Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1979 ක්‍රිකට් ලෝක කුසලානය​

මීට ටික දිනකට පෙර අප ඔබට පළමුවන ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ විස්තර කළා මතක ඇති. ඔබට එම ලිපිය මෙතැනින් කියවන්න පුලුවන්. අද අප බලාපොරොත්තු වෙන්නේ 1979 දී පැවති දෙවන ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳව විස්තර කිරීමටයි.

1979 ක්‍රිකට් ලෝක කුසලානයත් පැවැත්වුනේ එංගලන්තයේදී. එය 1979 ජූනි 9 සිට 23 දක්වා පවත්වනු ලැබුණා. 1975 තරඟාවලිය වගේම මෙහිදී ද රටවල් අටක් කාණ්ඩ දෙකකට බෙදා තරඟ පවත්වනු ලැබුණා. මූලික වටයේදී එක් කණ්ඩායමක් සිය කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් තුන සමඟ තරඟය බැගින් ක්‍රීඩා කළා.

මෙකළ ද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් ලෙස පැවතියේ එංගලන්තය​, ඔස්ට්‍රේලියාව​, නවසීලන්තය​, බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල් හයයි. මීට අමතරව, ටෙස්ට් වරම් හිමි නොවූ රටවල් සඳහා පැවති අයි.සී.සී කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලද රටවල් දෙක ද ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවා. මේ අනුව ශ්‍රී ලංකාව සහ කැනඩාව ඒ සඳහා සුදුසුකම් ලැබීමට සමත් වුණා.

1975 තරඟාවලිය මෙන්ම මෙම තරඟාවලියේද එක් ඉනිමකට ඕවර 60 ක් වූ අතර සමස්ථ තරඟාවලියේ තරඟ 15 ක් පවත්වනු ලැබුණා.

මූලික තරඟ​

මෙම තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ එංගලන්තය​, පාකිස්ථානය​, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව තරඟ වැදුණ අතර ‘බී’ කාණ්ඩය යටතේ ඉන්දියාව​, නවසීලන්තය​, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව තරඟ කළා.

පළමු දිනය වූ ජූනි 9 වනදා තරඟ හතරක් පවත්වනු ලැබුණා. ‘ඒ’ කාණ්ඩය යටතේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පවත්වන ලද තරඟය එංගලන්තය විසින් ජය ගන්නා ලද්දේ කඩුලු 6 කින්. මෙහිදී ඔස්ට්‍රේලියාව විටෙක ලකුණු 111 කට කඩුලු 2 ක් පමණක් දැවී හොඳ තත්ත්වයක පසු වූ නමුත් ඉනිම අවසන් කළේ කඩුලු 9 කට ලකුණු 159 ක් ලබා ගනිමින්. මෙහිදී ක්‍රීඩකයන් සිව් දෙනකු ම දුවද්දී දැවී යාම ඔවුනට විශාල ලෙස අවාසියට හේතු වුණා.

1979 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා පිළ (https://cricketique.files.wordpress.com)

‘ඒ’ කාණ්ඩයේ අනෙක් තරඟයේදී පාකිස්ථානය විසින් කැනඩාව කඩුලු 8 කින් පරාජය කළා.

මේ අතර ‘බී’ කාණ්ඩයේ තරඟවලදී බටහිර ඉන්දිය කොදෙව්වන් විසින් ඉන්දියාව කඩුලු 9 කින් ද​, නවසීලන්තය විසින් ශ්‍රී ලංකාව කඩුලු 9 කින් ද පරාජය කළා. ඉන්දියාව සිය ඉනිමේදී ලකුණු 190 කට දැවී ගිය අතර කොදෙව්වන් එම ඉලක්කය පසු කළේ ගෝර්ඩන් ග්‍රිනිජ් ලබාගත් නොදැවී ලකුණු 106 ද සමඟයි. මෙම තරඟාවලියේ පළමු ශතකය ද වූයේ එයයි.

මේ අතර නවසීලන්තය සමඟ තරඟයේදී ශ්‍රී ලංකාව ලකුණු 189 කට දැවී ගියා. අනුර තෙන්නකෝන් ලකුණු 59 ක් ලබා ගත්තේ හතරේ පහර හයක් ද සමඟින්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය එක් කඩුල්ලකට ලකුණු 190 ක් ලබා ගත්තා. ග්ලෙන් ටර්නර් නොදැවී ලකුණු 83 ක් ලබාගත්තා.

