැබෙන දායකත්වයත් එක්ක සසඳලා විශ්ලේෂණය කළ යුතුයි කියන එක. වෘත්තීයමය ධන කළමනාකරුවෙක් (professional wealth manager කෙනෙක්) ආර්ථික හා ආයෝජන වෙළඳපොළේ අවශ්‍යතා, ආරක්ෂාව පිළිබඳ විශ්ලේෂණ, සේවාදායකයාගේ අරමුණු වගේම ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය (IPS එක) මගින් දක්වා ඇති සීමාවනුත් පදනම් කරගෙන ඉලක්කගත සම්පත් පැවරීමක් (target asset allocation) සහිතවයි ආයෝජන විස්තරපත්‍රයක් සකස් කරන්නේ.

සම්පත් පැවරීම කියන්නේ කලාවක් වගේම විද්‍යාවක් කියලාත් හඳුන්වන්න පුළුවන්. ඒක හරියට අවදානම සහ ප්‍රතිලාභය කියන දෙක නියමිත අනුපාතයට තිබෙන සෞභාග්‍යය කියන සංයෝගය නිවැරදිව හදාගන්න ආයෝජන අමුද්‍රව්‍ය ටික නිසි ප්‍රමාණවලින් යොදා ගන්නවා වගේ වැඩක්. මෙතනදී වැදගත් වන්නේ විවිධාකාරයේ ආයෝජන ක්‍රමවල තියෙන අවදානම්-ප්‍රතිලාභ ලක්ෂණ සහ මේ ක්‍රම අතර පවතින සහසම්බන්ධතා (correlations) යි. උදාහරණයක් විදිහට පොළී අනුපාත ඉහළ යන්න ගත්තොත් කොටස් (සහ දේපළ) වෙළඳපොළ පහත වැටෙන්න පටන් ගන්නවා. පොළී අනුපාත අඩු වෙන්න ගත්තාම සිදු වෙන්නේ ඒකෙ අනිත් පැත්ත. ධනය කළමනාකරුවෙක් නිතරම උත්සාහ කරන්නේ වෙළඳපොළ අවිනිශ්චිතතා මැද්දේ තමන්ගේ සේවාදායකයාගේ ධනය රැක තබා ගන්න වඩාත්ම සුදුසු, පුළුල් හා පැතිරුණු ආයෝජන විස්තරපත්‍රයක් ඇති කරන්නයි.

වෘත්තීයකයෙකුගේ උපදෙස් ලබා ගන්න.

නිව්යෝක් කොටස් වෙළඳපොළේ දර්ශනයක්. (Getty Images/Spencer Platt)

ආයෝජනය ඕනෑම කෙනෙකුට අභියෝගාත්මක දෙයක් වෙන්න පුළුවන්. පැටළිලි සහිත ආයෝජන ක්‍රම රාශියක් වගේම එක එක අයගෙන් ලැබෙන උපදෙස් ගොන්නත් නිසා හරි දේ තෝරා ගැනීම අපහසු වෙන්න ඉඩ තියෙනවා. අනුමානයට ආයෝජනය කරන්න ගිහින් සිදු වුණු දේවල් ගැන ඕනෑ තරම් කතා වෙළඳපොළ තුළ අහන්න ලැබෙනවා. අබේසූරිය මහතා බොහොම අවධාරණයෙන් කියන්නේ ඔබ කිසිමදාක තමන් ඉතිරි කර ගත් සියලු දේවල් හිතට යන විදිහට කතා කරන වෙළඳ නියෝජිතයෙක්ගේ කීම අහළා ආයෝජනය කරන්න එපා කියලයි. හැම වෙලාවේම නිවැරදි, තමන්ගේ අවශ්‍යතාවන්ට සුවිශේෂී වූ, සියල්ලටම වඩා ආචාරධර්මයන්ට අනුකූල උපදෙස් ලබා ගන්න කටයුතු කරන්න. වෘත්තීයමය ආයෝජන උපදේශකවරයෙක් හැම විටම තමන්ගේ සේවාදායකයාගේ අවශ්‍යතා, එනම් සේවාදායකයාගේ ආයෝජන අරමුණු සහ පවතින බාධක හොඳින් තේරුම් අරගෙනයි ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය (IPS එක) සකස් කරන්නේ.

ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශය (Investment Policy Document – IPS) කියන්නේ සේවාදායකයාගේ ආයෝජන අරමුණු, ඒ කියන්නේ ලැබීම් අවශ්‍යතා හා අවදානම් දැරීමේ සූදානමත්, පවතින බාධක, ඒ කියන්නේ කාල සීමාව, මුදල් කිරීමේ අවශ්‍යතා, නීති හා රෙගුලාසි ආශ්‍රිත සීමා කිරීමුත්, බදු ප්‍රමාණයන්, සුවිශේෂී උවමනා එපාකම් සහ සේවාදායකයාටම සුවිශේෂී වූ වාතාවරණයන් ආදියත් සළකා බලා සකස් කෙරෙන ලිඛිත ප්‍රකාශනයකටයි. ඒ වගේම මේ IPS එක නිරන්තරයෙන්ම පරීක්ෂා කරලා බලලා සේවාදායකයාගේ අරමුණු, බාධක සහ වාතාවරණයන් වෙනස් වීම් ආදියට අදාළව සංශෝධනය කිරීමත් සිදු කෙරෙනවා.

“මොළයේ ගැටිත්තක් (tumor) තිබෙන කෙනෙක් ප්‍රතිකාර ගන්න යන්න අවශ්‍ය ස්නායු ශල්‍යවෛද්‍යවරයෙක් ළඟට මිසක් බාබර් කෙනෙක් ළඟට නෙවෙයි.” අබේසූරිය මහතා හොඳ උදාහරණයක් දෙමින් කියා සිටියා. “ඒ වගේම තමන්ගේ ආයෝජන අරමුණු සාක්ෂාත් කර ගන්න නම් ඔබ යා යුත්තේ ආයෝජන කළමනාකරණය ගැන සාධනීය වැටහීමක් තියෙන, පුද්ගලිකව පරිපූර්ණ අවංකභාවයක් තියෙන ආයෝජන විශේෂඥයෙක් ළඟටයි. එතනදී තමයි වරලත් මූල්‍ය විශ්ලේෂකවරුන් වැදගත් වන්නේ.”

ඉතින් හොඳට පදම් වුණු ධනවතුන්ට වගේම ආයෝජනය කරනවාද නැද්ද කියලා හිත හිතා ඉන්න ආධුනිකයාටත් ගැළපෙන ආයෝජන ක්‍රම විශාල පරාසයක් තියෙන බව මේ ලිපිය අගටම කියෙව්වා නම් ඔබත් වටහාගෙන ඇති. ඒ කොහොම වුණත් ආයෝජනය කියන දේ සිදු කළ යුත්තේ දිගු කාලීන වශයෙන් ප්‍රතිලාභ හිමි වන, ඉවසීමෙන් සහ අනාගත දැක්මකින් යුතු එකක් විදිහට මිසක් ඉක්මණින් සල්ලි උපයාගන්න කරන සූදුවක් විදිහට නොවන බවත් මතක තබා ගන්න.

කවරයේ රූපය : (www.635.gtbank.com)

පරිවර්තනය – ඉන්ද්‍රජිත් ගමගේ

 

Related Articles