Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියානුවන් ජයගත් 1983 ලෝක කුසලානය​

ක්‍රිකට් ලෝක කුසලානය පිට පිට තුන්වන වරටත් එංගලන්තයේදී පවත්වනු ලැබූ අතර, තරගාවලිය 1983 ජූනි 9 වනදා ඇරඹී ජුනි 25 දින නිම වුණා. මුල් දෙවතාවේම ලෝක කුසලානය දිනූ බටහිර ඉන්දීය කොදෙව් පිළ මෙවර ද ලෝක කුසලානය අසලටම පැමිණි නමුත් ඉන්දියානුවන් ඔවුන්ගෙන් එම කුසලානය උදුරා ගත්තේ බොහෝ දෙනා බලාපොරොත්තු නොවූ පරිද්දෙන්.

කලින් දෙවතාවේ මෙන් ම මෙවර ද කණ්ඩායම් අටක් ලෝක කුසලානයට තරග වැදුණා. මේ වනවිට ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් ලබාගෙන සිටි නිසා ටෙස්ට් ක්‍රීඩා නොකරන රටක් ලෙස තරගාවලියට සුදුසුකම් ලද්දේ සිම්බාබ්වේ පමණයි. මෙවර ද එක් පිළකට ඕවර 60 බැගින් වූ තරග පවත්වන ලද අතර කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් අට බෙදා තිබුණා.

මෙවර වූ ප්‍රධාන වෙනස නම් තරග සංඛ්‍යාව වැඩි කිරීමයි. සෑම කණ්ඩායමක් ම තම කාණ්ඩයේ අනෙකුත් කණ්ඩායම් සමඟ තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණා.

ඒ කාණ්ඩය යටතේ එංගලන්තය​, පාකිස්ථානය​, නවසීලන්තය සහ ශ්‍රී ලංකාවත් බී කාණ්ඩය යටතේ බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව​, ඔස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ රටත් බෙදා තිබුණා.

1983 ලෝක කුසලානයට තරග වැදි කණ්ඩායම්. නායක දුලිප් මෙන්ඩිස් පෙරටු කරගත් ශ්‍රී ලංකා පිළ දකුණු කෙළවරේ (Getty)

‘ඒ’ කාණ්ඩය

‘ඒ’ කාණ්ඩය යටතේ පළමු තරග දෙක ජූනි 9 වනදා පවත්වනු ලැබුණා. එංගලන්තය ලකුණු 106 කින් නවසීලන්තය පරාජය කළේ ඇලන් ලෑම්බ් ලබාගත් ලකුණු 102 ක් ද සමඟයි. ලකුණු 97 ක් ලබාගත් මාර්ටින් ක්‍රෝ නවසීලන්තය වෙනුවෙන් දස්කම් දැක්වූ එකම පිතිකරුවා වුණා.

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය ශ්‍රී ලංකාව ලකුණු 50 කින් පරාජය වුණා. පාකිස්ථානය ලකුණු 338 ක් ලබාගත්තේ කඩුලු 5 ක් පමණක් දැවී යද්දීයි. මුඩාසර් නසර් සහ මෝසින් ඛාන් එතරම් ම වේගවත් නොවූ ලකුණු 88 ක සම්බන්ධතාවයක් පළමු කඩුල්ල සඳහා ගොඩ නැගූ අතර ලකුණු 36 කට නසාර් දැවී ගිය පසු සහීර් අබ්බාස් පිටියට පැමිණියා. අබ්බාස් ලකුණු වේගය ඉහළ නැංවීමට දායක වුණේ පන්දු 81 කින් ලකුණු 82 ක් ලබාගනිමින්. මෝසින් ඛාන් ද ලකුණු 82 ක් ලබා ගත්තා. ජාවෙඩ් මියන්ඩාඩ් සහ ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එළව එළවා පහර දෙමින් ලකුණු වේගය ඉහළ නැංවූවා. මියන්ඩාඩ් පන්දු 52 කින් ලකුණු 72 ක් ද ඉම්රාන් ඛාන් පන්දු 33 කින් නොදැවී ලකුණු 56 ක් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ඕවර 60 තුළ කඩුලු 9 කට ලකුණු 288 ක් ලබා ගත්තා. බ්‍රෙන්ඩන් කුරුප්පු ලකුණු 72 ක් ලබාගත්තා. විකට් රකින් ගයි ද අල්විස් නොදැවී ලකුණු 59 ක් ලබා ගත්තා. ගයි ද අල්විස් පිටියට පිවිසියේ අංක 9 ස්ථානයේයි. ඔහු ඩී.එස්. ද සිල්වා සමඟ අටවන කඩුල්ලට ලකුණු 54 ක සබඳතාවක් ද රුමේෂ් රත්නායක සමඟ 9 වන කඩුල්ලට ලකුණු 28 ක සම්බන්ධතාවක් ද ගොඩ නැගුවා. විනෝදන් ජෝන් සහ ගයි ද අල්විස් ශ්‍රී ලංකා ඉනිම අවසානය තෙක් පිත්ත හසුරවමින් අවසන් කඩුල්ලට ලකුණු 26 ක් එක් කළා.