‘බී’ කාණ්ඩයේ මීළඟ තරඟවලදී ඉන්දියාව නවසීලන්තය හමුවේ කඩුලු 8 කින් පරාජය වුණා. මේ තරඟයේදිත් ඉන්දියාව ලකුණු 200 කට අඩුවෙන් දැවී ගිය අතර ඔවුන් ලබාගත්තේ ලකුණු 182 ක් පමණයි. නවසීලන්තය කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසු කළා.

මේ අතර බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර පැවති අනෙක් තරඟය කිසිදු පන්දුවක් නොයවා අතහැර දමන ලද්දේ වැසි සහිත කාලගුණය හේතුවෙන්.

ජූනි 14 වනදා ඔස්ට්‍රේලියාව සහ පාකිස්ථානය අතර ‘ඒ’ කාණ්ඩයේ තරඟයක් නොටිංහැම් හි ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේ පැවතුණා. එහි දී පාකිස්ථානය මුලින්ම පන්දුවට පහර දෙමින් ලකුණු 286 ක් ලබා ගත්තේ කඩුලු 7 කටයි. ඔවුන් ඉනිම සෙමින් ආරම්භ කළ අතර ආරම්භක පිතිකරු මජිඩ් ඛාන් පමණක් තරමක් වේගයෙන් ලකුණු ලබාගත්තා. මජිඩ් ඛාන් ලකුණු 61 කටත් සාදික් මොහොමඩ් ලකුණු 27 කටත් දැවී ගියේ මුලු ලකුණු සංඛ්‍යාව 99 දී. මෙසේ පිට පිට කඩුලු දෙකක් වැටුණ අවස්ථාවේ සහීර් අබ්බාස් සහ හරූන් රශීඩ් ඉනිම යළි ස්ථාවර කළ අතර පසුව ජාවෙඩ් මියන්ඩෑඩ්, ආසිෆ් ඉක්බාල් ආදීන් ලකුණු වේගය වැඩි කිරීමට හවුල් වුණා. නායක ඉක්බාල් ද ලකුණු 61 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවේ සියලු දෙනා ලකුණු 197 කට දවා ගන්නට පාකිස්ථානුවන් සමත් වුණා.

මේ අතර ජූනි 14 වනදා මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේදී කැනඩාව සහ එංගලන්තය අතර තරඟය පැවතුණා. මෙහිදී එංගලන්ත පන්දු යවන්නන් හමුවේ කැනඩා ක්‍රීඩකයන් ඉතාම දැඩි අපහසුතාවකට පත් වුණා. ඔවුන් ඕවර 40.3 කදී ලබා ගත්තේ ලකුණු 45 ක් පමණයි. දිගු කළක් තිස්සේ මෙය සීමිත ඕවර​ තරඟයක අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත්වල සටහන් වුණා. ෆ්‍රැන්ක්ලින් ඩෙනිස් ලකුණු 45 න් 21 ක් ම ලබා ගැනීම තවත් විශේෂත්වයක් වුණා. එංගලන්තය ද මෙම ඉලක්කය පසු කිරීමට පෙර කඩුලු දෙකක් දැවී ගියා.

මූලික වටයේ අවසන් තරඟ පැවැත්වූයේ 1979 ජූනි 16 වනදා. එහිදී, ‘ඒ’ කාණ්ඩය යටතේ කැනඩාව සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය ඔස්ට්‍රේලියාව ජයගත්තේ කඩුලු 7 කින්. පාකිස්ථානය සහ එංගලන්තය අතර තරඟයේදී එංගලන්තය ඕවර 60 දීම කඩුලු 9 කට ලකුණු 165 ක් පමණක් ලබාගත් අතර පාකිස්ථානය ලකුණු 151 කට දැවී ගියා.

‘බී’ කාණ්ඩය යටතේ නවසීලන්තය බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 32 කින් පරාජය වුණා.

ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාව පරදියි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය මෙම ලෝක කුසලානයේ ඓතිහාසික තරඟයක් බවට පත් වුණා. ඉන්දියාව මෙම තරඟය සඳහා මුහුණ දුන්නේ පසුගිය තරඟ දෙකම පරාජය වීමෙන් පසුවයි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අනුර තෙන්නකෝන් ද ආබාධයක් හේතුවෙන් මෙම තරඟයට සහභාගී වූයේ නැහැ.

තරඟය පමා වී පටන් ගැණුන අතර ශ්‍රී ලංකා පිළට මුලින් පන්දුවට පහර දෙන ලෙස ඉන්දියානුවන් විසින් ඇරයුම් කෙරුණා. බන්දුල වර්ණපුර ලකුණු 18 කට දැවී යද්දී ලකුණු සංඛ්‍යාව වුනේ 31 කි. ඉන්පසු සිදත් වෙත්තමුණි හා පිටියේ එක්වූ රෝයි ඩයස් දෙවනි කඩුල්ල වෙනුවෙන් ඕවර 25 කදී ලකුණු 96 ක සබඳතාවක් ගොඩ නැගුවා. වෙත්තමුණි දැවී ගිය පසු පිටියට එක් වූ දුලිප් මෙන්ඩිස් පිටිය වර්ණවත් කරමින් පහර පිට පහර එල්ල කළේ ලකුණු වේගය ඉහළ නංවමින්. ඔහු සිය ලකුණු 64 ලබාගත්තේ පන්දු 57 කදී එක් හතරේ පහරක් සහ හයේ පහර තුනක් සමඟයි. ඔහු කාර්සන් ගව්රි, කපිල් දේව් සහ මොහින්දර් අමරනාත් යන තිදෙනාට එරෙහිව එක් හයේ පහර බැගින් වාර්තා කළා.

සිව් වැනි කඩුල්ල බිඳ වැටුණ පසු මෙන්ඩිස් හා එක් වූයේ එවකට කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවකු වූ සුදත් පැස්කුවෙල්. 1979 ලෝක කුසලානයේ ලාබාලම ක්‍රීඩකයා වූ ඔහු අදටත් සීමිත ඕවර තරඟයක ශ්‍රී ලංකාව නියෝජනය කළ ලාබාලම ක්‍රීඩකයා වනවා. පැස්කුවෙල් නොදැවී ලකුණු 23 ක් ලබාගත් අතර ඔහු හා දුලිප් මෙන්ඩිස් පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක් රැස් කළේ පන්දු වාර 7 කදී. ශ්‍රී ලංකාව පන්දුවාර 60 දී කඩුලු 5 කට ලකුණු 238 ක් ලබා ගත්තා.

ජූනි 16 සෙනසුරාදා තරඟය පමාවී පටන් ගැනීම හේතුවෙන් ඉන්දියානු ඉනිම ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ සඳුදා දිනයේයි. සුනිල් ගවස්කාර් සහ අන්ශුමන් ගයික්වාඩ් ලකුණු 60 ක ආරම්භක සබඳතාවක් ලබා දුන් අතර පසුව ඉන්දියාව කඩුලු දෙකකට ලකුණු 76 දක්වා මඳක් පසු බැස්සා. නමුත් දිලිප් වෙන්සාකර් හා පිටියේ එක් වූ ගුන්දප්පා විශ්වනාත් හොඳ සබඳතාවක් ගොඩ නගන්නට වුණා. කෙසේ නමුත් මුලු ලකුණු සංඛ්‍යාව 119 ක් වෙද්දී විශ්වනාත් දුවද්දී දැවී ගියා.

ඉන්පසු ඉන්දියානු කණ්ඩායම කෙමෙන් කෙමෙන් කඩා වැටුණා. පා දඟ පන්දු යවන ඩී.එස්. ද සිල්වා ඉන්දියානු පිළ අසීරුතාවට පත් කළ අතර ආරම්භක පන්දු යවන්නා වන ටෝනි ඕපාත ද නැවත කැඳවූ අවස්ථාවේ වේගය සහ දෝලනය ලබා ගැනීමට සමත් වුණේ පසුපෙළ පිතිකරුවන් අපහසුතාවට පත් කරමින්.

ඕපාත විසින් යැවූ 55 වන පන්දු වාරයේ පළමු පන්දුවෙන් විකට් රකින සුනිල් ජයසිංහට උඩ පන්දුවක් ලබා දී ඉන්දියාවේ අවසන් පිතිකරු බිෂාන් සිං බේඩි දැවී ගියේ ශ්‍රී ලංකාවට ලකුණු 47 ක ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දෙමින්.