‘ඒ’ කාණ්ඩයේ අනෙකුත් තරගවලදී ද එංගලන්ත පිළේ ශක්තිමත්භාවය විදහා දැක්වුණා. ඔවුන් පරාජය වුණේ නවසීලන්තය සමඟ පැවති අනෙක් තරගය පමණයි. එය නවසීලන්තය ජයගත්තේ කඩුලු 2 කින්. පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව සමඟ ඔවුන් සහභාගී වූ තරග එංගලන්තය විසින් පහසුවෙන් ම ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකාව ජූනි 11 වනදා එංගලන්තය සමඟ තරගයකට සහභාගී වූ අතර එහිදී ඔවුන් ලකුණු 47 කින් පරාජය වුණා. එංගලන්ත ඉනිම ගොඩ නැගුණේ ලකුණු 130 ක් ලබාගත් ඩේවිඩ් ගවර්ගේ ඉනිම වටායි. පිළිතුරු ඉනිමේදී ශ්‍රී ලංකාව ලකුණු 286 කට දැවී ගියේ ඕවර 58 ක් තුළයි. නායක දුලිප් මෙන්ඩිස් ලකුණු 56 ක් ලබාගත් අතර අංක 8 ස්ථානයේ පන්දුවට පහර දීමට පැමිණි ගයි ද අල්විස් නොදැවී ලකුණු 58 ක් ලබාගත්තා. අසන්ත ද මෙල් සමඟ 8 වන කඩුල්ලට ලකුණු 54 ක් එකතු කළ ඔහු රුමේෂ් රත්නායක සමඟ 9 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 35 ක් එක් කළා. එංගලන්තය වෙනුවෙන් පිට දඟ පන්දු යවන වික් මාර්ක්ස් ලකුණු 39 කට කඩුලු 5 ක් දවාගත්තා.

ජූනි 13 වනදා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය​ අතර​ පැවති තරගය නවසීලන්ත සුපිරි වේග පන්දු යවන්නා වූ රිචර්ඩ් හැඩ්ලිගේ අණසකට යටත් වූ බව කිව හැකියි. මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලකුණු 206 කට දැවී ගියේ ඕවර 56.1 ක් තුළයි. ශ්‍රී ලංකා පිළේ මුල් කඩුල්ල වූ සිදත් වෙත්තමුණිගේ කඩුල්ල දවාගත් හැඩ්ලි ඉනිම මැදදී දුලිප් මෙන්ඩිස් සහ අර්ජුන රණතුංග දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමීමට සමත් වුණා. රන්ජන් මඩුගල්ල ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 60 ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ඕවර 39.2 කදී සිය ඉලක්කය හඹා ගියා.