අවසන් පූර්ව වටය​

අවසන් පූර්ව වටයේ පළමු තරඟය පවත්වන ලද්දේ මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හිදී. තියුණු තරඟයකට පසු එංගලන්තය විසින් ලකුණු 9 කින් නවසීලන්තය පරාජය කරනු ලැබුණා. එංගලන්තය මුලින්ම පන් දුවට පහර දී කඩුලු 8 කට ලකුණු 221 ක් ලබාගත්තා. ග්‍රැහැම් ගූච් ලකුණු 71 ද මයික් බ්‍රෙයර්ලි ලකුණු 53 ක් ද ලබාගත් අතර පන්දු 50 කින් නොදැවී ලකුණු 42 ක් ලබාගත් ඩෙරික් රැන්ඩෝල් එංගලන්ත ඉනිම වේගවත් කළා.

ජෝන් රයිට් (PA Photos)

පිළිතුරු ඉනිමේදී නවසීලන්තයේ ජෝන් රයිට් ලකුණු 67 ක් රැස් කළ අතර බෲස් එඩ්ගාර් සමඟ හොඳ ආරම්භයක් ඉනිමට ලබා දුන්නා. නමුත් ඉන්පසු කිසිදු පිතිකරුවකුට ඉනිම මෙහෙයවීමට හැකි වූයේ නැහැ. අවසන් ඕවරයේදී ඔවුනට ලකුණු 14 ක් ලබාගැනීමට තිබුණ නමුත් එය කරා යෑමට නවසීලන්තයට හැකි වූයේ නැහැ. ඔවුන් ඉනිම අවසන් කළේ විකට් 9 කට ලකුණු 212 ක් ලබාගනිමින්.

දෙවන අවසන් පූර්ව තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් පාකිස්ථානය පරාජය කළේ ලකුණු 43 කින්. මෙහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වෝ නියමිත පන්දුවාර 60 දී කඩුලු 6 කට ලකුණු 293 ක් ලබා ගත්තා. ආරම්භක පිතිකරු යුගලය වූ ගෝර්ඩන් ග්‍රිනිජ් සහ ඩෙස්මන්ඩ් හේන්ස් ඉතා හොඳ ආරම්භයක් ලබා දුන්නේ ලකුණු 132 ක සබඳතාවක් ගොඩ නගමින්. විවියන් රිචර්ඩ්ස්, ක්ලයිව් ලොයිඩ් සහ කොලිස් කිංග් වැනි ක්‍රීඩකයන් ද පිත්තෙන් දස්කම් දැක්වූයේ අභියෝගාත්මක​ ඉලක්කයක් පාකිස්ථානයට ලබා දෙමින්.

මජිඩ් ඛාන් (PA Photos)

පාකිස්ථාන පිළේ පළමු කඩුල්ල ලෙස සාදික් මොහොමඩ් දැවී යද්දී ලකුණු සංඛ්‍යාව වූයේ 10 ක් පමණයි. එහෙත් ඉන්පසු මජීඩ් ඛාන් හා එක් වූ සහීර් අබ්බාස් පිටිය සිසාරා පහරවල් එල්ල කරමින් ලකුණු 166 ක සබඳතාවක් ගොඩ නැගුවා. අබ්බාස් ලකුණු 93 ක් ලබා ගත්තේ පන්දු 122 කට ඇතුලත හතරේ පහර 8 ක් සහ එක් හයේ පහරක් සමගින්.

පාකිස්ථාන පිළ ආපස්සට ඇද දැමීමට සමත් වූ පන්දු යවන්නා වූයේ කොලින් ක්‍රොෆ්ට්. අබ්බාස් දැවී ගියේ ඔහුගේ පන්දුවකට කඩුලු රකින ඩෙරෙක් මරේට උඩ පන්දුවක් ලබා දෙමින්. ඉන් සුලු වේලාවකට පසු ක්‍රොෆ්ට් විසින් මජිඩ් ඛාන් සහ ජාවෙඩ් මියැන්ඩෑඩ් පිට පිට යවන ලද පන්දු දෙකකින් දවා ගත්තා. ඉන් පසු පාකිස්ථාන ඉනිම කඩා වැටුණ අතර සියලු දෙනා ලකුණු 250 කට දැවී ගියා.

අවසන් මහා තරඟය​

1979 ජූනි 23 වනදා ලන්ඩන් හි ලෝර්ඩ්ස් පිටියේ පැවති අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත පිළ පන්දු යැවීමට තීරණය කළ අතර​, මුලදී ඔවුන් බටහිර ඉන්දීය කොදෙව්වන් අපහසුතාවට පත් කිරීමට සමත් වුණා. කළින් තරඟවල හොඳින් පිත්ත හැසිරවූ ග්‍රීනිජ් සහ හේන්ස් දෙදෙනාම ලකුණු 36 වෙද්දී ආපසු හරවා යවන ලද අතර ඇල්වින් කලිචරන් සහ ක්ලයිව් ලොයිඩ් ද දැවී යද්දී කොදෙව්වන් කඩුලු 4 කට ලබාගෙන සිටියේ ලකුණු 99 ක් පමණයි. පළමු කඩුල්ල දැවී ගිය පසු පිටියට පිවිසි විවියන් රිචර්ඩ්ස් හැරුණ විට අනෙක් මුල් පෙළ පිතිකරුවන් එංගලන්ත පන්දු යවන්නන් හමුවේ අඩු ලකුණු සංඛ්‍යාවලට දැවී ගියා.

මේ අවස්ථාවේ පිටියට පැමිණියේ දකුණත් පිතිකරු කොලිස් කිංග්. ඔහු පිටියට පැමිණි අවස්ථාවේ සිට ම පාහේ ආක්‍රමණකාරී ලෙස ක්‍රීඩා කරමින් විවියන් රිචර්ඩ්ස් හා එක්ව තරඟය සහමුලින් ම කණපිට පෙරලීමට සමත් වුණා. ඔවුන් දෙදෙනා එක්ව පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 139 ක සබඳතාවක් ගොඩ නැගූ අතර කොලිස් කිංග් පන්දු 66 කදී ලකුණු 86 ක් ලබා ගන්නට සමත් වුණා. මෙය ඔහුගේ හොඳම සීමිත ඕවර තරඟ ලකුණු සංඛ්‍යාවද වුණා. විවියන් රිචර්ඩ්ස් ලකුණු 138 ක් නොදැවී ලබාගත් අතර පන්දුවාර 60 දී කොදෙව්වන් විකට් 9 කට ලකුණු 286 ක් ලබා ගත්තා.

කොලිස් කිංග් (Getty)

එංගලන්ත පිළේ ආරම්භක පිතිකරුවන් වූ මයික් බ්‍රෙයර්ලි සහ ජෙෆ් බෝයිකොට් ස්ථාවර ආරම්භයක් ලබාදුන් නමුත් ඔවුන් ඉතා අඩු ලකුණු වේගයක් පවත්වාගෙන ගිය හෙයින් එංගලන්ත පිළ අසීරු තත්ත්වයකට පත් වුණා. පළමු කඩුල්ල ලකුණු 129 දී දැවී යද්දී ගෙවෙමින් තිබුණේ 39 වන ඕවරයයි.

එකළ වර්තමානයේ මෙන් පන්දු රකින්නන් රැඳවීම පිළිබඳ සීමා නොවූයෙන් අද මෙන් ඉතා වේගවත් ලකුණු වේගයක් පවත්වා ගැනීම අපහසු වුණා. මේ හේත්ව නිසා කෙමෙන් කෙමෙන් තරඟයේ අවසන් ඕවරවලට එළඹෙද්දී එංගලන්ත පිළේ ඉලක්කය ඉතා ඈත වුණා. ග්‍රැහැම් ගූච් වේගයෙන් ලකුණු 32 ක් ලබාගත් නමුත් ඔහුගේ කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 183 ක් වෙද්දී දැවී ගියා. ඒ තෙවැනි කඩුල්ල ලෙසයි. ඉන්පසු ඉතිරි කඩුලු සියල්ල ලකුණු එකොළහක් තුළ දැවී ගිය අතර ලකුණු වේගය ඉහළ නැංවීමේ අදහසින් එල්ල කළ අපරික්ෂාකාරී පහරවල් ද මෙම කඩා වැටීමට හේතුවක් වුණා.

මේ අනුව බටහිර ඉන්දීය කොදෙව් පිළ ලකුණු 92 කින් තරඟය ජයගෙන ලෝක කුසලානය පිටපිටම දෙවන වතාවටත් ජය ගත්තා.

මූලාශ්‍ර​

ESPN Cricinfo  

කවරයේ පින්තුරය -ලොයිඩ් දෙවන වරටත් ලෝක කුසලානය ඔසවයි (ESPN Cricinfo)

Related Articles