ජූනි 16 වනදා පාකිස්ථානයට එරෙහිව පැවති තරගය ශ්‍රී ලංකා පිළෙන් ගිලිහී ගිය තරගයක් ලෙස සැලකිය හැකි වනවා. මුලින් ම පන්දුවට පහර දුන් පාකිස්ථාන පිළේ කඩුලු 5 ක් ලකුණු 43 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් වන අසන්ත ද මෙල් සහ රුමේෂ් රත්නායක සමත් වුණා. නමුත් මේ අවස්ථාවේ පිටියේ සිටි නායක ඉම්රාන් ඛාන් හා එක්වූ ෂහිඩ් මහ්බූබ් සයවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 144 ක සබඳතාවක් ගොඩ නැගුවා. මහ්බූබ් ලකුණු 77 කට දැවී ගිය අතර ඉම්රාන් ඛාන් දිගටම පිටියේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 102 ක් ලබා ගත්තේ සිය කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 235 ක් දක්වා ගෙන යමින්. අසන්ත ද මෙල් ලකුණු 39 කට කඩුලු 5 ක් දවා ගත්තා.

ශ්‍රී ලංකා පිළ පිළිතුරු ඉනිම ඇරඹුවේ බෙහෙවින් මන්දගාමීවයි. මුලදී කඩුලු ආරක්ෂා කරගනිමින් ඉනිම ගොඩ නැගීමට ඔවුන් කළ උත්සාහය යම් තරමකට සාර්ථක වූයේ එක් අවස්ථාවක ශ්‍රී ලංකාව කඩුලු 2 කට ලකුණු 162 ක් ලබාගෙන සිටීමෙන්. මේ අවස්ථාවේ රෂිඩ් ඛාන් විසින් සිදත් වෙත්තමුණිගේ කඩුල්ල දවාගත් අතර පා දඟ පන්දු යවන අබ්දුල් කදීර් ශ්‍රී ලංකා මැද පෙළ බිඳ දැමුවා. ශ්‍රී ලංකාව සුළු වේලාවකදී ලකුණු 171 ට කඩුලු 7 ක් දක්වා කඩා වැටුණා. ශ්‍රී ලංකාව සියල්ලන් ම දැවී ලබාගත්තේ ලකුණු 224 ක් පමණයි.

ජූනි 18 වනදා නවසීලන්තය සමඟ පැවති තරගය ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය අණසකට යටත් කරගත්තා. අසන්ත ද මෙල් සහ රුමේෂ් රත්නායකගේ වේග පන්දු යැවීම සමඟම ඩී.එස්. ද සිල්වාගේ පා දඟ පන්දු යැවීම නවසීලන්ත පිළ අසරණ කරනු දිස් වුණා. අසන්ත ද මෙල් ලකුණු 32 කට කඩුලු 5 ක් දවා ගනිද්දී රත්නායක ලකුණු 18 කට කඩුලු 2 ක් දවාගත්තේ ඕවර 11 ක් යවමින්. මේ අතර ඩී.එස්. ද සිල්වා ඕවර 12 ක් යවා නිලකුණු ඕවර 5 ක් සමඟ ලකුණු 11 කට කඩුලු 2 ක් දවාගත්තා. ශ්‍රී ලංකා ක්‍රීඩකයකු එක්දින තරගයක නිලකුණු පන්දු ඕවර පහක් යැවූ මුල්ම අවස්ථාව මෙය වුණා.

ශ්‍රී ලංකා පිළ ඕවර 52.5 කදී කඩුලු 7 කට ලකුණු 184 ක් ලබාගෙන තරගය ජයගත්තා. මෙහිදී බ්‍රෙන්ඩන් කුරුප්පු ලකුණු 62 ක් සහ රෝයි ඩයස් නොදැවී ලකුණු 64 ක් ලබාගනිමින් ජයග්‍රහණයට දායක වුණා. රිචර්ඩ් හැඩ්ලි නැවතත් හොඳ පන්දු යැවීමක නිරත වූ අතර ඔහු ඕවර 12 කදී ලබා දුන්නේ ලකුණු 16 ක් පමණයි. නමුත් ඔහුට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණයි.

ජූනි 20 වනදා පැවති සිය අවසන් තරගයේදී ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ අන්ත පරාජයක් ලැබුවා. ශ්‍රී ලංකාව ඕවර 50.4 කදී සියල්ලන් දැවී ලකුණු 136 ක් ලබාගත් අතර එංගලන්තය එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසු කළා.

එදින පැවති අනෙක් මූලික වටයේ තරගයේදී ඊළඟ වටයට සුදුසුකම් ලැබීමට නම් පාකිස්ථානය අනිවාර්යයෙන් නවසීලන්තය පරාජය කළ යුතු වුණා. ඔවුන් එය සිදු කළේ ලකුණු 11 කින්. මේ අනුව එම දෙපිළම තරග තුන බැගින් ජයගෙන තිබුණ ද ලකුණු වේගය අනුව පාකිස්ථානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

‘බී’ කාණ්ඩය​

‘බී’ කාණ්ඩයේ තරග ජූනි 9 වනදා ආරම්භ වූ අතර ආරම්භක තරග දෙකම බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල ගෙන ආවා. ඉන් ප්‍රධානතම වූයේ සිම්බාබ්වේ පිළ විසින් ලකුණු 13 කින් ඔස්ට්‍රේලියාව පරාජය කිරීමයි. සිම්බාබ්වේ පිළ ඕවර 60 දී කඩුලු 6 කට ලකුණු 239 ක් ලබාගත් අතර ඩන්කන් ෆ්ලෙචර් නොදැවී ලකුණු 69 ක් ලබාගත්තා. පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට ලබාගත හැකි වූයේ කඩුලු 7 කට ලකුණු 226 ක් පමණයි. ඩන්කන් ෆ්ලෙචර් පන්දුවෙන් ද දස්කම් දක්වමින් කඩුලු 4 ක් දවාගත්තා.

මෙම තරගය සිම්බාබ්වේ පිළ සහභාගී වූ පළමු එක්දින ජාත්‍යන්තර තරගය වීම විශේෂත්වයක් වුණා.

සිම්බාබ්වේ පිළේ ඩන්කන් ෆ්ලෙචර් ඔස්ට්‍රේලියාවට එරෙහිව පිත්ත හසුරවමින් (Patrick Eagar)

එදින ‘බී’ කාණ්ඩය යටතේ පැවති අනෙක් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිළ ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන තරගයක් පරාජය වුණා. ඒ ඉන්දියාව හමුවේ ලකුණු 34 කින්.

කෙසේ නමුත් මූලික වටයේ තමන් සහභාගී වූ අනෙක් තරග පහ ම පහසුවෙන් ජයගැනීමට කොදෙව්වන් සමත් වුණා.

මේ අතර සිම්බාබ්වේ කණ්ඩායම ජූනි 18 වනදා ඉතිහාසයේ විශාලම පෙරළියක් අත ළඟටම පැමිණ එම අවස්ථාව අහිමි කරගත්තා. එදින ඉන්දියාව සමඟ පැවති තරගයේදී මුලින් ම පන්දුවට පහර දීමට පැමිණි ඉන්දියානු පිළේ කඩුලු 5 ක් ලකුණු 17 කට දවා ගැනීමට සිම්බාබ්වේ පිළ සමත් වුණා. නමුත් මේ අවස්ථාවේ ඉන්දීය නායක කපිල් දේව් තරගය තමන් අතට ගත්තේ ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කරමින්. ඔහු නොදැවී ලකුණු 175 ක් ලබාගත්තේ ඉන්දියාව කඩුලු 8 කට ලකුණු 266 දක්වා ගෙනයමින්. සිම්බාබ්වේ පිළ ඕවර 57 කදී ලකුණු 235 කට දැවී ගියේ ඉන්දීය පිළ සිදු වීමට ගිය විශාල අපකීර්තියකින් ගලවා ගනිමින්.

මෙම කාණ්ඩයෙන් කොදෙව් පිළ සහ ඉන්දියාව ඊළඟ වටයට සුදුසුකම් ලැබුවා.

අවසන් පූර්ව වටය​

අවසන් පූර්ව වටයේ තරග දෙක ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිළ විසින් පහසුවෙන් ජයග්‍රහණය කළා. පළමු තරගයේදී ඉන්දීය පන්දු යවන්නන් හොඳ ඉලක්කයකට පන්දු යවමින් එංගලන්ත පිතිකරුවන් සිර කර තැබීමට සමත් වුණා. පිතිකරුවන් කිහිප දෙනෙකුම හොඳ ආරම්භයන් ලබාගත් නමුත් විශාල ඉනිමක් ගොඩ නැගීමට කිසිවකුටත් හැකි වූයේ නැහැ. වැඩිම ලකුණු ලාභියා වූ ග්‍රැහැම් ෆවුලර් ලකුණු 33 ක් පමණක් ලබාගනිද්දී එංගලන්තය 213 කට දැවී ගියා. ඉන්දියාව කඩුලු 4 ක් පමණය් දැවී එම ඉලක්කය හඹා ගියා.

දෙවන අවසන් පූර්ව තරගය (Getty)

දෙවන අවසන් පූර්ව තරගයේදී කොදෙව් වේග පන්දු බල ඇණිය විසින් පාකිස්ථාන පිතිකරුවන් ද ඒ ආකාරයෙන් ම අසරණ කළා. මොසින් ඛාන් ලකුණු 70 ක් ලබාගත් නමුත් ඊට ඔහු පන්දු 176 ක් ම වැය කළා. පාකිස්ථානය ඕවර 60 දී කඩුලු 8 කට ලකුණු 184 ක් පමණක් ලබාගත්තා. කොදෙව් පිළ කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය හඹා ගිය අතර විවියන් රිචර්ඩ්ස් නොදැවී ලකුණු 80 ක් හා ලැරී ගෝමස් නොදැවී ලකුණු 50 ක් ලබාගත්තා.

අවසන් මහා තරගය​

කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් කාසියේ වාසිය දිනා ඉන්දියාවට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ඉන්දියානු ක්‍රීඩකයන් ඕවර 54.4 කදී ලකුණු 183 කට දැවී ගියා. ආරම්භක පිතිකරු ක්‍රිෂ්නමාචරී ශ්‍රීකාන්ත් ලබාගත් ලකුණු 38 ඉනිමේ හොඳම ලකුණු සංඛ්‍යාව වුණා. නමුත් එම ඉනිම නිම වෙද්දී එම ලකුණු 38 තරගයේ ම වැඩිම ලකුණු සංඛ්‍යාව වනු ඇතැයි කිසිවකුට සිතෙන්නට නැහැ.

ඉන්දීය පිළ පන්දු යැවීමට පෙර ඔවුන් ඇමතූ නායක කපිල් දේව් ප්‍රකාශ කර සිටියේ “අපි ලකුණු 183 ක් ලබා ගත්තා. ඔවුන් එය ලබාගත යුතුයි” යනුවෙන්.

ඉන්දීය ක්‍රීඩාලෝලීහු අවසන් මහා තරගය නිමාවේදී ලෝර්ඩ්ස් පිටිය ආක්‍රමණය කරති (PA Photos)

එක් අවස්ථාවක විවියන් රිචර්ඩ්ස් ඉන්දීය පන්දු යවන්නන් වෙත පහර පිට පහර දෙමින් සිටි අතර 183 ඉලක්කය ඉතා පහසු එකක් වනු ඇතැයි දිස් වුණා. එහෙත් මුලු ලකුණු සංඛ්‍යාව 57 ක් වෙද්දී කපිල් දේව් රැකගත් අනගි උඩ පන්දුවකින් විව් රිචර්ඩ්ස් ලකුණු 33 කට දැවී ගියා. ඉන්පසු ඉන්දීය පන්දු යවන්නන් හොඳ ඉලක්කයකට පන්දු යවමින් කොදෙව් පිළ අපහසුතාවට පත් කළා. කොදෙව් පිළ සියල්ලන් දැවී ලබාගත්තේ ලකුණු 140 ක් පමණයි.

මේ අනුව පිට පිටම තුන්වන ලෝක කුසලානය දිනා ගැනීමට කොදෙව්වන්ට තිබූ අවස්ථාව ගිලිහී ගියා. කොදෙව් පිළ මේ වනතුරු තවත් කිසිදු ලෝක කුසලානයක් දිනා නැහැ.

Cover Photo: කපිල් දේව් වෙත 1983 ලෝක කුසලානය පිරිනමනු ලබයි (BCCI)

Related Articles